“සිරුරේ වසාගත යුතු තැන් තියෙනවා, එය වසාගැනීම පිණිස කැප විදියට ලැබෙන සිවුරක් තිබීම, නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්‍ෂුවට හරි පහසුවක්.”

– සාරිපුත්ත ථේරගාථා

“එයාට ගැළපෙන්නේ කසල ගොඩෙන් හෝ සොහොනෙන් හෝ මහ පාරෙ තිබිල හෝ අහුලා ගත්තු රෙදිවලින් මහපු ගොරෝසු සිවුරු.”

– උපසේන ථේරගාථා

වීදියක, සොහොනක හෝ කසළ ගොඩක ඇති පස් මත ඉවුරක් සේ වැටී තිබෙන වස්ත්‍රය පංසුකූල වස්ත්‍රය යනුවෙන් හඳුන්වනු ලබයි. එමෙන් ම මලමූත්‍ර, සෙම්සොටු ආදියත් සමඟ මුසු ව පිළිකුල් සවභාවයට පත් වූ පොළොවෙහි ඇති පස් සේ, යම් වස්ත්‍රයක් පිළිකුල් ස්වභාවයට පැමිණියේ නම්, ඒ අරුතින් ද එම වස්ත්‍රය පංසුකූල වස්ත්‍රයක් යනුවෙන් හඳුන්වනු ලබයි.

ගෞතම සසුනෙහි පිළිසරණ ලබනු කැමති ව පැවිදි වූ උතුමන් වහන්සේලා චීවර පරිභෝග කරන්නේ, පිළිවෙත් පිරීමෙහි පහසුව ඇතිවීම උදෙසා පමණක් ම ය. එහිලා අරමුණු සතරකි:

  1. සීතලෙන් වන පීඩා වළක්වා ගැනීම
  2. උණුසුමින් වන පීඩා වළක්වා ගැනීම
  3. මැසි මදුරුවන්ගෙන්, අවු සුළං ආදියෙන්, පත්තෑ ගෝනුසු ආදීන්ගෙන් විය හැකි පීඩා වළක්වා ගැනීම
  4. ලැජ්ජාව උපදවන්නා වූ ස්ථාන වසාගැනීම

මේ සරල කරුණු සතර උදෙසා පමණක් සිවුරු පරිභෝග කරන භික්‍ෂුව සුවපහසු පහස ඇති, අනගි වස්ත්‍ර සිවුරු පිණිස නො සොයයි. ඉහත කරුණු සතර සැපිරෙන කවර හෝ වස්ත්‍රයකින් සෑහීමකට පත් වෙයි. මෙය උත්තරීතර චීවර සන්තුට්ඨිතා ආර්යවංශය යනුවෙන් ද හඳුන්වනු ලබයි.

“මහණෙනි, මෙහිලා භික්‍ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද සිවුරකින් සතුටු වෙයි. ලද සිවුරකින් ලබන සතුට පිළිබඳ වර්ණනා කරන්නේ වෙයි. සිවුරක් උදෙසා භික්‍ෂූන් හට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නො පැමිණෙයි. සිවුරක් නො ලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. සිවුරක් ලැබුණේ වුව ද එහි ඇති ආශා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව, පරිහරණය කරයි. ඒ ලද සිවුරෙන් සුතුටු වීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව ලද සිවුරෙන් සතුටු වීමට දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද, ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”

(ආර්යවංශ සූත්‍රය, අං. නි. 2)

තුන් කල්හි ම බුද්ධාදී ආර්යන් වහන්සේලා ලද සිවුරෙන් සතුටු වීම ප්‍රශංසා කරන ලදහ. එහිලා නිවන් මගේ හැසිරීම ප්‍රධාන කටයුත්ත කර ගත් භික්‍ෂුව ගිහියන් විසින් පුදන වටිනා සිවුරු ආදිය නො සොයා, ඉවත දමන ලද, පිළිකුල් ස්වභාවයට පත් වූ වස්ත්‍රවලින් සිවුරු සකසාගෙන පොරවයි නම්, එය පංසුකූලිංගය නම් වේ.

