‘ගුණ දකිනවා’ කියන්නේ කරන්න පහසු දෙයක් ද? අපහසු දෙයක් ද?

එක පර්යායකින් මේක බොහෝ අයට පහසු දෙයක්. ඒ පර්යාය තමයි, ‘තමන්ගේ ගුණ දැකීම.’ තව පර්යායකින් මේක අතිශය අපහසු දෙයක්. ඒ පර්යාය තමයි, ‘අනුන්ගේ ගුණ දැකීම’. තමන්ගේ නුගුණ වසන, තිබෙන්නා වූ අල්ප ගුණය පවා මහත් කොට හුවා දක්වන අති බහුතර ලෝකයා එක අන්තයක රැඳෙද්දී…, සත්පුරුෂ බවින් යුතු උතුම් ජනයා ලෝකයෙන් එතෙර වී යන ප්‍රතිපදාවේ නියැළෙන්නේ අනුන්ගේ ගුණ දකිනා – පසසනා සොඳුරු ගුණය තමන් තුළ දියුණු කර ගනිමින්.

තමන් තුළ උපදවාගෙන පෝෂණය කරන්නට අතිශය දුෂ්කර මේ ගුණයෙහි ලා පරතෙරට පැමිණි – එයින් ම බොහෝ ජනයාට හිතසුව පිණිස පිළිපන් උතුම් මුනිවරයෙකු තමයි, පුණ්ණ ස්වාමීන් වහන්සේ.

මෙහෙම කිව්වට ඔබට එකපාරට ම සිහිපත් වන්නේ නැති වේවි. හැබැයි, සුනාපරන්තවාසී පුණ්ණ තෙරණුවෝ කියා කීවොත් ඔබට ඒ පුවත සිහිපත් වන බවට සැක නැහැ. උන්වහන්සේ අනුන්ගේ පවතින්නා ම වූ නුගුණ තුළින් පවා ගුණ ඉස්මතු කරමින් දකින්නට දක්ෂ වුණා. මේ ලෝක ඉතිහාසයේ එවැනි අසිරිමත් ගුණයක් ප්‍රකට කළ වෙනත් සත්පුරුෂයෙකු ගැන සටහනක් මට නම් හමු වී නැහැ…

තිලොව සෙත සැලසීමෙහිලා අගපත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. දවසක් හවස්වරුවේ පුණ්ණ තෙරුන් වහන්සේ භාවනාවෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස් ව වාඩි වුණ පුණ්ණ තෙරුන් වහන්සේ මෙහෙම කිව්වා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනැවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා දැනගෙන හුදෙකලා වෙලා, පිරිසෙන් වෙන් වෙලා, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇතිව, දහමට දිවි පුදා වාසය කරන්න පුළුවනි.”

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන් වහන්සේට මෙසේ අවවාද කොට වදාළා.

“පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හට ගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.

පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා …(පෙ)… නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා …(පෙ)… දිවෙන් දැනගත යුතු රස තියෙනවා …(පෙ)… කයෙන් දැනගත යුතු පහස තියෙනවා …(පෙ)… පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගනිද්දී, එහි ගුණ කියද්දී, එහි බැසගෙන සිටිද්දී ඔහුට උපදින්නේ තණ්හාවයි. පින්වත් පුණ්ණ, තණ්හාව හටගැනීමෙනුයි දුක හටගන්නේ කියලයි මා කියන්නේ.”

දුක්ඛ සමුදය ගැන පුණ්ණ තෙරුන් වහන්සේට මේ විදිහට පහදා දුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය ගැනත් වදාරණවා.

“පින්වත් පුණ්ණ, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇතිකරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නොපිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහු ගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක් නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.

