ලෝකයෙහි සන්නිවේදනය යනු අතිශය ප‍්‍රබල සහ තීරණාත්මක කාර්යභාරයක් සිදුකරන විශ්වීය මෙවලමක් යැයි හැඳින්වීමේ වරදක් නැත. ඊට හේතුව නම් ඉතා දියුණු මිනිසාගේ පටන් කුරා කුහුඹුවා දක්වා මෙකී මෙවලම තම අන්‍යොන්‍ය හැඟීම් සහ අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා තමන්ට රිසි සහ හැකි පරාසයන් තුළ භාවිතයට යොදවා ගන්නා බැවිනි. සන්නිවේදනය මිනිසාගේ හෝ කවර සත්වයෙකුගේ හෝ ජීවිත පැවැත්ම තුළ සිදු කරන කාර්යභාරය තීරණාත්මක නම් එහි හැසිරීම ඍජුව ම එ් මිනිසාගේ හෝ සත්වයාගේ හෝ යහපත උදෙසාත්, අයහපත උදෙසාත් බලපානු ඇත. මෙයින් ගම්‍ය වන්නේ සන්නිවේදනය තුළ දී ඕනෑම සත්වයෙකුට හෝ මිනිසෙකුට ස්වකීය මෙන් ම අන්‍යයන්ගේ යහපත පිණිස සුවිශාල වගකීමක් පැවරෙන බව ය. එහි දී මිනිසුන් වශයෙන් අපි ඉතා දියුණු සන්නිවේදන ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරන්නේ යැයි සිතමු.

එහෙත් අද වන විට අපගේ ප‍්‍රාථමික සන්නිවේදනයේ සිට දියුණු සන්නිවේදනය දක්වා වූ පරාසය තුළ අර්ථවත් වන, යහපත උදෙසා පවතින අවස්ථාවන් පිළිබඳ සැලකිලිමත් වී තිබේ නම් එ් ඉතා අල්ප වශයෙනි. වැඩි වශයෙන් එකී සාධකය අපගේ ම අයහපත උදෙසා භාවිත කරන්නෙමු. නවීන විද්‍යාව තුළදීත් සන්නිවේදනය යන්න ඉතා පුළුල් මාතෘකාවකි. නමුදු එකී විද්‍යාව මානවයාගේ සැබෑ අර්ථය පිණිස පවතින සන්නිවේදන භාවිතය නො වේ. මන්ද යත් විද්‍යාව යනු මිනිසාගේ කටයුතු පහසුකර ගැනීම පිණිස උපකාර කරන්නක් මිස ගුණාත්මක සන්නිවේදන භාවිතය කියා දෙන්නක් නො වන නිසා ය. එය අපගේ චරිත ස්වභාවය, අවබෝධය සහ අවස්ථාවට අනුව ගොඩනැගෙන්නකි. ජීව ගුණයෙන් ද යුතු වූවකි. අජීවී සන්නිවේදන මෙවලම් පවා ජීව ගුණයෙන් යුතුව නිවැරදිව හා අර්ථවත්ව භාවිත කිරීමට නම් අප උතුම් සත්පුරුෂ දහමින් සුපෝෂිත විය යුතු ය.

වර්තමානය තුළ ලෝකයෙහි හැසිරීම මඳක් විමසා බලමු. මිනිසාට ආවේණික හැඟීම් පවා මේ වන විට ලෝකය තුළ අලෙවි වෙමින් පවතී. සන්නිවේදන මාධ්‍ය තම ආධිපත්‍යය තුළට මිනිසා හසුකරගෙන අවසන් ය. ඉදින් එකී මාධ්‍ය හසුරුවන්නන් අතලොස්සක් හට මුළු මහත් ලෝකයක් වෙනස් කිරීමට හැකිවීම යන්න ඛේදනීය තත්ත්වයකි. ප‍්‍රධාන වශයෙන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන පටු පරමාර්ථ සහිත අදූරදර්ශී සන්නිවේදන පිළිවෙත් දිනෙන් දින සමාජය ගෙන යන්නේ ගුණදහමින් ඈතට ම ය. ඉතා අතලොස්සක් වූ මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ගුණ දහම් වෙත සමාජය නතු කිරීමට ප‍්‍රයත්න දැරුව ද එය බොහෝ දුෂ්කර වී ඇත්තේ නිරන්තරව සිදුවන ප‍්‍රබල මාධ්‍ය භාවිතයක් ඊට සාපේක්‍ෂව ප‍්‍රතිවිරුද්ධ මගක ගමන් කරන බැවිනි. කෙසේ නමුත් කිසිදු මාධ්‍ය භාවිතයකට අප බලෙන් කිසිදු දිශාවක් කරා රැගෙන යා නො හැකි බවත් අප වටහා ගත යුතු ය. එහෙත් එ් අප බුද්ධිමත් නම් පමණි. එසේ ම අපගේ ජීවිත සුරක්‍ෂිත කර ගනිමින් ප‍්‍රාථමික හා දියුණු සන්නිවේදන භාවිතය තුළ එ්කායන වූ සොඳුරු පිළිසරණක්, තෝරා ගැනීමක් ද ඇති කර ගත හැකි බව අප දැන සිටිය යුතු ම ය.

