ඛෙත්තූපමා අරහන්තෝ
දායකා කස්සකූපමා
බීජූපමං දෙය්‍යධම්මං 
එත්තෝ නිබ්බත්තතේ ඵලං.

රහතන් වහන්සේලා කුඹුරක් වැනි ය. දායකයෝ ගොවියන් වැනි ය. පූජා කරන දාන වස්තුව බිත්තර වී වැනි ය. එයින් පුණ්‍ය ඵල උපදින්නේය.

(පේතවත්ථු පාළි – බෙත්තූපම පේත වත්ථු)

රජගහ නුවර එක්තරා හැල්කෙතක් අසල පැළක දුගී ස්ත්‍රියක් වාසය කළා ය. එම හැල්කෙතට එන සතුන්, කුරුල්ලන් එළවා එය ආරක්ෂා කිරීම ඇයට පැවරී තිබූ වගකීම ය. කාත් කවුරුත් නැතිව, තනිවම දිවි ගෙවූ ඇය එදිනෙදා ආහාරයට යමක් සොයාගත්තේ ඉතා දුකසේ ය. එදා ඇගේ ජීවිතයේ අවසන් දවස ය. නමුත් ඇය ඒ බව නොදත්තා ය. එදින ඇය හැල්කෙත පුරා ඇවිද සොයාගත් හැල්වී ස්වල්පයක් ගෙන තමාට ආහාරයට ගනු පිණිස පොරි සකසමින් සිටියා ය.

සත් දිනක් නිරෝධ සමාපත්තියෙන් වැඩහුන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සමවතින් නැගිට තමන් විසින් පිඬුසිඟා යා යුතු තැන විමසා බැලූහ. එකල්හි උන්වහන්සේට මේ දිළිඳු ස්ත්‍රිය දිවැසින් දකින්ට ලැබුණේ ය. ඇයට පිහිට සැලසීම පිණිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එම පැල්පත කරා වැඩියහ.

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට දින කිහිපයක් නිරාහාරව සිටින්නට සිදුවුවහොත් ඔහු කල්පනා කරන්නේ ‘අද නම් ප්‍රණීත අහරක් කුස පුරා කන්ට ඕනෑ ය’ යන අදහස ය. නමුත් රහතන් වහන්සේලාට එවැනි අදහස් පහළ වන්නේ නැත. උන්වහන්සේලා දිළින්දන් සොයා පිඬු සිඟා වඩින්නේ පෙර ආත්මවල දන් නොදීම නිසා මේ භවයේ දුගී දුප්පත් ව උපන් මිනිසුන්ට සසරේ ඔවුන්ට මගහැරුණු පින රැස් කරදීමට උපකාර වනු පිණිස ය. එසේ පිඬු සිඟා වඩින රහතන් වහන්සේනමකට කිසියම් දිළින්දෙකු පහන් සිතින් ස්වල්ප වූ දෙයක් හෝ පූජා කරගත්තොත් ඔවුන්ට මතු උපදින ජීවිත අසංඛෙය්‍ය ගණනක් දක්වා කුසට අහරක් නැති අසරණ දුගී ජීවිත උරුම වන්නේ නැත.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේව දුටු පමණින් පස්වණක් ප්‍රීතියෙන් පිණාගිය දිළිඳු ස්ත්‍රිය වහා ගොස් තමාට ආහාර පිණිස සැකසූ පොරි ස්වල්පය ගෙනවුත් තෙරුන් වහන්සේට පහන් සිතින් පිදුවා ය. “ස්වාමීනී, ඔබවහන්සේ විසින් යම් ධර්මයක් අවබෝධ කරන ලද්දේ ද ඒ ධර්මය මට ද අවබෝධ කරගන්නට හැකිවේවා!” යි ඕ පැතුවාය. “එසේ ම වේවා!” යි පුණ්‍යානුමෝදනා කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පෙරළා වඩින්ට පිටත් වූහ. ධුතාංගධාරීව වැඩසිටි උන්වහන්සේගේ එදින ආහාරය එපමණකි!

