ධුතාංග ධර්මයන් පුරුදු පුහුණු කරන කෙනා සැම විට ම ඒ සමඟ ම තවත් ගුණධර්මයක් පුරුදු පුහුණු කරනවා. එනම් අත්හැරීම යි. නිදසුනක් ලෙස පංසුකූලිකංගය සමාදන් වූ කෙනා ගෘහපති චීවර අත්හරිනවා. තේචීවරිකංගය සමාදන් වූ කෙනා සිවුරු වර්ග 6ක් අත්හරිනවා. අරඤ්ඤකංගය සමාදන් වූ කෙනා ග්‍රාමාන්ත සේනාසන අත්හරිනවා. රුක්ඛමූලිකංගය සමාදන් වූ කෙනා පියැසි යට වාසය කිරීම අත්හරිනවා. ඔහු නිතර ම සංකීර්ණ දෙය අත්හැර සරල දෙය කරා යනවා.

සංකීර්ණ දෙය අත්හරින විට ම, සංකීර්ණ දෙය පිළිබඳ ව ලෝභය ඔහු දුරු කරනවා. මෝහයෙන් වැසී යාම නිසා මෙතෙක් වැසී තිබුණු සංකීර්ණ දේවල ආදීනව ඔහුට ප්‍රකට වන්නට පටන් ගන්නවා. ඒ ඒ කාම වස්තූන් ආරක්‍ෂා කර ගැනීම උදෙසා විඳිය යුතු දුක, පැවිද්දෙකු වශයෙන් එම සංකීර්ණ දේට ඇලුම් කිරීම නිසා අනුන්ට යටත් වූ ජීවිතයක් ගෙවන්නට සිදු වීමේ දුක හා සොරබිය යන ආදීනව ඔහු දකිනවා. එමගින් ඔහුගේ මෝහය ප්‍රහාණය වී යනවා.

පැවිද්දෙකු විසින් සේවනය නො කළ යුතු වූ අන්තයන් දෙක ද එබඳු කෙනාට ප්‍රහාණය වී යනවා. කාමයන්හි කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය ඔහු අත්හරිනවා. සම්බුදුරජුන් විසින් අනුදත් සිව්පසය පරිහරණය කිරීමෙන් අත්තකිලමථානුයෝගය ද ඔහු අත්හරිනවා. එමගින් එබඳු පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා, සුව සේ සසරෙන් එතෙර වෙනවා.

මේ සෑම දෙයක් තුළ ම අත්හැරීම නම් වූ ගුණය ඕනෑ ම කෙනෙකුට දැකගන්ට පුළුවනි. ධුතාංග සමාදන් වූ කෙනා අවසානයේ දී නිවනට අයත් දේ ස්පර්ශ කරන්නේ ද සසරට අයත් දේ අත්හැරීමෙන් ම යි. දැන් අපි ඉගෙනගන්නට යන ධුතාංගය ද අත්හැරීම මූලික කොටගෙන පවතින්නක්. එය අබ්භෝකාසිකංගය නම් වෙනවා.

ග්‍රාම වාසය අත්හැර අරණ්‍යයට පැමිණෙන පුද්ගලයා ඊ ළඟට පියැසි යට වාසය කිරීම අත්හරිනවා, රුක් සෙවණෙහි වාසය කරනවා. අබ්භෝකාසිකංගය සමාදන් වූ කෙනා රුක් සෙවණ ද අත්හැර හිස් අහස යට වාසයට පැමිණෙනවා. එබැවින් මෙම ධුතාංගය සමාදන් වූ කෙනා අත්හැරීමෙහි ලා තවත් පියවරක් ඉදිරියට තැබූ කෙනෙක්.

අභ්‍යවකාශය යන්නෙහි සරල අරුත වන්නේ සෙවණ නැති අහස යි. සැහැල්ලු ජීවිතයක් කැමති භික්‍ෂුව සෙවණ නැති අහස යට වාසය කරමින් සතුටු වෙනවා.

අබ්භෝකාසිකංගය සමාදන් වූ කෙනාට ගෘහයකට පිවිසිය හැකි අවස්ථාවන් කිහිපයක් තියෙනවා. එබඳු භික්‍ෂුවකට දහම් ඇසීම පිණිස ධර්මශාලාවට පිවිසිය හැකි යි. පොහොය කිරීම පිණිස උපෝසථාගාරයට පිවිසිය හැකි යි. භෝජන ශාලාවට සහ හුමාලයෙන් ස්නානය කරන ගෘහයට පිවිසී වත් පිළිවෙත් කළ හැකියි. ඉගෙනීම හෝ උගැන්වීම පිණිස ගෘහයකට පිවිසිය හැකියි. මාර්ගයක වඩින කල්හි වැසි වසින්නේ නම්, වැසි පායන තුරු සෙවණක් යටට පිවිසිය හැකියි. අන්‍ය භික්‍ෂූන් හට අයත් වූ පිරිකරක් අතේ නැත්නම්, වැස්සේ දී වුවත් භික්‍ෂුව සෙවණක් කරා දිව යන්නේ නැහැ. මෙම ධුතාංගය බිඳී යන්නේ වාසය කිරීම පිණිස සෙවණක් කරා ගිය විට පමණ යි.

