අපි හැමෝ ම ඕනෑතරම් යාළුවන් ඇසුරු කරල තියෙනවා. වැලි කෙළියේ පටන් මේ දක්වා ගෙවී ගිය කාලය තුළ මොනතරම් නම් යාළුවෝ අපේ ජීවිතවලට එක්වුණා ද? පාසැලේ දී, ටියුෂන් පංතියේ දී, කැම්පස් එකේ දී, රැකියා ස්ථානයේ දී, ගමේ තොටේ හැමතැනක දී ම එක්වෙලා වෙන්වෙලා ගිය ඇතැම් යාළුවන් පිළිබඳ මතකයන් පවා මැකී ගොස්. ඒ වගේ ම facebook වැනි මාධ්‍යයන් ඔස්සේ අපේ ජීවිතවලට එක්වුණු සමහර යාළුවන් ව අපි හරියට දැකලවත් නෑ.

මේ මොන ක්‍රමයකින් වුණත් ඇසුරු කරන පිරිස තරම් ජීවිතයේ යහපත අයහපත තීරණය කරන වෙනත් බාහිර කරුණක් නම් නෑ. ඇසුරු කරන පිරිසේ ජීවිතවල තියෙන ගුණවත්කම්, ඒ වගේ ම දුබලකම් වරින් වර ජීවිතයට මොනතරම් නම් බලපෑමක් කරනව ද කියල තේරුම්ගන්න අපේ ම ජීවිතයේ ගෙවුණු අතීතය හොඳට ම ප්‍රමාණවත්. සමහර විට මේ වන විට පවා අප අත්දකිමින් ඉන්නේ එහි විපාක වෙන්න පුළුවන්. සමාජයේ බැලූ බැලූ අත දිස්වන්නේත් එහි සත්‍ය ම යි.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම් උපන් කුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, පවිටු මිතුරන්ගේ ඇසුර තරම් ඊට හේතුවන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ.”

(අංගුත්තර නිකාය – ඒකක නිපාතය)

අපගේ ශාස්තෘන් වහන්සේ උතුම් බුදු නුවණින් දෙසා වදහළ මෙම දහම් කාරණය ප්‍රත්‍යක්ෂ කරන්නේ එහි සත්‍යය ම යි. ඒ වගේ ම කෙනෙකුගේ ජීවිතයේ යහපත තීරණය වීමටත්, කලණ මිතුරු ඇසුරේ වැදගත්කමත් එසේ ම යි. උතුම් බුද්ධ දේශනාව තුළ නොයෙක් ආකාරවලින් එය අපට පෙන්වා දීලා තියෙනවා.

“අසේවනා ච බාලානං පණ්ඩිතානඤ්ච සේවනා” උතුම් මංගල කාරණාවන් පිළිබඳ ව වූ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත හෙළිදරව්ව ආරම්භ වන්නේ එලෙසින්. ඒ වගේ ම පිරිහීමේ දොරටු පෙන්වා දීමේ දී (අසන්තස්ස පියා හොන්ති – සන්තේ න කුරුතේ පියං, අසතං ධම්මං රෝචේති – තං පරාභවතෝ මුඛං) යමෙක් ප්‍රිය කරන්නේ අසත්පුරුෂ ඇසුර ම නම්, සත්පුරුෂ ඇසුර බැහැර කරනවා නම්, අසත්පුරුෂයන්ගේ වචන අනුව කටයුතු කරන ඔහු පිරිහිලා යනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ පිරිහීම මෙලොවින් පමණක් නො වෙයි. (පාපමිත්තෝ පාපසඛෝ – පාප ආචාර ගෝචරෝ, අස්මා ලෝකා පරම්හා ච – උභයා ධංසතේ නරෝ) පාප මිතුරන් පාපී යහළුවන් ඇති ළාමක වූ පාපී ඇවතුම් පැවතුම්වලින් යුතු කෙනා මෙලොව පරලොව යන දෙලොවින් ම පිරිහිලා යනවා. ඒ නිසා ම යි මහා කාරුණික අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ (න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ. භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ) අධම ගති ඇති පාපී වූ යහළුවන් ව දුරින් ම දුරු කරන්න කියලා. උත්තම ගති ඇති කලණ මිතුරන් ඇසුරු කරන්න කියලා.

