තුන් ලොවේ එක ම පිළිසරණ තිසරණය ම වන්නේ ය. එහෙයින් මේ උතුම් තිසරණය මැනවින් හඳුනාගත යුත්තේ ය. පළමුව ශාස්තෘන් වහන්සේ හඳුනාගත යුතු ය. ශාස්තෘන් වහන්සේ නම් ‘බුද්ධ’ වන සේක. කවර කරුණක් අරභයා බුද්ධ නම් වන්නේ ද?

  •  ‘සබ්බඤ්ඤුතාය බුද්ධෝ’ – සියලු ධර්මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් ‘බුද්ධ’ යැයි කියන ලද්දේ වෙයි.
  • ‘සබ්බදස්සාවියතාය බුද්ධෝ’ – සියලු ධර්මයන් අවබෝධ කරවීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් ‘බුද්ධ’ යැයි කියන ලද්දේ වෙයි.
  • ‘අනඤ්ඤනෙය්‍යතාය බුද්ධෝ’ – අනෙකකු විසින් අවබෝධ නො කරවන ලද්දේ තමා ම අවබෝධ කර ගත් හෙයින් ‘බුද්ධ’ යැයි කියන ලද්දේ වෙයි.
  • ‘විසවිතාය බුද්ධෝ’- නොයෙක් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් ‘බුද්ධ’ යැයි කියන ලද්දේ වෙයි.
  • ‘ඛීණාසව සංඛාතේන බුද්ධෝ’ – සිත හැකිලීම කරන ධර්මයන්ගේ ප්‍රහාණයෙන් නිදි හැර පිබිදුණු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුණු බැවින් ‘බුද්ධ’ යැයි කියනු ලැබේ.

මෙසේ අනන්ත ගුණ ඇති අද්විතීය උත්තමයාණන් වහන්සේ පිළිසරණ කර ගැනීම ‘සරණ’ නම් වේ. සරණ ගියවුන්ගේ ඒ සරණාගමනය කරණ කොට ගෙන බිය, තැතිගැන්ම, දුක, දුගතිය, කරදර දුරු කෙරේ, විනාශ කෙරේ, බැහැර කෙරේ, නිරුද්ධ කෙරේ යන අර්ථය යි. නැතහොත් හිත දෙයෙහි පැවැත්වීමෙන් ද අහිත දෙයින් වැළැක්වීමෙන් ද සත්වයන්ගේ බය දුරු කිරීමෙන් ද ‘බුද්ධ’ වේ.

භව කතරින් එතෙර කිරීමෙන් ද අස්වැසිලි දීමෙන් ද ‘ධම්ම’ වේ. ස්වල්ප වශයෙන් කරන්නා වූ දීම්, පිදීම් වශයෙන් එළවන සත්කාරයන්ට මහත් ඵල ලබාදීම කරන හෙයින් ‘සංඝ’ වේ.

එබැවින් මේ ක්‍රමයෙන් ද ඒ රත්නත්‍රය ‘සරණ’ වේ. එහි ප්‍රසාදය ඇති කරන, එයට ගරු කරන තැනැත්තේ වනාහී නසන ලද, විනාශ කරන ලද කෙලෙස් ඇත්තේ ඒ සරණ පිහිට කොට ගැනීම් ස්වභාව ඇත්තේ නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන සිත්හි පහළ වීම ‘සරණාගමනය’ යි.

සරණ වචනයන් තුන අතුරින් සියලු සත්වයන්ට අග්‍ර යැයි සලකා පළමු ව ‘බුදුරජාණන් වහන්සේ’ ය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින් ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හෙයින් ද අනතුරුව ‘ධර්මය’ වේ. ඒ ධර්මයට ආධාරක වන හෙයින් ද ඒ ධර්මය ඇසුරු කරන හෙයින් ද අවසානයට ‘සංඝරත්නය’ වේ.

