ස්ත්‍රී දූෂණය, අපයෝජනයට, අපචාරයට, අතවරයට ලක්වූ කාන්තාවන් දෙස අප සමාජය බලන ආකාරයේ බොහෝ ගැටලු තිබේ. කෙතෙක් විද්‍යාව හා තාක්ෂණය දියුණු වුව ද තවමත් අපේ සමාජය අති සාම්ප්‍රදායික ය. එබඳු අවාසනාවන්ත සිදුවීමක දී බොහෝ විට ස්ත්‍රියට ම වරද පටවන අවස්ථා දක්නට ඇත. පිරිසක් (බොහෝ විට පුරුෂ පක්ෂය) එවැනි තරුණියන්ගේ අසරණ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ප්‍රයත්න දරති. තවත් පිරිසක් (බොහෝ විට කාන්තා පක්ෂය) අර දූෂණය වූ තරුණිය පහත් කොට තමන් උසස් වීමට වෙර දරති. රෝම ලන්දේසි නීතිය ඉදිරියේදී ද ඇය උපහාසයට ලක් වෙයි. බොහෝ විට වැරදිකරුවන්ට ප්‍රමාණවත් දඬුවම් ද නොලැබෙයි. මේවා වහ වහා නිවැරදි විය යුතු කාරණා ය.
බොහෝ විට දූෂණයට ලක් වූ තරුණියක් හෝ විවාහයට පෙර ගැබ් ගත් තරුණියක් ගබ්සාවට පෙළඹෙන්නේ සමාජයේ ගැරහුම් නිසා ය. එයින් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ඉපදීමට පසු දරුවන් මරා දමන කාන්තාවන් ද දක්නට ඇත. අඩුම වශයෙන් එවැනි දරුවන් මරා නො දමා වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීමට හෝ පෙළඹවීමක්, යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි. සමාජයේ පිළිගැනීම, ගෞරවය සහ ආරක්ෂාව මෙවැනි කාන්තාවන්ට ලැබීම අත්‍යවශ්‍ය වෙයි. ඒ පිළිබඳ සිතිය යුතු ය. මේ නිසා මේ ගැන සාමූහික වගකීමක් අප සියලු දෙනාට ම ඇත්තේ ය.

මේ අවස්ථා පිළිබඳව බෞද්ධ ඉගැන්වීම් කුමන ආකාර ද? කළලයක් යනු කුමක්ද? මේ ගැන ඉතා පැහැදිලි පිළිතුරක් මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හාසංඛය සූත්‍රයේ ඇත.
“මහණෙනි, කරුණු තුනකගේ එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මේ ලෝකයෙහි මව්පිය දෙදෙනා එක් වූවාහු නමුත් මවුතොමෝත් ඔසප් නො වූවා ද ගන්ධබ්බයා (ගර්භයෙහි ඉපදිය යුතු තැනැත්තා) එළඹ නො සිටියේ වේ ද ඒ තාක් ගර්භයේ හටගැනීමක් නො වේ. මෙහි, මව්පිය දෙන්නා එක් වූවාහු වෙත් ද මවුතොමෝත් ඔසප් වූවා වේ ද ඉපදිය යුතු පුද්ගලයා එළඹ නො සිටියේ නම් ඒ තාක් ගර්භය හටගැනීමක් සිදු නො වේ.

මහණෙනි, යම් හෙයකින් මවුපිය දෙදෙන එක් වූවාහු ද මව් තොමෝ ඔසප් වූවා වේ ද ඉපදිය යුතු පුද්ගලයාත් එළඹ සිටියේ වේ ද මේ කරුණු තුන එක්වීමෙන් ගර්භයාගේ හටගැනීම වෙයි. මහණෙනි. මව් තොම නව මසක් හෝ දසමසක් හෝ මහත් වූ ජීවිත සැකයෙන් යුක්තව ඒ දරුගැබ වදයි. මව්තොමෝ උපන්නා වූ මොහු සිය ලෙයින් පෝෂ්‍ය කරයි. මහණෙනි තන කිරි යැයි යමක් වේ ද ඒ මේ ශාසනයෙහි ‘ලේ’ යයි ව්‍යවහාර වෙයි.”

මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ කළලයක් යනු ආරම්භයේ සිට ම විඤ්ඤාණයක් සහිත සත්වයකු ලෙස බුදුරජාණන් වහන්සේ දක්වා ඇති බව ය. එබැවින් කළලය ද මනුෂ්‍ය ජීවිතයේ ම එක්තරා අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. ප්‍රාණඝාතය යනු අකුසලයකි. සාමාන්‍ය සතෙකු ඝාතනය කිරීමට වඩා මනුෂ්‍ය ඝාතනයක් යනු බරපතල අකුසලයකි. උපසම්පදා භික්ෂුවක් චේතනාත්මකව මනුෂ්‍ය ඝාතනයකට අනුබලයක් හෝ දෙන්නේ නම් එයින් ඔහුගේ භික්ෂූත්වය ද නැසී යන බව විනය පිටකයේ සඳහන් වේ. මනුෂ්‍ය කළලයක් යනු විඤ්ඤාණයක් සහිත මනුෂ්‍යයකු ලෙස මෙලොවට බිහිවීමට ආසන්න සත්වයෙකු වෙයි. මේ නිසා බුදු දහමට අනුව ගබ්සාව අනුමත කළ නො හැකි බව කිව යුතු ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ‘සත්වයා’ යන සංකල්පය නැත. ‘ඇනිමල්’ යනු සත්වයා නො වේ. සත්වයා යනු ඇසට පෙනෙන සතුන් පමණක් නො වේ. දෙවියන් බඹුන් ආදිහු ද සත්වයෝ වෙති. කළලය ද සත්වයෙකි. මිනිසුන් තිරිසනුන් ආදි සියල්ලෝ ම සත්වයෝ වෙති. විඤ්ඤාණයක් ඇති සියල්ලන් ම සත්වයන් ලෙස සැලකිය හැකි ය. බටහිර විද්‍යාවට විඤ්ඤාණය අර්ථ දක්වා ගැනීමට බැරි වූවාට අපි කුමක් කරන්න ද?

වත්මන් නීතිය අනුව දරු ගැබක් නිසා මවට ජීවිත අනතුරක් වේ යැයි අවදානමක් ඇත්නම් පමණක් ගබ්සාවකට අවසර ඇත. ඒ අනුව දරුවන් බිහිවන විට සමහර සංකූලතා නිසා දරුවාත් මවත් දෙදෙනා ම මිය යාමේ අනතුරක් ඇති විට මවගේ ජීවිතය බේරා ගැනීමට දරුවා මරා දමන අවස්ථා ඉඳහිට හෝ දක්නට ලැබේ. මෙවැනි සිද්ධීන් අවාසනාවන්ත වුවත් ඊට වෙනත් විකල්පයක් ඇතැයි සිතිය නො හැකි ය. කෙසේ වුවත් එවැනි අවස්ථාවක ද ප්‍රාණඝාත අකුසලය සිදු වන්නේ ම ය. කුමන හේතුවක් නිසා ප්‍රාණඝාතය කළත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙයි.

ඉහත නීතිය ක්‍රියාත්මක වන තවත් අවස්ථාවක් නම් විවිධ සෞඛ්‍ය හේතු නිසා සහ වෛද්‍ය පරීක්ෂණ මත දරුවකු බිහි කිරීම මවට අවදානම් බව බටහිර වෛද්‍යවරයකු තීරණය කළ විට ගබ්සා කිරීම ය. නමුත් මෙහි දී ප්‍රශ්නයක් පැන නගී. මන්ද කිසිදු වෛද්‍ය පරීක්ෂණයක් හෝ නිගමනයක් 100%ක් නිවැරදි නොවීම ය. මෙසේ අවදානම් යැයි කී අවස්ථාවල ඒ ගැන නොසලකා හැර දරුවන් බිහි කර සුවසේ වෙසෙන මව්වරු ද අද මෙරට සිටිති. කෙසේ වෙතත් මේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට යෝග්‍ය අවස්ථාවක් නො වේ. බටහිර වෛද්‍ය ක්‍රමය හෙවත් ඇලෝපති වෛද්‍ය ක්‍රමය ‘එක ම’ හෝ ‘සුවිශේෂ’ වෛද්‍ය ක්‍රමයක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය වූ තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් බව සැලකිය යුතු ය.