උතුම් විසාරද ඤාණයන්හි පිහිටා දේශනා කරන්නට යෙදුණු මෙම බුදු වදන් අයිති වන්න් කිසිදා වෙනස් නො වන සනාතන සත්‍යයට.

ඊ ළඟට අප දැන ගත යුතු කාරණය තමයි කවුද මේ පවිටු මිතුරන්? කවුද මේ යහපත් මිතුරන්? මිතුරු වෙසින් සිටින හැමෝම තුළ සැබෑ මිත්‍රත්වය තිබේ ද? කියන එක තෝරා බේරා ගැනීම ලෙහෙසි වැඩක් නම් නො වෙයි. කයින් එකක් කරන, වචනයෙන් තවෙකක් කියන, සිතෙන් වෙනකක් ම සිතන ස්වභාවයෙන් යුතු මිනිසුන් අතරින් සැබෑ මිතුරන් තෝරාගැනීම දුෂ්කරයි. හැඟීම්වලට වසඟවෙලා නිතර ම ආවේගශීලීව කටයුතු කරන අපගේ සාමාන්‍ය මනසට එය බොහෝ ම දුෂ්කරයි.

නමුත් අප ඇසුරු කරන පිරිසේ කයින් වචනයෙන් ප්‍රකට වෙන චරිත ලක්ෂණ ඔස්සේ එය තෝරා බේරා ගන්නා ආකාරය බුද්ධ දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවා. බලන්න, මේ වන විට ඔබ වටේ සිටින මිතුරන්ගෙන් ප්‍රකට වන්නේ මෙහෙම ස්වභාවයක් ද කියලා.

ඔහු හැමවේලාවෙ ම ඉන්නෙ ඔබගෙන් ම යමක් ඩැහැගන්න බලාගෙන. ඔහු ඔබට පොඩි උදව්වක් කරලා හැමතිස්සේ ම ඒ වගේ දෙගුණයක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔහුට භයක් කරදරයක් වූ විට ඔබ තමයි ඔහුගේ හොඳ ම මිතුරා. ඔය විදිහට ලාභ ප්‍රයෝජන උදෙසා ම යි ඔහු ඔබ සමඟ යාළුකම පවත්වන්නේ. ඔබේ යාළුවාගේ ස්වභාවය මෙය නම්… දැන් තේරුම් ගන්න මිත්‍රයෙක් වගේ සිටියට ඔහු තුළ සැබෑ මිතුදම් නෑ. ඔහු නිසා පිරිහීමක් මිසක් ඔබට වෙන යහපතක් නෑ.

ඊ ළඟට බලන්න මෙවැනි චරිත ලක්ෂණ තියෙන යාළුවොත් ඔබ ඇසුරු කරන පිරිසේ ඉන්නව ද?

ඔන්න ඔබට උපකාරයක් ඕන වෙනවා. ඔබ පිහිටක් පතාගෙන යාළුවා ළඟට යනවා. හැමවිට ම ඔහුගෙන් ලැබෙන්නේ මෙහෙම පිළිතුරක්. “අපරාදේ..! ටිකාක් කලින් කියන්න එපැයි. එහෙම වුණා නම් මම ඕක කරල දෙනවනේ. මේ දවස්වල නම් මටත් නොයෙක් ප්‍රශ්න. ඉදිරියේ දී කරලා දෙන්න බලන්නම්කෝ.” මේ විදිහට අතීතයෙන්, අනාගතයෙන් තමයි ඔහුගෙන් ඔබට සංග්‍රහ ලැබෙන්නේ. හැමතිස්සේ ම මෙසේ නිරර්ථක වචනවලින් පමණක් සංග්‍රහ කරන මේ මිතුරන් ඔබට රවටන මිත්‍රද්‍රෝහියන් බව දැනගන්න.

ඒ විතරක් නෙවෙයි. ඔබ නිතර ම රැවටිලා යන, සොයාගන්න අමාරු, මිතුරු වෙසින් සිටින තවත් කෙනෙක් සිටිනවා. සමහරවිට ඔහු වෙන්නැති ඔබගේ හොඳ ම යාළුවා.

