highlights of the week
Home » NEW ARTICLES » නිදහස් චින්තනයට මඟ විවර කළ කාලාම සූත්‍ර දේශනාවේ සැබෑ පණිවිඩය….

නිදහස් චින්තනයට මඟ විවර කළ කාලාම සූත්‍ර දේශනාවේ සැබෑ පණිවිඩය….

දෙවි මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ….

දෙවි මිනිසුන්ට නිවන් මඟ පෙන්වා දුන් අසහාය ශාස්තෘවර භාග්‍යවතුන් වහන්සේ, නව අරහාදී සම්බුදු ගුණයන්ගෙන් ද දසබල ඤාණයන්ගෙන් ද සිව් විසාරද ඤාණ ආදි අපරිමිත ඤාණ සම්භාරයන්ගෙන් යුතුවන සේක. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව මිස අනවබෝධයෙන් නො වෙයි. එමෙන් ම ධර්මය දේශනා කරන ලද්දේ නිදාන සහිතව කරුණු සහිතව ම යි. තව ද අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසුවේ ප්‍රාතිහාර්ය සහිතව ම යි. ප්‍රාතිහාර්ය රහිතව නො වෙයි. එම නිසා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ පැවිදි ශ්‍රාවක පිරිස ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස, මහත් වූ ශාස්තෘ ගෞරවයෙන් යුතුව ඇරයුම් කළේ මෙලෙස පවසමින්.

“ස්වාමීනී, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මූලික කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තේය. එම නිසා ඔය පැවසූ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ කියා දෙන ආකාරයට භික්ෂූහු මතක තබා ගන්නාහ” යනුවෙන්.

එමෙන් ම නිවන් මඟ වඩන ශ්‍රාවකයන්, නිහතමානීව ශ්‍රාවකත්වයේ පිහිටීම පිණිස ශාස්තෘ ගෞරවය ඇතිකර ගත යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අයුරින්. “මාගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය (සත්ථා මේ භන්තේ භගවා). මම වනාහී ශ්‍රාවකයා වෙමි (සාවකෝ හමස්මි). භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක (ජානාති භගවා). මම වනාහී නො දනිමි (අහං න ජානාමි) කියා යි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සිත පහදවා ගැනීම හෙවත් ශ්‍රද්ධාව ශ්‍රාවකයෙකු තුළ මූලික ව ම ඇතිකර ගත යුතු ගුණ සම්පත්තියක් බව මෙයින් පැහැදිලි වෙනවා.

නො දැන නො විමසා වැරදි මත නො පවසමු….

එනමුත් වසර ගණනාවක් තිස්සේ සමහර ගිහි පැවිදි ශ්‍රාවකයන් ම කාලාම සූත්‍රය වැනි දේශනා සාවද්‍ය ලෙස අර්ථකථනය කරමින්, “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා ධර්මයේ සඳහන් වෙනවා යැයි පවසමින්, ශාස්තෘ ගෞරවයට ද හානි සිදුකර ගන්නා බව පෙනී යනවා. තමන් වැරදි අදහසක සිට, අන් අයව ද එහි සමාදන් කරවමින් බොහෝ අකුසල් ද රැස්කර ගන්නවා. නිහතමානීව ගුණදම් වඩමින් දහම් මඟ දියුණුකර ගැනීමේ අවස්ථාවත් මඟහැර ගන්නවා. සැබැවින් ම ඔවුන් එසේ පවසන්නේ කාලාම සූත්‍රය දේශනා කරන්නට හේතු වූ පසුබිම, සූත්‍ර දේශනාවේ අර්ථය හෝ එහි ප්‍රතිඵල ගැන හෝ නිවැරදි වැටහීමක් ඇතිව නො වෙයි. අඩු ගණනේ ඔවුන් පාලි භාෂාව ගැන නිසි දැනුවත්කමක් ද නොමැතිවයි “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා කියා.” කාලාම සූත්‍රයේ තියෙනවා කියා පවසන්නේ. එම නිසා කාලාම සූත්‍ර දේශනාව ගැන නිවැරදි වටහා ගැනීමක් තිබීම අප කාටත් ප්‍රයෝජනවත්.

සිරි ගෞතම බුදු සමිඳු වඩින්නේ….

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟින් කොසොල් ජනපදයේ චාරිකා කරන අතරේ කාලාම වැසියන්ගේ කේසපුත්ත කියන නියම් ගමටත් වැඩම කළා. එවිට ඒ ගමේ මෙවැනි කල්‍යාණ කීර්ති රාවයක් පැතිර ගියා. “ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වුණ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමඟ අපේ ගමටත් වැඩම කරලා. උන්වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයෙන් යුක්තයි. තමන්ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කළ ධර්මයක් දේශනා කරනවා. එවැනි රහතුන් දකින්ට ලැබීමත් කොතරම් යහපත් ද…” කියලා.

ඉන් පසු කාලාම වැසියන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, ගෞරවයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේ පැවසුවා.