අනෙක් අතට බොහෝ බටහිර රටවල ගබ්සා කිරීමට අවසර දෙන කාලය කළලයට සති 24ක් (මාස 6ක්) පිරෙන තෙක් ය. එහෙත් සති 24ට අඩුවෙන් උපත ලබා යහතින් ජීවත් වන දරුවෝ වෙති. එසේ නම් ගබ්සා කිරීමට අවසර දෙන කාලය ඇතුළත කළලය අජීවී මස් ගොඩක් නොව ජීවත් වන සත්වයෙක්, මනුෂ්‍යයෙකු යැයි හඳුනාගත හැකි තරම් සත්වයෙක් බවට පත් වන බව නිතැතින් ම ඔප්පු වෙයි. එසේ ම බටහිර විද්‍යාඥයන්ගේ ම පරීක්ෂණවලට අනුව කළලයට සති 8ක් තරම් කුඩා අවධියේ ම බාහිර ශබ්ද ආදියට ප්‍රතිචාර දැක්විය හැකි ය. ශාරීරික වේදනාවන්ට ප්‍රතිචාර දැක්විය හැකි ය. විඤ්ඤාණයක් නොමැතිව එසේ ප්‍රතිචාර දැක්විය හැකි ද? කෙනෙකු ඇසිය හැක්කේ ගස් ආදියත් ප්‍රතිචාර දක්වනවා නො වේ ද යන්නයි. එහෙත් ගස්වලට මෙන් නොව මනුෂ්‍යයන් සහ තිරිසන් සතුන්ට විඤ්ඤාණයක් ඇත. ‘තමා, මම’ යන හැඟීම ඇත. එසේ නොවන්නේ යැයි කියන්නෝ විඤ්ඤාණය අපට පහළ වන්නේ කුමන අවස්ථාවේදීදැයි පෙන්වා දිය යුතු ය.

ගබ්සාවක් නීත්‍යානුකූල ව සිදු කළ හැකි අවස්ථා දෙකක් පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කර ඇත. එකක් නම් ස්ත්‍රී දූෂණයක් වූ විට දරු ගැබක් ඇති වුවහොත් ගබ්සා කිරීමට නීත්‍යානුකූලව අවසර දීම ය. අනෙක් අවස්ථාව නම් ඉපදීමට සිටින දරුවා යම් ආබාධයකින් පෙළෙන දරුවකු ලෙස බිහි වේ යැයි සැක කළ හැකි නම් ඒ කළලය ගබ්සා කිරීමට අවසර දීම ය. දැන් අපි මේ අවස්ථා දෙක වෙන වෙන ම සලකා බලමු. ස්ත්‍රී දූෂණයක දී දරු ගැබක් පිහිටීම ඉතා සංවේදී කාරණාවක් වෙයි. බොහෝ දෙනා මෙහි දී කාන්තාවගේ පැත්ත ගෙන දරු ගැබ ගබ්සා කිරීමට යෝජනා කරනු දැකිය හැකි ය. එහෙත් එය නිවැරදි ද? ස්ත්‍රී දූෂණය යනු බරපතළ වරදක් බව නොකිවමනා ය. නමුත් ඊට කළලය වගකිව යුතු නො වේ. මෙහි දී කෙරෙනුයේ එක අයෙකුගේ වැරැද්දකට වෙනත් අයෙකුගෙන් (හෝ මනුෂ්‍යයෙක් ලෙස උපදින්නට සිටින අයෙකුගෙන්) පළිගැනීමක් නො වේ ද? එක වැරැද්දක් තව වැරැද්දකින් වසා ගැනීමට නො හැකි ය. එයින් වන්නේ වැරදි දෙක ම සාමාන්‍යකරණය වීම ය. ආබාධ සහිත දරුවන් ගබ්සා කිරීම පිළිබඳ ව සමහරු දක්වති. දැනටත් උපතින් ම විවිධ ආබාධවලට ලක් වූ දරුවන් අප අතර ජීවත් වෙති. ඒ අය ඒ අයගේ පවුල් විසින් ඉතා ආදරයෙන් රැක බලා ගන්නා අවස්ථා අපි දැක ඇත්තෙමු. සමහර අවස්ථාවල පවුලේ සිටින කිසිදු ආබාධයක් නැති දරුවන්ටත් වඩා ආදරයක් අර දරුවන් වෙත දැක්වෙයි. සතර බ්‍රහ්ම විහරණය අනුව ඒ දරුවන්ට ද සෙනෙහස දැක්වීම බෞද්ධයන්ට පුරුදු ය. මව්කුස සිටින දරුවාට මවගේ මානසික ආකල්ප, ආවේග දැනෙන බව කියවේ. මේ නිසා බුදුදහම ගබ්සාව කුමන ආකාරයෙන් වුව ද අනුමත නොකරන ප්‍රාණඝාත අකුසලය සිදුවන බරපතළ වරදක් සේ දක්වා ඇත.