අපගේ ජීවිතයේ දියුණුවත්, පිරිහීමත් තීරණය වීමට අප ඇසුරු කරන පුද්ගලයන් ඉතා තීරණාත්මකව බලපෑම් කරනවා. ඉතා දුර්ජනයෙකු ශ්‍රේෂ්ඨයෙකු වීමටත්, ඉතා දක්ෂයෙකු දුර්ජනයෙකු වීමටත් මුළුමනින් ම ඇසුරු කරන පුද්ගලයන් හේතු වෙනවා. ඉතිහාසය පුරාවටත්, වර්තමානයෙත් සිදු වූ කොතෙකුත් සදෘෂ්‍ය සිද්ධීන් ඊට සාක්‍ෂි දරනවා. එම නිසා පුද්ගල ඇසුර පිළිබඳ යම් අවබෝධයක සිටීම අප කාහටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති, සියල්ල අවබෝධ කරගත් මහා නුවණැති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගල ඇසුර පිළිබඳව නොයෙක් පර්යායයන්වලින් දේශනා කළ සූත්‍ර දේශනා සිය ගණනක් අපට පෙළ දහම තුළ මුණගැසෙනවා. එක් අවස්ථාවක ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“යම් විදිහක කෙනෙක් එක්ක නම් මිතුරුකම් කරන්නේ, යම් විදිහක කෙනෙක් නම් ආශ්‍රය කරන්නේ, ඔහු අන්න ඒ විදිහේ කෙනෙක් වෙනවා. ඔහු සමඟ එකට ආශ්‍රය කිරීමත් ඒ වගේ ම යි.

දිගින් දිගට ම ඇසුරු කරනකොට අනික් කෙනාගේ ගතිගුණ අර ඇසුරු කරන කෙනාටත් පුරුදු වෙනවා. විෂ පොවපු ඊතලයක් නිතර නිතර හොඳ ඊතල ගොඩේ දානවා නම් ඒ ඊතලවලත් විෂ තැවරෙනවා. ඒ වගේ නුවණැති කෙනෙක් වුණත් පාපී යාළුවන් ඇසුරු නො කළ යුත්තේ පවු තවරා ගන්න තියෙන භය නිසා ම යි.”

(සුඛාපත්ථනා සූත්‍රය – ඉතිවුත්තක පාළිය)

විෂම ගති පැවතුම් ඇති සමාජයේ ඇතැම් විට අපි යම් යම් අයගේ ඇසුරට පත්වන්නේ නිරායාසයෙන් ම යි. පුද්ගලයන් දස දෙනෙකු ගතහොත් ඒ ඒ කෙනා ඇසුරට ප්‍රිය කරන්නේ දස ආකාරයේ පුද්ගලයන්. ඊට බොහෝ විට එකිනෙකාගේ රුචි අරුචිකම්, සංසාරික පුරුදු, විවිධ ආකල්ප හා දෘෂ්ටීන් හේතු වෙනවා. ධර්මයෙන් වේවා අධර්මයෙන් වේවා සමාන අදහස් ඇති අය ඔවුනොවුන් ඇසුරු කිරීමට ප්‍රිය කරනවා. එය ලෝකයේ හැමදාම පවතින ස්වභාව න්‍යායක්.

“පින්වත් මහණෙනි, අතීතයේ දී පවා…. අනාගතයේ දී පවා…. වර්තමානයේ දී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. ළාමක අදහස් ඇති සත්වයන්, ළාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන්, යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.”

(හීනාධිමුත්තික සූත්‍රය – ධාතු සංයුත්තය)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ ව මෙසේ ද වදාළා.

