highlights of the week
Home » නුවණ වැඩෙන බෝසත් කථා » 03. සේරිවාණිජ ජාතකය

03. සේරිවාණිජ ජාතකය

සේරි නම් වූ වෙළෙන්දාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔබ කවුරුත් මේ ලස්සන ජාතක කථාව කලින් අසා ඇති. ඒ ජාතක කථාවට පසුබිම් වෙලා තියෙන්නේ අපි මෙතෙක් නොදත් වටිනා උපදේශයක්. ඒ මෙහෙමයි.

ඔන්න බුද්ධ කාලේ සැවැත් නුවර එක්තරා සැදැහැවත් තරුණයෙක් සිටියා. මොහු වරින් වර බණ අහන්නට දෙව්රමට යනවා. ටිකෙන් ටික හිතේ පැහැදීම වැඩි වුනා. පැවිද්දට හිත ගියා. ගිහි ජීවිතය අත්හැර පැවිදි වුනා. භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අවවාද ගත්තා. හුදෙකලාවේ වීර්යය වැඩීම පිණිස වනගත වුනා. එහෙත් ඒ භික්ෂුව ගේ සිත සමාධිමත් වුනේ නෑ. එතකොට ඒ ගැන කලකිරුනා. කුසල් වැඩීම අත්හැරියා. ප්‍රමාදයෙන් කල් ගෙව්වා. විහිලුවෙන් කල් ගෙව්වා. එතකොට වැඩිහිටි භික්ෂූන් වහන්සේලා එහෙම කරන්න එපා කියලා ඒ භික්ෂුවට අවවාද කළා. උත්සාහවත් වෙන්න කිව්වා. මේ ලද දුර්ලභ අවස්ථාව අත්හැර ගන්න එපා කිව්වා. ඒත් හරි ගියේ නෑ. අන්තිමේදී භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව අකමැත්තෙන් ම භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව ගෙන් විමසුවා.

“හැබෑද භික්ෂුව…. දැන් ධර්මයේ හැසිරෙන්න උනන්දුවක් නැද්ද…..? වත් පිළිවෙත් කරන්න උනන්දුවක් නැද්ද……? නිකාම්ම නින්දෙන් කල් ගෙවනවා කියන්නේ…… පිරිසත් එක්ක කතාවට වැටිලා විහිලුවෙන් කල් ගෙවනවා කියන්නේ….? හැබෑද….?”

“එහෙමයි…. ස්වාමීනී.”

“භික්ෂුව….. ඉස්සර එක්තරා කදාවළලු වෙළෙන්දෙක් සිටියා. දවසක් ඔහු වෙළඳාමේ යද්දී කහවණු ලක්ෂයක් වටිනා රන්තැටියක් හම්බ වුනා….. ඔහුට ඒ වෙලාවෙ ඒ රන් තැටිය ගන්න අවස්ථාව තිබුනා. නමුත් ඒක තමන් පහුවෙලා ඇවිත් ගන්නවා කියලා අත්හැරියා. පස්සෙ වෙන වෙළෙන්දෙක් ඇවිත් ඒක අරං ගියා. මොහු ආපසු ඇවිත් බලද්දී ඒක නෑ. තමන්ට වූ පාඩුව ගැන උහුලාගත නොහැකි ශෝකයකින් දුකට පත්වුනා….. භික්ෂුව, ඔබත් ඒ පාඩු ලැබූ වෙළෙන්දා වගේ වෙන්නද යන්නෙ? සතර අපායෙන් මුදවා මගඵල සැප උදා කරන උතුම් බුදු සසුන ලැබුන වෙලාවෙ ඇයි මේ ක්ෂණ සම්පත්තිය අහිමි කරගන්නෙ…. පස්සෙ පසු තැවි තැවී ඉන්නද කල්පනාව…..?”
එතකොට භික්ෂූන් වහන්සේලාට ඒ පාඩු ලැබූ කදාවළලු වෙළෙන්දා ගේ කථාව අහන්න ගොඩාක් ආසා හිතුනා. රන් තැටියක් අහිමි කරගෙන ශෝක වුන වෙළෙන්දා ගේ කථාව කියාදෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දේවදත්ත අපගේ මහාබෝසතාණන් පසුපස්සේ පළිගනිමින් එන කථාවේ ආරම්භය වෙන්නේ මේ සේරිවාණිජ ජාතකයෙන්. මේ සිද්ධිය වුනේ මෙයින් පස්වෙනි කල්පයකට පෙරයි. අසංඛෙය්‍ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට අප මහ බෝසතුන් පාරමී පිරුවා. ඒ සා දීර්ඝ කාලයක් දේවදත්තයා පසුපසින් ආවේ නෑ. බුද්ධත්වය ලබන්න කල්ප පහකට කලිනුයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. ගොඩාක් අය සිතාගෙන ඉන්නෙ අසංඛෙය්‍ය කල්ප ගණන් දේවදත්තත් පස්සෙන් ආවා කියලා. නෑ…. එහෙම වුනේ නෑ.