“මහණෙනි, සිවුරු අතුරින් පංශුකූල චීවරය අල්ප වූයෙත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

(සන්තුට්ඨි සූත්‍රය, අං. නි. 2)

පංසුකූලිකංගය සමාදන් වූ භික්‍ෂුවට ගෘහපති චීවරය නම් වූ දායකයන් විසින් පුදන සිවුරු භාවිතය සුදුසු නො වේ. එමෙන් ම සංඝයා උදෙසා පොදුවේ පුදන ලද වස්ත්‍ර ද වස්ත්‍ර පිඬුසිඟා වැඩීමෙන් ලැබෙන චීවර ද සෙනසුනක් කරවූවන් විසින් සෙනසුනෙහි වසන පොදු සංඝයාගේ භාවිතය උදෙසා තබන ලද වස්ත්‍ර හෙවත් සේනාසන චීවර ද භාවිතයට සුදුසු නො වේ.

පංසුකූලික භික්‍ෂුවට සිවුරු පිණිස වස්ත්‍ර සොයාගත හැකි ආකාර 23කි. ඒවා චීවර ක්ෂේත්‍ර යනුවෙන් ද හැඳින්වේ.

  1. සොහොනෙහි දමන ලද වස්ත්‍ර
  2. කඩ සාප්පු ඉදිරිපිට දමන ලද හෝ වැටුණු වස්ත්‍ර
  3. පින් කැමති මිනිසුන් විසින් භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මහමග දමන ලද වස්ත්‍ර
  4. කසළ ගොඩේ දැමූ වස්ත්‍ර
  5. ස්ත්‍රීන්ගේ ගැබ් මල පිස දමා ඉවත දැමූ වස්ත්‍ර
  6. යකැදුරන් විසින් භූතාවේශ වූ රෝගීන් නැහැවීමේ දී භාවිත කොට ඉවත දැමූ වස්ත්‍රය
  7. නාන තොටෙහි ඉවත දමන ලද වස්ත්‍ර
  8. සොහොනට යන මිනිසුන් විසින් හැඳගෙන ගොස් පිළිකුල් බැවින් ඉවත දමන ලද වස්ත්‍ර
  9. ගින්නෙන් පිළිස්සීම නිසා ඉවත දමන ලද වස්ත්‍ර
  10. හරකෙකු කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර පාංශුකූල වශයෙන් භික්‍ෂූන් වහන්සේලාට ගත හැක්කේ ය. එමෙන් ම,
  11. වේයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර
  12. මීයන් කෑම නිසා ඉවත දමන ලද වස්ත්‍ර
  13. වස්ත්‍රයෙහි අගින් කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර
  14. වස්ත්‍රයෙහි වාටිය කැඩී කැඩී යාම නිසා ඉවත දමන ලද වස්ත්‍ර
  15. නැව් නගින තොටුපළක හෝ යුද පිටියක හැර දමන ලද කොඩි
  16. යකැදුරන් විසින් ශාන්තිකර්ම කිරීමේ දී තුඹස් මත බඳින ලද වස්ත්‍ර
  17. භික්‍ෂූන් වහන්සේලාගේ පෞද්ගලික චීවර
  18. රාජාභිෂේකයන්හි දී භාවිත කොට හැර දැමූ වස්ත්‍ර
  19. ඒහිභික්ඛු පැවිදි උපසම්පදාවේ දී ඉර්ධියෙන් ලැබෙන චීවර
  20. අමතක වීම නිසා හෝ සොරුන්ගෙන් සිදු වන හිරිහැර නිසා මිනිසුන් විසින් අතරමග අතහැර දමන ලද වස්ත්‍ර
  21. සුළඟින් ගසාගෙන යන ලද වස්ත්‍ර
  22. දෙවියන් විසින් පුදන ලද වස්ත්‍ර
  23. මුහුදු රළින් ගොඩ ගසන ලද වස්ත්‍ර
    යනාදිය ද පාංශුකූල වස්ත්‍ර ගණයට අයත් වේ.

මේ ආකාර අතුරින් කවර අයුරකින් හෝ රෙදි කැබලි සපයා ගෙන, දුර්වල ස්ථාන ඉවත් කොට සකසා ගන්නා චීවරය පාංශුකූල චීවරය නම් වේ. දිව සළුපිළි දැරීමට ද මහා පුණ්‍ය මහිමයෙන් යුතු අප භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර පුණ්ණා දාසියගේ මෘත ශරීරය එතූ, සතර නැලියක් පමණ පණුවන් ගැවසීගත් වස්ත්‍රය රැගෙන චීවරයක් කොට සම්බුදු සිරුරෙහි දරාගත් සේක. එකල්හි සම්බුදුරජුන්ගේ පාංශුකූලයෙහි ආනුභාවයෙන් සිව්වරක් මේ මහා පෘථිවිය කම්පා වී ගියේ ය. එමෙන් ම අනුරුද්ධ මහරහතන් වහන්සේ පාංශුකූලයක් සොයගත් අයුරු ධම්මපදට්ඨ කතාවේ අරහන්ත වර්ගයේ සඳහන් වේ. මේ අයුරින් මෙම පංසුකූලිකංගය බොහෝ බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් සේවනය කරන ලද්දේ ය.

