highlights of the week
Home » ධුතාංග » 11. සෝසානිකංගය

11. සෝසානිකංගය

ධුතාංගයන් අතර සමාදන් වීමට සිතීමට පවා අතිශයින් ම දුෂ්කර වූ ධුතාංගයක් පිළිබඳ ව යි, මෙතැන් සිට ඔබට ඉගෙනගන්නට ලැබෙන්නේ. නමුත්, සම්බුදු සසුනෙහි මහා වීර්යවන්ත මහෝත්තමයන් වහන්සේලා අතිශයින් දුෂ්කර වූ මෙබඳු දෙය පවා කළ සේක. ඒකාන්තයෙන් ම සම්බුදු සසුන වනාහි මහා වීර්යවන්තයන්ගේ පාරදීසය මැ යි! මෙබඳු කරුණු පිළිබඳ අසන විට ශ්‍රාවක සඟ රුවන ගැන අසීමිත චිත්තප්‍රසාදයක් ඇති වේ.

ධුතාංග ධර්මයන් අතර එකොළොස්වැන්න සෝසානිකංගය යි. එනම්, රාත්‍රී කාලයෙහි දී සොහොනෙහි වාසය කිරීම යි. සුසාන භූමියක් යනුවෙන් හැඳින්වෙන්නේ, මෘත ශරීර දැවූ තැනක් හෝ මිහිදන් කළ තැනකි. සමහර විට මිනිසුන් විසින් අලුතින් සුසාන භූමි සම්මත කරගැනෙති. නමුත්, මෘත ශරීර නො දවන තාක් එම ස්ථාන සැබෑ ලෙස ම සුසාන භූමි වන්නේ නැහැ. සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව එබඳු ස්ථාන කරා නොවඩියි. ඒ වගේ ම මෘත ශරීර ආදාහනය කළ ස්ථානයක් වසා දමා, එහි දෙළොස් වසරක් ආදාහන කටයුතු සිදු නො කළත්, එහි සුසාන භූමි ස්වභාවය නැති වන්නේ නැහැ. එබඳු ස්ථාන කරා නම් භික්‍ෂුවට වඩින්නට පුළුවනි.

සොහොනක ඇති ලක්‍ෂණ 5ක් අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.
“මහණෙනි, අමු සොහොනෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්:

1. අපවිත්‍ර වූයේ ය.
2. දුගඳින් යුතු වූයේ ය.
3. භය සහිත වූයේ ය.
4. දරුණු අමනුෂ්‍යයන්ට ආවාස වූයේ ය.
5. බොහෝ ජනයාගේ වැළපීම් ඇත්තේ ය. ”

(සීවථික සූත්‍රය, අං. නි. 3)

සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව මෙම ලක්‍ෂණ සහිත ස්ථානයක රාත්‍රිය ගත කළ යුතු වේ. ඉදින් මෙම ලක්‍ෂණ නොමැති ස්ථානයක වසන්නේ නම්, එකල්හි එම ධුතාංගය බිඳී යයි.
සොහොනෙහි රාත්‍රිය ගත කරන භික්‍ෂුව තමාගේ වාසය පිණිස සොහොන තුළ මඩු කූඩාරම්, සක්මන් මළු තනාගන්නට යන්නේ නැහැ. ඇඳ පුටු තබාගන්නෙත් නැහැ. සොහොන තුළ දහම් දෙසන්නෙත් නැහැ. බිම හෙළාගත් ඇසින් මෘත ශරීර ආදාහනය කරන ස්ථානය දෙය බලමින් සක්මන් කිරීම පමණයි කළ යුතු වන්නේ.

