අපි මෙතෙක් ඉගෙනගත්තේ ඉතරීතර චීවර සන්තුට්ඨිතා, ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතා යන ආර්යවංශ ප්‍රතිපදා දෙකට අයත් වූ ධුතාංගයන් ගැන යි. මෙතැන් පටන් අපිට ඉතරීතර සේනාසන සන්තුට්ඨිතා (ලැබුණු සෙනසුනකින් සතුටු වීම) ආර්යවංශයට අදාළ ධුතාංගයන් පිළිබඳ ව ඉගෙනගන්නට ලැබෙනවා.

භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කරන සිව්පසයෙහි තෙවන අංගය සේනාසනයනුයි. සේනාසනය යන වදනෙහි සරල අරුත වන්නේ සැතපීමට සහ ඉඳ ගැනීමට භාවිත කරන දේ යන්න යි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සංඝයා උදෙසා අනුදැන වදාළ සේනාසන වර්ග 15ක් දක්නට ලැබෙනවා.

ඇඳ, පුටු, කොට්ට, මෙට්ට, විහාර, කාමර සහිත විශාල කුටි, සතරැස් නිවාස, සඳලු තල සහිත නිවාස, ගුහා, ලෙන්, අටලු, මහල් නිවාස, උණ හා පිදුරු කුටි, රුක්මුල් සෙනසුන් සහ දාන ශාලා ආදී ස්ථාන යන මේවා පසළොස් වැදෑරුම් සේනාසනයෝ යි.

සංඝයා උදෙසා සංඝයාගෙන් ම සෙනසුනක් ලැබෙන්ට පුළුවනි. ඒ වගේ ම භික්‍ෂූන් වහන්සේලා දෙතුන්නමකගෙන් වුණත් සෙනසුනක් ලැබෙන්ට පුළුවනි. මිතුරන් ද ඥාතීන් ද සඟරුවනට සෙනසුන් පුදනවා. තමාගේ ධනයෙන් වුණත් සෙනසුනක් සකසා ගන්ට පුළුවනි. එමෙන් ම පාංශුකූල වශයෙන් ලැබෙන සෙනසුන් ද තිබෙනවා. මේ වනාහි සය වැදෑරුම් සේනාසන ක්ෂේත්‍රයෝ යි.

කවර වර්ගයේ සේනාසනයක් ලැබුණත්, භික්‍ෂුව එය පරිභෝග කරන්නේ සරල අරමුණු කිහිපයක් උදෙසා පමණ යි. නුවණැති භික්‍ෂුව නිවන් මහ හැසිරීමට වඩා සේනාසනය වැදගත් කොට සලකන්නේ නැහැ. සේනාසනය නිසා නූපන් කෙලෙස් උපදවාගන්නට යන්නෙත් නැහැ. සෙනසුනක් පරිහරණය කරන්නේ නිවන් මග හැසිරීමට පහසුව පිණිස විතරයි. ලැබෙන සෙනසුනින් සතුටු වන උන්වහන්සේලා ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සෙනසුන පරිහරණය කරනවා.
“මහණ ජීවිතේ දියුණුවක් ලබන්ට කැමති කෙනා, සුවසේ සිටින්ට කැමති කෙනා, තාවකාලික අදහසින් ම යි කුටියක් පරිහරණය කළ යුත්තේ. මී ගුලකට රිංගන සර්පයෙක් වගේ.”(ධනිය ථේර ගාථා)

භික්ෂුවක් සෙනසුනකින් බලාපොරොත්තු වන්නේ,

1. සීතලෙන් වන පීඩා වළක්වා ගැනීම

2. උණුසුමින් වන පීඩා වළක්වා ගැනීම

3. මැසි මදුරුවන්ගෙන්, අවු සුළං ආදියෙන්, පත්තෑ ගෝනුසු ආදීන්ගෙන් විය හැකි පීඩා වළක්වා ගැනීම

4. ඍතු විපර්යාස නිසා ඇති වන උපද්‍රව වළක්වා ගැනීම

5. භාවනාවෙන් වාසය කිරීමට පහසුවක් වීම

යන කරුණු කිහිපය පමණයි.