තමන් පූජා කළ දානය ගැන පහන් සිතින් සිහිකරමින් හැල්කෙත සීමාව දක්වා ගොස් තෙරුන් වහන්සේ වඩින අයුරු බලා සිටි ඇය ව විෂඝෝර සර්පයෙකු විසින් දෂ්ඨ කරනු ලැබිණ. ඇය ජීවිතය ඉල්ලා කෑ නොගැසුවා ය. තමා දුන් දානය ගැන ම පහන් සිතින් සිහි කරමින් සිටියා ය. ‘තෙරුන් වහන්සේ අද මගේ ජීවිතයේ අවසන් දවස බව දැන, මට පිහිට වනු පිණිස කරුණාවෙන් මා වෙත වැඩියා වනැ’යි ඇයට සිතෙන්නට ඇත. මනුලොවින් චුත වූ ඇය නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව තිස් යොදුනක් විශාල වූ රත්රන් දෙව්විමනක දිව්‍යාංගනාවක් ලෙස උපත ලැබුවා ය. ඇයගේ දිව්‍ය ශරීරය සියලු අලංකාරයෙන් ශෝභමාන ව තිබුණි. ඇයට උපස්ථානය පිණිස දිව්‍ය අප්සරාවන් දහසක් පැමිණ සිටියාහ. පෙර කළ පින දක්වනු පිණිස මෙන් එම විමාන දොරටුවෙහි රන්පොරි පිරුණු බඳුන් එල්ලෙමින් තිබුණි. ඇයට නම ලැබී තිබුණේ ‘ලාජා දෙවඟන’ ලෙස ය. ලාජා යනු පොරිවලට කියන නමකි. තමන් පූජා කළ දේ නමින් ම ඇය දෙව්ලොවදී හඳුන්වනු ලැබිණි.

මොහොතක් සිතා බලන්න…. ඇය මනුලොව ගත කළ දුක්ඛිත ජීවිතය හා දැන් ඇයට ලැබී ඇති සැපවත් ජීවිතය ගැන.

ඇතැම්විට ඇයට මනුෂ්‍ය ලෝකයේ හිමි ව තිබූ ආයුෂ අවුරුදු පනහක් හෝ හැටක් වන්නට ඇත. එහෙත් දැන්… මනුලොව වර්ෂ සියයක් තාවතිංස දෙව්ලොව එක් දවසකි. එවැනි දවස් තිහක් මාසයකි. එවැනි මාස දොළහක් අවුරුද්දකි. එවැනි අවුරුදු දහසක් තව්තිසාවේ උපන් දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වේ. මනුලොවදී ඇයට හිමි ව තිබුණේ කළු පැහැති, කෙට්ටු වී ගිය, අවලස්සන රූපයක් වන්නට ඇත. එහෙත් දැන් ඇය ඉතා අලංකාර රූප සෞන්දර්යයෙන් යුතු, නා නා දිව්‍ය ආභරණ පැලඳ සිටින දෙවඟනකි. මියයන විට ඇය හැඳ සිටියේ හැට්ටයක් සහ චීත්ත කෑල්ලක් වන්නට ඇත. එහෙත් දැන් ඇයට නොයෙක් පැහැ ඇති, නොයෙක් රටා ඇති, නොයෙක් බැබළීම් ඇති දිව්‍ය සළුපිළි ඕනෑතරම් තිබේ.

කලින් ඇය දිවි ගෙවූයේ වැස්සෙන්, අව්වෙන් නිසි ලෙස ආරක්ෂා විය නොහැකි කුඩා පැල්කොටයක ය. එහෙත් දැන් කිසිවකිනුත් අඩුවක් නැති, රනින් කළ සුවිසල් දෙව්විමනක් ඇයට ලැබී තිබේ. මනුලොවදී ඇය ගැන සොයා බලන්නට කිසිවෙක් සිටියේ නැත. එහෙත් දැන් දිව්‍ය අප්සරාවන් දහසක් දෙනා ඇයගේ උපස්ථානයට පැමිණ සිටිති. එසේ ම දැන් ඇයට සිතේ වේගයෙන් ඕනෑ ම තැනකට ගමන් කළ හැකි ය. එහෙත් මනුලොවදී ඇය කුඹුරෙහි වැටුණු වී කරල් සොයා ගැනීමට කොතරම් වෙහෙස ගෙන ඇවිදින්නට ඇද්ද! ‘මේ මේ දෙය මට අඩු ය’ කියා කියන්නට දෙයක් ඇයට දැන් නැත. මේ හැමටම වඩා සුවිශේෂී කරුණක් ඔබට මේ ලිපියේ ඉදිරියට දැනගන්නට ලැබේ.

මෙතරම් සැපයක් ඇයට ලැබුණේ පොරි ස්වල්පයක් පූජා කළ පිනෙනි. නමුත් එය පිළිගත්තේ රාග, ද්වේෂාදී සියලු කෙලෙස් ප්‍රහාණය කළ උත්තම රහතන් වහන්සේනමකි. එපමණක් නොවේ; මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුටු කෙණෙහි පහන් සිත් ඇති කරගත් ඇය පොරි පිදුවේ ද පහන් සිතිනි. මරණයට පත්වන මොහොතේ ද ඒ චිත්තප්‍රසාදය නොවෙනස් ව තිබුණි.

