මේ වන විට ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉතා මනරම් ලෙස සිංහලයට පරිවර්තනය කරන ලද “නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ” නම් වූ නෙත්තිප්ප්‍රකරණය කියවා ඇති. එහි පදට්ඨාන හාර නම් කොටසක් තිබෙන වග ඔබ දකින්නට ඇති. පදට්ඨානය යනුවෙන් අදහස් කරන්නේ, යම් ධර්මයකට මුලිනුත්, පසුවත් පවතින ආසන්න කාරණය යි.

දැන් අපි මේ ඉගෙනගනිමින් සිටින ධුතාංග ධර්මයන්ටත් ආසන්න කාරණාවන් හෙවත් පදට්ඨානයන් තිබෙනවා. ඒවා නම් ආශාවන් අඩු බව, ලද දෙයින් සතුටු වීම, නිකෙලෙස් විහරණය, කාය – චිත්ත විවේකයෙන් යුතු ව වාසය කිරීම, පටන්ගත් වීරිය ඇති බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව හා ගරු කිරීම යන ගුණධර්මයෝ යි.

මෙහි අවසාන වශයෙන් සඳහන් වූ ගරු කිරීම නම් කරුණ ගැන යමක් කිව යුතු ම යි. එය ඉතා අසිරිමත් කරුණක්. ඇතැම් විට භික්‍ෂුන් වහන්සේලා උදෙසා සිව්පසය පූජා කරන පින්වතුන්, එය සිදු කරන්නේ තමන් බොහෝ වෙහෙස මහන්සි වී උපයාගත් ධනයෙනුයි. ඇතැම් පින්වතුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව ජීවිත පරිත්‍යාගයෙන් සඟරුවනට දන්පැන් පූජා කරලා තියෙනවා.

තම කෙස් කළඹ කපා එය විකුණා ලබාගත් මුදලින් මහා කච්චාන මහරහතන් වහන්සේට දන් පැන් පූජා කළ උපාසිකාවක් ගැන ඔබ අසා ඇති. එමෙන් ම මේ ශ්‍රී ලංකාද්වීපයේ විසූ එක්තරා මවක්, තමන් කාඩි හොදි සහ නිවුඩු හාලේ බත අනුභව කරමින් කස්සක නම් ලෙනෙහි විසූ මහාමිත්ත තෙරුන් වහන්සේට ප්‍රණීත දන් පැන් පූජා කළා. එක්තරා සැදැහැවත් මව්පිය දෙපළක් භික්‍ෂු සංඝයාට දන්පැන් පූජා කිරීමට තම එක ම දියණිය පවා විකුණුවා. මෙවැනි කතා පුවත් රැසක් ඉතිහාසයේ දක්නට ලැබෙනවා.

මෙසේ තමන්ට අවංක ව සිව්පසය පුදන සැදැහැවතුන්ගේ අහිංසක බව දකින භික්‍ෂුන් වහන්සේලාට පුදුමාකාර වීරියක් ඇති වෙනවා. මොවුන් පුදන සිව්පසය කෙලෙස් සහිත ව පරිහරණය කිරීම නො කළ යුතු බව උන්වහන්සේලාට හැඟී යනවා. උන්වහන්සේලා සැදැහැවතුන් පුදන සිව්පසයට ගරු කොට වහ වහා ධර්මයේ හැසිරෙනවා; සුවසේ සසරෙන් එතෙර වෙනවා. මෙය සිව්පස අපචායනය යනුවෙන් හැඳින්වෙනවා.

බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා සිව්පසය පරිහරණය කළ ආකාරය පිළිබඳ අසන විටත් ගුණ දහම් වඩන්නට බලවත් වීරියක් ඇතිවෙනවා. එයත් ඇතුළත් වන්නේ අපචායනයට ම යි. මෙම සිව්පසයට ගරු කිරීමේ ගුණය ධුතාංගයන් සම්පූර්ණ කරන්නට බලවත් ලෙස උපකාර වෙනවා.

මෙතැන් සිට ඔබට දැනගන්නට ලැබෙන රුක්ඛමූලිකංගය නවවැනි ධුතාංගය යි. මෙම ධුතාංගය පුරන භික්‍ෂුව පියැසි යට වාසය කිරීම අත්හරිනවා, අරඤ්ඤකංගය විස්තර කිරීමෙහි දී දක්වන ලද පසළොස් වැදෑරුම් සේනාසනයන් අතුරින් 14ක් ම අත් හැර රුක් සෙවණක ලැගුම් ගන්නවා.