ඉතින් මීට කල්ප පහකට කලින් අපේ බෝධිසත්වයෝ සේරීව කියන රටේ කදාවළලු වෙළෙන්දෙක් වෙලා හිටියා. ඒ රටේම සේරී කියල තවත් කදාවළලු වෙළෙන්දෙක් හිටියා. හැබැයි මේ සේරී වෙළෙන්දා හරීම ආත්මාර්ථකාමීයි. තමන් ගැන විතරයි බලන්නේ. හරි කපටියි. ලෝභකමෙන් යුක්තයි.

ඉතින් මේ දෙන්නා නීලවාහිනී කියන ගංගාවෙන් එතෙර වෙලා අන්ධපුර කියන නගරේ වෙළඳාම් කළා. ඔවුන් වෙළඳාම් කරද්දී දෙන්නා කතා වෙලා නගරේ වීදි බෙදාගත්තා. තම තමන්ට ලැබුනු වීදිවල වෙළඳාම් කළා. තමන්ට නියමිත වීදියේ ඉස්සෙල්ලාම වෙළඳාමේ යන්ට පුළුවන් වුනේ ඒ අදාළ වෙළෙන්දාට යි. අනිත් වෙළෙන්දාට යන්න පුළුවන් වුනේ ඊට පස්සෙයි.

දවසක් සේරී වෙළෙන්දා එක්තරා වීදියක වෙළඳාමේ ගියා. ඒ වීදියේ පරණ සිටු නිවසක් තිබුනා. ඒ සිටු පවුල දැන් ගොඩාක් දුප්පත් වෙලා. දැන් ඒ ධනවත් නෑදෑ සහෝදර කවුරුවත් නෑ. එක් මිත්තණියකුයි මිනිබිරියකුයි විතරයි ඒ නිවසේ ඉන්නේ. ‘කදාවළලු…. කදාවළලු….’ කියමින් මේ සේරී වෙළෙන්දා කෑ ගසාගෙන යද්දී අර මිනිබිරියට ඒ හඬ ඇසුනා. ඈ නිවසින් එළියට ආවා. පාර දිහා බලාගෙන හිටියා. ආයෙමත් කලබලයෙන් ගෙට දිව්වා.

“අනේ…. මගේ මිත්තණියනේ…. ආන්න…. කදාවළලුකාරයෙක් එනවෝ…… අනේ….. මටත් කදාවළලු ඕනා…… අනේ….. මටත් හරී ආසයි…. ඒවා හරී ලස්සන වළලු….!”

“අනේ මයෙ කෙල්ලේ…. ඕවා හරී ගණන් නොවැ…. ඇරත් අපට ඕවා ගන්ට සල්ලි කොහින්ද මයෙ දුවේ….. දැන් බලාපන්….. අපි එදා වේල හොයාන කන්නෙත් අනුන්ට බැල මෙහෙ කොරලා නොවැ….”

එතකොට මිනිබිරී මුහුණ හකුලා ගත්තා. සිඟිති ඔලුව ගැස්සුවා. දෑසේ කඳුළු පුරෝගත්තා. ආයෙමත් කෙඳිරි ගාන්න ගත්තා. කදාවළලු හඬ ළඟ ළඟ ඇහෙනවා. කුඩා දියණිය තවත් කලබල වුනා. ඈට අමුතු නුවණක් පහළ වෙලා වගෙයි. ඈ වහා ගේ ඇතුලේ පරණ වළං ගබඩාවට දිව්වා. මල බැඳුනු තැටියක් අරගෙන ආවා.