අතිශයින් ම බිහිසුණු තැනක් වූ සොහොනෙහි වාසය කිරීම නිසා උපද්‍රව ඇති විය හැකි බැවින්, සුසාන භූමියට වැඩීමට පෙර විහාරයෙහි මහ තෙරුන් වහන්සේට සහ සුසාන භූමිය අයත් ගමෙහි ප්‍රධානියාට මේ පිළිබඳ ව දැනුම්වත් කළ යුතු වෙනවා. සොහොනට වැඩීමේ දී ‘මමත් සෝසානිකංගය පුරන්නෙක්මි’යි ජනතාවට හැඟෙන පරිදි මහා මාර්ගයෙන් යා යුතු නැහැ. ඒ සඳහා අප්‍රකට මාර්ගයක් තෝරාගත යුතු වෙනවා.

ඇතැම් විට රාත්‍රියෙහි දී සොහොනේ ඇති ගස්, තුඹස් ආදිය දැක, අඳුර නිසා ‘මේ යක්‍ෂයන් වත්දැ’යි කියා භික්‍ෂුවට භය හිතෙන්නට පුළුවනි. එම නිසා කළ යුත්තේ, දහවල් කාලයේ සොහොනට වැඩම කොට එහි තිබෙන දේවල් ගැන මතකයේ තබා ගැනීම යි.

සමහර විට යෝගාවචර භික්‍ෂූන් වහන්සේලාට රාත්‍රියේ දී අමනුෂ්‍යයන් සැරිසරන ආකාරය පෙනෙන්නට පුළුවනි. නමුත් එහි දී බියට පත් ව, දඬුමුගුරු ගල් කැට රැගෙන අමනුෂ්‍යයන්ට පහරදීම සුදුසු වන්නේ නැහැ.

සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව දිනපතා රාත්‍රී කාලයෙහි සොහොනට වැඩීම අනිවාර්යයෙන් ම කළ යුතු යි. ඒ වගේ ම මැදියම් රැය සොහොන තුළ වාසය කළ යුතු ම වෙනවා. අරුණෝදයේ දී නැවතත් විහාරයට වඩින්නට පුළුවනි.

දරුණු අමනුෂ්‍යයන් සමඟ වාසය කරන නිසා ආහාර පාන ආදියෙනුත් භික්‍ෂුව ප්‍රවේශම් විය යුතු වෙනවා. අමනුෂ්‍යයන් හට ප්‍රියජනක වූ තල, බැදුම් වර්ග, උඳුවලින් පිසූ බත්, මස් මාළු ආදිය භික්‍ෂුව වැළඳීම නො කළ යුතු යි. ඇතැම් විට අමනුෂ්‍යයන් භික්‍ෂුවගේ පසුපසින් හඹා එනවා. එබැවින් සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව දායකයන්ගේ නිවෙස්වලට පිවිසීම සුදුසු වන්නේ නැහැ.

උසස් ලෙස සෝසානිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව වැඩම කරන්නේ දිනපතා මිනී දවන, දිනපතා මෘත ශරීර මිහිදන් කරන, දිනපතා ජනයාගේ දුක් අfඳා්නා වැළපීම් ඇසෙන සුසාන භූමියක් වෙත යි. මේ කරුණුවලින් එක් අංගයකින් සමන්විත සුසාන භූමියක් මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සපුරන භික්‍ෂුවට සෑහෙනවා. ලිහිල් ලෙස මෙය සපුරන කෙනාට මේ කරුණු තුන ම නැතත්, අප කලින් ඉගෙනගත් ලක්‍ෂණ ඇති ස්ථානයක් ඇසුරු කරන්නට වටිනවා.

අප දැන් මේ ඉගෙනගත් සෝසානිකංගය ඇතුළු සියලු ම ධුතාංග ධර්මයන් සම්පූර්ණ කරන පුද්ගලයන් පස් දෙනෙකු ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙනවා. එම දෙසුම අධ්‍යයනය කිරීමෙන් සැබෑ ධුතාංගධාරියාගේ ස්වභාවය හඳුනාගන්නට පුළුවනි.