ඔබ කරන කියන හැමදේට ම ඔහු එකඟයි. ඒක හරි වුණත්, වැරදි වුණත් ඔහුට වැඩක් නෑ. ඔහු ඔබේ හොඳ නම බලාපොරොත්තුවෙන් ඒ හැමදේ ම අනුමත කරනවා. ඒ වගේ ම ඔහු ඒ හැමදේවල් ගැන ම ප්‍රශංසා මුඛයෙන් ඔබ ඉදිරියේ කතා කරන්නෙ. නමුත් ඔබේ අඩුපාඩු අගේට අනිත් අයත් එක්ක කියනවා. මේ යාළුවා හරි අවදානම් නේ ද? පරිස්සම් වීම ඔබ සතුයි. ඒ වගේ ම සැබෑ මිතුරන් නොවන තවත් කෙනෙක් ඔබ ළඟ නිතර ම ගැවසෙනවා.

ඔබ සමාජ ශාලාවක, සංගීත සන්දර්ශනයක මෙවැනි විනෝදකාමී තැනක රාත්‍රියේ අවේලාවේ මත්පැන් පානය කරමින්, සූදු ක්‍රීඩාවල යෙදෙමින් ඉන්න හැමවෙලේ ම ඔහු ඔබ ළඟ. ඒ වගේ තැන්වල දී ඔහු කවදාවත් ඔබ ව තනි කරන්නේ නෑ. ඔබත් එක්ක අවේලාවේ ඇවිදින්න, මත්ද්‍රව්‍ය භාවිත කරන්න, නොහොබිනා කටයුතු කරන්න ඔහු සැදී පැහැදී ඉන්නේ.

දැන් ඔබ ඔබේ යාළුවන් අතරින් මේ ගතිගුණවලට අනුව තෝරා ගනිමින් සීරුවෙන් බැලුවොත් බොහෝ විට බොහෝ දෙනෙක් මේ ගොඩට ඇතුළත් වෙයි. සමහර විට ඒ ඔබේ හොඳ ම යාළුවා කියලා හිතාගෙන ඉන්න කෙනා වෙන්නත් පුළුවන්. ඔබේ අදහසට, ඔබේ මතයට අගේට ගැළපිලා ගියේ ඔහු වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ නුවණැති කෙනා භය සහිත මාර්ගය දුරුකරල දානවා වගේ මෙවන් ගති ඇති මිතුරා ජීවිතයෙන් බැහැර කර ගන්න කියලයි. ඊ ළඟට ඔබේ ළඟ සිටින යහළුවන් අතරින් සැබෑ මිතුදම් ඇති සුන්දර යහළුවොත් සමහර විට ඇති. සමහර විට ඔබේ අදහසට නොගැළපිලා ගියා කියලා, ඔබේ අදහස්වලට විරුද්ධයි කියලා ඔබ අතීතයේ මෙවැනි යහළුවන් ව අහිමි කර ගන්නත් ඇති. බලන්න මෙවැනි ගතිගුණ ඔබේ යාළුවා තුළ තියෙනවා ද?

ඔන්න ඔබ ප්‍රමාදයට පත්වෙලා යම් වරදකට යට වෙන්න යන විට ඔහු ඔබ ව වරදට නොවැටීම පිණිස රකිනවා. ඒ වගේ ම ඔබට අනතුරක් වෙච්ච වෙලාවට ඔබ සතු දේවල් ඔහු රැකලා දෙන්නේ තමන්ගේ ම දේවල් වගේ. ඔබ වෙනුවෙන් ඒ සියල්ල ඔහු ආරක්ෂා කරනවා. ඔබට කරදරයක් වුව ද කිසි ම වෙලාවක ඔහු ඔබට හානි කරන්නේ නෑ. ඔබ උදව්වක් ඉල්ලූ විට හිතුවටත් වඩා ඉහළින් ඔබට ඊට උපකාර ලැබෙනවා. ඔබගේ යාළුවා මෙවැනි කෙනෙක් නම් ඔහු තුළ ඇති මිත්‍රත්වය සැබෑ එකක් බව තේරුම් ගන්න. ඊ ළඟ යාළුවාගේ මිත්‍රත්වය මේ වගේ එකක්.