ලෝකයෙහි පංචකාම සැප සම්පත් සොයන සමාජය උදෙසා සන්නිවේදන මාධ්‍ය විසින් ඉන්ද්‍රියන් පිනවිය යුතු නැතැයි කියා අපි නො කියමු. එහෙත් එය හිස් තෘප්තියක් ම පමණක් නො විය යුතු ය. පේ‍්‍රක්‍ෂක, පාඨක බුද්ධියට සහ ගුණයට ආමන්ත‍්‍රණය කිරීමට එ්වාට හැකි විය යුතු ය. තොරතුරු සන්නිවේදනය තුළත් අතිමහත් සමාජ වගකීමක් ඔවුන් වෙත මෙන් ම අප වෙත ද පැවරී ඇත. එ් කිසිවක් තුළ තමන්ට රිසි සේ කටයුතු කළ නො හැකි ය. එසේ නො වන්නේ නම් එය, එකී සමාජ පද්ධතියේ ම පරිහානිය පිණිස ඍජුව ම බලපානු ඇති බව අප තේරුම් ගත යුතු ය. එවිට මැදහත්ව නිවැරදි දේ තෝරා ගැනීම අපහසු ය.

යම් සන්නිවේදනයක් තුළ මිනිසාගේ රාගයත්, ද්වේෂයත්, මෝහයත්් වැඞී යන්නේ නම්, ක්ලේශයන් තුළ පීඩාවට පත්වන්නේ නම්, හට නො ගත් පාපී අකුසලයන් හටගන්නේ නම්, හටගත් පාපී අකුසලයන් වැඩි දියුණු වන්නේ නම්, හට නො ගත් කුසල ධර්මයන් හට නො ගන්නේ නම්, හට ගත් කුසල ධර්මයන් පිරිහී යන්නේ නම් එබඳු වූ සන්නිවේදනය නිසැකව මෙලොව වශයෙන් දුක පිණිස පවතිනු ඇත. නැවත උපතක් කරා යන විට දී දුක් විපාක සහිත කර්මය දායාදය වනු ඇත. එ් තුළ ඇත්තේ තමා වනසා ගනිමින් ලෝකය වැනසීම පමණි. එසේ නම් එම සන්නිවේදනය නුවණින් සලකා බැහැර කළ යුතු ය.

එසේ ම යම් සන්නිවේදනයක් තුළ රාග, ද්වේෂ, මෝහ දුරුවී යන්නේ නම්, පීඩාකාරී කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස පවතින්නේ නම්, හට නො ගත් පාපී අකුසල් හට නො ගන්නේ නම්, හට ගත් අකුසල ධර්මයන් දුරු වී යන්නේ නම්, හට නො ගත් කුසල ධර්මයන් හට ගන්නේ නම්, හට ගත් කුසල ධර්මයන් වැඩි දියුණු වන්නේ නම් එ් සන්නිවේදනය මෙලොව වශයෙන් සැපය පිණිස පවතිනු ඇත. නැවත උපතක් කරා යන්නේ නම් සැප විපාක සැලසෙන කර්මය දායාදය පිණිස පවතිනු ඇත. යම් ජීවිතාවබෝධයක් තුළින් සදහට ම දුකින් මිදීමක් ඇති ද එය ද සාක්ෂාත් කොට සැප සේ විසිය හැකි ය. එ් තුළ ඇත්තේ තමාටත්, ලෝකයටත් යහපත පමණි. එබඳු වූ එක ම සන්නිවේදනය ලෝකයට දායාද කළේ දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්තෘ වූ අපගේ ගෞතම බුදුසමිඳුන් පමණි. රාග, ද්වේෂ, මෝහ නැමැති කෙලෙස් මුල් ගැනත්, කුසල – අකුසල ධර්මයන් ගැනත්, ලොවෙහි යම්තාක් සුභාෂිත වචන ඇත්නම් එ් සියල්ලත් අප මුනිඳුන් වදාළ උතුම් අමෘත ධර්මයෙහි ම වදන් මිස අනෙකක් නො වේ. මේ පිවිතුරු සන්නිවේදනය තුළ සංසාරගත සත්වයා සදහට ම දුකින් නිදහස් කරවන සුගත මඟ ප‍්‍රකට ය.

