ධුතාංගයන්ට මූලික වන්නේ කුසලයක් ම යි. අකුසල පක්‍ෂයට අයත් වන ධුතාංග කිසිවක් දක්නට නොලැබේ. ඉදින් කෙනෙක් ළාමක ආශාවන්ගෙන් යුතු ව අරණ්‍යයෙහි වාසය කළා වුණත්, තුන් සිවුරු දැරුවා වුණත්, පිණ්ඩපාතික ව ජීවිතය ගත කළා වුණත් ඒවා ඔහුට ධුතාංග බවට පත්වන්නේ නැහැ. ඔහු ධුතාංග රකින බව ලෝකයට පෙනෙනවා විතරයි. සැබැවින් ම යමෙක් තුළ ධුතාංග තිබෙනවා නම්, ඒවා කෙලෙස් කම්පා කිරීමේ ලක්‍ෂණයෙන් යුතු විය යුතු ම යි. එබැවින් සියලු ම ධුතාංගයන් අයත් වන්නේ කුසල පක්‍ෂයට යි.
මූලික වශයෙන් ධුතාංග රැකීම සුදුසු වන්නේ, රාග බහුල පුද්ගලයාට සහ මෝහය බහුල පුද්ගලයාට යි. සුඛෝපභෝගී උපකරණ සේවනය කිරීමෙන් ඇති වන රාගය, ධුතාංග සේවනය කිරීමෙන් දුරු වී යනවා. ධුතාංග රකින කල්හි ඇති වන ප්‍රඥාවට අනුගත නිකෙලෙස් විහරණය තුළින් මෝහයත් දුරු වී යනවා.

යම් ධුතාංගයක් රකින කල්හි භාවනාවක් වැඩෙන්නේ නම්, එය දිගින් දිගට ම සේවනය කළ යුතු යි. යම් ධුතාංගයක් රකින කල්හි භාවනාව පිරිහෙන්නේ නම්, එබඳු ධුතාංගය, සේවනය නො කර අත්හැර දැමිය යුතු යි. සමහර පුද්ගලයන් සිටිනවා, ඔවුන් ධුතාංග වැඩුවත් නො වැඩුවත් භාවනාව වැඩෙනවා. එබඳු පුද්ගලයන් පසුකාලීන ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් යුතු ව යි ධුතාංග රකින්නේ. සමහරෙකුට ධුතාංග රැක්කත් නො රැක්කත් භාවනාව නම් වැඩෙන්නේ නැහැ. එබඳු පුද්ගලයන් චතුරාර්ය සත්‍යාවබෝධය උදෙසා පින් රැස්කර ගැනීමේ අරමුණින් ධුතාංග රැකිය යුතු යි.

දැන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, බොහෝ පින් වැඩෙන ධුතංග අතර දොළොස්වැන්න වූ යථාසන්ථනිකංගය පිළිබඳ ව යි. ඉතිරීතර සේනාසන සන්තුට්ඨිතා ආර්යවංශ ප්‍රතිපදාවට අයත් අවසන් ධුතාංගය වගේ ම, එයට අයත් ධුතාංග අතරින් භික්‍ෂු, භික්‍ෂුණී, සාමණේර, සාමණේරී යන පැවිද්දන් සියලු දෙනාට ම රැකගත හැකි එක ම ධුතාංගයත් මෙය යි. එහෙත් මෙම ධුතාංගය ගිහි පිරිසට නම් අදාළ වන්නේ නැහැ.

යථාසන්ථනිකංගය භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළේ, සේනාසනයන් කෙරෙහි ඇති ලොල් බව ප්‍රහාණය කරවීම පිණිසයි. අපි මෙසේ සිතමු. කවරෙකු හෝ සේනාසනයක් සකසා ‘මෙය ඔබ වහන්සේ උදෙසා ය.’ යි කියා භික්‍ෂූන් වහන්සේනමකට පූජා කරනවා. එවිට ඒ භික්‍ෂුව එපමණකින් ම සතුටු වන්නේ නම්, වෙනත් කෙනෙකුගේ සෙනසුනකින් එහි සිටින තැනැත්තා බැහැර කරවන්නේ නැත්නම්, එය යථාසන්ථනිකංගය යනුවෙන් හැඳින්වෙනවා. යම් භික්‍ෂුවක් ලැබුණු සෙනසුනින් සතුටට පත් නො වී “අසවලාගේ සෙනසුන මට දෙව්.” යැයි පැවසුවහොත්, එසැණින් එම ධුතාංගය බිඳී යනවා.

සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසන්නේවත් නැහැ. සේනාසනය දුර ද? ළඟ ද? අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා ද? භයානක සර්පයන් සිටිනවා ද? සේනාසනය තිබෙන ප්‍රදේශය සීතල ද? උණුසුම් ද? මේ ආදි කිසිවක් විමසන්නේ නැහැ. සෙනසුන දකින්නේවත් නැතුව ලැබීම් මාත්‍රයෙන් සතුටට පත්වෙනවා. එබඳු භික්‍ෂුන් වහන්සේලා උත්කෘෂ්ට ආකාරයෙන් යථාසන්ථනිකංගය සම්පූර්ණ කරන උත්තමයන් වහන්සේලා යි.

සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසනවා. නමුත් වැඩම කොට සෙනසුන බලන්නට සිතන්නේ නැහැ. මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ, ඒ ආකාරයට යි.

ලිහිල් ලෙස යථාසන්ථනිකංගය පුරන්නා හට ලැබුණු සෙනසුන පිළිගන්නට පෙර ගොස් එය බලන්නටත් පුළුවනි. ඉදින් එම සෙනසුන රිසි නො වේ නම්, වෙනත් සෙනසුනක් සොයාගන්නට ද පුළුවනි. මේ අයුරින් ලැබුණු සෙනසුනේ ස්වභාවය කුමක් වුව ද නෑ බෑ නො කියා එහි වාසය කිරීමට අදිටන් කර ගත් භික්‍ෂුව,

1. ‘ලද දෙයින් සතුටු වව්’ යන බුදුරජුන්ගේ අවවාදයට නැමී සිටින්නේ වෙයි.
2. කිසිවෙකුගේ සේනාසනයක් උදුරාගන්නට තැත් නො කරන හෙයින් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හිතවත් වූයේ වෙයි.
3. ‘මෙය හීනය, මෙය ප්‍රණීත ය’ යනාදී සංඥා දුරු කොට අකම්පිත වූ තාදි ගුණයෙන් යුක්ත වූයේ වෙයි.
4. ඇලීම් – ගැටීම්වලින් තොර වූයේ වෙයි.
5. ලැබුණු දෙයින් සෑහීමකට පත් නො වී, වඩා හොඳ දේවල් සොයන ස්වභාවය වූ අත්‍රිච්ඡතාව නැත්තේ වෙයි.
6. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල වුයේ වෙයි.

මේ වනාහි යථාසන්ථනිකංගයේ සයවැදෑරුම් ආනිශංසයෝ ය.

යං ලද්ධං තේන සන්තුට්ඨෝ – යථාසන්ථතිකෝ යති
නිබ්බිකප්පෝ සුඛං සේති – තිණසන්ථරකේසුපි

“ලැබුණේ යමක් ද එයින් සතුටට පත්වන යථාසන්ථනිකංගය සමාදන් වූ භික්‍ෂුව විකල්ප රහිත වැ තණ ඇතිරියෙහි පවා සුවසේ සැතපෙන්නේ ය.”

න සෝ රජ්ජති සෙට්ඨම්හි – හීනං ලද්ධා න කුප්පති
සබ්‍රහ්මචාරී නවකේ – හිතේන අනුකම්පති

“හෙතෙමේ උසස් සෙනසුන්වල නො ඇලෙන්නේ ය. පහත් සෙනසුන් ලැබ කෝප නො වන්නේ ය. අනුන්ගේ සෙනසුන් පැහැර නො ගන්නා හෙයින්, බුදු සසුනට අලුත් වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි මෙත් සිතින් අනුකම්පා කරන්නේ ය.”

තස්මා අරියසතාකිණ්ණං – මුනි පුංගව වණ්ණිතං
අනුයුඤ්ජේථ මේධාවී – යථාසන්ථරාමතං

“එබැවින් සොඳුරු නුවණැත්තා බොහෝ සියගණන් ආර්යයන් වහන්සේලා විසින් පුරුදු කරන ලද්දා වූ, අග්‍රපුද්ගල වූ මුනිරජාණන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දා වූ යථාසන්ථනිකංගය පුරුදු කරන්නේ ය.”

සුනිමල සදහම් නිල් දියවරින් හෙබි සම්බුදු සසුන් මහා විලෙහි සුපිපුණු මහා රහත් පියුම් බඳු උත්තම අරහත් මුනිවරයන් වහන්සේලා මෙබඳු සොඳුරු ධුතාංගයන් මහත් ගෞරවයෙන් යුතු ව දරාගෙන වැඩ සිටියහ. ඒ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා එබඳු අතිගම්භීර ව්‍රතයන් දරා වැඩ සිටියේ, අප කෙරෙහි අනුකම්පාවෙන් ම යි. ඒ වගේ ම මහා නුවණැති බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ වැනි අතීතයෙහි වැඩ විසූ මහ තෙරුන් වහන්සේලා ධුතාංග පිළිබඳ මෙම විස්තර සටහන් නො කරන්නට, අපට මේවා දැනගන්නට ලැබෙන්නේත් නැහැ. ඒ උත්තමයන් වහන්සේලාත් අපමණ වෙහෙස දරා මේ විස්තර සටහන් කොට තැබුවේ, අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ම යි. ඒ සියලු මහෝත්තම සංඝපීතෘන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

සටහන – රවීන් කෝදාගොඩ