සාර්ථකත්වය ලබන්නට අකැමැත්තවුන් ලෝකයේ නැත. ඒ වෙනුවෙන් ම මිනිස්සු නොයෙක් දේ හඹා යති. එයිනිදු, පෙරදිගවාසීන් අතර පැතිර ගත් ඇදහීම් බොහෝ ය. අපිදු එවන් ඇදහීම්වලින් නොතොර ජාතියක් වන්නෙමු.

එදිනෙදා ජීවිතයේ බොහෝ දේ ඇදහීම් මුල් කරගෙන සිදු කරනා සමාජ ක්‍රමයක් අද අපි දකින්නෙමු. නැකැත්, කේන්දර, නිමිති, අනාවැකි ආදිය ම මුල්කර ගනිමින් දුගී මගියාගේ පටන් රට කරවන පාලකයන් දක්වා ම කටයුතු සිදු කරන අයුර පැහැදිලි ව දැකිය හැකි ය. එහෙත් ඒ කවරකින් නම් සෙතක් සැලසිණි ද?

මේ වසරේ දී ද සාමය, සතුට, සෞභාග්‍යය අරමුණු කර ගනිමින් රටේ අති බහුතරයකගේ නිවෙස්හි නැකැතට වැඩ අත් හැරියේ ද නැකැතට ගිනි මෙළවුණේ ද නැකැතට කිරිබත් පිසුණේ ද නැකැතට ම වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර පානාදිය භුක්ති වින්දේ ද සෑම වසරක ම සිදු කෙරෙන අයුරින් ම ය. රටේ අති බහුතරයක් විසින් අනුගමනය කරන ලද එකී ක්‍රියාපිළිවෙත තුළින් බලාපොරොත්තු වූයේ යමක් ද ඉන් සතියක් ඉක්ම යද්දී රටට අහිමි වූයේ ද එය ම ය. පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මරණ බියෙන් ඇලලී ගොස් නිවෙස් තුළට ම වී ඉන්නට අපට සිදු නොවිණි ද? මාසයක් පමණ ගත වන තුරු දරුවන්ගේ පාසල් ගමන පවා නොවැළකුණි ද? එකිනෙකා දෙස සැකයෙන්, බියෙන්, වෛරයෙන් බලන්නට සිදු නොවිණි ද? ඉතින්, නැකැතින් අප ලද සුභ ඵලය කොතැනක නම් දක්නට ලැබිණි ද? නැකැත් නිසා ලැබූ යහපතක් නොවුණු බව දකින්නට නුවණැත්තෙකුට නම් එය ම ප්‍රමාණවත් ය.

නැකැත් පමණක් නො වේ; ග්‍රහතරු පිහිටීම් සලකා පළ කරන ලද අනාවැකි ද අත්කර ගත් ඉරණම එය ම ය. රටේ ප්‍රධාන පෙළේ මැතිවරණ පවතිද්දී ”මෙනම් පාලකයා ඒකාන්තයෙන් ම දිනන්නේ ය. එසේ නොවුණහොත් වෙඩි තබා ගමි, ගිනි තබා ගමි. අප කියූවක් වැරදී නැත.” ආදී වශයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශපථ කොට දිවුරමින් පාරම් බාන ලද්දවුන් එකී අනාවැකි බිඳ වැටුණු පසු උන්හිටි තැනක් සොයා ගන්නට ද නොවී සැඟවුණු අයුර ඔබට ද මතක තිබෙනවා විය යුතු ය. හාස්‍යයට කරුණ නම් එයින් කලක් ඉක්ම යද්දී ඔවුන් යළිත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දිවැසින් අනාගතය දකින්නවුන් සේ අනාවැකි පළ කරන්නට වීම ය. කණගාටුවට කරුණ නම් මෙතෙක් දේ සිදුව තිබියදීත් තවමත් සමාජයේ ඒවා විශ්වාසයට ගන්නවුන් සිටීම ය.

මේවා අසා දැක, සාරවත් යැයි සිතා අප හඹා යන්නේ කිසිදු හරයක් නොසපයන අසාරවත් දේ පසුපස බව තේරුම් ගන්නට නුවණ තිබිය යුතු ය. ඒ නුවණ පහළ නොවන තාක් කල් අරමුණක් පාසා සාර්ථකත්වය පැතුව ද ලද හැකි දිනුමක් නම් නැත.

“මේ ලෝකයේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්‍රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිථ්‍යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.”

(ධම්මපදය)

මේ සියලු මිථ්‍යාවන් බිඳ හැර, අවිද්‍යාවෙන් වැසී ගත් ලෝකයා හට සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස එක ම උපකාරය වූ තථාගත ශ්‍රී සද්ධර්මය දම්රජාණන් වහන්සේගේ මුවමඬලින් නික්ම අකනිටා බඹලොව තෙක් පැතිර ගියේ ඇසළ පොහෝ දිනක ය. ත්‍රිවිධ රත්නයේ පහළ වීමෙන් ලොවට යහපත සැලසුණු ඒ උතුම් ඇසළ පොහෝ දිනයේ ඉසිපතන මිගදායෙන් නැගි සෑසි මුනි සිහනද වනාහී ලොව පවත්නා සාරවත් දැයෙහි අග්‍ර ඵලය යි. එය වනාහී අප දෙලොව සාර්ථකත්වයට ද අමා මහ නිවනට ද පමුණුවන ඍජු මාර්ගය යි. ආපසු ගමනක් නැති සාර්ථකත්වයේ හිමිකරුවෙකු වන්නට නම් කළ යුත්තේ, සම කළ හැකි අන් කිසිවක් ලොව නැති ඒ උතුම් මුනි දහමේ ම පිහිටා සිටීම යි.