පින්වත් පුණ්ණ, කනෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා …(පෙ)… නාසයෙන් දැනගත යුතු ගඳ සුවඳ තියෙනවා …(පෙ)… දිවෙන් දැනගත යුතු රස තියෙනවා …(පෙ)… කයෙන් දැනගත යුතු පහස තියෙනවා …(පෙ)… පින්වත් පුණ්ණ, මනසින් දැනගත යුතු වූ සිත් ඇද ගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. ඉතින් භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ. එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නෙත් නෑ. එතකොට එය සතුටින් නොපිළිගනිද්දී, එහි ගුණ නොකියද්දී, එහි බැසගෙන නොසිටිද්දී ඔහුගේ තණ්හාව නිරුද්ධ වෙනවා. පින්වත් පුණ්ණ, තණ්හාව නිරුද්ධ වීමෙනුයි දුක නිරුද්ධ වෙන්නේ කියලයි මා කියන්නේ.”

ප්‍රතිපදාවේ යෙදෙනු පිණිස මෙසේ අවවාද කොට වදාළ සම්බුදුරජාණන් වහන්සේත්, හික්මීම රිසිව අවවාද ඉල්ලා සිටි පුණ්ණ තෙරුන් වහන්සේත් අතර අනතුරුව ඇති වුණේ මෙවැනි කථාබහක්.

“පින්වත් පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සංක්ෂිප්තව අවවාද කරපු ඔබ කවර ජනපදයක වාසය කරන්න ද යන්නේ?”

“ස්වාමීනී, සුනාපරන්ත නමින් ජනපදයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් සංක්ෂිප්තව අවවාද කරනු ලැබූ මම එහෙ තමයි වාසය කරන්න යන්නේ.”

“පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු ප්‍රචණ්ඩයි. පින්වත් පුණ්ණ, ඔය සුනාපරන්තයේ මිනිස්සු පරුෂයි. පින්වත් පුණ්ණ, ඉතින් ඔය සුනාපරන්තයේ මිනිස්සු ඔබට ආක්‍රෝෂ කරාවි. පරිභව කරාවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවි ද?”

“ස්වාමීනී, ඉතින් සුනාපරන්තයේ මිනිස්සු මට ආක්‍රෝෂ කළෝතින්, පරිභව කළෝතින්, ඒ ගැන මං මේ විදිහටයි හිතන්නේ. ‘යම් කරුණකින් මේ උදවිය මට අතින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට අතින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවි ද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට අතින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට ගල්වලින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

“පින්වත් පුණ්ණ, ඉදින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ගල්වලින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවි ද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට ගල්වලින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට දඬුමුගුරින් පහර නොදෙත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

“පින්වත් පුණ්ණ, ඉදින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට දඬුමුගුරින් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවි ද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට දඬුමුගුරින් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය මට ආයුධයෙන් පහර නොදෙත් ද සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින්ම මේ සුණාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත්ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට ආයුධයෙන් පහර දේවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවි ද?”

“ස්වාමීනී, ඉතින් සුනාපරන්තයේ මිනිස්සු මට ආයුධයෙන් පහර දුන්නොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘යම් කරුණකින් මේ උදවිය තියුණු ආයුධයකින් පහරදී මාව මරණයට පත් නොකරවත්ද, සැබැවින්ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් හරි යහපත් නෙව. සැබැවින් ම මේ සුනාපරන්තයේ මිනිස්සු නම් ඉතාමත් ම යහපත් නෙව’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

“පින්වත් පුණ්ණ, ඉතින් සුනාපරන්තයේ ඔය මිනිස්සු ඔබට තියුණු ආයුධයකින් පහරදී මරා දමාවි. එතකොට පුණ්ණ, ඔබට කුමක් හිතේවිද?”

“ස්වාමීනී, ඉදින් සුනාපරන්තයේ මිනිස්සු මට තියුණු ආයුධයකින් පහරදී මරා දැම්මොත් ඒ ගැන මං හිතන්නේ මේ විදිහටයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්නවා. කය ගැනත්, ජීවිතය ගැනත් හෙම්බත් වෙලා. ලැජ්ජාවෙලා. පිළිකුළ ඇතිවෙලා. (දිවි නසාගැනීමට) ආයුධ පාවිච්චි කරන්ටත් ක්‍රම හොයනවා. ඉතින් මට මේ ආයුධයක් නොසොයාම ආයුධයක් මා කරා ඇවිදින් තියෙනවා.’ භාග්‍යවතුන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි. සුගතයන් වහන්ස, ඒ ගැන මට හිතෙන්නේ ඔන්න ඔය විදිහටයි.”

