රුහුණෙහි වාසය කළ මහාතිස්ස තෙරුන් වහන්සේ උපසම්පදා වූ කාලයේ සිට ම අෂ්ට සමාපත්ති ලාහී හිමිනමක් වු සේක. සමවත් සුවයෙන් කෙලෙස් යටපත් වී ඇති නිසා හැට වයස් සපිරුන විටත් තමා තවමත් පුහුදුන් කෙනෙක් බව උන් වහන්සේ දැනගෙන සිටියේ නැත.

එක් දිනක් මාගම්පුරයේ තිස්සමහාරාමයේ විසූ භික්ෂූහු පිරිසක් තලගුරු වෙහෙර වැඩ සිටි ධම්මදින්න තෙරුන් වහන්සේට ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කළහ.

ධම්මදින්න තෙරණුවෝ සඟ පිරිස සමඟ එහි වඩින්නට පිටත්ව තමන් වහන්සේට වඩා වැඩිමහලූ හිමිනමක් කැඳවාගෙන යෑම සුදුසු යැයි සිතා, තමන් වහන්සේගේ කර්මස්ථාන ආචාර්යතුමන් වූ මහාතිස්ස හිමියන් වෙතට ගොස් දහවල විවේක සුවයෙන් වැඩ සිටි හිමියන්ට වත් පිළිවෙත් කොට එකත්පස්ව වැඩ හුන් සේක.

‘‘ඇවැත්නි, ධම්මදින්න හිමියනි, කලකට පසු මෙහි වැඩියේ කුමක් නිසා ද?” යැයි මහාතිස්ස හිමියෝ විචාළහ.

‘‘ස්වාමීන් වහන්ස, මට ධර්ම දේශනාවකට වඩින්න යැයි තිස්සමහාරාමයෙන් ආරාධනාවක් ලැබිණ. එ් නිසා ඔබ වහන්සේ කැඳවාගෙන යාමට ආවෙමි.” යැයි ධම්මදින්න හිමියෝ පිළිතුරු දුන්හ. මෙසේ පිළිතුරු දී නො නැවතුණු උන් වහන්සේ තවදුරටත් පිළිසඳරෙහි යෙදුණාහ.

‘‘ස්වාමීනී මහාතිස්ස හිමියනි, ඔබ වහන්සේ ධර්මාවබෝධය කළේ කවර කාලයේ ද?”
‘‘ඇවැත්නි ධම්මදින්නයිනි, මා ධර්මාවබෝධය කළේ මීට හැට අවුරුද්දකට පෙරයි.”
‘‘ස්වාමීනී මහාතිස්ස හිමියනි, එසේ නම් මෙතැන පොකුණක් මවනු මැනව.”
‘‘එසේ ය ධම්මදින්නයිනි, මෙන්න එම පොකුණ.”
‘‘එසේ නම් ස්වාමීනී, එ් පොකුණේ නෙළුම් මලක් මවනු මැනැවි.”
‘‘ධම්මදින්නයිනි, මෙන්න එම නෙළුම් මල…”
‘‘ස්වාමීන් වහන්ස, එසේ නම් එම නෙළුම් මලෙහි සොලොස් හැවිරිදි තරුණ කතක් මවනු මැනැවි.”
‘‘ධම්මදින්නයිනි, මෙන්න එම සොලොස් හැවිරිදි තරුණිය.”
‘‘හොඳමයි. දැන් මා විසින් කියන ලද සියල්ල ඔබ වහන්සේ විසින් මවනු ලැබුවා. එසේ නම් ස්වාමීනි, අවසාන වශයෙන් මවන ලද කාන්තා රූපය ගැන සුභ වශයෙන් යළි යළිත් සිතනු මැනැවි.”

එසේ මෙනෙහි කරන විට තිස්ස හිමියන්ගේ සිතට රාග චේතනාවක් උපන්නේ ය. තමා තවමත් රහත් නැති බව එ් මොහොතේ දැනගත් තිස්ස තෙරුන් වහන්සේ,
‘‘සත්පුරුෂය, මට පිහිට වන්න.” යැයි තම ශිෂ්‍ය ධම්මදින්න තෙරුන් ළඟ උක්කුටිකව හිඳ ගත්හ. ධම්මදින්න තෙරණුවෝ උන් වහන්සේට අසුභ කමටහනක් කියා දී භාවනාවට ඉඩ සලසා දුන්හ. එ් ක්ෂණයකින් ම මහා තිස්ස හිමියෝ උතුම් රහත් ඵල ලැබූ සේක. ඉන්පසු ධම්මදින්න තෙරුන් වහන්සේ තිස්ස හිමියන් සංඝ ස්ථවිර කර ගනිමින් තිස්සමහාරාමයට වැඩමවූහ.

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

ඇසුර – අංගුත්තර නිකාය – එ්කක නිපාත වර්ණනා

සටහන
මානෙල් පොඩිමැණීකේ