මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ සියලු අංගයන් පෝෂණය වී වැඩෙන්ට විය. එතෙක් වාචනා මාර්ගයෙන් සන්නිවේදනය වූ මාගධී බස් වහරට ද නව පණක් ලැබිණ. ධර්මාශෝක මහරජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා අතර සංකථනය වූ භාෂා මාධ්‍යය මහින්දාගමනයෙන් පසුව දේශීය සම්ප්‍රදායකට හුරුව හැඩගැසිණ. උතුම් බුදු වදනේ අමා සිසිල දනන් සිත් සතන් පොබයමින් දසත පැතිර ගියේ ය. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සම්බුද්ධ ධර්මය වටහා ගැනීමට එවක සිටි රාජකීයයන් ඇතුළු සකල දේශීය ප්‍රජාවට හැකි වීම නිසා දහම් සුවඳින් තෙමුන සිංහල දේශයට ආවේණික අක්ෂර මාලාවක උපත ද සිදු විය.

බ්‍රාහ්මී අක්ෂර යැයි භාෂාවේදීන් විසින් හඳුන්වන ලද මේ හෙළකුරු මුලින්ම ලේඛනගත වූයේ ගල්ලෙන් කටාරම් මතුපිට ය. මිහිඳු මහරහතන් වහන්සේ ඉගැන්වූ ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ට සවන් දුන් රාජකීයයන්, ප්‍රභූන් ඇතුළු රටවැසියන් බුදු දහම වැළඳ ගැනීමෙන් පසුව ඔවුන් අතුරෙන් බොහෝ පිරිස් පැවිදි දිවියට ඇතුළත් වීම නිසා සංඝයා වහන්සේ උදෙසා ආවාස වශයෙන් ගල්ලෙන් සකසා පූජාකිරීම ඇරඹුණේ මිහින්තලා කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ය. එහි ලෙන් සකසා පූජා කළ වැඩි දෙනෙක් රාජකීයයෝ වූහ.

ලෙන් තුළට වැසි දිය කාන්දු වීම වැළකීම සඳහා එහි උස් බෑවුමේ කටාරම් කොටා ලෙන ඇතුළත පවිත්‍ර කොට වැඩසිටීම, බවුන් වැඩීම ආදී පිළිවෙත් සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී. එසේ ලෙන සකසා මහ සඟනට පූජා කළ බව ලෙන් කටාරමට යටින් පැහැදිලි ලෙස කොටා තිබීම නිසා එය පූජා කළේ කවුරුන්ද යනු දැක ගත හැකිය. මිහින්තලා අරණේ අංක 1 දරන ලෙන සකසා පූජා කොට ඇත්තේ ජෝතිසේන භික්ෂූන් වහන්සේගේ ශිෂ්‍ය සුමනදත්ත තෙරුන් විසිනි. මිහින්තලේ දෙවැනි ලෙන පූජා කොට ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමාගේ බිසොවගේ සොහොයුරිය වූ වරුණදත්තා උපාසිකාව විසිනි. එම ලෙනෙහි කටාරමට යටින් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති වාසගම මෙසේ ය:

“දෙවනපිය මහරඣහ බරියය බති
උපසික වරුණදතය ලෙණෙ
අගත අනගත චතුදිස ශගශ”

මේ එහි වත්මන් සිංහල භාවයයි.

“දේවානම්පියතිස්ස මහරජතුමාගේ භාර්යාවගේ (බිසොවගේ) සොහොයුරිය වන වරුණදත්තා උපාසිකාවගේ ලෙනයි. ආ නොආ සිව්දිගින් වැඩි මහ සංඝයා වහන්සේට පූජා කරන ලදි.”

ඇතැම් ලෙනක් සකසා පූජා කරන ලද බව කියැවෙන වාසගම කෙටි වූයේ එහි කටාරම අසල ඇති ඉඩ ප්‍රමාණය මඳ වූ හෙයිනි. නිදසුනක් ලෙස මිහින්තලේ අංක 08 දරන ලෙන් ලිපිය පෙන්වා දිය හැකිය. එහි සටහන්ව ඇත්තේ “තිශ ශමණිය ලෙණෙ ශගශ” (තිස්සා මෙහෙණියගේ ලෙන, සංඝයා වහන්සේ උදෙසා) යනුවෙන් පමණි.

මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා උදෙසා සහ පසුව පැවිදි දිවියට එකතු වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උදෙසා සකසා පිදූ මිහින්තලාවේ අට සැට ලෙන් ලිපිවල “දෙවනපිය මහරජ” නම ඇතුළත් රජවරුන් එකොළොස් දෙනෙකුගේ ද රාජ්‍ය ප්‍රධානීන් (පරුමකවරුන්) එකොළොස් දෙනෙකුගේ ද “ජෝතිශෙන” වැනි තෙරවරුන් හත් නමකගේ ද උපාසක – උපාසිකාවන් පිරිසකගේ ද නම් ඇතුළත් ය.

ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසේ දී සිට සිව්දිගින් වැඩි මහා සංඝයා වහන්සේ උදෙසා ලක්දිව නොඑක් තැන්වල ලෙන් පූජා කිරීමෙන් ඇරඹුණ ආරාම හා සෙනසුන් පිදීම පසු කාලයේ දී විහාරස්ථාන ගොඩනගා පූජා කිරීමෙන් නොනැවතී සංඝයා වහන්සේට ප්‍රත්‍ය පහසුකම් සැලසීම හා විහාරස්ථාන නඩත්තුව සඳහා වැව් හා ඇළවල් ද “දකපති – බොජකපති” වැනි වැවු ආදායම් ද බැංකු තැන්පතු පොලී ධාන්‍ය ද නිශ්චිතව වෙන් කොට පූජා කළ බැව් සෙල්ලිපිවල සඳහන් වෙයි. එබඳු පුණ්‍යෝත්සවයන් පිළිබඳ තොරතුරු ඇතුළත් සෙල්ලිපි රැසක් ඇත. ඒ අතුරෙන් ව්‍යවහාර වර්ෂ පළමුවැනි සියවසේ දී සංඝයා වහන්සේ වෙත රන් කෙණ්ඩියෙන් අතපැන් වත් කොට ඇළක් පූජා කිරීම පිළිබඳව කියැවෙන මෝලාහිටිය වෙලේගල සෙල්ලිපිය එක් නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය.

තමන්කඩුව පළාතේ දිඹුලාගල සමීපයේ පිහිටි ගලක කොටා ඇති පේළි තුනකින් යුතු එකී සෙල්ලිපියේ පෙළ මෙසේය:

“සිධම්. දෙවනපියතිස මහරජ මරුමණක කුඩ
කණ රජහ ජෙට පුතෙ අබයෙ අනරගගහි ගණතකහ අඩි
පිලිපවත විහරහි බිකු සගය සොවණ කොතරුහි නියතෙ”

වත්මන් බස්වහරින් එය මෙපරිදි දැක්විය හැක.

“යහපතක් වේවා! දේවානම්පියතිස්ස මහරජුගේ මුණුබුරු වූ
කූටකණ්ණතිස්ස රජුගේ දෙටුපුත් අභය රජු විසින්
අතරගග නම් තැන පිහිටි ගණතකහ ඇළ
පිලිපවත විහාරවාසි භික්ෂු සංඝයාට රන්කෙණ්ඩියෙන්
අතපැන් වත්කොට පූජා කරන ලදී.”

කූටකණ්ණතිස්ස රාජ්‍ය සමය ලංකා ඉතිහාසයේ ඉතා සශ්‍රීක යුගයක් ලෙස මහාවංශයෙහි වර්ණිත ය. ඇළක් විහාරස්ථානයකට වෙන් කොට දී එම මාහැඟි පැන් පූජාව සිදුකරන ලද්දේ කූටකණ්ණතිස්ස රජතුමාගෙන් පසුව රජ පැමිණි භාතිකාභය රජතුමා විසිනි. මහවැලි ගඟත්, මාදුරුඔයත් අතර අන්තරාගංග (අතරගඟ) නම් ප්‍රදේශයේ පිහිටි “ගණතකහ” නම් වූ ඇළ පූජා කරන ලද්දේ දිඹුලාගල පෙලගාම විහාරයට ය. කූටකණ්ණතිස්ස රජතුමා කරවූ පෙලගාම විහාරය හා වණ්ණක නම් ඇළ පිළිබඳව මහාවංශයේ 34 වැනි පරිච්ඡේදයේ 32 වැනි ගාථාවේ දැක්වෙන්නේ මෙසේ ය:

“පෙලගාම විහාරඤ්ච – අන්තරගංගාය කාරයි
තත්ථෙව වණ්ණකංනාම – මහාමාතිකමේවච”

