සසරේ භයානක බව ම ප්‍රකට කරමින්, අනුන් සතු සුළු දෙයක් වුව ද සොරා ගැනීමෙන් නො සිතූ අන්දමේ දුකකට පත්ව පීඩා විඳි ස්ත්‍රියකගේ කථා පුවතක් මෙම ඛල්ලාටිය කථා පුවතෙන් විස්තර වෙයි. මොහොතකට හෝ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබීමෙන් විඳින්නට තිබූ භයානක නිරයේ උපත වළක්වාලමින් දිව්‍ය උපත පවා ලබා දුන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිරිසකගේ ක්‍රියාවේ විස්මිත බව ද මෙයින් හෙළි වෙයි.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථා වස්තුව වදාළ සේක.

අතීත කාලයෙහි බරණැස් නුවර විශිෂ්ට රූප සම්පත්තියක් ඇති, වර්ණ සෞන්දර්යයෙන් සමන්විත, සුන්දර කේශ කලාපයකින් සමන්විත, රූප සම්පත ජීවන වෘත්තිය කොටගත් වෛශ්‍යා ස්ත්‍රියක් විය. ඇගේ නිල් පැහැය ගත් දික් වූ, සිනිඳු, වෙළන ලද අග ඇති දෑතින් ම ගත යුතු වූ කෙස් කලඹ නො විසිරී පා සළඹ දක්වා පැතිර පවතී. ඇගේ එම මනස්කාන්ත කෙස් කළඹ දැක බොහෝ තරුණ පිරිස් ඇයට මනාපයෙන් පසු වුහ.

මෙම කේශ කල්‍යාණයට ඊර්ෂ්‍යා කළ ස්ත්‍රීන් කිහිප දෙනෙකු විය. ඔවුන් කුමන්ත්‍රණය කොට ඇයගේ ම දාසියක ලවා හිසකෙස් වැටෙන්නට බෙහෙතක් ඇය වෙත ලබා දුන්නෝ ය. එම දාසිය විෂ බෙහෙත ස්නානය කරන අවස්ථාවක් බලා දිය නෑමේ දී යොදාගනු ලබන ‘නහන සුණු’ සමඟ මිශ්‍ර කර ඇයට ලැබෙන්නට සැලසුවා ය. කිසිවක් නොදත් වෛශ්‍යා ස්ත්‍රිය හිසකෙස් මුල එම විෂ බෙහෙතෙන් තෙමා ගංගා දියෙහි ගිලුණා ය.

ගිලුණු සැණින් කේශ කලාපය මුලින් ම ඉදිරී වැටුණේ ය. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් මෙන් විය. ඇයගේ සම්පූර්ණ කේශ කලාපය ම ගැලවී ගොස් ඉතා අවලස්සන ස්වභාවයකට පත් වූවා ය. ඇතුල් නුවරට ඇතුළු වීමට නො හැකි තරම් ලජ්ජාවක් ඇය තුළ වූ අතර හිස රෙදි කැබැල්ලකින් ඔතාගෙන නුවරින් පිට ප්‍රදේශයකට පලා ගියා ය.

කිහිප දිනක් ගතවෙත්ම ඇයගේ ලජ්ජාව නොමැති වූ අතර ජීවිකාව ගෙන යාම පිණිස තල මිරිකා තෙල් වෙළඳාම ද මත්පැන් වෙළඳාමක් ද කරමින් කාලය ගත කළා ය. ඇය එක් දිනක් බීමතින් සිටි මිනිසුන් දෙදෙනෙකු නිදා සිටින අතර ඔවුන් ඇඳ සිටි වස්ත්‍ර සොරකම් කළා ය. නැවත දිනෙක රහතන් වහන්සේනමක් පිණ්ඩපාතය වඩිනු දැක පහන් සිත් උපදවාගෙන ආසන පනවා තෙල් මිශ්‍ර වැගිරෙන තෙල් ඇති මුරුවට දන් දුන්නා ය. එම තෙරුන් වහන්සේ ඈ කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳූ සේක. ඇය පහන් සිත් ඇතිව රහතන් වහන්සේගේ හිසට ඉහළින් කුඩයක් අල්වමින් සිටියා ය. තෙරුන් වහන්සේ ඇගේ සිත සතුටු කරමින් පුණ්‍යානුමෝදනා කොට වැඩි සේක. ස්ත්‍රිය, රහතන් වහන්සේ අනුමෙවෙනි බණ දේශනා කරන අවස්ථාවේ දී ‘මාගේ හිසකේ දික්, තුනී, සිනිඳු, මොළොක්, වෙළුණු අග ඇති වේවා’ යි ප්‍රාර්ථනා කළා ය.

