ප්‍රඥාවට ආකරයක් වැනි වූ, මිථ්‍යාවාද නැමැති මහ වනය දවාලන ගිනි කඳක් වැනි වූ, තුන්ලොවට පහනක් වූ, අසම වූ, අසමසම වූ සියලු කෙලෙසුන් දුරුකළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා…!

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නවලෝකෝත්තර වූ උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා…!

දක්‍ෂිණාවට සුදුසු වූ, සන්සුන් ඉඳුරන් ඇති මුනිරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට නමස්කාර වේවා…!

——————————————-

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නොවිසිරුණුධාතූන් වහන්සේලා අතර දළදා වහන්සේලා හතරනමක් වැඩ සිටියා. බුදු සමිඳුන් සිනා පහළ කරන විට මේ දළදා වහන්සේලාගෙන් සුදු සඳරැස් වැනි බුදුරැස් විහිදී සිරස වටා තෙවරක් පැදකුණු කොට නොපෙනී යන සේක. දළදා වහන්සේලා ලෙස ගැනෙනුයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ උඩ හා යට ඇති උල් දත් හතර යි. තව්තිසාවේ සිළුමිණි වෙහෙරේ එක් දකුණු දළදා වහන්සේනමක් වැඩ සිටින අතර අනෙක් දකුණු දළදා වහන්සේ ජයසේන නම් නාරජු විසින් නාලොව පුදන ලැබුවා. මහින්ද මහරහතන් වහන්සේ ලබාගත් එම දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජු කරවූ සෝමාවතී සෑ රජුන් තුළ අදටත් විරාජමාන ව වැඩ සිටිනවා. වම් උඩු දළදා වහන්සේ ගන්ධාරපුරේ වැඩ සිටින අතර, මෙහි සඳහන් වන්නේ කලිඟු රටේ අවුරුදු 800ක් පමණ අපමණ පුද සත්කාර ලබා මේ වන විට නුවර දළදා මැදුරේ වැඩසිටිමින් ලක්දිවට තෙද පතුරුවන අප භාග්‍යවතුන් වහන්සේ යටි වාම ශ්‍රී දළදා වහන්සේගේ කථා විස්තරය යි.

***************************************************

අපගේ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවේ යමා සල්රුක් සෙවණේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සම්බුදු සිරුර අනන්ත වූ පුද පෙළහර මධ්‍යයේ රන්දෙණක බහා රන් පියනකින් වසා සඳුන් දර සෑයේ දැවෙන චිතකයෙන් ඛේම මහරහතන් වහන්සේ වම් දළදාව රැගෙන පසුව එය කලිඟු රජතුමාට භාර දුන්නා. මිථ්‍යාදෘෂ්ටික වූ ඒ රජතුමා පසුව තෙරුවන් සරණ ගොස් දළදා මැදුරක් හදලා මහත් වූ පුද පූජා පැවැත්තුවා.

බුදුරජුන්ගේ ධර්මය නමැති අමෘත සාගරයට බැස ගත් ඒ රජු මසුරුමල ආදී පව් සෝදාහැරියා. මහා වැස්සක් වහිනවා වාගේ නොයෙක් මුතු මැණික් දුගී මගී අයට දීලා දිළිඳු බව නමැති ග්‍රීස්මය දුරු කළා. ඒ රජු විසින් සෑදූ පළමු දළදා මැදුර රන්වන් පාටින් බැබළුණේ හිරුමඬල බබළනවා වගේ. හිරු රැස් වැදුනා ම ඒ රන්වන් දළදා මැදුර බලද්දි එහි කාන්තියට බලන අයගේ ඇස් පියවෙනවා. ඒත් හැමෝම මහා ආශාවෙන් ඒ දෙස බැලුවා. රත්තරන් ආසනයක් කරවලා ඒ මත දළදා වහන්සේ වඩා හිඳුවා අපමණ පුදපූජා පැවැත්වූ ඒ රජතුමා මරණින් මතු දෙව්ලොව උපන්නා.

ඒ රජුගේ පුත් වූ කාසි රජතුමා මලින් සුවඳින් දළදා වහන්සේ පිදුවා. ඒ මැදුරේ තෙල් පහන් දැල්වූවේ නෑ. මැණික් ආලෝකයෙන් ආලෝකවත් කළා. උත්තම වූ බුදුරජුන්ට කළ පුද පූජා බලෙන් මරණින් මතු ඒ රජතුමා ද තව්තිසා දෙවිවරුන්ගේ වාසයට ගියා. ඔහුගේ පුත් සුනන්ද රජුත් සියලු සත්වයන්ට කරුණා මෛත්‍රියෙන් යුතුව මුනිඳු දළදා පුදමින් නින්දා නැති ස්වර්ගයේ උපන්නා.

ඊට පස්සේ මිසදිටු වූ ගුහසීව නම් රජෙක් පහළ වුණා. වැහි කාලේ වලාකුළුවලින් වැහුනු සඳ බබළන්නේ නෑ වගේ ඒ රජු මිසදිටු නිසා බැබළුණේ නෑ. නගරවාසීන් රන් තොරන් බැඳලා, ධජ පතාක හිටවලා, මල්වලින් නුවර සරසලා, රන් රිදී මලින්, සුවඳ සුණු ආදියෙන්, නැටුම් ගැයුම්වලින් දළදා වහන්සේ පුද දෙනකොට කල්ප විනාශයේ මහා සාගරේ හඬ වගේ මහා ඝෝෂාවක් ආවා. රජතුමා පුදුමයට පත්වෙලා ඇහුවා මේ සද්දෙ මොකද්ද කියලා. ඇමතියෙක් කිව්වා, සියල්ල දන්නා වූ, සියල්ල මැඩ පවත්වන්නා වූ, අමා නිවනට වැඩි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ඛේම මහරහතන් වහන්සේ විසින් වැඩම කරවූ බව… ගුහසීහ රජතුමා බුදු සසුනේ පහන් සිත් ඇති කරගෙන පුදුම එලවන මහා දළදා පූජාවක් කළා. ආශ්චර්යවත් ඒ මහා පූජාව දැකලා බෞද්ධයන් සතුටින් ඉපිල ගියා. තීර්ථකයින් නොසතුටු වුණා.

කිපුණ තීර්ථකයෝ පාටලීපුත්‍රයේ පඬි රජු හොයාගෙන ගියා. ගිහින් කිව්වා ප්‍රාදේශීය රජෙක් වන ගුහසීහ රජු මිනී ඇටයකට මහා පුද පූජා පවත්වන බව. ඒ පඬි රජු තමන්ගේ සාමන්ත රජෙක් වූ චිත්‍රයාන රජුට කිව්වා ඒ ගුහසීහ රජුත්, ඔහු දිවා රෑ පුදන මිනී ඇටයත් අරන් එන්න කියලා.

චිත්‍රයාන රජුට ගුහසීහ රජතුමා නොයෙක් අයුරින් බුදු ගුණ කියමින් පවසා සිටියා “ඒකාන්තයෙන් ම දේවාතිදේව වූ සියලු ප්‍රාණීන්ට පිහිට වූ ඒ බුදුරජුන්ට අවමන් කරන අයට මුළාවක් ම යි, මුළාවක් ම යි.” බුදු ගුණයට සිත පහන් වූ ඒ චිත්‍රයාන රජු දළදා මැදුරට පමුණුවා ගුහසීහ රජතුමා රන් කරඬුව විවෘත කළා. දකුණු දණ මඬල පොළොවේ තබා දොහොත් මුදුන් තබා වන්දනා කරගෙන දසබලධාරී බුදුසමිඳුන්ගේ ගුණ සිහිකොට ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට මේ විදියට ආයාචනා කළා. “සර්වඥයන් වහන්ස, ඔබවහන්සේ විසින් නොයෙක් තැන්හි දී බොහෝ පෙළහර දක්වා තිබෙනවා. දැනුදු ඔබවහන්සේ විසින් බලන මිනිසුන්ට ස්වර්ග මෝක්ෂ සැප සලසාලන උතුම් පෙළහරක් පා වදාරණ සේක්වා!”

