දැන් ඔබ ඉගෙන ගන්නේ අලුත්ම භාවනාවක්. අලුත් කියන එකෙන් අදහස් කළේ, සමහරවිට මේ භාවනාව මීට පෙර ඔබ පුරුදු කරල නැතිව ඇති. මේ භාවනාවට කියන්නේ දේවතානුස්සති භාවනාව කියලා. දෙවියන්ට ධර්මය කියා දීලා දෙවියන්වත් ධර්මය කරා පමුණුවන්නෙ බුදුරජාණන් වහන්සේ නමක් විසින්. බුදුරජාණන් වහන්සේලා ශ්‍රී සද්ධර්මය පවසන්නෙ මිනිසුන්ට පමණක් නෙවෙයි. දෙවියනුත් ඒ ධර්මය ශ්‍රවණය කරනවා. මේ ලෝකයේ සත්වලෝක අතර දිව්‍ය ලෝක විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ දිව්‍ය ලෝකවල නම් පවා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඒ දිව්‍ය ලෝක තමයි චාතුම්මහාරාජික, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්තී කියන දිව්‍ය ලෝක. ඒ වගේම බ්‍රහ්ම ලෝකවල සිටින බ්‍රහ්මයින් ආදී පිරිස. මේ දෙවි බඹුන්ට ඒ ඒ ලෝකවල උපදින්ට පුළුවන් වුණේ, මිනිස් ලෝකයේදී ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන කරුණු පහ දියුණු කරපු නිසයි.

සේඛ බල ඇති කරගන්න…

ශ්‍රද්ධාව කියන්නෙ තෙරුවන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම. සීලය කියන්නේ කායික වාචසික සංවරකම. සුත කියන්නේ ධර්ම ඤාණය. චාගය කියන්නේ පරිත්‍යාගමය ගුණය. පඤ්ඤා කියල කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව තමන්ගේ තියෙන අවබෝධය. මේවට කියන්නේ සේඛබල.

මෙන්න මේ සේඛබල දියුණු කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මිනිස් ලෝකය අත්හැරල, මරණයට පත්වුණාට පස්සේ දිව්‍ය ලෝකවල ඉපදුණා. ඒ දිව්‍ය ලෝක තමයි කලින් කිව්ව තාවතිංස, යාම ආදී දිව්‍ය ලෝක.

දේවතානුස්සතිය වඩන්නේ මෙහෙමයි…

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දෙවිවරුන් ගැන සිහිකරන්නේ මෙන්න මේ විදිහටයි. “අපගේ ශාස්තෘන් වහන්සේ දිව්‍ය ලෝක ගැන දේශනා කොට වදාළා. ඒ දිව්‍ය ලෝක තමයි චාතුම්මහාරාජික, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන් තුළ ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන මේ ගුණ ධර්ම තියෙනවා.

දෙවියන්ට ඒ දිව්‍යලෝකවල උපදින්ට ලැබුණේ මිනිස් ලෝකයේදී මිනිසුන් වශයෙන් ජීවත් වෙච්ච කාලෙ ඒ ගුණ ධර්ම දියුණු කරපු නිසා. ඒ නිසා දෙවියන් තුළ ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම තියෙනවා නම්, ඒ දෙවියන් තුළ තියෙන ගුණධර්ම මා තුළත් තියෙනවා. මා තුළත් ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා තියෙනවා. මා තුළ යම් ආකාරයකට ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම තියෙනවා ද, මේ ගුණ ධර්ම දෙවියන් තුළත් තියෙනවා” කියලා.

මෙන්න මේ විදිහට දෙවියන් තුළ ඇති ගුණධර්ම යමක් ඇද්ද, ඒ ගුණ ධර්ම තමා තුළත් තියෙනවා කියල සිහි කරන්න තමාට පුළුවන්. තමා තුළ යම් ගුණධර්ම ඇත්ද, ඒවා දෙවියන් තුළත් තියෙනවා කියල සිහිකරන්නට පුළුවන්. අන්න ඒ ආකාරයට දිව්‍යත්වය තමා තුළත්, තමා තුළ ඇති දිව්‍යත්වය දෙවියන් තුළත් දැකීමේ හැකියාව තමයි දේවතානුස්සති භාවනාව කියල කියන්නේ.

දෙව්ලොව ධර්මය දියුණු කරන්න බැරිද?