ඇය මරණයෙන් පසු කුසල් අකුසල් කර්මයන්ගේ විපාක අනුව මුහුද මැද රන් විමානයක හුදෙකලා ව උපන්නා ය. ඇගේ කේශ කල්‍යාණය ප්‍රාර්ථනා කළ ආකාරයෙන් ම අලංකාර විය. මිනිසුන්ගේ ඇඳුම් සොරකම් කළ අකුසල් විපාකයෙන් ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව කාලය ගත කළා ය. ඇය රන් විමනෙහි ම නැවත නැවත ඉපදෙමින් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ම නිරුවතින් කල් යැව්වා ය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට සැවැත්නුවර වැඩ වාසය කරන කාලය යි. සැවැත්නුවරවාසී වෙළෙන්දන් සියයක් පමණ ස්වර්ණභූමියට ගමන් ගන්නා නැවක ගමන් කරමින් සිටියදී ප්‍රචණ්ඩ මාරුතයකට හසු වී ඒ මේ අත ගසාගෙන යන අතර එම විමාන ප්‍රේතිය වාසය කරන ප්‍රදේශයට පැමිණියහ. එවිට ප්‍රේතිය විමානය සමඟ තමන් වෙළෙන්දන් හට පෙනෙන්නට සැලැස්වූවා ය.

එය දුටු නැවේ සිටි ප්‍රධාන වෙළෙන්දා “විමන තුළ සිටින නුඹ කවරෙක් ද? මනුෂ්‍ය ස්ත්‍රියක් ද? නැතිනම් අමනුෂ්‍ය ස්ත්‍රියක් ද? මහත් ඍද්ධි ඇති නුඹ ව අපි දකින්නට කැමැත්තෙමු. විමානයෙන් පිටතට පැමිණෙනු.” යැයි පැවසී ය.
“පින්වත් පුරුෂය, මා නිරුවත් ය, විමානයෙන් පිටතට පැමිණීමට නො හැකි ය. කේශ කලාපයෙන් වසා ගන්නා ලද සිරුරින් යුතුව සිටිමි. මා විසින් සුළු පිනක් පමණක් කරන ලදී.”

එම ප්‍රේතිය එසේ පැවසූ විට වෙළඳ ප්‍රධානියා තම උතුරු සළුව ඇයට දීමට කැමතිව මෙසේ පවසන ලදී. “මෙය මාගේ උතුරු සළුව යි, මේ වස්ත්‍රය හැඳගෙන විමානයෙන් පිටතට පැමිණෙනු මැනවි, අපි නුඹ ව දක්නට කැමැත්තෙන් පසුවන්නෙමු.”

“නිදුකාණෙනි, ඔබගේ අතින් මගේ අතට දෙන දෙය මට නො ලැබෙයි. පරිභෝගයට සුදුසු නො වෙයි. සම්මා සම්බුද්ධ ශ්‍රාවක වූ, කර්මඵල විශ්වාසයෙන් යුක්ත වූ, ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ඔබගේ පිරිස අතර සිටියි. ඔබ විසින් මට දෙන සළුව එම උපාසකතුමාට ලබා දී එම පින මා හට දුන මැනවි… එසේ කළ විට මම සියලු කාම සම්පත් ලබා, දිව්‍ය වස්ත්‍ර ලබා සුවපත් වන්නෙමි.” යි ප්‍රේත ස්ත්‍රිය පැවසුවා ය.