පළමු දළදා පෙළහර

චන්ද්‍රරේඛාව සේ මනහර දළදා වහන්සේ අහසට පැනනැගුනා. රිදීවන් සුදු බුදු රැස් විහිදුවමින්, දුම් දමමින් දිලිසි දිලිසී පෙළහර පා වදාළා. ඒ චිත්‍රයාන රජු බොහෝ කලක් පුරුදු කළ සියලු මිසදිටු හැර අසම වූ බුදුරජුන් සරණ ගියා. එනමුත් පඬි රජුගේ නියෝගය බැහැර කළ නොහැකිව ගුහසීහ රජු සමඟ දළදා වහන්සේ පඬි රජු වෙත වැඩම කෙරෙව්වා. කළිඟු රජු වූ ඒ ගුහසීහ රජතුමා මග දිගට දළදා වහන්සේට පුදපූජා පවත්වමින් ම ගියා. කිසිම බියක් තැතිගැනීමක් සැකයක් නැති සිතින් සිටි ගුහසීහ රජු දුටු පඬි රජු කෝපයට පත් වුණා. තීර්ථකයන්ට කිව්වා, “වැඳිය යුතු, පිදිය යුතු දෙවියන් හැර මොහු මිනී ඇටයකට වඳිනවා. ඒ නිසා මේ මිනී ඇටය දිලිසෙන ගිනි අඟුරු වළකට දමන්ට.” කියා. නිගණ්ඨයෝ මහා සතුටට පත් වෙලා රජ මිදුලේ මහා ගැඹුරට, පහ වූ ගිනි සිළු ඇති, ගිනි අඟුරුවලින් පිරුණු වළක් පිළියෙළ කළා. මෝහයෙන් අන්ධ වූ ඒ තීර්ථකයෝ හාත්පසින් දිලිසෙන රෞරව නරකය සේ භයංකාර වූ ගිනි අඟුරු වළට දළදා වහන්සේ විසි කළා.

සැදැහැවත් මහජනයාගේ හදගැස්ම මොහොතකට නැවතුනා. ඉහළට ගත් හුස්ම පොද එහෙම්ම රඳවා බලා සිටියා.

දෙවන දළදා පෙළහර

සියලු දෙනා අමන්දානන්දයට පත් කරවමින් ඒ දළදා වහන්සේගේ අනුභාවයෙන් ගිනි අඟුරු වළ පලාගෙන රිය සකක් වැනි නෙළුම් මලක් මතු වුණා. හාත්පසින් රේණුවලින් පිරුනු ඒ පියුම් කෙමිය මත දළදා වහන්සේ පිහිටියා. කොඳ මල් සේ ඉතා සුදු, දීප්තිමත් වූ බුදුරැස් විහිදුවමින් සියලු දිසා සුදු පැහැයෙන් බැබළෙව්වා, ආලෝකවත් කොට වදාළා. මේ පෙළහර දුටු බොහෝ මිසදිටු අය තෙරුවන් සරණ ගියා.

පඬි රජතුමාට බොහෝ කලක් ආ මිසදිටුව බැහැර කළ නොහැකි වුණා. දළදා වහන්සේ නසන්ට තව උපායක් හිතුවා. “මිනී ඇටය කිණිහිර මත තබා කුළු ගෙඩියෙන් වැරෙන් පහර දෙන්න.” කියා නියෝග කළා.

තෙවන දළදා පෙළහර

දෙව්මිනිසුන්ගේ සිත් සලිත කරවමින් දළදා වහන්සේ කිණිහිර මත තබා කුළු ගෙඩියෙන් වැරෙන් පහර දුන්නා. සතුටට පත් වූ රජු කුඩු වූ මිනී ඇටය බැලීමට ළං වුණා. අසිරියක්මැයි…! දළදා වහන්සේගෙන් භාගයක් කිණිහිරේ ගිලුනා. නිරුපද්‍රිත ව හාත්පස දසදිසා බබුළුවමින් සුදු සඳ රැස් වගේ බුදු රැස් විහිදෙව්වා. පඬි රජු පුදුමයට පත් වුණා. ශරීරයේ රෝමෝද්ගමනය වුණා. ඉරිසියාවෙන් පෙළුනු නිගණ්ඨයින් හණිකට රජු ළඟට ආවා. මේ තරම් ආනුභාවයක් ඇති මෙය නම් මිනී ඇටයක් නොව මේ නම් විෂ්ණු අවතාරයක් ම යි කියලා කපටි නිගණ්ඨ පිරිස විෂ්ණු දෙවියන්ගේ ගුණ කිය කියා ස්තූති පූජා කර කර පැන් වැඩුවා “උඩට වඩින්ට” කියලා. දළදා වහන්සේ නොසෙල්වී වැඩ සිටි සේක.

ඊට පස්සෙ පඬි රජතුමා නුවර පුරා අඬබෙර පැතිරෙව්වා දළදා වහන්සේ කිණිහිරෙන් පිටතට ගත්තොත් මහා සම්පත් දෙනවා කියලා. ඒ නගරයේ හිටියා පිනට කැමති, බුද්ධානුභාවයට පැහැදුන සුභද්‍ර නම් සිටුවරයෙක්. අනේපිඬු සිටුතුමාගේ මුණුපුරෙක් වූ ඒ සුභද්‍ර සිටුතුමා සිත්කළු වචනයෙන් බුදු ගුණ වර්ණනා කළා.

■“අපගේ භාග්‍යවතුන් වහන්සේ පූර්ව භවයක ඡද්දන්ත ඇතෙක් වෙලා සිටිද්දී විෂ පෙවූ ඊ පහර වැදී ලේ වැකුණු ශරීර ඇතිව ඉද්දිත් ෂඞ් වර්ණයෙන් බබළන දළ දෙක කපා සෝණුත්තර නම් වැද්දාට දන් දුන් සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ පූර්ව භවයක හාවෙක් වෙලා සිටිද්දී පිරිසිදු සිල් ඇතිව, දානයෙහි ඇලී, සා දුකින් පෙළුණු බමුණාට ගිනි අඟුරු ගොඩට පැන තම ශරීරය දන් දුන් සේක් ද…

■සිවි රජු ව සිටියදී අපගේ භාග්‍යවතුන් වහන්සේ බුදු බව පතා තම දීප්තිමත් නෙත් සඟල අන්ධ බමුණාට දන් දුන් සේක් ද…

■ක්ෂාන්තිවාදී තාපස ව සිටිය දී අත් පා කප්පවා වදයට පැමිණවූ කලාබු රජු කෙරෙහි මෙත් සිතින් ඉවසූ සේක් ද…

■මාස 7ක් වයසැති ධර්මපාල කුමරුන් ව සිටියදී කිපුණු පිය රජු අසිමාල නම් වධය කරන කල්හිත් සිත දූෂිත නොකළ සේක් ද…

■යම් සර්වඥ බුදුරජාණන් වහන්සේනමක් වඳුරු ව ඉපිද සිටිය දී ප්‍රපාතයෙන් ගොඩ ගත් අසත්පුරුෂයා ගැසූ පහරින් හිස පැලී ලේ වැගිරෙද්දීත් නොකිපී මාර්ගය පෙන්වූ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධ මුවා ව සිටි සමයේ මුවදෙන මරණින් මුදවා දං ගෙඩියේ තම හිස තබා අනිත් සියලු සත්වයින් ද මරණෙන් මුදවූ සේක් ද…

■වටු පැටියෙක් ව සිටියදී සත්‍ය වචනයේ බලයෙන් ලැව් ගින්න නිවා මේ කල්පය පුරාවට ම එතැන ගිනි නොහටගන්නා තැනක් බවට පත් කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා බිහිසුණු වූ ආලවක යක්‍ෂයා දමනය කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලෙයින් රතු පාට අත් පා ඇති, කඩුවක් ඔසවාගෙන ලුහුබඳින්නා වූ, බිහිසුණු වූ අංගුලිමාල නම් සොරා දමනය කළ සේක් ද…

■අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතා දරුණු වූ, මදයෙන් මත් වූ, අති බිහිසුණු වූ නාලාගිරි නම් ඇතු දමනය කළ සේක් ද…”

මේ ආදී අනේක අයුරින් බුදුගුණ වර්ණනා කළ සිටුපුත්‍රයා, “මේ උත්තම දළදා වහන්සේ අපගේ සද්ධර්ම නායක වූ, අප්පටිපුග්ගල වූ, අනන්ත නුවණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ම ය. මේ සත්‍යානුභාවයෙන් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ මහජනයාගේ සැකසංකා දුරු කරන සේක්වා! වහා අහසට නැගී පෙළහර පා වදාරණ සේක්වා!” යි අධිෂ්ඨාන කළා. එසැණින් ජින දන්තධාතූන් වහන්සේ අහසට පැන නැග ඕෂධී තාරකාවක් සේ සියලු දිසා බැබළෙව්වා. ඉක්බිති දළදා වහන්සේ සිටුපුත්‍රයා අමෘතයෙන් අභිෂේක කරන ලද්දාක් මෙන් ඔහුගේ සිරසෙහි පිහිටියා.