මේක බුදුරජාණන් වහන්සේගේ කාලෙ ශ්‍රාවකයෝ දියුණු කළා, පුරුදු කළා. බොහෝ දෙනෙකුගෙ අදහසක් තියෙනවා දිව්‍ය ලෝකවල ධර්මය දියුණු කරන්නට බෑ. දිව්‍ය ලෝකවල පින් කරන්නට බෑ කියල. මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය කථාවක්. බුදුරජාණන් වහන්සේගේ බොහෝ ශ්‍රාවක පිරිස් දිව්‍ය ලෝකවල උපන්නා. මේ නිසා දිව්‍ය ලෝකවල තියෙන දිව්‍යත්වය ඔබේ ජීවිතය තුළ ඇතිකරගන්න පුළුවන්. හොඳම ක්‍රමය තමයි මේකට මේ දේවතානුස්සති භාවනාව දියුණු කරන එක.

දේවතානුස්සති භාවනාව පුරුදු කිරීමේදී මිනිස් ලොව තියෙන මානුෂික සැප ගැන උපේක්ෂාවට පත්වෙනවා. උපේක්ෂාවට පත්වෙලා දිව්‍ය ලෝකයේ හිත පිහිටනවා. මේ නිසා ඒ කෙනාට පුළුවන් මිනිස් ජීවිතය අත්හරින කොට, නිදා සිට අවදිවුණාක් මෙන් දිව්‍ය ලෝකයේ ඉපදිලා, මේ ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන ගුණධර්ම දියුණු කරල, සීල, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම දියුණු කරල, ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න. ඒකට උපකාර වන දෙයක් තමයි දේවතානුස්සති භාවනාව.

– දේවතානුස්සති භාවනාව –

සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන සේඛ බලයන්ගෙන් සමන්විතව මනුලොවදී ධර්මයේ හැසිරී චාතුම්මහාරාජික ආදී දෙව් ලොව ඉපිද සිටින පින්වත් දෙවිවරුන් ඇති බවත්, ඒ සේඛ බල තමා තුළ ද ඇති බවත්, නුවණින් සිහි කිරීම දේවතානුස්සතියයි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේදී, බුදුරජාණන් වහන්සේ පිළිබඳව ද, ශ්‍රී සද්ධර්මය පිළිබඳව ද, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව ද, අවබෝධයෙන් යුතුව ම, පැහැදීමෙන් යුතු වූහ. ඒ සද්ධාව නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දාහ. ඒ ආකාර වූ, අවබෝධයෙන් යුතු පැහැදීමක් මා තුළ ද ඇත්තේ ය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේදී, සත්ව ඝාතනයෙන් වැළකුණෝ ය. සොරකමින් වැළකුණෝ ය, වැරදි කාම සේවනයෙන් වැළකුණෝ ය, බොරු කීමෙන් වැළකුණෝ ය, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝ ය. නිති පන්සිල් ද, පොහොය අටසිල් ද, ආරක්ෂා කළෝ ය. ඒ සීලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දාහ. මම ද නිති පන්සිල් ද, පොහොය අටසිල් ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, අවසානය යහපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්මය, මනාකොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේඛ බලය, දියුණු කරගත්හ. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දාහ. මම ද උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ඇසීමෙන්, මනාකොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත බලය දියුණු කරගනිමි. එය මට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මසුරුමළ දුරු කොට, කර්ම – කර්මඵල අදහා, ඉතා සතුටින් යුතුව, තෙරුවන් උදෙසා, දන් පැන් පූජා කළෝ ය. ඒ චාග බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දාහ. මම ද මසුරු මළ දුරුකොට, පින් පව් අදහාගෙන, උතුම් තෙරුවන උදෙසා, නිති දන් පැන් දෙන්නෙමි. ඒ චාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන තිලකුණු පිළිබඳව ද, මේ ශරීරයේ හටගැනීම පිළිබඳව ද, නැතිවීම පිළිබඳව ද, අවබෝධයෙන් සිටියෝ ය. ඒ ප්‍රඥා බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දාහ. මම ද ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, මේ ශරීරයේ හටගැනීම පිළිබඳව ද, නැතිවීම පිළිබඳව ද, අවබෝධයෙන් යුතුව, කාලය ගෙවමි. ඒ ප්‍රඥාව මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

” තාවතිංස නම් වූ,…

” යාම නම් වූ,…

” තුසිත නම් වූ,…

” නිම්මාණරතී නම් වූ,…

” පරනිම්මිත වසවත්ති නම් වූ,…

” මේ සියලු දෙවියෝ, මේ මනුලොව දී, සේඛ බලයන් දියුණු කොට, ඒ දෙව්ලොව උපත ලද්දාහ, මම ද මේ සේඛ බලයන්ගෙන්, සමන්විත වෙමි. එය මට මහා ලාභයකි, මහා රැකවරණයකි, මහා පිළිසරණකි, මහා ආලෝකයකි.

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුවදෙන භාවනා’ ග්‍රන්ථයෙනි.