“මේ…. මේ….. අනේ මිත්තණියෙනි….. මේ අපේ මුත්තා බත් වළඳපු භාජනේ තියෙන්නෙ…. ඉතින් අපි මේක දෙමුකෝ…. දීලා වළල්ලක් ඉල්ලා ගනිමුකෝ…..”

“අනේ…. කෙල්ලේ…. අපි කොහොමෙයි දන්නෙ…. ඔය වෙළෙන්දා ඕක ගත්තොත් හොඳා…. නැත්නම් මොකදෑ කොරන්නේ?”

“අනේ…. මිත්තණියේ….. මේක නොගෙන ඉන්න එකක් නෑ. මං ඒ වෙළෙන්දාට අඬ ගහන්නම්….” කියලා මිණිබිරී අර වෙළෙන්දාව පරණ දිරා ගිය සිටු නිවසට අඬ ගසාගෙන ආවා. එතකොට මිත්තණිය ඒ වෙළෙන්දාට මෙහෙම කිව්වා.

“අනේ…. පින්වත….. මේ මයේ කෙලී වළල්ලක් ඉල්ලලා හඬනවා. මට බේරෙන්න බැහැ…… අනේ මයෙ පුතේ….. මේ පරණ තැටියක් තියෙනවා. ඕක අපේ පරම්පරාවෙන් ආපු එකක්….. ඉස්සර මේ කෙලී ගෙ මුත්තලා බත් කාපු තැටිය…. මේන්න මේක…. ඔය තැටිය අරන් මේ දැරිවිට මොකවත් දීපං පුතේ…”

ඉතින් සේරි වෙළෙන්දා අර තැටිය අතට ගත්තා. ඉඳිකටු තුඩින් තැටිය සූරලා බැලුවා. හැබෑම රත්තරන් තැටියක්! එතකොට මහා ලෝභකමක් හටගත්තා. කිසිවක් නොදීම බාල බඩු වගේ පෙන්නලා තැටිය ගන්ට ඕනා කියල සිතුවා. ඒ තැටිය පැත්තට වීසි කරා……

“හාපෝ….. මේකේ කිසි වටිනාකොමක් නැහැ. අඩ මස්සක් තරම්වත් වටින්නේ නැහැ. මේකට නම් මොකුත් දෙන්ට විදිහක් නම් නැහැ. වටිනාකොම බොහොම අඩුයි” කියලා තමන් ගේ වළලු කදත් ඉනේ රඳවාගෙන පිටත් වුනා. කඳුලු පුරවාගත් නෙතින් යුතු මිණිබිරිය ඒ වළලු දෙස බලාගෙන හිටියා. මිත්තණිය මිනිබිරිය ගේ ඔලුව අතගෑවා. ඒ බිම දමාපු තැටිය රැගෙන නැවතත් වළං ගොඬේ දැම්මා.

ටික වේලාවකින් තවත් වෙළෙන්දෙකු ගේ හඬ ඇහෙනවා. “කදා වළලු…. කදා වළලු….” කියන හඬ ඇහෙනවා. පැත්තට වෙලා ශෝකෙන් වාඩි වී සිටි කෙලී ආයෙමත් නැගිට්ටා. ගෙයින් එළියට පැන්නා. වැට ළඟට දිව්වා. පාර බලා ඉන්නවා. මේ වෙළෙන්දා එහා ගෙදර මිනිස්සුත් එක්ක ආදරයෙන් කතා කරනවා. පෙනුමත් අහිංසකයි. ඈ ආයෙමත් මිත්තණිය ළඟට දිව්වා.

“අනේ…. මිත්තණියේ….. තව වෙළෙන්දෙක් එනවා……. අපි මෙයාට අර තැටිය දීලා වළල්ලක් ඉල්ලා ගනිමු.”

“අනේ පැටික්කියේ…… ඔය වෙළෙන්දෝ මට නම් විශ්වාස නැහැ……. දැක්කා නේ කලින් ආපු මනුස්සයා. තැටියත් වීසි කොරලා….. ගස්සාගෙන….. කෑගසලා ගිය හැටි. මේ මනුස්සයත් එහෙම කොරාවි.”