මේ කරුණු පහ පමණක් ම සෙනසුනකින් අපේක්‍ෂා කරන භික්‍ෂුව, මේ කරුණු සම්පූර්ණ වන කවර සෙනසුනකින් නමුත් සෑහීමකට පත් වෙනවා. එවිට එම භික්‍ෂුව පැමිණ වාසය කරන්නේ, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් බොහෝ සේ වර්ණනා කරන ලද්දා වූ ආර්යවංශ ප්‍රතිපදාවට යි.

“තවද මහණෙනි, භික්‍ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද නවාතැනකින් සතුටු වෙයි. නවාතැන් උදෙසා භික්‍ෂූන් හට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නො පැමිණෙයි. නවාතැනක් නො ලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටුවීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”(අරියවංශ සූත්‍රය, අං. නි. 2)

එසේ අරියවංශ ප්‍රතිපදාව තුළ වාසය කරන භික්‍ෂුව ගමෙහි පිහිටි සෙනසුන් අතැර අරණ්‍යයෙහි වාසය කරන්නේ නම්, එය අරඤ්ඤකංගය යි. මෙම ධුතාංගය සමාදන් වූ භික්‍ෂුව ගමක රැය පහන් කරන්නේ නැහැ. එබඳු කෙනා අලුයම් කාලයෙහි අරුණ නැගෙන විට අනිවාර්යයෙන් ම අරණ්‍යයක සිටිය යුතු වෙනවා.

අරණ්‍යය යනු කුමක් ද? යන්න පිළිබඳ මනරම් විස්තර රැසක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ගමක එක් නිවසක් තිබෙන්ටත් පුළුවනි. බොහෝ නිවෙස් තිබෙන්ටත් පුළුවනි. ඒ වගේ ම ගමක් පවුරු වැට ආදියෙන් වෙන් කරලා තිබෙන්ටත් පුළුවනි. එසේ නො තිබෙන්ටත් පුළුවනි. සමහර ගම්වල මිනිසුන් සිටිනවා. නමුත් සමහර ගම් ජනශූන්‍ය යි. පුරාණයේ වෙළඳාම් ගිය ගැල් කණ්ඩායම් එක් තැනෙක මාස 4කට වඩා වාඩිලාගෙන සිටියහොත්, එබඳු තැනක් ද අතීතයේ ගමක් වශයෙන් හඳුන්වා තිබෙනවා.

ඉන්ද්‍රඛීලය යන වචනය ඔබ රතන සූත්‍රයේ දී ඉගෙනගෙන ඇති. එය ගමක මැද ගැඹුරට සිටුවන ලද මහා ගල් ටැඹක්. ඉන්ද්‍රඛීලය ළඟට පැමිණෙන බලවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසි කරනවා. එම ගල් කැටය පතිත වන තැන ලෙඞ්ඩුපාතය යනුවෙන් හැඳින්වෙනවා. ප්‍රාකාරයකින් වට කරන ලද ගමක නම්, ඉන්ද්‍රඛීලය හා ලෙඞ්ඩුපාතය අතර ඇති ප්‍රදේශය ග්‍රාමෝපචාරය යනුවෙන් හඳුන්වනු ලබනවා.

ගම වැට, පවුරු ආදියෙන් වෙන් කරලා නැත්නම්, ග්‍රාමෝපචාරය සොයාගන්නේ මේ විදියට යි. අරණ්‍යයට ආසන්න ව එම ගමෙහි ඇති අන්තිම ගෙදර සිටින කාන්තාව භාජනයක් සෝදා ජලය ඉවතට විසි කරනවා. එම ජලය වැටුණු තැනට පැමිණෙන බලවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසිකරනවා. එම ගල් කැටය වැටුණු තැන හා පුරුෂයා සිටින තැන අතර ප්‍රදේශය ගම යනුවෙන් හඳුන්වනවා. එම පළමු ගල් කැටය පතිත වූ තැන සිට තවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසි කරනවා. ගල් කැට දෙක පතිත වූ ස්ථාන දෙක අතර ප්‍රදේශය ග්‍රාමෝපචාරය යි.

අරඤ්ඤකංගය සමාදන් වූ භික්‍ෂුව ගමෙහි හා ග්‍රාමෝපචාරයෙහි පවතින සියලු සෙනසුන් අත්හරිනවා.