“ස්වාමීනී, අපට ලොකු ගැටලුවක් තියෙනවා. මේ කේසපුත්ත ගමට නොයෙක් මත දරන තීර්ථකයන්, ශ්‍රමණයන් පැමිණෙනවා. ඇවිත් තමන්ගේ මතය විතරයි නිවැරදි, අනෙක් ඒවා වැරදියි හිස් කියලා තමන්ගේ වාදය විතරක් ඉස්මතු කරනවා. අනෙක් මත හෙළා දකිනවා. බැහැර කරනවා. ඒවාට පරිභව කරනවා. ඉතින් ස්වාමීනී, ගෞතමයන් වහන්ස, ඒවායින් හරි මොකක්ද? වැරදි මොකක්ද? කියා සිතාගන්න බෑ. අපට සැකයක් ම යි, විචිකිච්ඡාවක් ම යි ඒවා ගැන ඇතිවන්නේ.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“කාලාමයනි, සැක කළ යුතු තැන ම යි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැන ම යි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. ඔබට ඇතිවෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.”

බුද්ධිමත් තෝරාගැනීම නම් මෙයයි….

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙසේ අනුශාසනා කොට වදාළා.

“කාලාමයනි,
* අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).
* පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).
* මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).
* අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන).
(මින් අදහස් කළේ වේද ග්‍රන්ථ ආදි බාහිර පුස්තක මිස ත්‍රිපිටක බුද්ධ දේශනා නො වේ)
* තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
* ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).
* මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනා කර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).
* දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).
* බලාගෙන ගියා ම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).
* ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්‍රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ).
මේ අයුරින් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ යමක් ගත යුතු ආකාරය මෙසේ පෙන්වා දුන් සේක.
“කාලාමයෙනි, යම් කලෙක ඔබ තමා තුළින් ම දැන ගන්නවා නම්, මේ අකුසල ධර්මයන් (ඉමේ ධම්මා අකුසලා), මේවා වැරදි දේවල් (ඉමේ ධම්මා සාවජ්ජා), මේ දේවල් බුද්ධිමතුන් විසින් ගරහන දේවල් (ඉමේ ධම්මා විඤ්ඤූගරහිතා), මේ දේවලින් සමන්විත වෙලා, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත්, බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියා (ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති). කාලාමයෙනි, අන්න ඒ දේවල් දුරු කරන්න.”
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසා වදාළා.
“කාලාමයෙනි, සිතක ලෝභය, ද්වේෂය, මෝහය ඇතිවන්නේ යහපත පිණිස ද? අයහපත පිණිස ද?”
“ස්වාමීනි අයහපත පිණිසයි.”
“කාලාමයෙනි, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මඩනා ලද සිතින් යුතුව තමයි කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම ආදි අකුසල් කරන්නේ. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය කුසල් ද? අකුසල් ද?”
“ස්වාමීනී, ඒවා අකුසල්.” කියා කාලාම පිරිස පැවසුවා.
“ඒ අකුසල් හරි ද? වැරදි ද?”
“ස්වාමීනී, අකුසල් වැරදියි.”
“එහෙම නම්, ලෝභ, ද්වේෂ, මෝහ සහගතව දුෂ්චරිතයේ යෙදීම බුද්ධිමත් මිනිසුන් ප්‍රශංසා කරන එකක් ද? ගරහන එකක් ද?”
“ස්වාමීනී, ගරහන එකක්.”
“එබඳු ආකාරයේ ජීවිතයක් යමෙක් පැවැත්වුවොත් හිතසුව පිණිස ද පවතින්නේ, අහිත පිණිස දුක් පිණිස ද?”
“ස්වාමීනී, අහිත පිණිස දුක් පිණිසයි පවතින්නේ.”
“එම නිසා කාලාමයෙනි, යමක් අකුසල් ද යමක් වැරදි ද බුද්ධිමතුන් ගරහනවා ද ඒක අනුගමනය කළොත් දුක් පිණිස අහිත පිණිස පවතිනවා ද අන්න ඒක අත් හරින්න.”

යහපත සෙත සුව සලසන කුසල් වඩමු….

ඉන් පසු බුදුරජාණන් වහන්සේ මෙසේ අනුශාසනා කොට වදාළා.

“කාලාමයෙනි, යම් කලෙක ඔබ තමා තුළින් ම දැන ගන්නවා නම්, මේවා කුසල ධර්මයන්, මේවා හරි දේවල්, මේවා බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කරන දේවල්, මේ දේවලින් සමන්විත වෙලා, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත් බොහෝ කාලයක් හිතසුව පිණිස, සැපය පිණිස පවතිනවා කියා කාලාමයෙනි, අන්න ඒ දේවල් අනුගමනය කරන්න.”

තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ එම කාරණය මෙසේ පහදා දුන්නා.

“කාලාමයෙනි, හිතක ඇතිවන ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව හිත සුව පිණිස ද පවතින්නේ අහිත පිණිස ද?”
“ස්වාමීනී, හිත සුව පිණිසයි.”