“අනේ මිත්තණියේ….. මේ වෙළෙන්දා නම් හොඳ කෙනෙක් වගෙයි…… අනේ මිත්තණියේ මං අඬගහන්නම්…… අනේ….. අපි මේ වෙළෙන්දාටවත් අර තැටිය දීලා බලමු.”

“හොඳයි… එහෙනම්… අඬගහපන් බලන්න.”

එතකොට මිණිබිරී ආයෙමත් වැට කඩුල්ල ළඟට දිව්වා. අර වෙළෙන්දාට කතා කළා. වෙළෙන්දා සිටු නිවසට ඇවිත් වළලු කද බිමින් තිබ්බා.

“අනේ දරුවෝ…. අපේ මේ කෙලීගෙන් මට බේරෙන්න විදිහක් නැහැ නොවැ….. වළල්ලක් ඉල්ල ඉල්ලා හඬනවා….. ඉතින් මයෙ දරුවෝ….. මේකට නම් බැහැ නොකියා වළල්ලක් දීපං…. මේන්න මේ තැටිය තමයි අපට තියෙන්නේ. කාසි මොකුත් නෑ. ඔය තැටිය පුරාණ එකක් පුතේ. මේ මිණිබිරී ගේ මුත්තලා බත් කාපු තැටිය. ඉතින් මේක අරගෙන ඔය මොනවා හරි පොඩි දෙයක් දුන්නාම ඇති පුතේ……”

එතකොට බෝසත් වෙළෙන්දාත් ඒ තැටිය අතට ගත්තා. ඉඳිකටු තුඩකින් ඉරක් ඇඳලා බැලුවා. දෑස් උඩ ගියා. අතක් නළලේ තබා ගත්තා.

“අපෙ අප්පෝ……. ආච්චියේ…. මේක රන් තැටියක් නොවැ. මේක රන් කහවණු ලක්ෂයක් විතර වටිනවා….. මේකට සරිලන්න වස්තුව අපි ළඟ කොයින් ද….!”

“හැබෑට පුතේ…. ඕක එච්චර වටිනවැයි…..! හනේ…. ඒකට….. මීට කලින් ආපු වෙළෙන්දා ඔය තැටිය අතට අරගෙන මටත් රවලා, කෙලීටත් රවලා, අඩ මස්සක් වත් වටින්නේ නෑ කියලා බිම අතෑරලා ගියා නොවැ….. හහ්….. මයෙ පුතේ….. නුඹේ පිනට වෙන්නැති මේක රත්තරන් වුනේ….. අනේ පුතේ…. නුඹ ඔය තැටිය ගනින්. අපේ මේ කෙලීට වළල්ලක් දීපං පුතේ….”

“ආච්චියේ….. මා ළඟ මුදලින් කහවණු පන්සීයක් තියෙනවා. මේ වළලු මාලවල වටිනාකමත් කහවණු පන්සියයයි. මේ ඔක්කොම මං දෙන්නම්….. මට මේ තරාදියයි….. මේ වළලු දාන පෙට්ටියයි….. කහවණු අටකුයි දෙනවාද ආච්චියේ.”

“ගනින් පුතේ…. ගනින්…. නුඹට බොහෝම පිං පුතේ…… අපි මහා රැවටිලිකාරයෙකුට හසු නොවී බේරුනේ නුඹ නිසා පුතේ…..”

ඉතින් බෝසත් වෙළෙන්දා ඒ ටික අරගෙන ගං තෙරට ගියා. තොටියාට කහවණු අට දුන්නා. ඔරුවේ නැගලා පිටත් වුනා. එතකොට සේරී කියන වෙළෙන්දා ආපහු අර පරණ සිටු ගෙදර ආවා.

“කෝ…. මේ ගෙදර හිටපු අර කෙලී…… කෝ….. අර ආච්චි…..” එතකොට ආච්චි එළියට ආවා. කෙලීත් ආච්චිගේ අතේ එල්ලිලා හිටියා.

“ඇයි…. මොකද….?”

“අර තැටි කබල ගෙනෙල්ලා….. මං මොකවත් දීල යන්ටයි ආවේ….. මේ කෙලී පව් නොවැ.”