සූත්‍රාන්ත ක්‍රමයට අනුව අරණ්‍යය යනු ගමෙන් දුනු 500ක් ඈත ප්‍රදේශය යි. දුන්න යනු වියත් 9කට සමාන වන පුරාතන මිනුම් ක්‍රමයක්. වැට, පවුරු ආදියෙන් වෙන් කරන ලද ගමක නම් ඉන්ද්‍රඛීලයේ සිට ද එසේ වෙන් නො කරන ලද ගමක නම් පළමු වන ගල් කැටය වැටුණු ස්ථානයේ සිට ද මැනීම කළ යුතු යි,

අරණ්‍යය යනු මහත් සේ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලාගේ චිත්තාරාධනය කළ තැනක් බවට ථේර ගාථා පාලියේ බොහෝ ගාථාවන් සාක්‍ෂි දරනවා. මේ ගාථාවන් දෙස බලන්න.

“මාගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘පින්වත් සීවක, අපි මේ ගම අතහැර වනාන්තරයට යමු’යි. (මගේ අදහසත් ඒක ම යි.) මගේ ශරීරය මේ ගමේ තිබුණත්, මගේ සිත තිබුණේ වනයට ම යි. ගමේ මං සැතපුනත්, සිත ගියේ වනයට ම යි. සැබෑ තත්ත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇති වෙන්නේ නෑ.”
(වනවච්ඡ තෙරුන්ගේ ශිෂ්‍ය වූ සාමණේරයන්ගේ ගාථාව – ථේරගාථා)

“අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් තෙමිල තියෙන්නේ. කඳු මුදුන්වල ලස්සනට වැඩුණු ගස්වැල් පෙනෙන කොට උසභගේ සිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඔහු කැමති අරණ්‍යයකට ගිහින් ලබන විවේකයට යි.”
(උසභ තෙරුන්ගේ ගාථාව – ථේරගාථා)

“කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ ආරණ්‍ය සේනාසනවලට කැමති නෑ. කාමය නො සොයන වීතරාගී මුනිවරුන්ට ඒ ආරණ්‍ය සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.”
(සාරිපුත්ත තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

උසස් ලෙස අරඤ්ඤකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව සැමදා අරණ්‍යයෙහි ම රැය පහන් කළ යුතු වෙනවා. වස්සාන කාලයෙහි පමණක් ගමෙහි වාසය කරන භික්‍ෂුව මධ්‍යම ආකාරයෙන් මේ ධුතාංගය පුරනවා. ලිහිල් ලෙස එය සම්පූර්ණ කරන්නා වස්සාන, හේමන්ත යන ඍතු දෙකෙහි ම, මාස අටක් ම ගමෙහි වාසය කරනවා.

රාත්‍රියේ ගමෙහි හිඳ ධර්ම ශ්‍රවණය කරන විට හෝ දහම් අසා නැවත අරණ්‍යයට යන විට අරුණෝදය සිදු වුවහොත්, ධුතාංගය බිඳෙන්නේ නෑ. දහම් අසා අවසන් වූ පසුත් නිකරුණේ ගමෙහි සිටින විට රැය පහන් වුවහොත්, එසැණින් ධුතාංගය බිඳී යනවා.

මෙලෙස නිවැරදි සෙනසුනක වසන භික්‍ෂුවට මහත් චිත්තප්‍රීතියක් ඇති වෙනවා. එම ප්‍රීතිය දහමේ හැසිරෙන භික්‍ෂුවකට ඉතා ප්‍රයෝජනවත්. අවබෝධය කරා යෑමට උපකාර වෙනවා. ධාර්මික ව ලද සෙනසුනක් පරිහරණය කිරීමෙන් ලැබෙන චිත්තප්‍රීතිය පසළොස් වැදෑරුම් සේනාසන සන්තෝෂය යනුවෙන් ධර්මයෙහි විස්තර වෙනවා. ඒවා මෙසේ යි:

එහිලා භික්‍ෂුව,
1. ධාර්මික ව සෙනසුනක් ලබා ගැනීමට විතර්ක කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
2. කමටහන් වඩමින් සෙනසුනක් සොයා වැඩම කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
3. සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂුවක් සමඟ සෙනසුනක් සොයා වැඩම කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
4. ධාර්මික ව කුමන ආකාරයේ හෝ සෙනසුනක් ලැබීමෙන් ප්‍රීති වන්නේ ය.
5. යහපත් හෝ අයහපත් හෝ සෙනසුන සම සිතින් පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
6. පමණ දැන සෙනසුන් පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
7. සෙනසුන් උදෙසා ඇති ලොල් බව දුරු කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
8.යහපත් හෝ අයහපත් හෝ ලැබුණු සෙනසුනකින් ප්‍රීති වන්නේ ය.
9.තමා හට පහසුව ඇති වන බව දකිමින් ප්‍රීති වන්නේ ය.
10. ලැබුණු යහපත් සෙනසුන් ගුණවත් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
එමෙන් ම භික්‍ෂුවල
11. ලැබුණු සෙනසුන බඹසර ජීවිතයට උපකාරයක් වශයෙන් දකිමින් ප්‍රීති වන්නේ ය.
12. පමණ දැන සෙනසුන් පරිහරණය කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
13. ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සෙනසුන පරිහරණය කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
14. තමා උදෙසා සෙනසුන් රැස්කර ගැනීමෙන් වැළකීම නිසා ප්‍රීති වන්නේ ය.
15. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සෙනසුන් බෙදා හදා ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

මී ළඟට අපි අරඤ්ඤකංගයෙහි ආනිශංස පිළිබඳ අවධානය යොමු කරමු. අරණ්‍යයෙහි වසන භික්‍ෂුව,

1. අරණ්‍ය සංඥාව මෙනෙහි කිරීමෙන් නො ලද සමාධිය ලබන්නේ වෙයි. ලද සමාධිය ආරක්‍ෂා කර ගන්නේ වෙයි.
2. ශාස්තෘන් වහන්සේගේ සිත සතුටු කරන්නේ වෙයි.
3. නො ගැළපෙන රූප ආදිය වනයෙහි මුණ නො ගැසෙන නිසා නො විසිරුණු සිත් ඇත්තේ වෙයි.
4. භය නැත්තේ වෙයි.
5. ජීවිතයට ඇති ඇල්ම දුරු කරන්නේ වෙයි.
6. විවේක සැපය රස විඳින්නේ වෙයි.
7. පංසුකූල සිවුරු දරන්නට සුදුසු වෙයි.

අරඤ්ඤකංගය සපුරන භික්‍ෂුව සත්වැදෑරුම් මේ ආනිශංස ධර්මයන්ට හිමිකම් කියනවා. දෙව් බඹුන්ට පවා හිමි නැති මේ ධුතාංගයන්ගේ අසිරිමත් බව ඉතා මැනවින් පහත ගාථාවන්හි ද විස්තර වෙනවා.

පවිවිත්තෝ අසංසට්ඨෝ – පන්ත සේනාසනේ රතෝ
ආරාධයන්තෝ නාථස්ස – වනවාසේන මානසං

“විවේකයෙහි ඇලුණේ, පිරිසෙහි නො ඇලුණේ දුර ඈත සේනාසනයන් හි ඇලී වාසය කරන්නේ ය. ඒ පුද්ගලයා වනයෙහි විසීමෙන් ලෝකනාථයන් වහන්සේගේ සිත සතුටු කරන්නේ ය.”

ඒකෝ අරඤ්ඤේ නිවසං – යං සුඛං ලභතේ යති
රසං තස්ස න වින්දන්ති – අපි දේවා සඉන්දකා

“හුදෙකලා ව අරණ්‍යයෙහි වසන භික්‍ෂුව යම් සැපයක් ලබයි ද ඒ සැපයෙහි රසය, ඉන්ද්‍ර නම් වූ සක් දෙව් ප්‍රධාන දෙවියෝ ද නො වළඳති.”

පංසුකූලං ච ඒසෝ ව – කවචං විය ධාරයං
අරඤ්ඤ සංගාමගතෝ – අවසේස ධුතායුධෝ

“පංසුකූල සිවුර නම් වූ යුධ සැට්ටය හැඳගෙන, අනෙකුත් ධුත ගුණ නමැති ආයුධ රැගෙන, කෙලෙස් යුද්ධය සඳහා අරණ්‍යයට වඩින භික්‍ෂු තෙමේ,”

සමත්ථෝ න චිරස්සේව – ජේතුං මාරං සවාහිනිං
තස්මා අරඤ්ඤවාසම්හි – රතිං කයිරාථ පණ්ඩිතෝ

“නොබෝ කලකින් සේනා සහිත මරු පරදවන්නට සමත් වන්නේ ය. එබැවින් නුවණැත්තනි, අරණ්‍යයෙහි විසීම ඇලුම් කරව්.”

සටහන – රවීන් කෝදාගොඩ