“පින්වත් මහණෙනි, අතීත කාලයේ දී පවා…. අනාගත කාලයේ දී පවා…. වර්තමාන කාලයේ දී පවා…. මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ නැති උදවියත් සමඟ ම යි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවිය සමඟ ම යි. විපාකයට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ විපාකයට භය නැති උදවිය එක්ක ම යි. දහම ගැන දැන උගත් නැති උදවිය…. දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය…. සිහි මුළා වූ උදවිය…. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන උදවිය එක්ක ම යි..”
“පින්වත් මහණෙනි, අතීත කාලයේ දී පවා…. අනාගත කාලයේ දී පවා….. වර්තමාන කාලයේ දී පවා…. සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැවත් උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැවත් උදවිය සමඟ ම යි. පවට ලැජ්ජා ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා ඇති උදවිය එක්ක ම යි. විපාකයට භය ඇති උදවිය…. දහම ගැන දැන උගත් උදවිය….. දහමේ හැසිරෙන්නට කුසීත නො වූ උදවිය….. සිහි මුළා නො වූ උදවිය…… ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවිය එක්ක ම යි.”

(අස්සද්ධ සූත්‍රය – ධාතු සංයුත්තය)

එක්තරා අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු කඳු මුදුනේ වැඩසිටි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට නුදුරින් බොහෝ ස්ථවිර සංඝයා ද දේවදත්ත ද බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරමින් සිටියා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා අමතා වදාළා,

“පින්වත් මහණෙනි, ඔය පින්වත් සාරිපුත්තයන් බොහෝ භික්‍ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේ ද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්‍ෂූන් සියලු දෙනා ම මහා ප්‍රඥාවන්තයි..”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් මොග්ගල්ලානයන් බොහෝ භික්‍ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේ ද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්‍ෂූන් සියලු දෙනාම මහා ඍද්ධි බලයෙන් යුත්තයි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් කස්සපයන් බොහෝ භික්‍ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේ ද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්‍ෂූන් සියලු දෙනාම ධුතාංගයෙන් යුක්තයි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් අනුරුද්ධයන් බොහෝ භික්‍ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේ ද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්‍ෂූන් සියලු දෙනාම දිවැස් නුවණින් යුක්තයි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් මන්තානිපුත්ත පුණ්ණයන්….. ඔය භික්‍ෂූන් සියලු දෙනාම ධර්ම කථිකයි.”

“පින්වත් මහණෙනි, ඔය උපාලි….. ඔය භික්‍ෂූන් සියලු දෙනාම විනයධරයි.”

“පින්වත් මහණෙනි, ඔය ආනන්දයන්….. ඔය භික්‍ෂූන් සියලු දෙනාම බහුශ්‍රැතයි.”

“පින්වත් මහණෙනි, ඔය දේවදත්තයන් බොහෝ භික්‍ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේ ද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්‍ෂූන් සියලු දෙනාම පාපී ආශාවන්ගෙන් යුක්තයි..”

(චංකම සූත්‍රය – ධාතු සංයුත්තය)

ගෞතම බුදු සසුනේ ආගන්තුක භික්‍ෂූන්ට සෙනසුන් පනවන භික්‍ෂූන් අතර අගතැන්පත් මල්ලරාජපුත්ත දබ්බ මහරහතන් වහන්සේ ඒ ඒ භික්‍ෂූන්ට සෙනසුන් පනවද්දී ඒ ඒ භික්‍ෂූන්ගේ පහසුව තකා මෙසේ සෙනසුන් පැනවූ සේක.

ඔවුනොවුන් නො පෙළේවා

“දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ සමාන සමාන භික්‍ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් ඒ භික්‍ෂූන් වහන්සේලා සූත්‍ර දේශනාවන් දරත් ද උන්වහන්සේලා එක්ව සූත්‍ර සංගායනා කෙරෙති යි, ඔවුනට එකට සෙනසුන් පනවති.
යම් ඒ භික්‍ෂූන් වහන්සේලා විනයධරයෝ වෙත් ද ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙති යි ඔවුනට එකට සෙනසුන් පනවති. යම් ඒ භික්‍ෂූන් වහන්සේලා ධර්ම කථිකයන් වෙත් ද ඔවුනොවුන් ධර්ම සාකච්ඡා කෙරෙති යි ඔවුනට එකට සෙනසුන් පනවති.