“මහණෙනි, මේ පස් දෙනා සොහොනෙහි වසන්නෝ ය. ඒ කවර පස් දෙනෙක් ද යත්:

1. නොවැටහීමෙන් යුතු තැනැත්තා මෝඩකම හේතුවෙන් සොහොනෙහි වසයි.
2. පාපී ආශාවෙන් යුතු, පාපී ආශාවෙන් මඩනා ලද සිතින් යුතු වූයේ සොහොනෙහි වසයි.
3. උමතු වූයේ චිත්ත වික්‍ෂේපයෙන් යුතු ව සොහොනෙහි වසයි.
4. බුදුරජුන් විසිනුත්, බුද්ධ ශ්‍රාවයකයන් විසිනුත් වර්ණනා කරන ලද්දේ යැයි සොහොනෙහි වසයි.
5. අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම සොහොනෙහි වසයි.
මහණෙනි, මේ පස් දෙනා සොහොනෙහි වසන්නෝ ය…

මහණෙනි, යම් සේ ගව දෙනගෙන් කිරි ද කිරෙන් දිහි ද දිහියෙන් වෙඬරු ද වෙඬරුවෙන් ගිතෙල් ද ගිතෙලින් ගී මඬ ද ගන්නේ නම් එය එහි අග්‍ර යයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරින් යම් සෝසානිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම සෝසානික වෙයි ද මොහු මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතර අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද ප්‍රමුඛ වූයේ ද උතුම් වූයේ ද වඩාත් උතුම් වූයේ ද වෙයි.”

(සෝසානික සූත්‍රය, අං. නි. 3)

ලාභසත්කාර උපදවා ගැනීමේ ආශාවෙන්, කීර්ති ප්‍රශංසා ලැබීමේ ආශාවෙන්, ප්‍රසිද්ධ වීමේ ආශාවෙන්, කැපී පෙනීමේ ආශාවෙන් කුමන ධුතාංගයක් වුව ද නො පිරිය යුතු බව මෙමගින් පැහැදිලි වේ.
අලුතින් පැවිදි වන භික්‍ෂුවට මූල කර්මස්ථානය වශයෙන් මහ තෙරුන් වහන්සේලා ලබා දෙනු ලබන්නේ අසුභ භාවනාව යි. අසුභ සංඥාව උපදවාගැනීමට සොහොන තරම් කදිම ස්ථානයක් තවත් නැහැ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ම දහමේ හැසිරෙන සඟ පිරිස් සුසාන භූමි වෙත පිටත් කර යැවූ අවස්ථා ඕනෑ තරම් ධර්මයේ සඳහන් වෙනවා. බුද්ධකාලීන ස්වාමීන් වහන්සේලා සුසාන භූමි ඇසුරෙහි දහම් මග වැඩූ ආකාරය ථේරගාථා පාළියෙහි නොයෙක් තැන්වල සඳහන් වෙනවා. මේ ගාථා දෙස බලන්න.

“මගේ නම කුල්ල. මං එදා අමු සොහොනට ගියා. සොහොනෙ දාල ගිහින් තිබුණේ ස්ත්‍රී මළ සිරුරක්, පණුවො උතුරනවා. ඒ පණුවො ඒ මළකුණ කමින් සිටියා.
පින්වත් කුල්ල, හොඳට බලන්න. ලෙඩ දුක් හැදෙන, අශුචි පිරුණ, කුණු වූ, ඕජා වැගිරෙන මේ කය දිහා. අඥාන ජනතාව ආදරයෙන් වැළඳගත් මේ කය දෙස බලන්න.
මං විදර්ශනා ඥානය නම් වූ කණ්නාඩිය අතට ගත්ත. අභ්‍යන්තර, බාහිර වශයෙන් මේ තුච්ඡ වූ කය හොඳින් විමසා බැලුවා.
මේ කයත්, මළකුණත් දෙක ම එකයි. ඒ මළකුණේ දේවල් ම යි මේ කයේ තියෙන්නෙ. උඩු කයේ තියෙන්නෙත් අශුචි ම යි. යටි කයේ තියෙන්නෙත් අශුචි ම යි. යටි කයයි, උඩු කයයි දෙක ම එකයි.”