“ඈ බොල…. වෙළෙන්ද….! හා…. දැන් ද මේ කෙලී පව් වුනේ. රන් කහවණු ලක්ෂයක් වටිනා රන් තැටිය……… අඩ මස්සක්වත් වටින්නෙ නෑ කියලා වීසි කොරල ගියා…….. නුඹ වගේ නොවෙයි. මනුස්සකං තියෙන වෙළෙන්දෙක් ආවා…… අනේ ඒ දරුවා….. සල්ලියි බඩුයි ඔක්කොම අපට දුන්නා. රන් තැටිය අරං ගියා!”

එතකොට සේරී වෙළෙන්දා ඉනේ රුවාගෙන හිටිය බඩු පෙට්ටිය බිම වැටුනා. තමන්වත් බිම ඉන්දුනා. දණ ගැස්සුනා. ඇස් නිලංකාර වෙලා ගියා. ටික වෙලාවකින් ආයෙ සිහි උපන්නා.

“හෑ….. හෑ….. ආයෙත් කියාපිය…. මොකාද ඒ මගේ රන් තැටිය අරන් ගියේ…… හයියෝ….. තොපි ඒක කාටෙයි දුන්නේ…..?”

“ඒ මනුස්සයා හොඳ වෙළෙන්දෙක්….. නුඹ ගිහිං ඒ වෙළෙන්දාගෙන් වෙළඳාම ඉගෙන ගනිං.”

“හරි…. හරි….. කෝ….. ඒකා…… කොහේ ද ගියේ….. හයියෝ…. මගේ රන්තැටිය අරන් ඒකා කොහේද ගියේ කියාපිය.”

එතකොට මිනිබිරී ඈතට අත දික්කළා.

“අනේ ඒ හොඳ මාමා…. ආන්න ඔරුවේ නැගිලා යනවා.”

සේරී වෙළෙන්දට උන්හිටි තැන් අමතක වුනා. පපුවට අත් ගසා ගත්තා. තරාදියේ තැටි දෙක ගලෝල වීසි කළා. තරාදි දණ්ඩ මුගුරක් වගේ අතින් මිටි මොලෝගත්තා. දත් කූරු කෑවා. ඇස් ලොකු කරගත්තා. කලබලයෙන් නැගිට්ටා. පාවහන් දෙක වීසි කළා. තමන් ළඟ තිබ්බ හැම දේම එතැන දැම්මා. එක හුස්මට ගඟ දිහාවට දිව්වා. ගං තෙරට ගිහින් යටි ගිරියෙන් කෑ ගැසුවා.

“ඒයි…. තොටියෝ…. මෙහෙ වර…. මෙහෙ වර…..” කියලා තරාදි දණ්ඩ අතින් මිටි මොලවාගෙන කෑගැහැව්වා. එතකොට බෝසත් වෙළෙන්දා තොටියාට මෙහෙම කිව්වා.

“තොටිය…. ඒ වෙළෙන්දා ඉන්න විදිහ එතරම් හොඳ නෑ. මං ගැන ලොකු වෛරයකින් වගෙයි. දැන් ඔබ හරවාගෙන ගියොත් මාව විනාශ කරාවි….. ඒ නිසා ඔරුව හරවන්න එපා. අපි එතෙරට ම යමු.”

තොටියා ඔරුව හරවාගෙන ආවෙ නෑ. දිගට ම එතෙර ගියා. ඔහු ගේ අතට කහවණු අටක් ලැබිලා තියෙන්නේ. ලොකු ගණනක් දීපු කෙනාගේ බසට අවනත වෙන්න වෙනවානේ. ඔරුව ඈතට යනවා. සේරි වෙළෙන්දා ගං තෙර දණ ගසාගෙන අර තරාදි දණ්ඩ අත්හැරියා. දෑතේ ඇඟිලි විහිදුවලා වැල්ලට අත් දෙක එබුවා. කිටි කිටියේ වැලි ගොඩක් මිටි මොලවා ගත්තා. අත් දෙක එසෙව්වා. දත් කූරු සපමින් ඈත බලා ඉන්නවා. ඇස් රතු වෙලා. බිහිසුනු පෙනුමක් ඇවිත්. කඳුලු වැගිරෙනවා. තමන් ගේ දෑස් ඉදිරියේ පෙනෙන්නේ අර වෙළෙන්දා ගඟෙන් එතෙර වීම පිණිස ටිකෙන් ටික එතෙරට ළං වීම යි. දිගට එක හුස්මට බලා සිටිද්දී මොහුගේ පපුව හිර වුනා. මහා කැස්සක් ආවා. කටින් ලේ වමනේ ආවා. එතැනම මැරී වැටුනා. බෝසත් වෙළෙන්දා කෙරෙහි මහා වෛරයක් ඇති කරගෙන මැරී වැටුනා.