ගල්ලෙන් සකසා “අගත අනගත” (පැමිණි නොපැමිණි) මහ සඟනට වැඩ විසීම උදෙසා සංඝාවාස ඉදිකිරීම් ක්‍රියාවලිය, විහාරස්ථාන ඉදිකොට සඟසතු කොට පූජා කිරීම් දක්වා වර්ධනය වූයේ රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී පිරිස සීඝ්‍රයෙන් වැඩිවන්ට වීම නිසා ය. ඉන්පසුව භික්ෂු සමාජයේ පැවැත්ම සහ නඩත්තුව උදෙසා වැව් අමුණු ඇළවල් ආදිය වෙන් කොට පූජා කිරීමටත්, වස්සාන කාලයේ වස් සමාදන් වන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැලසීම සඳහා එදවස පැවති බැංකුවල ධාන්‍ය තැන්පත් කොට එයින් ලැබෙන පොලිය “අරියවස පූජාව” (ආර්යයන් වහන්සේලා වස් සමාදන් වන සමයේ දන් පැන් සැපයීම) සඳහා ලබාදීමටත් රජවරුන් කටයුතු සම්පාදනය කොට තිබුණ බව සෙල්ලිපිවලින් අනාවරණය වෙයි.

ව්‍යවහාර වර්ෂ පළමුවන හෝ දෙවන සියවසට අයත් යැයි සැලකෙන අනුරාධපුර මහ රත්මලේ පර්වත ලිපියෙහි දැක්වෙන්නේ මහාවූලිකතිස්ස රජුගේ මුණුබුරු වූ ද කූටකණ්ණතිස්ස රජුගේ පුත්‍ර වූ ද මහාදාඨික මහානාග රජතුමා මිහිරබිජක ගමේ මුටිගුටික පර්වත විහාරයෙහි වස් විසූ භික්ෂු සංඝයා විසිනමකට යාගු (කැඳ) ද බත් ද වස්සාවාසික සාටක ද උත්තරීය පට (තනිපට සිවුරු සඳහා වස්ත්‍ර) ද පූජා කළ බවයි.

අනතුරුව එළඹි මහසෙන් රජතුමාගේ කාලය (303-331) වන විට අනුරාධපුර රාජධානිය සමෘද්ධියේ මුදුන් පෙත්තකටම නැඟ තිබුණ බැව් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. එවකට ලක්දිව විසූ තෙරවරුන්ගේ කීර්තිය බෞද්ධ ලෝකයේ බොහෝ තැන්හි පැතිරි තිබුණ බවට නාගාර්ජුන කොණ්ඩ සෙල් ලිපියක් ඇසුරෙන් ද ඔහු පෙන්වා දී තිබේ.

ආරියවංශ ප්‍රතිපදාව වූ කලී චීවර, පිණ්ඩපාත, සේනාසන ආදියෙන් ලද පමණින් සතුටුව භාවනාවෙහි ඇලී වස්සාන කාලය ගත කිරීමයි. එසේ වැඩවසන සංඝයා වහන්සේ උදෙසා සිදු කළ මහා පූජාවක් ගැන කියැවෙන තෝනිගල පර්වත සෙල්ලිපිය, සිංහල අක්ෂර පරිණාමය හා භාෂා විකාශනය අතින් ද අනුරපුර යුගයේ පැවති සමෘද්ධිමත් ආර්ථික ක්‍රමය හා බැංකු පටිපාටිය ගැන ද තත්කාලීන සාමාජික හා ආගමික තතු ද අනාවරණය කරන අතිශය වැදගත් ඓතිහාසික ලේඛනයකි. මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජතුමා රාජ්‍යය විචාල සිව්වැනි සියවසේ අග භාගයට අයත් මෙම සෙල්ලිපිය පිහිටියේ වව්නියාව – හොරොව්පතාන පාරේ කි. මී. අටක් පමණ දුරින් පිහිටි තිලක්කුමලය ප්‍රදේශයේ තෝනිගල නමින් හැඳින්වෙන ගල්තලාව මත ය. කඩුබල ගමෙහි වාසය කරන අමාත්‍ය මණ්ඩලයෙහි කෙනෙකු වූ සිවගේ පුත් දේව විසින් “කලහුමනක නියමතන”හි (කලහුමනක නම් උපනගරයෙහි පිහිටි වෙළඳ මධ්‍යස්ථානයේ බැංකුවෙහි) වී, උඳු, මුං ආදී ධාන්‍ය තැන්පත් කොට ඉන් ලැබෙන පොලිය ‘යහිසපවය’ විහාරයෙහි වස් සමාදන් වී සිටින හෙවත් ආර්යවංස ප්‍රතිපදාවෙහි නියැලී සිටින භික්ෂු සංඝයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද බව එම සෙල්ලිපියෙහි දැක්වෙයි.