නිගණ්ඨයෝ මේ ආශ්චර්යය දැක බියට පත් වී පඬි රජු ව ආයෙමත් මිසදිටු ගැන්වුවා. “මේ දළදා මහිමයක් නොව මොහු මායාකාරයෙකි. මායා බලෙන් තමන් කැමති දේ පෙන්වා අන් අය මුළා කළ හැකි ය. නොරැවටෙනු මැනව.” ඔවුන්ගේ වචන ඇසූ රජු තවත් ඉර්ධියක් පෙන්වන ලෙස සිටු පුත්‍රයාට නියෝග කළා.

සිව්වන දළදා පෙළහර

සිටු පුත්‍රයා බුදුරජුන්ගේ අසිරිමත් බුද්ධ චරිතය සිහි කරමින් රන් පාත්‍රයක සුවඳ සිසිල් පැන් පුරවා ඒ මතට දළදා වහන්සේ වැඩමෙව්වා. දළදා වහන්සේ සුවඳ දියේ දක්‍ෂිණාවර්ත ව සීඝ්‍ර ව දිවෙමින්, උඩට නැගෙමින් දියෙහි ගිලෙමින් වටේට ප්‍රදක්‍ෂිණා කළ සේක. මෙසේ දකින ජනයන්ගේ දෙනයන සතුටු කඳුළු පුරවමින් රාජ හංසයෙකු සේ පෙළහර පා වදාළා. පඬි රජුගේ බොහෝ කාලයක් තිබූ මිසදිටුව පිඹ හරින්නට ඒ පෙළහරත් සමත් වුණේ නෑ. ආයෙමත් දළදා වහන්සේ විනාශ කරන උපායක් සිතුවා.

පස්වන දළදා පෙළහර

වීථියේ මහා වළක් හෑරෙව්වා. දළදා වහන්සේ වළට දමා මනාකොට පස් පුරවා ඇතුන් ලවා පෑගෙව්වා. සැණෙකින් ස්වර්ණමය පෙති සහිත, මැණික්වලින් සුසැදි කෙමියක් ඇති, රිදීවන් රේණු ඇති, දීප්තිමත් රන් මලක් පොළොව පලාගෙන පැන නැංගා. දළදා වහන්සේ ඒ මලෙහි පිහිටා සියලු දිශාවන් බබුළුවන්නට වුණා. සතුටට පත් වූ මිනිස්සු වැස්සක් සේ මලින් පුද දුන්නා. නුවර පිරී යන පරිදි අහස ගිගුම්දෙන සේ සාදුකාර නාද පැවැත්වුවා.

තීර්ථකයෝ පඬි රජුට සැල කළා ඒ ප්‍රාතිහාර්යයත් වංචාවක් බව. ඉන් පසු පඬි රජු විසින් දේව මිනිස් කැල මුදුන් මල්කඩක් සේ පුදදෙන ඒ  උත්තම දළදා වහන්සේ මළමුත්‍ර, සෙම්සොටු, ඉඳුල්, අපවිත්‍ර දේ එකතු වන දිය අගලට දැම්මා.

හයවන දළදා පෙළහර

දළදා වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් ඒ දිය අගල පස් පියුමින් සුසැදි සුන්දර පොකුණක් බවට පත් වුණා. රතු නෙළුම්, සුදු නෙළුම්, මානෙල්, නිල් මානෙල්, ඕලු මලින් පිරී ගියා. මේ පෙළහර දුටු ඇත්තු පවා මහ හඬින් කුංචනාද කළා. අශ්වයෝ හේෂාරව කළා.

මිනිස්සු ප්‍රීතිඝෝෂා කළා. ඔද වැඩුනු සිතින් අත්පොළසන් දුන්නා. සළු පිළි හිස වටා කරකවමින් මත් වූවන් සේ ප්‍රීතිඝෝෂා කළා. පුද දුන් කළුඅගිල් සුවඳ දුමින් අහස වැසී ගියා. වස්ත්‍රවලින් කරන ලද්දාක් මෙන් නගරය කොඩිවලින් වැසී ගියා.

මේ අචින්තනිීය වූ ආශ්චර්ය වූ පෙළහර දැක සතුටට පත් වූ ඇමති පිරිස එක් වෙලා තම රජුගේ යහපත කැමති ව මෙසේ සැලකර සිටියා. “රජතුමනි, පැහැදිය යුතු ගුණයන්ගේ පැහැදීම සත්පුරුෂ ජනයන්ගේ ස්වභාවයක්. සඳ රැස් වැටුනු විට කුමුදු මල් පිපෙන සේ පැහැදිය යුතු ගුණ ඇති කල්හි සත්පුරුෂයෝ තෙමේ ම පහදිත්. මේ මිසදිටුවන්ගේ වචන අහලා සුගති මාර්ගය අත්හරින්න එපා. අන්ධයන්ගෙන් යහපත් මාර්ගය විමසන්නේ කවුරුන් ද? මහාකප්පින, බිම්බිසාර, සුද්ධෝදන ආදී රජවරු ධර්මරාජ වූ අපගේ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ ගියා. දෙදෙව්ලොවට අධිපති වූ සක්දෙව් රජුන් පවා ආයුෂ පිරිහී ඉද්දී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා දීර්ඝායුෂ ලැබුවා. ඒ නිසා මිනිසුන්ට අධිපති වූ රජතුමනි, දේවාතිදේව වූ උත්තම වූ සර්වඥයන් වහන්සේ කෙරෙහි ස්වර්ග මෝක්ෂ සැපය පිණිස සිත පහදවා ගත මැනව.” මේ විදියට බුදු ගුණ අහනකොට පඬි රජු සතුටට පත් වුණා. තම යහපත කැමති ඇමතියෙකුට මෙහෙම කිව්වා.

“ත්‍රිවිධ රත්නයේ ගුණ හඳුනා නොගෙන බොහෝ කාලයක් මා මිථ්‍යාදෘෂ්ටියෙන් රැවටී සිටියා. ප්‍රඥාවට ආකරයක් බඳු බුදුරජුන් මහා ගිනි කඳක් සේ දිලිහි දිලිහි වැඩ සිටිද්දී ම මෝහයෙන් මුළා වුණ මම කණාමැදිරි එළි පස්සේ ගියා. පිපාසාවට ගංගා දිය අතැර මිරිඟු දිය බොනවා වගේ… ජීවිතය කැමැත්තෙන්, අමෘතය අතහැර නපුරු විෂක් අනුභව කරනවා වගේ… සුවඳැති සපුමල් දාමයක් අත්හැර නා සිරුරක් පැළඳ ගත්තා වගේ මංමුළාවට පත් වුණා. වහ වහා දිය අගල සමීපයට ගොස් ආරාධනා කොට බුදුරජුන්ගේ දළදා වහන්සේ වැඩම කරවාගෙන එන්න. සියලු සැප එළවන උතුම් දළදා වහන්සේ පුදා පින් කරන්නෙමි.”

එවිට ඒ රජුගේ යහපත කැමති වූ සෙනෙවිතෙම අතිශයින් ම සතුටට පත් වුණා. දිය අගල සමීපයට ගොස් දළදා වහන්සේට වැඳ වැඳ මෙහෙම කිව්වා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපගේ රජතුමා බොහෝ කාලයක් පැවති මිසදිටුව පිඹ හැරියා. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා. එනිසා මේ රජුගේ ප්‍රාසාදයට වැඩමවා රත්නත්‍රය කෙරෙහි පැහැදීම දියුණු කළ මැනවි.”