සන්නිවේදනය තුළ අපගේ සාමාන්‍ය දිවි පැවැත්ම සකස් වන්නේ එක්තරා සාංසාරික වූ සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයකට යැයි පැවසීම වරදක් නැත. එ් සසර වෙත ගමන් කරනු ලබන සම්ප‍්‍රදාය යි. අපගේ උපතේ සිට අපට මේ උරුමය ලැබුණේ යැයි සිතන නමුත්, එය ඊට වඩා බොහෝ පැරණි ය. සසරෙහි වූ අති දීර්ඝ බව අප දැනගත්තේ එ් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය තුළිනි. සංසාරගත සත්වයන් බොහෝ කලක් තිස්සේ ජරා මරණයන්ට පත්වෙමින් කලක දී මිනිසුන් අතර උපදී. කලක දී දෙව් බඹුන් අතර ය. කලක දී තිරිසනුන් අතරත්, නිරය, පේ‍්‍රත, අසුර නිකායන්හිත් උපත ලබයි. යම් කලෙක හෙතෙම තිරිසන්ගත සත්වයන් තුළ හස්තියෙකුව ඉපදෙන්නේ නම් හස්තීන්ට ආවේණික සන්නිවේදන චර්යා රටාවන් උරුම කර ගනී. එවිට ඔවුනොවුන් තම හැඟීම්, අදහස් ප‍්‍රකාශ කරනුයේ ඊට අනුරූපව ය. අනෙකුත් සත්වයන් ද ඔවුනොවුන්ට අනන්‍ය වූ සන්නිවේදන භාවිතයක යෙදෙන බව දැකිය හැකි ය. එ් කවර සත්වයෙකු වුවත් එ් තුළ සිදුකරන්නේ නැවත නැවතත් දුක සහිත උපතක් කරා යොමුවීම පමණි.

එය මහත් අනතුරක් බව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව නුවණින් විමසන අප හට වටහාගත හැකි ය. යම් තැනක උපතක් වේ නම් එය ජරා මරණයේත්, රෝග පීඩාදියේත් අනේකවිධ දුක් දෝමනස්සයන්ගේත් ඇරඹුම බව බුද්ධිමත් පුණ්‍යවන්තයන් විසින් අවබෝධ කළ දෙයකි. එසේ නම් පෙර කරන ලද පුණ්‍ය බලයකින් මිනිසත් බවත්, බුද්ධ ශාසනයත් ලැබුණු මේ මොහොත අපගෙන් දුරස්වීමට ප‍්‍රථම එ් තුළ සුරක්ෂිත වීමට අප වහ වහා කටයුතු කළ යුතු ය. අති දුර්ලභ වූ දහම් සන්නිවේදනය ලෝකයේ තවත් එක් සන්නිවේදනයක් නොවන බව අප අවබෝධ කර ගත යුතු ය.

උපන්දා සිට අල්ප වූ ආස්වාදයක් වෙනුවෙන් බොහෝ දුක් විඳිමින් ඇස, කන, නාසය, දිව, කය, මනස පිනවමින් කාලය ගත කළ අපට නවීන ලෝකයෙහි කෙලෙස් අවුස්සන සන්නිවේදන භාවිතය මහා ලොකු ලැබීමක් ලෙස විටෙක සිතේ. එ් නිසා ම අප විඳින පීඩාවන්ගේ ප‍්‍රමාණය අති මහත් වුවත් ඉතා අල්ප වූ, සැණෙකින් අහිමි වන සුලූ ආස්වාදය ඉදිරියේ දන නමන්නට අපට සිත් වේ. එය අතහැරීම දුෂ්කර ය. අනවබෝධය නිසා ම එහි ඇලී වාසය කිරීමට සිදුව ඇත. එ් සියල්ල හීන වූ කාමභෝගී සන්නිවේදනයේ ප‍්‍රතිඵලයන් ය. එ් තුළ අප නැවත නැවතත් දිව යන්නේ බිහිසුණු සසර වෙතට ම ය. අස්වැසිලි රහිත මෙම ගමන නතර කිරීමට බුද්ධිමත් දෙව් මිනිසුන් ගන්නා තීරණය තුළ මේ නිසරු, අල්ප ආස්වාදයෙන් යුතු වූත් ගිනි අඟුරු වළක් වැනි ආදීනව ඇති වූත් කාම සැපයට වඩා ප‍්‍රමාණ කළ නො හැකි නිරාමිස සැපයක් අත්වන බවත්, සදහට ම දුක නිමා කළ හැකි බවත් අප තවමත් තරයේ පිළිගෙන නැත. එසේ පිළිගන්නේ නම් මේ මොහොතේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුරුදු නො කරන මිනිසෙකු සොයා ගැනීමට අපට දුෂ්කර වනු ඇත. සසරේ නොයෙක් විට අපගේ අවාසනාවට අප විසින් අත් හළ මේ උතුම් සන්නිවේදනයේ අග‍්‍ර ඵලය ලැබීමට තවදුරටත් පමා විය යුතු නැත.

මහාමේඝ 2015 වෙසක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
රොහාන් ඉන්ද්‍රජිත්