ඔහු තමාගේ ජීවිතයේ පෞද්ගලික රහස් පවා ඔබට නොසඟවා කියනවා. ඔහුට එතරම් ම ඔබ ව විශ්වාසයි. ඔබගේ ජීවිතයේ රැකිය යුතු යම් රහස් තියෙනවා නම් ඔහුගෙන් එය කවදාවත් හෙළි වෙන්නෙ නෑ. විපතට පත් වූ ඔබ ව කිසිදා ඔහු අත්හරින්නේ නෑ. ඔබේ යහපත වෙනුවෙන් ජීවිතය වුවත් පුදන්න ඔහු සූදානම්. ඔබට මෙවැනි යාළුවන් සිටිනවා නම් ඔහු අයිති වන්නේ සැබෑ මිත්‍රත්වයට. ඔබට වාසනාව කැන්දන තවත් මිතුරෙක් මෙන්න හඳුනාගන්න.

ඔහු නිතර ම ඔබ ව වරදින් වළක්වනවා. සමහර විට එවැනි අවස්ථාවල ඔහු ඔබට තදින් අවවාද කරනවා වෙන්නත් පුළුවන්. ඔහු ඔබව සමාදන් කරවන්නේ ම යහපතේ විතරයි. අයහපතට ඔහුගේ අනුබලයක් ලැබෙන්නේ නෑ. ඔබ නො ඇසූ ධර්මය අසන්නට සලස්වනවා. ඒ තුළින් ඔහු ඔබට විවෘත කරල දෙන්නෙ දෙව් ලොවට යන මාවතයි. ඔබට බියක් නැතිව ඇසුරු කරන්න පුළුවන් මිත්‍රයෙක් ඔහු. අනිත් කෙනත් ඒ වගේ ම යි.

ඔහු කවදාවත් ඔබේ පිරිහීම කැමති නෑ. ඔබ දියුණු වෙනකොට ඔහු හදවතින් ම සතුටු වෙනවා. අන්‍යයන් ඔබේ නුගුණ කියන අවස්ථාවල ඔහු ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ඒවා වළකනවා. අනුන් ඔබේ ගුණ කියන විට ඔහු සතුටු වෙනවා. මේ මිතුරන් සතර දෙන ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ “තම කුසෙහි උපන් පුතුට සලකන මවක මෙන් මෙවැනි මිතුරන් ඇසුරු කරන්න” කියලයි. මේ කාරණාවන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සිඟාලෝවාද සූත්‍රයේ දී. ඔබ නැවතත් එම දේශනාව කියවන්න.

සමහර විට ඔබ ඇසුරු කරන යාළුවන් අතර කලින් කතාකරපු දුර්ගුණ හතර ම ඇති යාළුවන් සිටින්නට පුළුවන්. ඔහු සමහර විට සැබෑ මිතුදම් ඇති යාළුවන් හතර දෙනාගේ ම ගුණ තියෙන සුන්දර යාළුවෙක් වෙන්න පුළුවන්. ඒත්… ඔබේ නොසැලකිල්ල නිසා, ඔබේ නොදැනුම්වත්කම නිසා.. ඔබේ හිතුවක්කාරකම් නිසා… ඔබ එවැනි යහපත් මිතුරන් බැහැර කරල පවිටු මිතුරන් ඇසුරට ම යි ප්‍රිය කරන්නේ..? ඔබේ පිරිහීම කෙසේ නම් වළක්වන්න ද?

ඊ ළඟට තවත් වැදගත් දෙයක්. අපි කථා කරපු පවිටු ගති ගුණ ඇති යාළුවෝ සසරේ ඕන තරම් අපිට මුණගැහිලා තියෙනවා. නිමක් නැතිව අපි කථාකරපු යහපත් යාළුවන් සසරේ වරින් වර මුණගැසිලා තියෙනවා. නමුත් අපි දැනගත යුතු ඊටත් වඩා සුවිශේෂී යාළුවන් ඉන්නවා.