වෙළෙන්දෝ එම උපාසකයා නහවා, සුවඳ වර්ග ඇඟ ගල්වා වර්ණයෙන්, සුවඳින් සහ රසයෙන් යුක්ත භෝජන වළඳන්නට සැලැස්වූහ. හඳනා සළුව සහ උතුරු සළුව යන සළු වර්ග දෙකක් ඔහුට පූජා කොට එම දානය ප්‍රේත ස්ත්‍රියට අනුමෝදන් වන්නට සැලසූහ.

පින අනුමෝදන් වූ ඇයට විවිධාකාර දිව්‍ය භෝජන ද වර්ණවත් දිව සළු ද නොයෙක් වර්ගවල පාන වර්ග ද ලැබිණ. ඉන් සතුටට පත් වූ ඇය ස්නානයෙන් පිරිසිදු ශරීරය ඇතිව කසී සළුවලටත් වඩා වටිනා වස්ත්‍රයන්ගෙන් සැරසී වෙළෙඳුන් ඉදිරියේ පෙනී සිටියා ය.

පුණ්‍ය විපාකයන්ගේ ආශ්චර්යය තම දෑසින් ම ප්‍රත්‍යක්ෂ කර ගත් වෙළඳ පිරිස උපාසකතුමාට බොහෝ ගෞරව සැලකිලි දැක්වූහ. උපාසකතුමා ද වෙළඳ පිරිසට ධර්ම කරුණු දේශනා කොට සිත් පැහැදවීය. ඔවුන් තිසරණ සරණයෙහි පිහිටුවා සීල ගුණයන්ගෙන් සංවර වූ පිරිසක් බවට පත් කළේ ය.

ප්‍රේත ස්ත්‍රියගේ විමානය සිත් සේ දුටු වෙළඳ පිරිස ඇය කුමන කුසලයක යෙදීමෙන් මෙවන් පුණ්‍ය විපාකයක් ලැබුවේදැ යි විමසන්නට වූහ.

“පින්වත් දෙවඟන, නුඹගේ විමානය හස්තීන්, අශ්වයන්, ස්ත්‍රී පුරුෂයින්ගේ ලියකම් මල්වැල්වලින් යුත් මනාව නිමවන ලද කැටයමින් යුක්ත ය, සිත්කළු ය, බැබළීමෙන් යුක්ත ය. මේ කුමන කුසල කර්මයක විපාකයක් ද?”
“පින්වත් සත්පුරුෂයෙනි, සිත ඇද බවට, වක්‍ර බවට පත් කරන කෙලෙස් නැසූ… සිත ඍජු භාවයට පත් කළ, පිණ්ඩපාතයෙහි හැසිරෙන්නා වූ නික්ලේශී රහතන් වහන්සේනමකට මම කර්මඵල විශ්වාසයෙන් යුක්තව, යහපත් ප්‍රසන්න සිතින් තෙල් මිශ්‍ර තල පූජා කළෙමි (පෙර මිනිස් ආත්මයේ දී).

එම කුසල කර්මයේ විපාකය මම බොහෝ කාලයක් තිස්සේ මෙහි වාසය කරමින් විඳිමි. එම කුසලය දැන් ගෙවී යමින් පවතී. තවත් ඉතිරිව ඇත්තේ ස්වල්පයකි.
එම නිසා මම නොබෝ කාලයකින් මෙයින් චුත වන්නෙමි. මාස හතරකින් පසු මාගේ මරණය සිදුවන්නේ ය. ප්‍රේත ලෝකයට වඩා නිසැක ව ම කටුක වූ, දරුණු විපාක ඇති, සැපයක් නැති නිසා නිරය යැයි නම් ලද නරකයට මම පැමිණෙන්නෙමි.”

