සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් නිති පන්සිල් ද පොහොය අටසිල් ද සමාදන් ව ආරක්ෂා කරනු ලබන්නේ ශාස්තෘ අවවාදයේ පිහිටමිනි. ඇතැම් පිරිස් සතර පොහොයමත්, බොහෝ දෙනා පුන් පොහොය දිනයේත් අටසිල් සමාදන් ව ආරක්ෂා කරති.

උපෝසථ සීලය පිළිබඳ ව සම්බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කිහිපයක් අපට සූත්‍ර පිටකයේ මුණගැසේ. ඒ කිසිවක උපෝසථ සීලය යනු වයසට ගිය පසු සමාදන් විය යුත්තක් යැයි නොකියැවේ. ඒ වනාහී කවර වයසක දී වුව ද සමාදන් වී ආරක්ෂා කිරීමෙන් මහත්ඵල මහානිශංස උපදවන්නා වූ, මහා බැබළීමක් සහිත වූ ආර්ය වූ දෙයකි.

ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසමින් උපෝසථ සීලය සමාදන් විය යුතු බව සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ සෑම සිල්පදයක් ම සමාදන් විය යුත්තේ ‘උතුම් රහතන් වහන්සේලා දිවි ඇති තෙක් මෙකරුණෙහිලා වැළකී වාසය කළ සේක, මම ද ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් මෙකරුණෙන් වැළකී වාසය කරමි’ කියා අධිෂ්ඨාන කරමින් බව ද සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එකරුණ අප මැනැවින් සිහි තබා ගත යුතු ය.

උපෝසථ සීලය සමාදන් වෙමින් අප අනුගමනය කරන රහතන් වහන්සේලා අනගාරික ව පැවිදි භූමියේ වාසය කරමින් සසුන් බඹසරෙහි හැසිරුණහ. එය සීලයට අනුග්‍රහ පිණිස වූ පැවැත්මකි. අප අටසිල් සමාදන්ව උපෝසථ දිනය නිවෙස් තුළ ගත කරන්නේ නම් සම්බාධ බහුල ගිහි ජීවිතයේ එළඹෙන බාධාවන්ට නිසැකව ම මුහුණ පෑමට සිදු වේ. නොයෙක් දෙනාගෙන් සේ ම ගුවන්විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය ඔස්සේ ඇසෙන පෙනෙන දෙයින් ද සිතේ විසිරීම් බහුල වීමේ අවදානම අතිමහත් ය. එනිසා, උපෝසථ දිනයේ දී වඩාත් සුදුසු වන්නේ සත්පුරුෂයන් වහන්සේලා ව දකින්නට ලැබෙන, සත්පුරුෂ ධර්මය අසන්නට ලැබෙන පුණ්‍යභූමියක් කරා එළඹ වතින් පිළිවෙතින් සරු ව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියැළීම ය.

2019 වර්ෂයේ පටන් එළඹි වසංගත රෝ බිය ඇතුළු නොයෙකුත් අර්බුද හමුවේ පුණ්‍යභූමි වෙත එක්රැස් වී උපෝසථ දවස ගත කිරීමේ අවස්ථාව අපට බොහෝ සෙයින් අහිමි විය. නොවැළැක්විය හැකි එවැනි විපත් හමුවේ මාධ්‍ය ඔස්සේ සීල භාවනා වැඩසටහන් හා සහසම්බන්ධ වෙමින් උපෝසථ දිනය ගත කරන්නට ලැබීම අවස්ථාවෝචිත ලාභයකි. මේ පවත්නේ එවැනි විපත්තිදායක කාලයක් නොවේ. මේ අවස්ථාව ද නොයෙක් විපත්තීන් හමුවේ අහිමි වන්නට පළමු සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා උපෝසථ දිනය මහත්ඵල මහානිශංස වන අයුරින් ගත කිරීමට අප උත්සාහවත් විය යුතු ම ය.

අටක් වූ අංග සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමින් ආරක්ෂා කරන්නා වූ උපෝසථ සීලයේ මහත්ඵල මහානිශංස බව කොතරම්.ද යත්, සොළොස් මහ ජනපදයන්ගෙන් යුතු – බොහෝ මුතු මැණික් රන් රිදී ආදියෙන් ආඪ්‍ය වූ සකල ජම්බුද්වීපයේ අධිරජ බවට පත් වේ ද එහි ආනුභාවය අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙන් දහසයෙන් පංගුවක් තරම්වත් නොවටිනා බව සම්බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.

දුර්ලභ මිනිසත් බව ලැබී, පරමෝත්තම ශාස්තෘන් වහන්සේ ද සරණ යන්නට ලැබී පිවිතුරු ශ්‍රී සද්ධර්මය දේශනා කරන කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා ද මුණගැසුන මේ ජීවිතය වනාහී අපට හිමි වූ අති මහත් ලාභය.යි. එහෙයින්, ආර්ය වූ අෂ්ටාංග උපෝසථ සීලයේ සමාදන් වී සඟරුවන ද සෑය බෝධිය ද පිළිම වහන්සේලා ද දැක බලා වන්දනාමාන කරමින්, ආර්ය උතුමන්ගේ නිෂ්කාමී දිවිපෙවෙතේ අරුත් දකිමින් නිවන් මග පුරුදු පුහුණු කරන්නට ඔබට ද වාසනාව උදා වේවා! මෙසේ සමාදන් ව ආරක්ෂා කරනු ලබන සීලය නිසැකව ම ඔබට බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ම ය.