ඇත්තෙන්ම පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ සේරි වෙළෙන්දා සුහදව බෝසත් වෙළෙන්දා ගෙන් ඉල්ලා සිටියා නම් අඩුගණනේ ඒ රන් තැටිය අලෙවි කොට ලබන මුදලෙන් කොටසක් වත් ඉල්ලා ගන්න තිබුනා. නමුත් ඔහු ගංතෙරට ආවේ හොඳ සිහියෙන් නොවෙයි. දරුණු කෝපයකින්. ඒ අවස්ථාවේ බෝසත් වෙළෙන්දා ළඟ සිටියා නම් අනිවාර්යයෙන් ම නැති කරනවා. බෝසත් වෙළෙන්දා නුවණින් කටයුතු කළ නිසයි බේරුනේ.

ඉතින් මේ අතීත කථාව වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා.

“දැන් බලන්න පින්වත් මහණෙනි…. අර සේරි වෙළෙන්දාගෙ අතට යි ඉස්සෙල්ලාම රන්තැටිය ලැබුනේ. ඔහුට ඒක ගන්න තිබුනා. ඔහු තුළ ගුණධර්ම නැතිකම ඒකට බලපෑවා. ඒ නිසා රන්තැටිය අහිමි වුනා. මේ සසුනෙ රන්තැටිය තමයි මේ උතුම් නිවන් මග. ගුණධර්ම තුළින් උත්සාහ නොකරන කෙනෙක්ට කොහොමද දියුණුව ලැබෙන්නෙ? ගුණදහමින් යුතු, නුවණින් යුතු යහපත් වෙළෙන්දා රන්තැටියට හිමිකරු වුනා. දැන් මගේ සසුනේ හිමිකාර බව ලැබෙන්නේ එබඳු අයටයි. බලන්න…. ඒ කාලේ අඥාන වෙළෙන්දා වෙලා හිටියේ දේවදත්ත. නුවණැති වෙළෙන්දා වෙලා හිටියේ මම.”

මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ නිවන්මග ඉස්මතු කරමින් ධර්මය වදාළා. චතුරාර්ය සත්‍යය මැනැවින් කුළු ගන්වා වදාළා. එතකොට අර භික්ෂුවට අකුසල් බැහැර කිරීමේ වීරිය උපන්නා. කුසල් වැඩීමේ වීරිය උපන්නා. මගඵල පිළිවෙළින් අර්හත්වයට පත්වුනා. මේ ජාතක කතාව ඇසූ බොහෝ දෙනෙකුට ක්ෂණ සම්පත්තිය අහිමි කරගැනීමේ දෝෂය ඉතා හොඳින් වැටහුනා. ගුණධර්ම රැකගෙන කටයුතු කිරීම නිසා යහපත උදාකරගැනීමේ අවස්ථාවත් වැටහුනා.
පින්වතුනේ, පින්වත් දරුවනේ,

මේ සේරිවාණිජගේ කථාවෙන් කියැවෙන්නේ ගුණධර්ම නැතිව ආත්මලාභය මුල් කොට වැඩ කරන්න එපා කියලයි. ගුණධර්ම වලින් යුක්තව වැඩ කටයුතු කොට දියුණුව ලබන්න කියලයි. එය තමයි මේ ජාතක කථාවේ සැබෑ අරුත.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

12. නිග්‍රෝධමිග ජාතකය

“හැබෑට ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ගේ මහාකරුණාව හරි පුදුමයි. අපේ කුමාර කස්සපයන් ගේ මෑණියන් වැරදීමකින් මහණ වුනේ දෙව්දත් පිරිස ළඟ නොවැ. එදා ඇගෙන් කිසිවක් නොවිමසා එළියට බහින්න සිදුවුනා. භාග්‍යවතුන් වහන්සේ කිසිවෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි ලෙස විනයානුකූල විනිශ්චයක් දුන්නා. ඒ නිසා අම්මත් බේරුනා. සිඟිත්තත් බේරුනා.”