මෙහි මුලින් ම දක්වා ඇති ගාථාව නැවත වරක් කියවා මෙම කතා වස්තුවට එය ගළපා බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හඳුන්වා දෙනු ලැබුවේ ‘ලෝකයෙහි අනුත්තර පින් කෙත’ ලෙස ය. සංඝයා යනු සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මගඵල ලැබූ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා ය. ලාජා දෙවඟන පොරි පිදුවේ එක් රහතන් වහන්සේනමකට ය. එක් රහතන් වහන්සේනමකට පිදූ දානයෙහි ද අසංඛෙය්‍ය අප්‍රමාණ අනුසස් තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගණනින් හෝ ගුණයෙන් හෝ මෙපමණ වේ යැයි සංඛ්‍යාවකින් හෝ ප්‍රමාණයකින් කිව නොහැක. ගණනකින් කිව නොහැකි තරම් රහතන් වහන්සේලා මේ බුදු සසුනෙහි වැඩිසිටියහ. ඔබ ‘ඉමං භික්ඛං භික්ඛුසංඝස්ස දේම’ කියා දානය පූජා කරද්දී ඔබේ දානය පූජා වන්නේ බුද්ධශ්‍රාවක වූ, ලෝකයේ අනුත්තර පින්කෙත වූ එම සංඝයාට ය. සංඝයා උදෙසා දෙන දානය මහත්ඵල මහානිශංස වන්නේ එම නිසා ය.

ඊළඟ කරුණ නම් දාන වස්තූන් ය. දානයට දෙන දේවල් මොනවාද කියන කරුණ මත හෝ දානයට වියදම් කරන මුදල මත කිසි ලෙසකින්වත් දානයේ මහත්ඵල මහානිශංස බව තීරණය නොවන බව මේ සිදුවීමෙන් මනාව පැහැදිලි වේ. දුගියාට හෝ ධනවතාට හෝ දානය සඳහා දීමට සිදුවන්නේ තමා සතු ව ඇති දේවල් මිස නැති දේවල් නොවේ. එය රළු දෙයක් වන්නට පුළුවන. ප්‍රණීත දෙයක් වන්නටත් පුළුවන. මෙහිදී වැදගත් වන්නේ දන් දෙන්නා තුළ ඇති චිත්තප්‍රසාදය ය. එකී චිත්තප්‍රසාදය දානයට පෙරත්, දෙන අවස්ථාවේදීත්, දුන් පසුත් කියන අවස්ථා තුනේදී ම පවත්වා ගත යුතු වේ. දානයක් දුන් පසු මොනයම් හෝ කරුණක් අල්ලාගෙන සිතේ පහන් බව නැතිවී ගොස් පසුතැවීමක් හෝ මසුරු සිතක් උපන්නොත් ඔහුගේ පින අපතේ යයි. පින බාල වේ. මෙහි දිළිඳු ස්ත්‍රිය පූජා කළේ තමා සන්තක ව තිබූ පොරි ස්වල්පයකි. නමුත් මේ තුන් තැන ඇගේ පැහැදීම නොවෙනස් ව තිබුණි.

තමන් පිදූ දානය නිසා ඇයට ලැබුණු වටිනා ම ලාභය කුමක්දැයි කියා අපි දැන් බලමු. තමා ලද දෙව් සැපත ගැන විස්මයට පත් ලාජා දෙවඟන මෙවැනි සැපයක් ලැබුණේ කුමන හේතුවක් නිසා දැයි විමසා බලන කල තමාගේ පෙර ජීවිතයේ කළ පින ඇයට දිවැසින් දකින්ට හැකි විය. ‘මා තවත් ප්‍රමාද විය යුතු නැත. ආර්ය වූ මහා කාශ්‍යපයන් වහන්සේට උපස්ථාන කොට මා ලැබූ මේ දිව්‍ය සම්පත්තිය තව තවත් දියුණු කරගත යුතු යැ’යි සිතා වහා මනුලොවට අවුත් හිමිදිරි උදෑසන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය අවට ඇමද පිරිසිදු කොට, පානීය, පරිභෝජන පැන් ද ගෙනවුත් තැබුවා ය.