යම් ඒ භික්‍ෂූන් වහන්සේලා ධ්‍යාන වඩන්නාහු ද උන්වහන්සේලා එකිනෙකාට බාධාවක් නොවන අයුරින් වෙසෙති යි කියා ඔවුනට එකට සෙනසුන් පනවති.

යම් ඒ භික්‍ෂූන් වහන්සේලා නොයෙක් ආකාර දෙතිස් කතාවෙන් කල් ගෙවද්ද ඔවුහු සිරුර පෝෂණය කිරීමෙන් ම බහුලව යෙදී වාසය කරන්නාහු වෙත් ද උන්වහන්සේලා මේ දෙතිස් කතාවෙන් යුතුව ම එහි ඇලී ගැලී වෙසෙති යි ඔවුනට එකට සෙනසුන් පනවති.”

(විනය පිටකය – පාරාජිකා පාළි)

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත දේශනාවලට අනුව කෙනෙකුගේ දියුණුවටත් – පිරිහීමටත් ඇසුරු කරන පුද්ගලයන් තීරණාත්මකව බලපාන බවත්, ඒ කෙනාගේ අදහස් හා ආකල්ප මත සමාන අදහස් ඇති අයගේ ඇසුරට යොමු වන බවත් පැහැදිලි වෙනවා.

අප ඉගෙන ගත යුතු පාඩම

එසේ නම්, අප දැනටමත් ඇසුරට යොමු වී ඇත්තේ කුමන ස්වභාවයකින් යුතු අය හා සමඟ ද යන්න සළකා බැලිය යුතුයි. ඇතැම් විට අප නොදැනුවත්ව ම දැනටමත් අයහපත් ඇසුරකට යොමු වී තිබෙන්නට පුළුවන්. එසේ නම් අපි වහ වහා ම එහි ආදීනව සලකා එයින් බැහැර විය යුතුයි. අසත්පුරුෂ ඇසුරට යොමු වුවහොත් අපගේ ජීවිතයට සියලු අයහපත ළඟා වනු ඇති. මනුෂ්‍ය ජිවිතයේත්, බුද්ධශාසනයේත් වටිනාකම අපට නො තේරී යනු ඇති. පරලොව දී අපට සතර අපායේ දොරටු විවර වී යනු ඇති. සත්පුරුෂ ඇසුර අපට බොහෝ දුරස් වී යනු ඇති.

ධර්මය ඇති තැන අයහපත බැහැර කොට යහපත රෝපණය කළ හැක.

සත්පුරුෂ ගුණ දහම් පෝෂණය කර ගැනීමට හැකියාව ඇති අය ද දැනටමත් අසත්පුරුෂ වී සිටින්නට පුළුවනි. අසත්පුරුෂයන්ගේ ඇසුරට යොමු වී සිටින්නට පුළුවනි. නමුත් ඒ ස්වභාවය නුවණින් සලකා බලා නිවැරදි කර ගැනීමට පුළුවනි. ඔවුන් සත්පුරුෂ ඇසුරට යොමු වී සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කළහොත් සත්පුරුෂ ගුණ දහම් තම ජීවිතය තුළ රෝපණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

තම ජීවිතය අයහපත කරා යන ධාතු ස්වභාවය කෙමෙන් කෙමෙන් වෙනස් වී යනු ඇති. නිරායාසයෙන් ම ඔවුන් සත්පුරුෂ ඇසුරට පත් වෙනු ඇති. ලෝකයේ කොයි පෙදෙසක ශාන්ත සත්පුරුෂයන් වාසය කළත් නිතැතින් ම ඒ සත්පුරුෂයන් ඔවුනට සමීප වනු ඇති. මන්ද යත් එය ලෝක ස්වභාවයක් වන බැවිනි. ඒ නුවණැති මිනිසාට මෙලොවත්, පරලොවත් ජය ගත නොහැක්කක් නැති බව නම් සත්‍යක් ම යි. ඒ නිසා සියලු නුවණැතියෝ සත්පුරුෂ සමාගමෙන් සතුටට පත් වෙත්වා..!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.