ඒ සර්වඥ දළදා වහන්සේ හංස පෝතකයෙකු මෙන් පියුමෙන් පියුමට වඩිමින්, කිරි සයුර මෙන් මුළු නගරය ම සුදු බුදු රැස්වලින් ආලෝකවත් කළ සේක. ඉන් පසු ඇමතියාගේ දොහොත් නමැති රතු පියුමෙහි පිහිටා මහජනයාට පෙනෙමින් මිනිසත් බව මහත්ඵල කළ සේක. දළදා වහන්සේ මලින් මලට වඩිමින් සුදු බුදු රැස් විහිදවූ පුවත ඇසූ රජු මහා සතුටට පත්ව පා ගමනින් ම පෙරමගට ගොස් ඇදිලි බැඳ වන්දනා කොට මෙසේ කීවා.

“සර්වඥයන් වහන්ස, වෙළඳාම් කිරීමේ දක්‍ෂ වූ මනුෂ්‍යයෝ රන්බඩුවල රත්රන් නියම රන්දැයි පරීක්‍ෂා කිරීමට හණ ගලෙහි උරගා බලති. මෙය පුරාණයේ සිට ම එන සිරිතකි. අද ද එසේ කරත්. මැණික් ආකරයන්හි නොයෙක් මැණික් ගල් ලැබේ. ඒවායේ නියම තත්ත්වය අවබෝධ කර ගන්ට මැණික් ඔප දමා ගත යුතු ය. රජදරුවන්ගේ ඔටුන්නේ මුදුන්හි අලංකාරයට යොදන මැණික් පවා ගින්නෙහි දමා මනා කොට ඔපදමා ගනිති. ඒ නිසා මහා මුනිඳුනි, අප විසින් ද ඔබවහන්සේ තව තව විමසීම පිණිස මේ සියල්ල කරන ලදී.

ප්‍රඥාවට ආකරයක් වූ මුනිඳුනි, මා විසින් කරන ලද මහා අපරාධයට සමාව දෙන සේක්වා…! ලොවෙහි සමාව දෙන අය අතර අධිපති වූ මුනිඳාණෙනි, මට සමාව ලබා දී මාගේ සිරස මත වැඩ සිටින සේක්වා…!”

සැණෙකින් දළදා වහන්සේ රජුගේ මාණික්‍ය ශෝභාවෙන් බබළන ඔටුන්නෙහි පිහිටි සේක. සියලු සත්වයන් කෙරේ උපන් මහා දයානුකම්පාවෙන් කිරි දහර මෙන්, සුදු සඳ රැස් මෙන් සුදු බුදු රැස් විහිදවූ සේක. පඬි රජු දළදා වහන්සේ සිරසින් උසුලමින් නුවර ප්‍රදක්‍ෂිණා කොට මලින් සුවඳින් පුදමින් මනා ව සැරසූ ඇතුළු නුවරට වැඩමෙව්වා. රජතුමා ශ්වේත ඡත්‍රයක් යෙදූ ස්වර්ණමය පළඟක දළදා වහන්සේ වඩා හිඳුවා රන් රිදී මුතුමැණික් ආදියෙන් පුදනු ලැබුවා. රජතුමා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගොස් අවිහිංසාවෙන් හා කරුණා ගුණයෙන් මහජනයාගේ සිත් දිනා ගත්තා.

පඬි රජතුමා හිරු මෙන් බබළන රන්වන් පැහැ ඇති අලංකාර දළදා මැදුරක් කරවා සියලු නුවර ම සරසා දළදා වහන්සේ ව දළදා මැදුරට වැඩම කරවූවා. අවශේෂ පූජාවලින් තෘප්තිමත් නොවූ රජතෙම ධන ධාන්‍ය සහිත වූ රට ම දළදා වහන්සේ උදෙසා පිදුවා.

ඒ පඬි රජතුමා මිසදිටුවන් හා එක් වීම අත්හැර දමා බුදු වදන් නැමැති පහනින් සුමගෙහි ගමන් කොට තමාටත්, අනුන්ටත් හිත වැඩ කරමින් කාලය ගත කළා. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ පඬි රජු සමඟ යුද පිණිස ඛීරධාර නම් රජු පැළලුප් නුවරට පැමිණියා.

පඬි රජු ඇත් රජෙකු දැක ද නොබියව ඉදිරියට යන සිංහරාජයෙකු මෙන් මහ වතුරක් වන් යුද සෙන් පිරිවරා සිය නුවරට පැමිණි ඛීරධාර රජු ඉදිරියට ගියා. යුද හමුදාවේ ගමනින් නැගුණු දූවිල්ලෙන් ආවරණය වූ අහස ඇතිව මහ බලවත් යෝධයන් ඇති ඊතල වර්ෂාවෙන් යුත් මහා යුද්ධයේ දී ඛීරධාර රජු පරදවා පඬි රජු ජය ගත්තා. අනතුරුව පඬි රජතුමා රට සශ්‍රීක කොට සිය පුතුට රාජ්‍යය දී ගුහසීව රජුට ද සත්කාර කොට සිය රටට යැව්වා. පඬි රජතුමා නොයෙක් වස්තු දන් දී, යදියන් සතුටු කොට තවුස් ජීවිතයක් ගතකොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.

ගුහසීව රජතුමා නැවතත් දළදා වහන්සේ සිය නුවරට වැඩමවා මනා ව පූජා සත්කාර කරමින් ජනයා සුගති මාර්ගයෙහි යොදවමින් මහා පින්කම් කරමින් වාසය කළා. ඒ කාලේ බොහෝ තේජස් ඇති උදේනි රජුගේ පුත්‍ර වූ දන්ත කුමරු දළදා පිදීම පිණිස ගුහසීව රජුගේ රටට ගියා. ඛීරධාර රජු යුද බිමෙහි මිය ගිය කල්හි ඔහුගේ බෑණනුවන් දළදා වහන්සේ ගැනීම පිණිස දන්තපුරය වෙත ගියා. ඉක්බිති ඒ කුමරුන් නුවර සමීපයෙහි කඳවුරු බැඳ “බුදුන්ගේ දළදාව දෙව, නැතහොත් යුද්ධ කරව.” යි හසුනක් එව්වා.

ගුහසීව රජු ඒ අසා දන්ත කුමරුට රහසිගතව මෙසේ කීවා. “මගේ දිවි තිබෙන තුරු දළදා වහන්සේ අනෙකෙකුට දිය නොහැක්කෙමි. දෙවි මිනිසුන් නිරත්තරයෙන් පුද දෙන ඒ දළදා වහන්සේ රැගෙන බමුණු වෙස් ගෙන ලක්දිවට යන්න.” එකල්හි දන්ත කුමරු ගුහසීව රජුට මෙසේ කීවා. “ලක්දිව ඔබේ ද මගේ ද නෑ කෙනෙක් නොමැත. මහා සාගරයෙන් එතෙර කුඩා දේශයක් වූ ලක්දිවට දළදා වහන්සේ මම කෙසේ ගෙන යම් ද?” එවිට ගුහසීව රජු දන්ත කුමරුන්ට මෙසේ කීවා. “දසබලධාරී බුදුරජුන්ගේ ශාරීරික ධාතු ලක්දිව පිහිටියාහු ය. සසර භය නැසීමේ දක්ෂ වූ ඒ බුදුරජුන්ගේ ධර්මය ද ලක්දිව පිහිටියාහු ය. බොහෝ භික්ෂූන් වහන්සේලා ද ලක්දිව වැඩ වසන්නාහු ය. හැම කල්හි ම නුවණැති මාගේ මිත්‍ර වූ මහසෙන් රජතුමා දළදා පුදන්නට ද නුපුරුදු රටකට ගිය ඔබට මනාව සංග්‍රහ කිරීමට ද පොහොසත් ය.” මෙසේ ගුහසීව රජතුමා තම බෑණනුවන් සතුටු කොට සේනා සහිතව යුද බිමට ගොස් යුද බිමේ දී මරණයට පත් වුණා.

