මේ සඳහා අප ප්‍රථමයෙන්ම නාමරූප ගැන බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයට දැනගෙන සිටිය යුතුයි. සංයුත්ත නිකායේ විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි වේදනා (විඳීම්), සංඥා (හඳුනාගැනීම), චේතනා (චේතනාව), ඵස්ස (ස්පර්ෂය), මනසිකාර (සිත ක්‍රියාත්මකව පැවතීම) යන මේවාටයි “නාම” යයි කියනු ලබන්නේ.

පඨවි (පොළොවට පස් වී යන ස්වභාවයෙන් යුතු දේ), ආපෝ (දිය වී යන වැගිරෙන ස්වභාවයෙන් යුතු දේ), තේජෝ (උණුසුම් ස්වභාවයෙන් යුතු දේ), වායෝ (හමායන ස්වභාවයෙන් යුතු දේ) යන සතර මහා ධාතූන්ටත් සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයටත් ය “රූප” යැයි කියනු ලබන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන රූප ධර්මයන් අප හඳුනාගනු ලබන්නේත් ඒවා ගැන කතාබස් කරන්නෙත් ඒ රූප ධර්මයන් පිළිබඳව ගොඩනැගෙන භාවිතා වන නාම ධර්මයන් මුල් කරගෙනයි. එනම් රූප ධර්මයන් ගැන අප තුල යම් දැනීමක් ඇතිවන්නේ විඳීම, හඳුනාගැනීම, චේතනාව, ස්පර්ශය, සිතේ ක්‍රියාත්මක භාවය යන නාම ධර්මයන් මුල් කරගෙනය. රූපකායේ අධිවචන සම්ඵස්සය යනුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි.

විඳීම, හඳුනාගැනීම, චේතනාව, ස්පර්ශය, හා මනසිකාර යන නාම ධර්මයන් (නාමකාය) තුළින් කතාබස් කරන යම් දෙයක් වේ නම් ඒ සතර මහා ධාතූන් හෝ සතර මහා ධාතූන්ගෙන් හටගත් දෙයකි. නාමකායේ පටිඝසම්පස්සය යනුවෙන් පෙන්වා දී ඇත්තේ එයයි. වැඩිදුර කරුණු දැනගැනීමට දීඝ නිකාය දෙවෙනි පොත් වහන්සේගේ මහානිදාන සූත්‍රය සහ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ විස්මිත අවබෝධය පොත කියවන්න.