මෙහි දී නිරය යැයි කියා අවීචි මහා නිරය අදහස් කළ බැවින් එහි ස්වරූපය දක්වයි.

“එහි සිව් කොණක් ඇත්තේ ය, සිව් දිසාවන්හි වූ සිව් දොරකින් යුක්ත ය. කොටස් වශයෙන් ප්‍රමාණ කර මනා ව බෙදන ලදී, යකඩ පවුරකින් වට කරන ලද්දේ ය. යකඩ පියනකින් ම මතුපිටින් වසන ලද්දේ ය.
ඒ අවීචි මහා නරකයේ අයෝමය (යකඩයෙන් සැදුණු) භූමිය ගිනි දැල්වී පවතී. හාත්පසින් නැගෙන ගිනි දලුවලින් නැවත නැවතත් ගිනි ගනී. මෙසේ හාත්පස සියලු දිශාවන් යොදුන් සියයක් තරම් දුර සෑම විටක ම අග්නි ජාලය පවතී.
ඒ මහා නිරයෙහි වැටී මම බොහෝ කාලයක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. මෙබඳු දුක් විඳීම මා විසින් කරන ලද පාප කර්මයේ විපාක ය. ඒ හේතුවෙන් මම දැන් ශෝකයෙන් පසුවෙමි.”

මෙසේ දෙවඟන තමා කළ කර්මය, ඵලය සහ අනාගතයෙහි නිරයෙහි උපදින බව ප්‍රකාශ කළ විට මහත් කරුණාවන්ත උපාසකතුමා ඇයට පිහිට වීමට ඉදිරිපත් විය.

“පින්වත් දෙවඟන, නුඹ තනි මා හට පමණක් දන් දී සකල කාම සම්පත්වලින් යුත් දිව්‍යමය සැප ලැබුවා ය. දැන් මේ උපාසක පිරිසට ම දන් පූජා කොට බුදුගුණ ද සිහිකොට නිරයේ උපතින් මිදෙන්නේ ය.” යි ඔහු පැවසී ය.
එවිට බොහෝ සතුටට පත්වූ ඇය එම උපාසක පිරිසට දිව්‍ය ආහාරපාන දන් දී දිව්‍ය වස්ත්‍රයන් හා නොයෙක් මුතු මැණික් වර්ග ද පූජා කළා ය. භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිව්‍ය වස්ත්‍ර දෙකක් එම උපාසකයන්ගේ අතට ලබා දුන්නා ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස… එක්තරා විමාන ප්‍රේතියක් ඔබ වහන්සේගේ ශ්‍රී පාද යුග්මය හිසින් වඳියි.” පවසා සැවැත් නුවරට ගොස් මාගේ වචනයෙන් ශාස්තෘන් වහන්සේ වන්දනා කරන්නැයි පවසා තම වැඳීම ද පවසා යැව්වා ය. එම නෞකාව ද තමාගේ ඍද්ධියෙන් වෙළෙඳුන් කැමති පටුනට පැමිණවූවා ය.

වෙළඳ පිරිස පටුනෙන් ගොඩ බැස සැවැත්නුවර වෙත පැමිණ බුදුරජාණන් වහන්සේ බැහැ දැක වස්ත්‍ර යුගලය පිළිගන්වා වන්දනාව ද සැලකර සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එම කථා පුවත අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට විස්තර වශයෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.

එම උපාසක පිරිස පසු දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහ දන් පූජා කොට ඇයට නැවත පුණ්‍යානුමෝදනාව ලබා දුන්හ. එම ප්‍රේතිය ප්‍රේත ලෝකයෙන් චුත වී මාණික්‍යයෙන් බබළන්නා වූ තව්තිසා දෙව්ලොව රන් විමනක දෙවඟනන් දහසක් පිරිවරා උපන්නා ය.

ඇසුර – ‘ප්‍රේත වස්තු වර්ණනාව’ ග්‍රන්ථය

සටහන – හර්ෂ නිලංක පෙරේරා