  • බුදුන් වහන්සේ පුන්සඳ වැනි ය. උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය සඳ රැස් සමූහය වැනි ය. සංඝරත්නය පුන්සඳ කිරණින් උපදවන ලද ප්‍රීතිය ඇති ලෝකයා වැනි ය.
  • බුදුන් වහන්සේ ළා හිරු වැනි ය. උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය වනය දවන ගින්න වැනිය. සංඝරත්නය දැවූ කෙලෙස් ඇති බැවින් පින්කෙතක් වූ භූමි භාගය වැනි ය.
  • බුදුන් වහන්සේ මහාමේඝයක් වැනි ය. ධර්මය වැසි ජලය වැනි ය. සන්සිඳුනු කෙලෙස් දූලි ඇති සංඝරත්නය වැසි වැටීමෙන් සන්සිඳුනු දූලි ඇති ජනපදය වැනි ය.
  • බුදුන් වහන්සේ යහපත් රියදුරෙක් වැනි ය. ධර්මය අජානේය අශ්වයන් හික්මවන උපාය වැනි ය. සංඝරත්නය මැනවින් හික්මුණු අජානේය අශ්ව සමූහයක් වැනි ය.
  • බුදුන් වහන්සේ සියලු මිසදිටු උල් උදුරන හෙයින් ශල්‍ය වෛද්‍යවරයෙක් වැනි ය. ධර්මය උල් උදුරන උපාය වැනි ය. ඉදිරූ මිසදිටු උල් ඇති සංඝරත්නය උදුරන ලද උල් ඇති ජනයා වැනි ය.
  • මෝහ පටලය උපුටා දමන හෙයින් බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනි ය. ධර්මය පටලය උපුටා දමන උපාය වැනි ය. උපුටා දැමූ මෝහ පටල ඇති, ප්‍රසන්න නුවණැස ඇති සංඝරත්නය උපුටා දැමූ පටල ඇති ප්‍රසන්න ඇස් ඇති ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ අනුසය සහිත කෙලෙස් දුරු කිරීමට සමත් දක්ෂ වෛද්‍යවරයෙකු වැනි ය. ධර්මය මැනැවින් යෙදූ බෙහෙත් වැනි ය. සන්සිඳුනු අනුසය ව්‍යාධි ඇති සංඝරත්නය බෙහෙත් යෙදීමෙන් සන්සිඳුනු රෝග ඇති ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ යහපත් උපදේශකයෙකු වැනි ය. ධර්මය ක්ෂේම භූමියට යන යහපත් මාර්ගයක් වැනි ය. සංඝරත්නය මඟට පිළිපන්නේ ක්ෂේම භූමියට පැමිණි තැනැත්තෙකු වැනි ය.
  • බුදුන් වහන්සේ යහපත් නාවිකයෙක් වැනි ය. ධර්මය නැවක් වැනි ය. සංඝරත්නය පරතෙරට පැමිණි සමෘද්ධිමත් ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ හිමාලය වැනි ය. ධර්මය එහි හට ගත් බෙහෙතක් වැනි ය. සංඝරත්නය බෙහෙත් වැළඳීමෙන් නිරෝගි වූ ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ ධනය දෙන්නෙකු වැනි ය. ධර්මය නිධානයක් වැනි ය. සංඝරත්නය නිධානය ලැබූ ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ අභය දෙන ධෛර්යවත් පුරුෂයෙකු වැනි ය. ධර්මය අභය වැනි ය. ඉක්මවූ සියලු භය ඇති සංඝරත්නය අභයට පැමිණි ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ සැනසිලිදායකයෙකු වැනි ය. ධර්මය සැනසිල්ල වැනි ය. සංඝරත්නය සැනසිල්ලට පත් ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ යහපත් මිත්‍රයෙකු වැනි ය. ධර්මය හිතෝපදේශයක් වැනි ය. සංඝරත්නය හිතෝපදේශකරණයෙන් සඵල කර ගත් සියලු අර්ථ ඇති ජනයා වැනි ය.
  • බුදුන් වහන්සේ ධනාකරයක් වැනි ය. ධර්මය සාරවත් ධනයක් වැනි ය. සංඝරත්නය සාරවත් ධනය පරිභෝග කළ ජනයා වැනි ය.

මෙසේ මේ සරණත්‍රය උපමාවන්ගෙන් ප්‍රකාශ කළේ වන්නේ ය. මේ උතුම් තිසරණයේ පිහිටා සසර දුක් අවසන් කිරීමට සියලු දෙනාට භාග්‍යය උදා වේවා!

යේ කේචි බුද්ධං සරණං ගතාසේ – න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං – දේවකායං පරිපූරෙස්සන්තී’ති.

බුදු සමිඳු ගෙ සරණ ලැබූ – කෙනෙක් සිටිත් නම් මෙලොවේ
සතර අපායට නො වැටෙති – ගිය විට ඒ අය එලොවේ
මිනිස් සිරුර අත්හළ විට – ඔවුන් පිරෙත් ම ය දෙව්ලොව

(ඇසුර : ඛුද්දක නිකාය 01 අටුවාව)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.