උත්කෘෂ්ට ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන භික්‍ෂුව ගසක්, කන්දක් හෝ ගෙයක් සමීපයේ එළිමහනක වුවත් වාසය කරන්නේ නැහැ. නමුත් මධ්‍යම ආකාරයෙන් මෙය සපුරන භික්‍ෂුවට එබඳු තැනක වසන්නට පුළුවනි. ලිහිල් ලෙස අබ්භෝකාසිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට කටාරම් කෙටූ ලෙන්, තුනී පත්‍රවලින් සෙවිලි කරන ලද මඩු, ඉටිරෙදි ගෙවල්, කෙත්පල්ලන් විසින් වාසය කර අත්හැර දැමූ කුටි ආදිය භාවිත කරන්නට පුළුවනි. අභ්‍යවකාශයේ වාසය කරන ව්‍රතයක දී මෙවැනි කුටි සුදුසු වන්නේ, එබඳු කුටිවලින් සෙවිලි කරන ලද නිවාසයක කෘත්‍යය සම්පූර්ණ නො වන නිසා වෙන්නට පුළුවනි.

අභ්‍යවකාශයෙහි වාසය කරන භික්‍ෂුව එකරුණින්,

1. ආවාස නිසා ඇති වන කරදර – හිරිහැර නැත්තේ වෙයි.
2. අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදහළ සේක. “ගෙවල් නැති භික්‍ෂූන් වහන්සේලා ඇලීම් රහිතවයි ඉන්නේ. නවාතැනක් නැති මුව රංචුවක් වගේ.” (සම්බහුල සූත්‍රය, සං. නි. 1) එළිමහනෙහි වසන භික්‍ෂුව ශාස්තෘන් වහන්සේගේ මෙම ප්‍රශංසාවට සුදුසු වන්නේ වෙයි.
3. කිසි තැනක ඇල්ම නැත්තේ වෙයි.
4. සතර දිශාවෙන් ඕනෑම දිශාවකට වැඩිය හැක්කේ වෙයි.
5. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.
මේ වනාහි අබ්භෝකාසිකංගයෙහි පස් වැදෑරුම් ආනිශංසයෝ ය. කලින් ධුතාංගයන් වගේ ම මෙයත් රැකගත හැකි වන්නේ භික්‍ෂූන් වහන්සේලාට හා සාමණේරයන් වහන්සේලාට පමණයි. ගිහියන්ට ද කාන්තාවන්ට ද මෙම අති දුෂ්කර ව්‍රතය ආරක්‍ෂා කර ගැනීමේ හැකියාවක් නැහැ. අපි මේ උතුම් ධුතාංගයන් පිළිබඳ ව ඉගෙනගන්නේ, මේ ගෞතම බුදු සසුනෙහි අසිරිමත් පිළිවෙත් පිරූ නිමල සඟරුවන පිළිබඳ සිත් පහන් කර ගැනීම පිණිස යි. ඒ පැහැදීම වැඩි දියුණුවීම උදෙසා පහත සඳහන් ගාථා ටිකත් කියවන්න.

අනාගාරීය භාවස්ස – අනුරූපේ අදුල්ලභේ
තාරමණි විතානම්හි – චන්දදීපප්පභාසිතේ

“අනගාරික පැවිද්දට හොඳින් ගැළපෙන, දුර්ලභ නො වූ, තරු නමැති මැණික් බුබුළින් ශෝභමාන වූ අහස නමැති වියන ඇති, සඳ පහනින් එළිය වූ,”

අබ්භෝකාසේ වසං භික්ඛු – මිගභූතේන චේතසා
ථීනමිද්ධං විනෝදෙත්වා – භාවනාරාමනං සිතෝ

“සෙවණ රහිත එළිමහනෙහි මුවන්ගේ බඳු නො ඇලුණු සිතින් වසන භික්‍ෂු තෙමේ නිදිමත හා අලස බව දුරු කොට භාවනාවෙහි ඇලී වසන්නේ ය.”

පවිවේක රසස්සාදං – න චිරස්සේව වින්දති
යස්මා තස්මාහි සප්පඤ්fඤා් – අබ්භෝකාසේ රතෝ සියා

“හෙතෙම නොබෝ කලකින් ම අනුත්තර විවේකය නම් වූ අමා නිවන් රසයෙහි ආස්වාදය විඳියි. එබැවින් නුවණැත්තෝ සැමදා එළිමහනෙහි වාසය කිරීමෙහි ඇලෙන්නෝ ය.”

සටහන – රවීන් කෝදාගොඩ