ඉක්බිති දන්ත කුමරු මාමාගේ මරණය පිළිබඳ කනට අමිහිරි ඒ පුවත අසා හේමමාලා කුමරිය සමඟ බමුණු වෙස් ගෙන දළදා වහන්සේ රැකීම පිණිස නගරයෙන් පිට වුණා. ඉතා විශාල ගංගාවක් තරණය කොට ගං ඉවුරෙහි වැලිගොඩක් මැද දළදා වහන්සේ සඟවා තැබුවා. සතුරන්ට අසු වේ යැයි බියෙන් පිට වී යාමට අවස්ථාවක් එළැඹෙන තුරු වැලි දාගැබ තුළ දළදා වහන්සේට පුද සත්කාර කරමින් සිටියා.

එකල්හි ඉර්ධි බලයෙන් අහසින් වඩින එක්තරා රහතන් වහන්සේනමක් වැලි දාගැබෙන් විහිදෙන රශ්මි මාලාවන් දැක අහසින් බැස දළදා වහන්සේට වන්දනා කළා. ඒ තෙරුන් වහන්සේ දැක සතුටට පත් වූ අඹුසැමි දෙදෙනා තමන් ලංකාවට යන තොරතුරු දැන්වූවා. එවිට උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළා. “ඔබ නොබියව දළදා වහන්සේ හෙළදිවට රැගෙන යන්න. අතරමග දී යම් උවදුරක් ඇති වුවහොත් උවදුරු දුරුකිරීමට දක්‍ෂ වූ මා සිහි කළ මැනව.”

ඉක්බිති ඒ ගංගාවේ නා විමනේ සිටි පණ්ඩුහාර නම් නා රජෙක් නා විමනෙන් පිට වී ඔබ මොබ යමින් එතැනට පැමිණියා. වැලි දාගැබෙන් නික්මෙන්නා වූ සුදු සඳරැස් වන් සුදු බුදු රැස් දැක සැක සහිතව නැවත නැවත බලද්දී ඒ වැලි සෑය තුළ පිහිටි සර්වඥ දළදා වහන්සේ දැක්කා. ඒ ක්ෂණයෙහි ම ඒ නා රජු ඉතා ගෞරව සහිතව දළදා වහන්සේ සහිත රන් කරඬුව ගිල මහාමේරු පර්වතය වෙලාගෙන වැතිරුණා.

අඹුසැමි දෙදෙනා ද සමීපයේ පිහිටි මුහුදු තීරයට යනු කැමතිව වැලි දැගැබ තුළ තැබූ දළදා වහන්සේ නොදැක මහා දුකට පත්ව හඬ හඬා කඳුළු වගුරුවමින් ශාක්‍යපුත්‍ර වූ ඒ මහා රහතන් වහන්සේ සිහි කළා. එවිට ඒ උත්තම රහතන් වහන්සේ ඔවුන්ගේ සිතිවිල්ල දැක ශෝකයෙන් බර වූ ඔවුන් වෙත වැඩම කළා. ඔවුන් විසින් වැලි ගොඩ යට තබා පුදන ලද දළදා වහන්සේ එහි නැති බව රහතන් වහන්සේට දන්වා සිටියා.

අප මහා තෙරුන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට දළදා කරඬුව ගිල මහමේරු පර්වතය වෙලා සිටි නා රජු දර්ශනය වුණා. ඒ ක්ෂණයෙන් අප මහරහතන් වහන්සේ මහා පියාපත් ඇති ගුරුළු වේශයක් මවා ගත්තා. තම පියාපතින් උපන් පවන් වේගයෙන් මුහුද දෙබෑ කොට බියකරු වේශයෙන් වහා ගොස් මහමෙර පාමුල නිදා සිටි නා රජු වෙත පැමිණියා. එවිට නා රජු බියෙන් තැතිගෙන නාග වේශය අත්හැර පෙණය හකුළුවාගෙන රහතන් වහන්සේගේ දෙපා වැඳ මෙසේ කීවා.

“බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාටම යහපත පිණිස ම හිතසුව පිණිස ම පහළ වන්නාහු ය. ධාතු වන්දනාව ද සියල්ලන්ගේ ම සැප පිණිස ම පවතී. එහෙයින් මම ද සියලු ආකාරයේ වන්දනාවට පූජාවන්ට සුදුසු අග්‍ර දක්ඛිණෙය්‍ය වූ සම්බුදුරජුන්ගේ දළදාව පුදා පින් රැස් කර ගැනීම පිණිස ම එය ලබා ගත්තෙමි.”

එවිට අප මහරහතන් වහන්සේ නා රජුට මෙසේ වදාළා. “පින්වත් නා රජුනේ, ඔබ දිවි ඇති තෙක් ධාතු පූජාවේ යෙදුණත් මේ ජීවිතයේ ම මග ඵල ලැබිය නොහැකියි. මග ඵල සාක්ෂාත් කළ හැකි මනුෂ්‍යයන්ගේ වාසස්ථානය වූ සීහලදීපයට යි මේ දළදා වහන්සේ වැඩම කරවන්නේ. එනිසා අප මුනිරජුන්ගේ දළදාව මා හට ලබාදෙනු මැනව.” එවිට නා රජු මහත් ශෝකයෙන් නමුදු ධාතු කරඬුව රහතන් වහන්සේට ලබා දුන්නා. ගුරුළු වේශය අතැර අප තෙරුන් වහන්සේ මහා සාගරයෙන් නැගී, රාජශ්‍රීය ලද්දාක් මෙන් දළදා වහන්සේ අඹුසැමි යුවළට ලබා දුන්නා.

මෙසේ බොහෝ උපකාර ඇති රහතන් වහන්සේ වැඩම කළ පසු ඔවුන් දළදා වහන්සේ හිස් මුදුනේ තබාගෙන වන මාර්ගයෙහි ගමන් කරන විට වන දේවතාවුන් විසින් අනේකප්‍රකාර වූ පුද පූජාවන්, වන්දනාවන් පැවැත්වූවා. අප භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේගේ මහිමයෙන් මාර්ගයේ සියලු තැන්හි මුදු මොළොක් සුවඳ ඇති සුළං හමා ගියා. මහමගෙහි තිබූ ගල් බොරළු කටු ආදී අපවිත්‍ර දෑ සියල්ල තොමෝ ම ඉවත් වී අප භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පිළිගන්නට මෙන් සිනිඳු සුමුදු වැලි ඇතිරුනා. ඒ දළදා වහන්සේගේ මහිමයෙන් නියම්ගම් වැසියන්, නුවර වැසියන් ඔවුන්ට මනා කොට පුද සත්කාර කළා.

මලින්, සුවඳ රේණුවලින් පුරවා ගත් දෑත් ඇති වන දේවතාවුන් ද දළදා වහන්සේ දකිනු කැමති ව ඔවුන් අනුව ම නිරන්තරයෙන් ගමන් කළා. පර්වත වන දුර්ග ගෙවූ ඔවුන් තාම්‍රලිප්ති පටුනට පැමිණියා. එවිට ලක්දිවට යන වෙළෙඳුන් නැගුණු නැවක් ඔවුන්ට දක්නට ලැබුණා. ඉක්බිති බමුණු වෙස් ගත් අඹුසැමි දෙදෙනා වහා නැවියා හමු වී ලක්දිවට යෑමට කැමැති බව පවසා සිටියා. නැවියා ද ඔවුන්ගේ මිහිරි වචනයෙන් ද මනා පැවැත්මෙන් ද සතුටුව ඔවුන් ව නැවට නංගා ගත්තා.

ඔවුන් විසින් දළදා වහන්සේ ද රැගෙන නැවට නැගි විට මුහුදු දිය රළ සන්සිඳී ගියා. උතුරු දිශාවෙන් සුගන්ධය පතුරුවමින් සුවඳ පවන් හමා ආවා. සියලු දිශාවක් ම ශෝභාවත් වුණා. නිල් අහසේ ගුරුළු රාජයෙක් මෙන් බලවත් සුළං වේගයෙන් ගමන් ගත් නැව වෙරළ ඉක්මවා සයුර මැදට පැමිණුනා. වාත වේගයෙන් කම්පා වූ මහා සමුද්‍රයේ පර්වත වැනි උස් වූ රළ පතර ඇති වුණා. කන් බිහිරි කරවන නාදයෙන් යුතු වුණා. රාත්‍රිය ඉක්මවා හිරු මඬල උදාවෙද්දී සාගර කුණාටුව සන්සිඳී නිල් මැණික් ඇතිරූ වේදිකාවක් මෙන් මුහුද බැබළුණා.