පැවිද්ද මූලික වශයෙන් රුක් මුල් සෙනසුන ඇසුරු කොටගෙන පවතිනවා. අත් හරින ලද සේනාසනයන් 14ම සංඝයාට ලැබෙන අතිරේක ලාභයන්. භාග්‍යවතුන් වහන්සේත් රුක්ඛමූලිකංගය මහත් සේ වර්ණනා කොට වදාළා.
“මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”
(සන්තුට්ඨි සූත්‍රය, අං. නි. 2)

සෙනසුන් අතුරින් ඉතා සරල ම සෙනසුන රුක්මුල් සෙනසුන යි. භාරතීය සමාජයෙහි අදත් භාවිත වන රුක්ඛමූල සේනාසනය පිළිබඳ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ සටහන් කොට තිබෙනවා.
“අල්පේච්ඡ ජීවිත ගෙවන, හුදෙකලා දිවියෙන් සතුටු වන සාධුවරු බොහෝ දෙනෙක් මට මුණ ගැසුණි. සමහරු රුක්මුල් සෙනසුන්හි වාසය කරති. එය සාදා ගන්නේ මෙසේ ය. හොඳින් සෙවණ ඇති සුවිසල් තනි රුකක් මේ සඳහා තෝරා ගැනේ. ඉන්පසු අඩි දෙකක් පමණ පළලට, අඩි දෙකක් පමණ දිගට සරිලන කොටසක බිම් කඩක් ගොම පිරිබඩගා සකසා ගනු ලැබේ. කොට්ටය පිණිස ද මැට්ටෙන් ම උස් කොට සකස්කර ගනී. ඉන් පසු ඒ මත බ්ලැන්කේට්ටුවක් එළීමෙන් ආසනය සම්පූර්ණ වේ. ඒ ඉදිරියෙන් කුඩා ගිනිමැලයක් සකසා ගනී. වියළි කාලගුණයට ඉතා හොඳින් ගැළපී යන මේ රුක්මුල් සෙනසුන්වල බොහෝ විට කල් ගෙවන්නේ නිදහසේ ඇවිද යන සාධුවරුන් ය.”                  (සත්‍යය සොයා යාම – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)

නිදහසේ සැරි සරා වැඩි බුද්ධකාලීන උතුම් රහතන් වහන්සේලාගේ රුක්මුල් සෙනසුන ඇතැම් විට මීටත් වඩා සරල එකක් වන්නට ඇති. සඟල සිවුර රුක් සෙවණේ එළා ගැනීමෙන් උන්වහන්සේලාගේ සෙනසුන සම්පූර්ණ වන්නට ඇති. දහමට දිවි පුදා වාසය කරන උතුම් සඟරුවනට මේ රුක්මුල් සෙනසුන කදිමට ගැළපුණා. උන්වහන්සේලාට අවශ්‍ය වූයේ, සුවපහසු සෙනසුන් සොයා යාම නොව, කවර සෙනසුනක වැඩ හිඳිමින් හෝ දහමේ හැසිරීම යි.
“සමහරුන්ට සතුටු වෙන්න නම් මිහිඟු බෙර ඕනෑ. එක්කෝ වීණාවක් ඕනෑ. එක්කෝ ගැටබෙර ඕනෑ. ඒත් මම ඒ මොකවත් නැති ව මේ රුක් සෙවණෙ වාඩි වෙලා බුදු සමිඳුන්ගේ ශාසනයේ හරි ම සතුටින් ඉන්නේ.”
(ලකුණ්ඨ භද්දිය තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

අතීතයේ මහා රාජධානිවල සීමා ලෙස ඇතැම් මහා වෘක්‍ෂයන් සලකනු ලැබුවා. එබඳු වෘක්‍ෂ රුක්මුල් සෙනසුන් උදෙසා ගැළපෙන්නේ නැහැ. එමෙන් ම මිනිසුන් පුද පූජා පවත්වන චෛත්‍ය වෘක්‍ෂයන් ද මිනිසුන් විසින් මැලියම් වර්ග ලබා ගැනීමට භාවිත කරන වෘක්‍ෂයන් ද මිනිසුන් විසින් ගෙඩි වර්ග ලබා ගැනීමට භාවිත කරන වෘක්‍ෂයන් ද වවුලන් ලැගුම් ගන්නා වෘක්‍ෂයන් ද මහා බෙන සහිත වෘක්‍ෂයන් ද විහාරය මැද පිහිටි වෘක්‍ෂයන් ද රුක්මුල් සෙනසුන් උදෙසා යෝග්‍ය වන්නේ නැහැ. භික්‍ෂුවගේ විවේකයට බාධා වන නිසයි එසේ සුදුසු නො වන්නේ.