පුණ්ණ තෙරුන් වහන්සේගේ මේ පිළිතුරු අසා හුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාදුකාර දී වදාළා.

“සාදු! සාදු! පින්වත් පුණ්ණ, ඔබට ඔය දමනයෙන් සන්සිඳීමෙන් යුක්ත වීම නිසා පින්වත් පුණ්ණ, සුනාපරන්ත ජනපදයේ වාසය කරන්න පුළුවන් ම යි. පින්වත් පුණ්ණ, දැන් ඔබ යමකට සුදුසු කාලය දන්නවා නම් එය කරන්න.”

පුණ්ණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව සතුටින් පිළිඅරගෙන, සතුටින් අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ පැදකුණු කොට, කුටිය අස්පස් කරලා, පාසිවුරුත් රැගෙන සුනාපරන්ත ජනපදයට චාරිකාවේ පිටත් වුණා.

උන්වහන්සේ එහි වැඩම කරලා අවුරුද්දක් ගත වෙද්දී පුණ්ණ තෙරුන් වහන්සේගේ කලණමිතුරු ඇසුර ලබපු පන්සියයක් උපාසකවරුන්ටත්, පන්සියයක් උපාසිකාවන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කළා.

සුනාපරන්තයේ වැඩ විසූ පළමු අවුරුද්ද ඇතුළතදීම උන්වහන්සේ ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළා. කෙලෙස් වනය සහමුලින් ම උදුරා දැමුවා. පසු කාලයක දී පුණ්ණ රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්තව අවවාදයකින් අවවාද කරපු යම් ඒ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් සිටියා නෙව. ඔහු කළුරිය කළා. ඔහුගේ ගතිය කුමක්ද? පරලොව ජීවිතය කුමක්ද?”

“පින්වත් මහණෙනි, පුණ්ණ කුලපුත්‍රයා හොඳ නුවණින් යුක්තයි. ධර්මානුකූලවම ජීවත් වුණා. ධර්මයෙන් ප්‍රශ්න හදාගෙන මාව වෙහෙසට පත් කළේ නෑ. පින්වත් මහණෙනි, පුණ්ණ කුලපුත්‍රයා පිරිනිවන් පෑවා.”

මොනතරම් අසිරිමත් ජීවිතයක් ද ඒ! ප්‍රකට වන නුගුණය තුළින් පවා ගුණය වෙන් කර දුටු පුණ්ණ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

බලන්න අපේ ජීවිත දිහා. අප දෙස රවා බලද්දී අපට දැනෙන්නේ බැණ්නා වගේ. බණිද්දී අපි විඳවන්නේ ගැහුවා වගේ. අතින් පයින් පහරක් වැදුණොත් කයට වඩා රිදෙන්නේ හිතට. හරියට මරන්න හැදුවා වගේ… අප බොහෝ දෙනෙකු සිත පුරුදු කරලා තියෙන්නේ ඔය විදිහට. හැබැයි, ඒ විදිහට පුරුදු කරපු සිත අපට පීඩාව ම මිසක්, විඳවිල්ල ම මිසක්, දැවිල්ල ම මිසක්, තැවිල්ල ම මිසක් සන්සිඳීමක් උරුම කළේ නෑ නේ ද…!

සන්සිඳෙන්න කැමති නම්, නිවෙන්න කැමති නම්, නොතැවෙන්න කැමති නම්… පුරුදු පුහුණු කරන්න ම වටින උත්තම ප්‍රතිපදාවක් තමයි මේ ‘පුණ්ණ ප්‍රතිපදාව…’

වීරියෙන් යුතුව මේ ප්‍රතිපදාවේ හික්මෙන්න අප උත්සාහ කළොත්…, අප නිසැකව ම සන්සිඳෙනවා. අපට ප්‍රශ්න වුණ බොහෝ දේවල් තවදුරටත් අපට ප්‍රශ්න බවට පත් නොවී අපෙන් බැහැර වෙනවා. අප නිවනටත් සමීප වනවා…!

සටහන – උදුලා පද්මාවතී