ආර්ථික, සාමාජික හා ආගමික අතින් බෙහෙවින් සශ්‍රීකව පැවති – එසේම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවූ අවධියේ දී අනුරාධපුර අගනුවරට බොහෝ ඈත ප්‍රදේශයක පිහිටුවන ලද තෝනිගල හෙවත් නාගරගල සෙල්ලිපිය පිළිබඳව අනාවරණයක් කිරීම මෙම වස්සාන සමය තුළ අතිශය වැදගත් පින් කිරියවතක් ලෙස සැලකිය හැකි යයි සිතමි. වස් විසූ තෙරුන් වහන්සේලාට දානය පිරිනැමීම ගැන ද තොරතුරු එහි ඇතුළත් ය. පේළි 17කින් යුතු එම දීර්ඝ සෙල්ලිපියෙහි සරල අනුවාදය මෙසේ ය:

“යහපතක් වේවා! පෘථිවීශ්වර මහසෙන් මහරජුගේ පුත් සිරි මේඝවණ්ණාභය රාජ්‍යෝදයෙන් තෙවැනි වසරෙහි අග නගරයේ උතුරු දිසාවෙහි පිහිටි කලහුමනක නම් වෙළඳ නගරය භාර කඩුබලගම වෙසෙන ඇමතිවරයකු වූ සිවගේ පුත් දේව විසින් යහිසපවය නම් අභිනව විහාරයේ ආරියවංශ වෘත්තිය (වස්විසීම) සඳහා දෙන ලද දීමනාව මෙසේ ය:

යාළ දෙකක් හා දස අමුණක වී ද සා අමුණක උඳු ද දස අමුණක මුං ද වේ. මෙකී දෙයාළ දස අමුණක වීවලින් මාස් කන්නයේ, යල කන්නයේ හා මැද කන්නයේ අස්වනුවලින් ලැබෙන පොලිය ද පස්විසි අමුණක වී ද සා අමුණක උඳුවල පොලිය වන එක් අමුණු දෙපෑලක උඳු ද දසාමුණක මුංවල පොලිය වන දැමුණු දෙපෑලක මුං ද යන මෙකී තාක් තැන්පත් වස්තුවෙහි ප්‍රාග්ධනය වැය නොකොට එයින් ලැබෙන පොලිය පමණක් ගෙන ඉන් ගැල් තුනහමාරකින් දිනපතා දානය ද අතුරුපස ද සෙසු ආහාර වර්ග ද දී කිරි, මී පැණි, කැවිලි, පැණි, තල, දුන්තෙල් හා ලුණු ද පලා වර්ග ද බුලත් ද පිරිකර ද පිසීම සඳහා දිය යුතු මිල ද යන මෙකී තාක් දේ පොලියෙන් වැය කොට එළඹෙන සෑම වස් කාලයක් තුළ දී නිකිණි මස ශුක්ල පක්ෂයෙහි ආර්යවංස ප්‍රතිපදාවෙහි යෙදෙන මහා සංඝයාට දෙන ලෙස නියම කොට යහිසපව්වෙහි නව විහාරයට පූජා කරන ලදී.”

බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ පරිදි වර්ෂා කාලයෙහි භික්ෂූන් වහන්සේ චාරිකාවෙහි නොයෙදී නියමිත විහාරස්ථානයන්හි වැඩ වසමින් භාවනාවෙහි හා ශීල ප්‍රතිපදාවෙහි ඇලී සිටීම මුල් යුගයේ සිටම ලාංකේය භික්ෂු සමාජයෙහි ද පැවතුණි. එය ආර්යවංස ප්‍රතිපදාව ලෙස අනුරාධපුර යුගයේ දී හැඳින්විණ. තෝනිගල සෙල්ලිපියේ සඳහන් වන “අරියවස වටවී” යන්න ආර්යවංශ උත්සවය ලෙස අරුත් දෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා, එම උළෙල වස්සාන ඍතුව අවසානයේ පැවැත්වෙන වස් උත්සවය හෙවත් වස්සාන පින්කම ලෙස හඳුන්වා දී තිබෙයි.

සටහන – දයාපාල ජයනෙත්ති

ආශ්‍රය ග්‍රන්ථ : 1. ශිලා ලිපි සංග්‍රහය – මහාචාර්ය සෙනරත් පරණවිතාන
2. ලක්දිව සෙල්ලිපි – කොත්මලේ අමරවංස නාහිමි