පාංශුකූල චීවරයක් සැකසීමේ දී, ඒ සඳහා භික්‍ෂුවට අදහස පහළ වූ මොහොතේ සිට සිවුර සකසා පරිහරණය කරන මොහොත දක්වා සිදු කරන කටයුතු සියල්ල ම තමන් වහන්සේගේ භාවනාවට උපකාරයක් වන පරිදි හෙවත් කර්මස්ථාන ශීර්ෂයෙන් සිදු කරනු ලැබේ. ඒ යටතේ සඳහන් වන කරුණු විස්සක් විසිවැදෑරුම් චීවර සන්තෝෂයන් ලෙස ධර්මයෙහි සඳහන් වී ඇත්තේ ය. ඒවා මෙසේ ය:

එහිලා භික්‍ෂුව,

  1. තෘෂ්ණා, මාන, දෘෂ්ටි ආදියෙන් තොර ව සිවුරක් ලබා ගැනීමට විතර්ක කිරීමෙන් ප්‍රීති වන්නේය.
  2. සිවුරක් ලබා ගැනීමට සිහි නුවණින් වැඩම කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
  3. සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂුවක් සමඟ සිවුරු සෙවීමෙන් ප්‍රීති වන්නේ ය.
  4. කැප වූ වස්ත්‍රයක් සිවුර උදෙසා ලැබීමෙන් ප්‍රීති වන්නේ ය.
  5. පමණ දැන වස්ත්‍ර පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
  6. සිවුර උදෙසා ඇති ලොල් බව දුරු කිරීමෙන් ප්‍රීති වන්නේ ය.
  7. යහපත් හෝ අයහපත් හෝ ලැබුණු සිවුරෙන් ප්‍රීති වන්නේ ය.
  8. ලද චීවරය දරා ගැනීමට අපහසු වේ නම්, අන්‍ය භික්‍ෂූන් සමඟ එය හුවමාරු කර ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
  9. තමා ලද යහපත් සිවුරු ගුණවත් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමෙන් ප්‍රීති වන්නේ ය. එමෙන් ම භික්‍ෂුව,
  10. තමා ලද වස්ත්‍ර කැබලිවලින් සිවුරු සැකසීමේ දී කමටහන් වඩමින් ප්‍රීති වන්නේ ය.
  11. අල්පේච්ඡතාවයෙන් යුතු ව අවශ්‍ය ප්‍රමාණයට පමණක් සිවුරු සකසමින් ප්‍රීති වන්නේ ය.
  12. සිවුරු මැසීම උදෙසා ලැබුණු යහපත් හෝ අයහපත් නූල්වලින් ප්‍රීති වන්නේ ය.
  13. සිවුරු සේදීම උදෙසා ලැබුණු ජලයෙන් ප්‍රීති වන්නේ ය.
  14. කමටහන් වඩමින් සිවුරු සේදීමෙන් ප්‍රීති වන්නේ ය.
  15. කැප ලෙස සිවුරු මසා ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.
  16. කමටහන් වඩමින් සිවුරු පඬු පෙවීමෙන් ප්‍රීති වන්නේ ය.
  17. කැප ලෙස කප් බිංදු තැබීමෙන් ප්‍රීති වන්නේ ය.
  18. ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සිවුරු පරිහරණය කිරීමෙන් ප්‍රීති වන්නේ ය
  19. සිවුරු රැස් කර ගැනීමෙන් වැළකීම නිසා ප්‍රීති වන්නේ ය.
  20. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සිවුරු බෙදහදා ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

සම්මා සම්බුදුරජුන් සිදු කළාක් මෙන් සොහොනෙහි දැමූ වස්ත්‍රයෙන් සිවුරු සකසා දරා ගැනීම පංසුකූලිකංගය උසස් ආකාරයෙන් සම්පූර්ණ කිරීම යි. අවශේෂ ආකාරයන්ගෙන් ලද වස්ත්‍රයන්ගෙන් සිවුරු සකසා දරා ගැනීම මධ්‍යම ආකාරයෙන් පංසුකූලිකංගය සම්පූර්ණ කිරීම යි. සිවුරු උදෙසා වස්ත්‍ර සොයා වඩින භික්‍ෂුවගේ පාමුල යමෙකු විසින් තබන ලද වස්ත්‍ර රැගෙන සිවුරු සකසා දරා ගැනීම ලිහිල් ආකාරයෙන් පංසුකූලිකංගය සම්පූර්ණ කිරීම යි.