එවිට සමහර නාගයින් පෙණ මඬුළු දරා, බිය තැති ගැනීම ඇති කරමින් නැගී සිටියා. සමහර නාගයින් සුවඳ මල් ඇතිව සිත්කළු මැණික් පහන් දරාගෙන නැගී සිටියා. කිසිවෙක් කඩුපුල් මල් හිසෙහි කරකවමින් නැගී සිටියා. තවත් නාගයින් පිපුණු කුමුදු මල් ගෙන නැගී සිටියා. තවත් නාගයින් රන්වන් පුන්කළස් ගෙන නැගී සිටියා. තවත් නාගයින් සුළඟට ලෙළදෙන ධජ පතාක ගෙන නැගී සිටියා. තවත් අය රන්සුණු පිරවූ රන් කරඬු ගෙන නැගී සිටියා. තවත් නාගයින් රමණීය ලෙස නටමින් නැගී සිටියා. කිසිවෙක් ළයාන්විත මිහිරි ගී ගයමින් නැගී සිටියා. කිසිවෙක් මියුරු ලෙස වාද්‍ය භාණ්ඩයන් වයමින් අප මුනිරජුන්ගේ ධාතු පුදන්නට නැගී සිටියා.

දළදා වහන්සේ ඒ රාජ කන්‍යාවගේ සිත්කළු කෙස් කළඹින් අහසට පැණනැගී චන්ද්‍ර ලේඛාවක් සේ සුදු බුදු රැස් විහිදවූ සේක. දළදා වහන්සේගේ අසදෘශ මහිමයෙන් සතුටු වූ නාගයින්ගේ ප්‍රතිරාවයෙන් හා සාදු නාදයෙන් අහස නොපොහොනා සේ වුණා. ඒ සර්වඥ දළදා වහන්සේ ආකාසයෙන් බැස නැවත ඇගේ කෙස් වැටිය තුළට පිවිසි සේක. ඒ නා පිරිස නැව නවත්වාගෙන සතියක් පුරාවට මහත් වූ පූජාවන් කළා.

අහසෙහි නිශ්චල වූ විමානයක් මෙන් සයුර මැද ගමන් රහිතව නැව පිහිටියා. ඒ දැක බියට පත් අඹුසැමියන් විසින් ඍද්ධිමත් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ සිහි කළා. එකෙණෙහි බුද්ධපුත්‍ර වූ ඒ රහතන් වහන්සේ ඔවුන්ගේ සිත් දැක ගුරුළු වෙසක් මවාගෙන නාගයින් බිය ගන්වා පළවා හැරියා. භය දුරු කොට රහතන් වහන්සේ වැඩි කල්හි තෙරුන්ගේ අධිෂ්ඨාන බලයෙන් ඔවුන් නිරුපද්‍රිතව ලක්දිවට පැමිණියා.

ඒ කාලයේ මහසෙන් රජුගේ පුත් වූ කිත්සිරිමෙවන් රජු රජ වී අවුරුදු 9ක් වී තිබුණා. ලක්දිවට ගොඩබැස්සා වූ ඒ දම්පතීහු සිත්කළු දෙවොලක නැවතුණා. එක්තරා බමුණෙක් ඔවුනට ආහාරපාන දී අනුරාධපුරයට යන මඟ පෙන්වූවා. ඒ මඟ අසා ඔවුන් අනුරාධපුර සමීප ගමකට පැමිණුනා. යම් රජෙක් පතා ඔවුන් මෙහි පැමිණියා ද ඒ රජු කළුරිය කොට බොහෝ කල් ගත වූ බව දැනගත්තා. ශෝකයෙන් හඬා වැළපුණු මුළා වූ සිත් ඇති ඔවුන්ට සියලු දිශාවන් අඳුරු වූ සෙයක් වැටහුනා. කිත්සිරිමෙවන් රජුට රත්නත්‍රය කෙරේ මමත්වය ඇති බව අසා ඇවිළෙන ගිනි කඳක් මහා වර්ෂාවකින් නිවී යන සේ ඔවුන් සැනසිල්ලට පත් වුණා.

මේඝ ගිරි විහාරයේ එක් භික්‍ෂුවක් රජු හා ඉතා විශ්වාසී බව අසා ඔවුන් දෙදෙන ඒ භික්‍ෂුව වෙත ගොස් දළදා වහන්සේ ගැන කියා සිටියා. දළදා වහන්සේ ගැන ඇසූ ඒ භික්‍ෂුව, අමා රසයෙන් අභිෂේක කරන ලද ශරීර ඇත්තෙක් මෙන් වඩ වඩාත් සතුටට පත් වී පට වියනින් සැරසූ තම විහාරයට දළදා වහන්සේ වැඩම කරවූවා. ඒ භික්‍ෂුව අඹුසැමි දෙදෙනාට මහත් සංග්‍රහ කොට දළදා පුවත ගැන රජුට දන්වා සිටියා.

දළදා වහන්සේ පිළිබඳ ඇසූ රජු සක්විති රුවන ලද කලක මෙන් අප්‍රමාණ සතුටට පත් වුණා. ඒ සැදැහැති රජතුමා මහ සෙනඟ පිරිවරා අනුරාධපුරයට ඊසාන පැත්තෙන් පිහිටි මේඝ ගිරි විහාරයට පයින් ම ගමන් කළා. දළදා වහන්සේ දැක පහන් වූ රජුගේ සතුටු කඳුළුවලින් මුතුහර ද තෙමී ගියා. රෝමෝද්ගමනය වුණා. නමස්කාර පූර්වක ව මෙසේ සිතුවා. ‘නොයෙක් රන් රුවන්වලින් බබළන ඔටුනු පලන් සිරස පුදන්නෙමි නම් තුන්ලොවට අසහාය සරණ වූ බුදුරජුන්ගේ දළදා වහන්සේට සුදුසු පූජාවක් කළා වෙන්නේ නෑ.

බොහෝ රන් රුවන් සහිත ධන ධාන්‍ය සහිත මහා පෘථීවිය පුදන්නෙමි නම් සුදුසු පූජාවක් වේ ද..?’ ඔහු යළි මෙසේ සිතුවා. ‘මාගේ මේ ලංකා රාජ්‍යය ඉතා සුළු ය. බුදුරජාණන් වහන්සේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇති සේක. අල්ප වූ සම්පත් ඇතිව ම සීල, සමාධි, ප්‍රඥා ආදී අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජුන් කෙසේ පුදම් ද..?’ යි මෙසේ නැවත නැවත එය ම සිතන්නා වූ ඒ ධෛර්යය සම්පන්න වූ රජු විසඥ බවට පත් වුණා. එකල්හි සේවක ජනයා විසින් පවන් සලන රජු සිහි ලැබුවා. පූජා විධි ගැන අධිකව සිතීමෙන් තමයි රජු සිහි මුළා වුණේ.

‘නුවණැත්තා මහා පොළොවේ ස්වල්ප වූ බීජයක් සිටුවා කලකින් කොළ, දලු, මල්, ගෙඩි ආදී බොහෝ ඵල ලබයි. මෙසේ අනේක ගුණයෙන් පමණ කළ නොහැකි වූ බුදුරජාණන් වහන්සේට අප ස්වල්ප වූ ද පූජාවක් කොට කල් ඇවෑමෙන් සිත්කළු වූ සගමොක් සැප ලබන්නෙමි’ යි මෙසේ සිතා ප්‍රීතියෙන් පිනා ගිය පුන් සඳ බඳු මුහුණ ඇති ඒ රජතුමා මේ ශ්‍රී ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කළා. ඉක්බිති රජතුමා පිරිස මැද මෙසේ පැවසුවා. “බුදුරජාණන් වහන්සේ ඉතා සුදු දත් ඇති සේක. සර්වඥ දළදා වහන්සේ ඕෂධී තාරකාව මෙන් ශ්වේත වර්ණයෙන් යුතු වන්නේ ය. මේ දළදාව කුමක් නිසා කිලිටි පැහැයෙන් යුක්ත ද?” ඒ ක්‍ෂණයෙහි ම දළදා වහන්සේ පියාපත් විදා යන රාජ හංසයෙකු සේ අහසේ නැගී මොහොතක් දක්‍ෂිණාවර්ත ව කැරකුණ සේක. රජතුමා අනර්ඝ සුදු ඇතිරිල්ලක් සිංහාසනය මත අතුරා දළදා වහන්සේ ඒ මත පිහිටුවා සරත් කාලයේ අහසේ ඇති ඉතා සුදු වළාකුළු වැනි සමන් මල් ගොඩකින් වසනු ලැබුවා.