“අලෝභය, අද්වේෂය, අමෝහය නිසයි කෙනෙක් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීම ආදි අකුසලයෙන් වළකින්නේ. එහෙම නම් මේ අලෝභ, අද්වේෂ, අමෝහ, කියන්නේ කුසල් ද? අකුසල් ද?”
“ස්වාමීනී, ඒවා කුසල්.” කියා කාලාමවරු පැවසුවා.

“ඒවා හරි ද? වැරදි ද?”

“ස්වාමීනී, ඒවා නිවැරදි දේවල්.”

“ඒවාට බුද්ධිමතුන් ගරහනවා ද? ප්‍රශංසා කරනවා ද?”

“බුද්ධිමතුන් ප්‍රශංසා කරනවා.”

“යම් කෙනෙක් ඒවා සමාදන් වෙලා වාසය කළොත් ඒක හිතසුව පිණිස පවතී ද? අහිත පිණිස පවතී ද?”

“ස්වාමීනී, ඒක හිතසුව පිණිස පවතිනවා.”

“එම නිසා කාලාමයෙනි, යමක් කුසල් ද නිවැරදි ද බුද්ධිමත් අය එයට ප්‍රශංසා කරනවා ද එය අනුගමනය කිරීමෙන් බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතිනවා ද එය පුරුදු කරන්න.”

සිව් බඹ විහරණයෙන් සැනසිලි සුව එලවා….

ඉන් පසු බුදුරජාණන් වහන්සේ වදාරනවා,

“කාලාමයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා, ලෝභ නැති බැවින්, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් යුතුව දස දිසාවට ම සතර බ්‍රහ්ම විහරණ පතුරුවාගෙන වාසය කරනවා. ඒ අයුරින් සිව් බඹ විහරණ දස දිසාවට ම පතුරුවාගෙන වාසය කිරීම නිසා, ඔහුට මේ ජීවිතයේ දී ම සැනසිලිදායක කරුණු හතරක් ලැබෙනවා.
ඒ තමයි,

* ඉදින් පරලොවක් තියෙනවා නම්, යහපත් කුසල කර්මයන්ගේ විපාක තියෙනවා නම්, මම මරණින් මතු සුගතියේ උපදිනවා.
* ඉදින් පරලොවක් නැත්නම්, මං මේ ජීවත්වෙන කාලය තුල දුක් නැති සැප සහගත ජීවිතයක් ගතකරනවා.
* යම් කිසි කෙනෙක් මේ ලෝකෙ පව් කරනවා කියා සම්මත ද ඒ ගොඩට මම වැටෙන්නෙ නෑ.
* මේ ලෝකේ යම් කෙනෙක් පින් කරනවා කියා සම්මතයි ද ඒ කොටසටයි මම අයිති.

ඔය අයුරින් අස්වැසිලි හතරක් එයා ලබනවා.”

එවිට කාලාම වැසියන් මහත් සතුටින් යුතුව භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙසුම අනුමෝදන් වී දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් බවට පත් වුණා.

මෙහි දී කිසිම අයුරකින් “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා සඳහන් නොවන අතර කිසිසේත් ම එවැනි අර්ථයක් ද ඉස්මතු වන්නේ නැහැ. සමහරුන් එසේ පවසන්නේ “මා සමණෝ නෝ ගරූ” යන පදයේ ව්‍යඤ්ජනය ද අර්ථය ද වැරදියට වටහාගැනීමෙන් විය යුතුයි. දීඝ නිකායේ පාසාදික සූත්‍ර දේශනාවේ මෙසේ සඳහන් වෙනවා. “මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාක්ඛාත වූ මේ ශ්‍රී සද්ධර්මය කිසිදු අඩුවක් නොමැතිව පරිපූර්ණ ව පිරිසිදු නිවන් මඟ පෙන්වා දෙයි. එහි දී නිවැරදි ලෙස ව්‍යඤ්ජනය ද අර්ථය ද වටහා ගත යුතු ය.” එම නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පෙරුම්දම් සපුරා, ගුරු උපදේශ රහිතව සම්බුද්ධත්වය සාක්ෂාත් කොට, නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් භාග්‍යවතුන් වහන්සේ වදහළ උතුම් සම්බුදු වදන් අප ශාස්තෘ ගෞරවයෙන් ඇසිය යුතුයි. කියවිය යුතුයි. මතකයේ දරාගෙන නුවණින් විමසිය යුතුයි. ඒ ධර්මයට අනුව පිළිවෙත් පිරිය යුතුයි. බිහිසුණු සතර අපායෙන් නිදහස් වී, සුගති රැකවරණ ලබා, උතුම් ධර්මාවබෝධය කරා යා හැකිවන්නේ ශාස්තෘ ගෞරවයෙන් යුතු ශ්‍රද්ධාවන්ත නිහතමානී ශ්‍රාවකයන්ටයි.

(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.