තෙරුන් වහන්සේ සිතුවේ සාමණේර කෙනෙකු හෝ ගිහි උපස්ථායකයෙකු හෝ වත් සිදුකරන්නට ඇත කියා ය. නමුත් තුන්වෙනි දින අලුයම මිදුල අමදින ශබ්දය ඇසී, දොර කවුළුවෙන් කුටියට පිවිසෙන ආලෝකය ද දැක තෙරුන් වහන්සේ එළියට අවුත් බලන කල මේ දෙවඟනව දකින්ට ලැබුණි. “ඔබ කවුද?” “ස්වාමීනී, මම ඔබවහන්සේගේ උපස්ථායිකාව වන ලාජා දෙව්දුව වෙමි.” “බොරු නොකියව. මට එනමින් උපස්ථායිකාවක් නැත.” ලාජා දෙව්දුව සියලු විස්තර පවසා සිටි කල්හි “එම්බා දෙව්දුව, තොප වත් කොට අවසන් නොවැ. දැන් පිටත්ව යව. අදින් පසු නැවත මෙහි නොපැමිණෙව.” යි මහා කාශ්‍යපයන් වහන්සේ පැවසූහ.

නමුත් දෙව්දුව එයට එකඟ නොවූවා ය. ඇය විසින් නැවත නැවතත් උපස්ථාන කරන්නට අවසර දෙන ලෙස ආයාචනා කරනු ලබන කල්හි තෙරුන් වහන්සේ “එම්බා දෙව්දුව, තම පමණ දැන ගනුව.” යි වටාපත වේගයෙන් සෙලවූහ. එවිට මහා කාශ්‍යපයන් වහන්සේගේ ආනුභාවය හේතුවෙන්, ඇය එහි රැඳී සිටිනු නොහැකි ව ආකාසයෙහි යොදුන් හතළිස් පහක් දුර ඈතට විසි වී ගියා ය. අහසෙහි සිට ද වන්දනා කරගෙන නැවත නැවතත් ආයාචනා කරන්නට පටන් ගත්තා ය.

සැවැත්නුවර ජේතවනාරාම ගන්ධකුටියෙහි වැඩහුන් අප භාග්‍යවතුන් වහන්සේ දිවැසින් මෙම සිදුවීම දැක වදාළ සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඇය වෙත ආලෝකයක් පතුරුවා හැර, ඇය ඉදිරියේ සිටිමින් කතාකරන්නාක් මෙන් “පින්වත් දෙව්දුව, මාගේ පුත්‍ර වූ කාශ්‍යපයන්ගේ ගුණයට ඔබගේ උපස්ථානය කරදරයකි. පිනට කැමති කෙනා පින් කරනා අයුරු සොය සොයා පින් කළ යුතු ම ය. පින් කිරීම මෙලොවත් පරලොවත් සැප ගෙන දේ.” යනුවෙන් වදාරා මේ ගාථාව ද වදාළ සේක.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ 
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

ඉදින් පුද්ගලයෙක් පිනක් කළේ වී නම්, එය නැවත නැවතත් කළ යුත්තේ ය. පින් කිරීම කෙරෙහි කැමැත්ත ඇතිකර ගත යුත්තේ ය. ‘සැප’ කියා කියන්නේ පිනට ම ය.

(ධම්මපදය – පාප වර්ගය)

මෙම සතර පද ගාථාව ඇසූ ලාජා දෙවඟන සෝවාන් ඵලයට පත් වූවා ය. මොනතරම් වාසනාවක් ද! සෝවාන් ඵලයට පත් වීමේ පින ඇයට මනුලොව සිටියදී හිමි නොවී තිබුණි. එසේ තිබුණා නම් අනිවාර්යයෙන් භාග්‍යවතුන් වහන්සේ ඇය කරා වඩිනා සේක් ම ය. ධර්මාවබෝධයට පින් ඇතිව උපන් කිසිවෙකුත් උන්වහන්සේට මගහැරුණේ නැත! බලන්න… දානමය පින ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රතිභාන ශක්තිය ඇයට ලබා දී තිබූ අයුරු! මෙහිදී ඔබට මහාකස්සපයන් වහන්සේට පොරි පුදා ඇය කළ පැතුම සිහිවෙනවා ඇත. එම පැතුම එලෙසින් ම ඉටු වූ අයුරු මොනතරම් අසිරිමත් ද! දැන් ඇය සතර අපායේ වැටෙන අනතුරින් සදහටම නිදහස් වූ, ආත්මභාව හතක් ඇතුළත නියතව ම පරිපූර්ණ වශයෙන් ඒ දහම අවබෝධ කරන තැනැත්තියකි.

අහෝ… සම්බුදු උපත ලොවට මොනතරම් සැපයක් ද! අහෝ… ලොවෙහි අනුත්තර පින්කෙත වූ සඟරුවන මොනතරම් අසිරිමත් ද! අහෝ… සිත පහදාගෙන දුන් දානයෙහි විපාක මොනතරම් අසිරිමත් ද!

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.