සිව්වණක් පිරිස අතුරින් මෙම ධුතාංගය අදාළ වන්නේ පැවිදි පිරිසට පමණෙකි. එබැවින් භික්‍ෂු, භික්‍ෂුණී, සාමණේර, සාමණේරි යන සියලු පැවිද්දන් හට මෙය සමාදන් ව රැකගත හැක්කේ ය. පංසුකූලිකංගය ආරක්‍ෂා කරන භික්‍ෂුව,

  1. පැවිද්ද මුලික වශයෙන් පංසුකූලික චීවරය ඇසුරු කරගෙන සිටින බැවින් එයට අනුගත වෙයි.
  2. චීවර ආර්යවංශයෙහි පිහිටන්නේ වෙයි.
  3. චීවරය රැකගැනීමේ දුක නැත්තේ වෙයි.
  4. කිසිවෙකු පුදන සිවුරු නො පිළිගන්නා හෙයින්, ඒ අංගයෙන් ස්වාධීන වෙයි.
  5. සොරබිය නැත්තේ වෙයි.
  6. පරිහරණයේ දී තෘෂ්ණා නැත්තේ වෙයි.
  7. ශ්‍රමණයන් වහන්සේලාට ගැළපෙන පිරිකර ඇත්තේ වෙයි.
  8. සම්බුදුරජුන් විසින් ප්‍රශංසා කරන ලද සිවුරු දරන්නේ වෙයි.
  9. දුටු දුටුවන් පහදවන්නේ වෙයි.
  10. ආශාවන් අඩු බව ආදි බොහෝ ගුණ සම්පත් උපදවාගනී.
  11. ඉතා යහපත් ප්‍රතිපත්තියක සිටින්නේ වෙයි.
  12. පසුකාලීන භික්‍ෂූන් ද පංසුකූලිකංගයෙහි උත්සාහවත් කරවන්නේ වෙයි.

මේ වනාහි පංසුකූලිකංගයෙහි දොළොසක් වූ ආනිශංසයෝ ය. මෙහි ඇති අසිරිමත් බව පුරාණ ආචාර්යයන් වහන්සේලා මෙසේ ද වදාරණ ලද්දාහු ය.

මාරසේනා විඝාතාය – පංසුකූල ධරෝ යති
සන්නද්ධ කවචෝ යුද්ධේ – ඛත්තියෝ විය සෝභති

මාරසෙනඟ වැනසීමෙහි දී පංසුකූල සිවුර දරනා භික්‍ෂුව, යුද්ධයෙහි දී සන්නාහ සන්නද්ධ ක්ෂත්‍රියයෙකු මෙන් ශෝභමාන වන්නේ ය.

පහාය කාසිකාදිනී – වරත්ථානි ධාරිතං
යං ලෝකගරුනා කෝ තං – පංසුකූලං න ධාරයේ

කසී සළු ආදි මාහැඟි වස්ත්‍ර අත්හැර තිලෝගුරු බුදුරජාණෝ උතුම් වූ පංසුකූල චීවරයක් දැරූ සේක. එබඳු වූ පංසුකූලය දරා නො ගන්නේ කවු ද?

තස්මාහි අත්තනෝ භික්ඛු – පටිඤ්ඤං සමනුස්සරං
යෝගාචරානුකූලම්භි – පංසුකූලේ රතෝ සියා

එබැවින් ‘පංසුකූල සිවුර ඇසුරු කොට පවතින්නේ ය.’ යන ප්‍රතිඥාව සිහි කරන භික්‍ෂුව, යෝගීන් හට අනුකූල වූ පංසුකූල චීවර දැරීමෙහි ඇලී වාසය කරන්නේ ය.

ගෞතම සම්බුදු සසුනේ පංසුකූලික ව වෙසෙමින් නිකෙලෙස් දිවි පෙවතක් ගත කළ සියලු අරහත් මුනිවරුනට අපගේ නමස්කාරය වේවා!

මතු සබැඳි…
සටහන – රවීන් කෝදාගොඩ