උසස් ආකාරයෙන් රුක්ඛමූලිකංගය සපුරන්නේ නම්, රුක්මුල වැටී ගිය පත්‍ර ආදිය පාදයෙන් ඉවත් කර ගැනීම පමණයි කළ හැක්කේ. රුක්මුල සමීපයට පැමිණි කෙනෙකු ලවා, මධ්‍යම අයුරින් ධුතාංගය පුරන්නා හට රුක් සෙවණ සකස් කරවාගත හැකියි. ලිහිල් ලෙස රුක්ඛමූලිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට ආරාමයේ වසන සාමණේර ආදීන් කැඳවාගෙන රුක් සෙවණ පිරිසිදු කර ගන්ටත් පුළුවනි, විෂම තැන් සම කරවාගන්ටත් පුළුවනි, වැලි ඉස්සවා ගන්නටත් පුළුවනි, රුක් සෙවණ වටා වැටක් ගස්සවාගෙන කඩුල්ලක් ද සවි කර ගන්නට පුළුවනි.

රුක් සෙවණෙහි වාසය කරන භික්‍ෂුව,

1. පැවිද්ද මූලික වශයෙන් රුක්මුල් සෙනසුන ඇසුරු කරගෙන පවතින බැවින් එයට අනුගත වෙයි.
2. සම්බුදුරජුන් විසින් ප්‍රශංසා කරන ලද සෙනසුන් පරිහරණය කරන්නේ වෙයි.
3. නිතර නිතර ඉදී බිම වැටෙන පත්‍ර දැක අනිත්‍ය සංඥාව උපදවාගන්නේ වෙයි.
4. තමන්ගේ ආවාසය අන්‍යයන් පරිහරණය කිරීම පිළිබඳ ඇති වන මසුරු බව නැත්තේ වෙයි.
5. ආවාස අලුත්වැඩියා කරන්නට සිදු වීමෙන් ඇතිවන කරදර නැත්තේ වෙයි.
6. දෙවියන් සමඟ එක් ව වාසය කරන්නේ වෙයි.
7. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූලව පවතින්නේ වෙයි.

මේ වනාහි රුක්ඛමූලිකංගයෙහි සත්වැදෑරුම් ආනිශංසයෝ යි. විශුද්ධි මාර්ගය නම් උතුම් ධර්ම ග්‍රන්ථයෙහි රුක් සෙවණේ විසීමෙන් භික්‍ෂුවට අත්වන දුර්ලභ ලාභය ගැන මේ සොඳුරු ගාථාවන්ගෙන් විස්තර කොට තිබෙනවා.

වණ්ණිතෝ බුද්ධසෙට්ඨේන – නිස්සයෝති ච භාසිතෝ
නිවාසෝ පවිවිත්තස්ස – රුක්ඛමූලසමෝ කුතෝ

“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ, පැවිද්ද මූලික වශයෙන් ඇසුරු කරගෙන පවතින කරුණක් යැයි ද පවසන ලද්දා වූ, රුක්මුල් සෙනසුන තරම් කදිම නිවාසයක් විවේකයෙහි ඇලුණවුන්ට වෙන කොහින් ද?”

ආවාසමච්ඡේරහරේ – දේවතා පරිපාලිතේ
පවිවිත්තේ වසන්තෝහි – රුක්ඛමූලම්හි සුබ්බතෝ

“ආවාසයන්හි මසුරු බව දුරු කරන්නා වූ, දෙවියන් විසින් රකිනු ලබන්නා වූ රුක්මුල් සෙනසුනෙහි වැඩ වසන, යහපත් වෘත ඇති, විවේකයෙහි ඇලුණු භික්‍ෂු තෙමේ,”

අභිරත්තානි නීලානී – පණ්ඩූනි පතිතානි ච
පස්සන්තෝ තරුපණ්ණාණි – නිච්චසඤ්ඤං පනූදති

“තද රතු පැහැති වූ ද, නිල් පැහැති වූ ද, පඬු පැහැති වූ ද බිම වැටී ගිය පත්‍රයන් දකිමින් නිත්‍ය සංඥාව දුරු කරන්නේ ය.”

තස්මාහි බුද්ධ දායජ්ජං – භාවනාභිරතාලයං
විවිත්තං නාතිමඤ්ඤෙය්‍ය – රුක්ඛමූලං විචක්ඛණෝ

“එබැවින් සම්බුදුරජුන්ගේ දායාදය වූ, භාවනාවෙහි ඇලුණවුන්ගේ වාසස්ථානය වූ, රුක්මුල් සෙනසුන විවේකකාමී වූ තියුණු නුවණැත්තා ඉක්මවා නො යන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