මිනිසා උපත ලබා දිනෙන් දින පරිණත වෙයි. ඔවුන් කුඩා කල අනුන් කළ දෑ ම කළ ද ළමා විය ඉක්මවා යද්දී ඔවුන් හට මේ සමාජය තුළ, ලෝකය තුළ උගත හැකි – ජීවිත අරුතක් සපයන දේ කෙතරම් ද යන්න ප්‍රශ්නයකි.

මෙලොව උපත ලබන සත්වයා ඉපදෙමින් මියැදෙමින් ජාති ජරා ව්‍යාධි ආදී අනන්ත දුක්වලට භාජනය වෙමින් සිටී. එහෙත් ඔවුන් තම ලෞකික ජීවිතය පමණක් සැපවත් කර ගැනීමට දිවා රාත්‍රී වෙහෙසෙමින් සංසාරය නම් වූ රුදුරු සාගරයක අතරමං වී සිටින යුගයක් එළඹ ඇත. එම සාගරයෙන් එතෙර වන්නට මඟ කියන උතුම් ශ්‍රී සද්ධර්මය හැර අසරණ බවින් නැගී සිටින්නට ඔවුනට උපකාර වන්නක් ලොව කොතැනකවත් නැත.

ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ පොසොන් පොහෝ දිනයේ මිහින්තලයට පෑයූ ඒ සුපුන් සඳින් නැඟුණේ ධර්මාලෝකය යි. අවිද්‍යාව නම් වූ ගණ අඳුර දුරු කරලන විද්‍යාව නම් මිණි පහනෙන් මුළු ලංකාතලය ම ආලෝකවත් වූයේ එදා සිට ය. අප අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දසමාර සේනා පරදවමින්, සියලු ම කෙලෙසුන් දුරලමින් අවබෝධ කර ගත් ඒ ‘උතුම් ශ්‍රී සද්ධර්මය’ නම් වූ සදහම් පණිවිඩය රැගෙන පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ අපට අනුබුදු වූයේ එලෙසිනි.

එතෙක් මහා වෘක්ෂයන්ට, මහා පර්වතවලට, ගින්දරට දේවත්වය ආරෝපණය කරමින් වන්දනාමාන කළ, හරවත් නො වූ සංස්කෘතියක ආභාෂය ලබමින් සිටි ජනතාව පිළිවෙළින් බුදුරදුන්ට බුදු බව ලැබීමට පිහිට වූ බෝධිය, බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කරමින් ඉදි කළ චෛත්‍යය ආදියට වන්දනාමාන කිරීමට පුරුදු වෙමින් ඔවුන් ලද උත්තරීතර ම දායාදය වූ බුදුදහමින් පෝෂිත වූ ශිෂ්ටාචාරයකට මඟ විවර කළෝ ය.

“ගමයි පන්සලයි – වැවයි දාගැබයි” යන සංකල්පයට අනුව යමින් ජීවත් වූ අතීත සිංහලයා ගෙරිමස් නොකන, මත්පැන් නොබොන උතුම් ජාතියක් බව ‘එදා හෙළදිව’ නම් ග්‍රන්ථය රචනා කළ රොබට් නොක්ස් පවසා තිබේ.

නමුත් අවාසනාවක මහිමය! මුවන් මිරිඟුව පසුපස හඹා යන ලෙසින් මුදල් පසුපස හඹා යමින්, ආත්මාර්ථය පමණක් සලකමින්, දිවා රෑ තම මඩිය තර කර ගැනීමට වෙහෙසෙන, සුදු හම පොරවාගත් කෛරාටිකයන් බොහෝ වෙසෙන සමාජයක් වර්තමානයේ බිහි වී අවසාන ය.