එවිට අප මුනිරජුන්ගේ දළදා වහන්සේ වහා උඩට නැගී මල් ගොඩ මුදුනෙහි පිහිටා කිරි සේ සුදු සඳ රැස් සේ සුදු බුදු රැසින් බබළමින් මහජනයා සොම්නසින් ආනන්දයට පත් කළ සේක. රජු තවත් පරීක්‍ෂා කිරීමට කැමති බැවින්, සිංහාසනයේ පිහිටි කිරි සයුරේ පෙණ පටලයක් හා සම වූ සියුම් වස්ත්‍රයක දළදා වහන්සේ පිහිටුවා මාහැඟි සිනිඳු සළු සිය ගණනකින් වසනු ලැබුවා. ඒ දළදා වහන්සේ සුදු වලා ගැබින් නික්මුණ පුන්සඳ මෙන් ඒ ක්‍ෂණයෙහි සළු සිය ගණනක් බිඳගෙන උඩට නැගි සේක. ඒ මතුපිට හිඳ සුදු බුදු රැස් විහිදුවමින් දස දිසාවන් බැබළවූ සේක.

එසැණින් මහාමේරු, යුගන්දර ආදී පර්වත සහිත මේ මහා පෘථිවී තොමෝ සාදුකාර දෙන්නියක මෙන් කම්පා වුණා. මේ ආශ්චර්යය බැලීමට මෙන් මහා සාගරය නිශ්චල වුණා. මද වැගිරෙන හස්තියෙක් විසින් සොලවන ලද මනා ව පිපුණු සල් රුකකින් මල් වැගිරෙන්නාක් මෙන් අහසින් දිව්‍ය මල් වරුසාවක් ඇද හැළුණා. දෙවියන් සතුටට පත් වී දිව නැටුම්වලින් දළදා වහන්සේ පුද දුන්නා. සතුටට පත් දෙවියන් මිහිරි හඬින් නින්නාද වන පරිදි දිව්‍ය බෙර වැයුවා, දිව්‍ය ගායනා ගැයුවා. අහසේ පහන් දැල්වූ කලක මෙන් විදුලිය ලෙළ දුන්නා. දළදා වහන්සේට පූජා පිණිස අහස ගුගුරා මහවැසි ඇද හැළුණා. සුපිපි මල් ද රැගෙන සුවඳ සීතල සුළං හමා ගියා.

දළදා වහන්සේගේ ආශ්චර්යයට සිදු වූ මහා පොළොව කම්පා වීම, මහා සයුර නිශ්චල වීම, දිව මල් අහසින් වැටීම, දෙවඟනන් මිනිසුන්ට පෙනෙන සේ නෘත්‍ය දැක්වීම, දිව්‍ය ගාන්ධර්වයන් මනහර ගී ගැයීම, දිව්‍ය බෙර වැයීම. වැසි ධාරා වැටීම, විදුලියෙන් දිසා ආලෝකවත් වීම, සුවඳ පවන් හැමීම ආදී අසිරිමත් දේ දැක රජතුමා සැක දුරු කොට නොයෙක් අයුරින් දළදා වහන්සේ පිදුවා. පෙර නොදුටු විරූ අසිරිමත් පෙළහර දුටු රජතුමා ඉමහත් ප්‍රීතියට පත්ව රන් රුවන් ආදියෙන් මහා පූජාවක් කළා.

ඉක්බිති රජතුමා දළදා වහන්සේ හිසින් දරාගෙන සේසත් සහිත විසිතුරු ඇතිරිලි යෙදූ සුදු අසුන් යෙදූ උතුම් රියක නැගී අනුරාධපුරයට පැමිණියා. මහානුභාව සම්පන්න වූ ඒ රජතුමා සක්දෙවිඳුගේ විමන වැනි වූ සිය මැදුරෙහි සිනිඳු සුදු ලොම් ඇතිරිලි, කොඳ පලස් අතුරා සිංහාසනය මත දළදා වහන්සේ තැන්පත් කළා. මාහැඟි වූ දළදා මැදුරක් කරවා දළදා වහන්සේ පිහිටුවා ස්වර්ග මෝක්ෂ සැප කැමතිව දිවා රෑ අනේක ප්‍රකාර වූ පුද පූජා පැවැත්වූවා.

ත්‍රිසිංහලාධිපති වූ ඒ රජ තෙමේ ඒ අඹුසැමි දෙදෙනාට ම බොහෝ රන් රිදී ආදිය ලබා දී කුලවතුන්ට නිවාස වූ ගම් ද පුද පඬුරු ද දී සංග්‍රහ කළා. නුවර වැසියන් දළදා වහන්සේ නොදැක උකටලීව රජු සමීපයේ උද්ඝෝෂණය කළා. “අපගේ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝ වැසියන්ට හිත වැඩ පිණිස ම උපන් සේක. සියලු ජනයාට හිත පිණිස ම හැසිරුණ සේක. බොහෝ ජනයාට හිතසුව පිණිස ම ධාතූන් වහන්සේලා විසිරීම පිණිස අදිටන් කළ සේක. එනිසා සගමොක් සුව පතා අපිදු දළදා වහන්සේ පුදන්ට කැමති වන්නෙමු.”

එවිට රජතුමා අනුරපුර සමීපයෙහි භික්‍ෂු සංඝයා රැස්කොට බුදුරජුන්ගේ දළදා වහන්සේ පිදීමට මහජනයාගේ ඇති කැමැත්ත දන්වා සිටියා. ඒ අතර සිටි මහා ප්‍රඥා ඇති, කරුණාවට නිවාස වූ එක් මහතෙරුන් වහන්සේනමක් රජුට මෙසේ පැවසුවා.

“යමෙක් තමන් යටතේ සිටින රටවැසියාට අභිවෘද්ධියක් කරත් ද හේ උතුම් ගති ඇති කෙනෙකි. එහෙයින් වසන්ත කාලයේ දළදා වහන්සේ පිටතට වැඩම කරවා මහජන ප්‍රදර්ශනය කිරීම මැනව.”

රජු විසින් තෙරුන්ගේ බස් අසා මහජනයාට දළදා වැඳීමට කිනම් තැනක් ඉතා සිත්කළු වේ දැයි නැවත සංඝයා වෙතින් විමසා සිටියා. ඉක්බිති ඒ සියලු නිකායවාසී භික්‍ෂූන් ආදර භක්තියෙන් තම තමන් වසන තැන් වර්ණනා කළා. උන්වහන්සේලා ඔවුනොවුන් වෙන් වෙන් වචන ඇති කල්හි රජු විසින් ඒ කිසිදු වචනයක් ප්‍රතික්‍ෂේප නොකළ අතර, පිළිගත්තේ ද නැහැ. මධ්‍යස්ථ සිත් ඇති රජතුමා භික්‍ෂු සංඝයාට මෙසේ පැවසුවා. “බුදුරජුන්ගේ දළදා වහන්සේ ම තමන් වහන්සේට සුදුසු තැනකට වඩින සේක.”