හෙතෙම සසරේ බොහොම දුර්ලභ ව ඔබට මුණගැසෙන කෙනෙක්. ඔහු ඔබේ ජීවිතයට නැඟ එන සූර්යාලෝකය බඳුයි කියලයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. උදා වූ අරුණෝදය නියත වශයෙන් ම ලොව ආලෝකවත් කරගෙන පායා එන්නා සේ, ඔහු නිසා ඔබේ මුළු ජීවිතය ම ආලෝකවත් වෙනවා. එවැනි මිතුරෙක් ලදොත් ඔබ මහා වාසනාවන්තයෙක්. මොන ම කරදරයක දී වුවත්… ඔහු ඔබ ව බැහැර කළත් ඔබ ඔහුගෙන් දුරස් නො විය යුතුයි. ඔහු තමයි “කල්‍යාණ මිත්‍රයා.”

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් දහම් උපදිනවා නම් උපන් අකුසල් දහම් පවා පිරිහිලා යනවා නම් පින්වත් මහණෙනි, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තරම් ඊට හේතුවන වෙන එක ම දෙයක්වත් මා දකින්නේ නෑ..”

(අං. නි. නිකාය – ඒකක නිපාත)

ඔබ ඇසුරු කරන පිරිස අතර කලාතුරකින් වුවත් මෙවැනි මිතුරෙක් ලදොත් නිධානයක් පෙන්වලා දෙන කෙනෙක් වගෙයි ඔහු සලකන්න ඕන. මිතුරන් අතර උත්තම වූ එබඳු මිතුරා කෙබඳු කෙනෙක් ද?

“කල්‍යාණ මිත්‍රයා කවරෙක් ද? මෙහිලා කුලපුත්‍රයන් යම් ගමක හෝ නියම්ගමක හෝ වසයි නම්, එහි යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වැඩිහිටි ගති ඇති තරුණයෝ වේවා, වැඩිහිටි ගති ඇති වැඩිහිටියෙක් වේවා, ශ්‍රද්ධාවෙන් යුක්ත වෙද්ද… සීලයෙන් යුක්ත වෙද්ද… ත්‍යාගයෙන් යුක්ත වෙද්ද… ප්‍රඥාවෙන් යුක්ත වෙද්ද… ඔහුත් සමඟ සිටියි. කතාබස් කරයි. සාකච්ඡාවන්ට පැමිණෙයි. යම් බඳු සැදැහැවත් වූ ඔහුගේ ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙත්. ඔහුගේ සීල සම්පත්තිය අනුව හික්මෙත්. ඔහුගේ ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙත්… ඔහුගේ ප්‍රඥා සම්පත්තිය අනුව හික්මෙත්. මහණෙනි, මෙය කල්‍යාණ මිත්‍රයන් ඇති බව යැයි කියනු ලබන්නේ ය.

(දුතිය සම්පදා සූත්‍රය – අං. නි. 5)

ඒ අනුව අපි දැන්, ජීවිතයෙන් බැහැර කළ යුතු පවිටු මිතුරන් ගැන දැනගත්තා. අතහැරීමට සුදුසු යහළුවන්ගේ චරිත ස්වභාවයත් දැනගත්තා. පුද සත්කාර කරමින් ඇසුරු කළ යුතු කල්‍යාණ මිත්‍රයා කවුද කියලත් දැනගත්තා. මේ කාරණාවන් හොඳින් තේරුම් අරගෙන ඇසුරු කරන පිරිස ගැන සැලකිලිමත් වෙලා ජීවිතයේ යහපත උදාකරගන්න අපි හැමෝට ම පුළුවන්… මේ උතුම් ධර්මය අපට පෙන්වා වදාළ දෙව් මිනිස් ලෝකයේ පහළ වී වදාළ පරම පූජනීය වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා! උතුම් සිරි සදහම් පෙන්වා දෙමින් අපට ධර්මයෙන් අනුග්‍රහ කරන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා!

“මා මේ බාල සමාගමෝ හෝතු – සතං සමාගමෝ හෝතු, යාව නිබ්බාන පත්තියා.”

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.