(කුල්ල තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

මේ ආකාරයෙන් සොහොනෙහි වාසය කරමින් දහම් මග වඩන භික්‍ෂුව ඉතා වේගයෙන් ධර්මය කරා යයි. ඒ වගේ ම ඒ භික්‍ෂුව,
1. නිතර නිතර මෘත ශරීර දැකීම නිසා මරණය පිළිබඳ සිහි කරමින් වසන්නේ වෙයි.
2. එකරුණ නිසා ම දහම තුළ අප්‍රමාදී වන්නේ වෙයි.
3. අශුභ අරමුණු ලබමින් වසන්නේ වෙයි.
4. කාමරාගය දුරු කරන්නේ වෙයි.
5. කයෙහි පවතින පිළිකුල් ස්වභාවය නිතර නිතර දකින්නේ වෙයි.
6. එකරුණ නිසා ම ජීවිතය පිළිබඳ සංවේගයෙන් යුතු ව වසන්නේ වෙයි.
7. නිරෝගීකම නිසා මත් වීම, යෞවන බව නිසා මත් වීම, ජීවත්වීම නිසා මත් වීම යන මදයන් දුරු කරන්නේ වෙයි.
8. කුඩා වූ හෝ විශාල වූ හෝ බියට පත්වන දේවල් ඉවසන්නේ වෙයි.
9. මහානුභාවසම්පන්න අමනුෂ්‍යයන් විසිනුත් ගරු බුහුමන් කරන කෙනෙක් බවට පත් වෙයි.
10. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

නිවන පිණිස ම සෝසානිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට එය මේ අයුරින් මහත් ඵල මහානිශංසදායක වේ. පෙර සේ ම මෙම ධුතාංගයත් ආරක්‍ෂා කිරීමට සුදුසු වන්නේ, භික්‍ෂුන් වහන්සේලා සහ සාමණේරයන් වහන්සේලා පමණ යි. මෙම සෝසානිකංගය පිළිබඳ ඉගෙනගැනීමෙන් ඔබට අප සරණ ගිය ශ්‍රාවක සංඝරත්නයේ අසීමාන්තික වීර්යය පිළිබඳ විපුල ශ්‍රද්ධාවකට පත්වන්නට පුළුවනි.

සෝසානිකං හි මරණානුසතිප්පභාවා
නිද්දාගතං පි න ඵුසන්ති පමාද දෝසා
සම්පස්සතෝ ච කුණපානි බහූති තස්ස
කාමානුරුග වසගංහි න හෝති චිත්තං

“සෝසානිකංගය පුරන භික්‍ෂුව ඉදින් සැතපී සිටින්නේ නමුත්, මරණසතිය වැඩීමේ අනුහසින් හෙතෙම, දහම් මග තුළ ප්‍රමාද වීමෙන් ඇතිවන fදා්ෂයන්ට පත් නො වන්නේ ය. නිතර නිතර ශරීරයෙහි බොහෝ වූ කුණපයන් දකින ඔහුගේ සිත කාමරාගයට වසඟ නො වන්නේ ය.”

සංවේගමේති විපුලං න මදං උපේති
සම්මා අථෝ ඝටති නිබ්බුති මේ සමානෝ
සෝසානිකංගමිති නේක ගුණාවහත්තා
නිබ්බාණනින්න හදයේන නිසේවිතබ්බං

“ජීවිතය පිළිබඳ සංවේග උපදවාගන්නා ඔහු හට මත් වීම් නූපදින්නේ ය. අමා නිවන ම සොයන හෙතෙමේ ඒ සඳහා මැනැවින් උත්සාහ කරන්නේ ය. එබැවින් නිවනට නැඹුරු වූ හදවතින් යුතුව නොයෙක් ගුණ සම්පත් වැගිරෙන මේ සෝසානිකංගය සේවනය කරව්!”

සටහන – රවීන් කෝදාගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

13. නේසජ්ජිකංගය

ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම - සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.