ඉක්බිති රජතුමා දළදා වහන්සේ වන්දනාව පතන මහජනයා පුබුදුවමින් නුවර ද විහාරයට යන මාවත ද වහා සරසන ලෙස දැන්වූවා. වීදිය මනාකොට හැමද දිය ඉසීමෙන් දූවිලි සන්සිඳුවා සිනිඳු වැලි අතුරා සිත්කළු ලෙස සකසනු ලැබුවා. රත්තරනින් විසිතුරු කළ ව්‍යාඝ්‍ර රූප ආදීන් ඔබ්බන ලද තොරන් නංවනු ලැබුවා. හිරු රැස් තාපය සුළඟින් ලෙළදෙන කොඩිවල සෙවණින් වළක්වනු ලැබුවා. මඟ දෙපස පුන් කළසින් අලංකාර වුණා. කපුරු, තුවරලා, අගිල්වලින් සෑදූ සුවඳ දුමින් මාවත පිරී ගියා. සුදු මුතු දැල් එල්ලෙන නන් වැදෑරුම් මණ්ඩප ද පිළියෙළ කළා. මල් ඇගෑයන්වල සුවඳට ලොල් වූ බඹර සමූහයා මිහිරි නාද නැංවූවා. ඇතැමෙක් සුවඳ මල් දෝතින් ගෙන, ඇතැමෙක් සුවඳ සුණු ගෙන, ඇතැමෙක් විසිතුරු ඡත්‍ර ගෙන එහි පැමිණියා.

ඉක්බිති රජතුමා සඳ මෙන් සුදු වූ අශ්වයන් යෙදූ රුවන් පැහැ ඇති උතුම් රියක තුන් ලොවට තිලකයක් බඳු වූ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ පිහිටුවා නමස්කාර පූර්වක ව මෙසේ පැවසුවා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ අභිමතය පරිදි ම සම්මා සම්බුද්ධත්වය පිණිස ජය ශ්‍රී මහා බෝ සෙවණේ වජිරාසනයට යම් අයුරින් වැඩි සේක් ද දම්සක කැරකැවීමට යම් ආකාරයෙන් ඉසිපතන මිගදායට වැඩි සේක් ද තීර්ථකයන් දමනය පිණිස ගණ්ඩබ්බ රුක් මුලට යම් අයුරින් වැඩි සේක් ද එසේ ම අද ද සුදුසු පෙදෙසකට ඔබවහන්සේ ම වැඩම කොට වදාරණ සේක්වා!” ඉක්බිති සුදුසු ක්‍රියාවන්හි දක්‍ෂ වූ ඒ නුවණැති රජ තෙමේ රථාචාර්යයෙකු නැති ඒ රාජ රථය සුදුසු පෙදෙස පිණිස පිටත් කර හැරියා. මහත් වූ පිරිස සමඟ තමා ද මහත් වූ පුද පූජා පවත්වමින් රථයට පසු ගමන් කළා.

එකල්හි මහජනයාගේ සාදු නාදයෙන් ද අශ්වයන්ගේ හේෂාරවයෙන් ද මහත් වූ බෙර හඬින් ද හස්තීන්ගේ කුංචනාදයෙන් ද නගරය උදම් සාගරය හා සමාන වුණා. වීථිය දෙපස සිටි කුලාංගනාවන් සතුටට පත් සිතින් කවුළුවලින් රන් ආභරණ පුදනු ලැබුවා. මහජනයා සතුටට පත්ව හිස වටා සළුපිළි කරකවමින් දළදා වහන්සේට පූජා පිණිස සියලු තැන්හි වැස්සක් සේ මල් වැස්සවූවා. මුහුදේ ගමන් ගත් නැවක් වැනි වූ ඒ රථය පෙරදිග වාසල වෙත පැමිණි කල්හි භික්‍ෂූන් වහන්සේලා ද සියලු මනුෂ්‍යයෝ ද සතුටු සිතින් නා නා පුද පූජා පැවැත්වූවා.

නැවත ඒ උතුම් රථය නුවර පැදකුණු කොට උතුරු වාසල් දොරින් පිටතට නික්ම අපගේ මහෝත්තම මහා මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දේශනයෙන් පවිත්‍ර වූ තැනට පැමිණ, තොටට පැමිණි බඩු නැවක් සේ නතරව සිටියා. දෙවනපෑතිස් රජතුමා විසින් මහජනයා උදෙසා ඉඩකඩ ඇතිව නන්දන වනයේ පනවන ලද ආසනයේ සිට අපගේ මහෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ බාලපණ්ඩිත සූත්‍රය දේශනා කොට දහසක් පමණ මග ඵල ලැබූ, දහම් දෙසීමෙන් බැබළවූ තැන වූ ජෝති වනයේ, එනම් නන්දන උයනේ, ප්‍රථම දළදා ප්‍රදර්ශනය පවත්වනු ලැබුවා.

 ඉක්බිති රජතුමා විසිතුරු රන් කරඬුවෙන් සැඳෑ වලායෙන් නික්මුණු සඳ සේ දළදා වහන්සේ පිටතට ගෙන ජනයා හට දක්වනු ලැබුවා. එකෙණෙහි අතිශයින් ම සතුටට පත් මහජනතාව රන්රුවන් ආභරණ වැස්සක් සේ දළදා වහන්සේට පුදමින්, බුදුගුණ ගායනා කරමින් දෑත් හිස්මුදුන්හි තබා වැඳ වැඳ සොම්නස් සිතින් සිත් පුරා, නෙත් පුරා ධාතූන් වහන්සේ දකිමින් සිටිද්දී දළදා වහන්සේ සුදු සඳ රැස් වැනි බුදු රැස් විහිදුවමින් මහ පෙළහර දැක්වූ සේක. ඒ පෙළහර දුටු සියල්ලන්ගේ සිරුරු ලොමුදැහැ ගැන්වුනා. සියලු දෙනා තම තමන්ගේ සියලු ආභරණ දළදා වහන්සේට පිදුවා. බුද්ධානුස්සතිය වඩා ඇතැම් අය සක්කාය දිට්ඨිය දුරු කොට සතර අපා දුකින් සදහට ම මිදී ගියා. මේ අසිරිය දුටු හැමදෙනා මසුරු මල ආදිය දුරුකොට දිවි ඇති තාක් ත්‍රිවිධ රත්නය ම සරණ ගියා.

කිත්සිරිමෙවන් රජතුමා නව ලක්‍ෂයක වියදමින් දළදා වහන්සේ පුදා නැවත ඇතුළු නුවර දළදා මැදුරට වැඩම කරවා දිනපතා දළදා වහන්සේ පුදනු ලැබුවා. වසරක් පාසා අභයගිරි විහාරයට දළදා වහන්සේ වැඩම කරවා නව ලක්‍ෂයක වියදමින් මේ අයුරින් ම පුදපූජා පවත්වන ලෙස සිරිත් ලේඛනයක් පිහිටෙව්වා. ශ්‍රද්ධා, කරුණා ආදී ගුණයන්ගෙන් පිරි බුද්ධදාස රජතුමා ප්‍රධාන අන් සියලු රජවරු ද චාරිත්‍රානුකූල ව දළදා වහන්සේ නන් අයුරින් පුදනු ලැබුවා.

මේ වනාහී ශ්‍රද්ධා ධනයෙන් යුතු, මොළොක් තෙපුල් ඇති ධර්ම කීර්ති නම් වූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරවන ලද, අසන්නවුන්ගේ චිත්තප්‍රසාදය උපදවන සර්වඥයන් වහන්සේගේ ආනුභාවය ප්‍රකාශ කිරීමට පහනක් බඳු වූ ජින දන්තධාතු වංශය යි. බුද්ධ දළදා වංශය යි.

අද දක්වා ම විහිදුවන බුදු රැසින් හෙළදීපය ම බබුළුවමින් අනන්ත ආනුභාවය පතුරුවන, නුවර දළදා මැදුරේ වැඩසිටින වාම ශ්‍රී දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන් අප භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයත්, සීහලදීපයත්, බුදු සසුන සුරකින සිංහල ජාතියත්, චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා…! බුදු සසුන සුරකින, ධර්මයට දිවි දෙන ධීර වීර ගුණ ඇති සිංහල බෞද්ධ රජවරු ම පහළ වේවා…!

සියලු සත්වයෝ සියලු තැන්හි සියල්ලන් කෙරෙහි ම මෛත්‍රී සිත් ඇත්තෝ වෙත්වා! අමා නිවනින් නිවී සැනසෙත්වා!

සාදු! සාදු!! සාදු!!!

(මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිත යි)