තම එකම වස්තුව තම දරුවා යැයි සිතූ, ‘ගෙදර බුදුන්’ යැයි හැඳින්වූ අම්මා වර්තමානයේ දී තම උත්තරීතර දාරක සෙනෙහස ගං දිගේ ගිල්වා දමන තැනට සමාජය පිරිහී අවසාන ය. තම ආදරබර දියණිය කෙලෙසන්නට තරම් සැහැසි වූ පියවරුන් සිටින සමාජයක, වෙස්සන්තර වෙස්ගත් අදින්නපුබ්බකයන් කිරුළු පලඳින සමාජයක, මූසිලයන් ඉදිරියේ ගුත්තිලයන් හට දණගසන්නට සිදු වී ඇත.

එදා පංචසීලය සුරකිමින්, පෝදා සිල් සමාදන් වෙමින්, තම අස්වැන්නේ පළමු කොටස පන්සලට පූජා කිරීමට ජනතාව පුරුදු පුහුණු වූහ. එමෙන් ම භික්ෂු සංඝයාගෙන් නිති අවවාද අනුශාසනා ලබමින් සුභ කටයුතු සඳහා උන්වහන්සේලාගෙන් උපදෙස් පැතූහ.

නමුත් වර්තමානයේ රූපවාහිනී, ගුවන්විදුලි වැනි මාධ්‍ය හරහා දිවා රාත්‍රී ධර්ම දේශනා විකාශය වුව ද දහම් වැඩසටහන් විකාශය වුව ද ඒවාට සවන් දෙන්නේ කොයිතරම් අතලොස්සක පිරිසක් ද? පුන් පොහෝ දිනට අටසිල් සමාදන් වන්නේ කෙතරම් නම් අතලොස්සක පිරිසක් ද? විශාල වියදම් දරමින් දාන මාන ලබා දීම ද තමාගේ හුදු ප්‍රසිද්ධිය පතා ම කරන්නවුන් ද සිටී.

එදා තම අම්මා, තම තාත්තා දෑස ලෙස සලකමින්, ඔවුන්ට ගරු බුහුමන් කරමින් පණ පුදා රැක ගැනීමට සිංහලයා උත්සුක වූවේ ය. එහෙත් ඒ දස මාසයක් කුස දරා තමන් ව මෙලොවට බිහි කළ, තම රුහිරු ධාරා කිරි කර පෙවූ ඒ ආදරණීය මෑණියන්… දිවා රාත්‍රී සාගරයක් තරම් දහදිය වගුරවමින් තමන් ව පෝෂණය කිරීමට වෙහෙසුනු ඒ ආදරණීය පියාණන්… ඔවුන්ගේ දෙපා වාරු නැති කල්හි වැඩිහිටි නිවාසවල ගාල්කරන බව පමණක් නො ව සතුන් මෙන් මහ මඟ දමා යන බව ද අසන්නට අද අපට සිදුව තිබේ.

තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි.

දිනෙන් දින ඉහළ යන අපරාධ, අපචාර, හිංසන, දූෂණ, වංචා ආදියෙන් මොනවට තහවුරු වන්නේ වර්තමාන ජීවන රටාව හමුවේ පීඩාවට පත් වූ මිරිඟුව පසුපස හඹායන මුවන් මෙන් මුදල් පසුපස හඹා යන මිනිසා කෙතරම් නම් ගුණධර්මයන්ගෙන් පිරිහී ඇති ද යන්න ය. එවන් වූ පිරිහෙන සමාජයක ආධ්‍යාත්මික දියුණුව සාක්ෂාත් කර ගැනීමට හදවතින් ම ඇපකැප වූවන් අතර ඔබත් එක් පුරුකක් නම් එය සම්බුදු පියාණන්ගේ සදහම් ශාසනයේ සැබෑ ශ්‍රාවකත්වය ඔබට උරුම බව මනාව පසක් කරන්නකි. අප කැමති විය යුත්තේ ද ඒ උතුම් ශ්‍රාවකත්වයේ උරුමකරුවන් වන්නට ය.

සටහන – හිමාෂි ශෂිකලා කුලතුංග
(බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ම. ම. වි.)