ගෙවතු වගාවක් සඳහා තිබිය යුතු මූලික සූදානම සහ සපුරා ගත යුතු මූලික කරුණු සම්බන්ධව අප මේ වන තෙක් සාකච්ඡා කර ඇත. මෙතැන් සිට අප විස්තර කරන්නට අදහස් කරන්නේ වගාවක් ස්ථාපනය කොට එයින් ප්‍රයෝජන ගැනීම සඳහා අනුගමනය කළ යුතු කරුණු සම්බන්ධව ය.

ගෙවත්තේ වගා කිරීමට අදහස් කරන බෝග මොනවා ද යන්න තීරණය කිරීම ඔබ විසින් සකස් කර ගන්නා ලද සැලැස්මට අනුව විය යුතු ය. ඔබගේ භුමියේ සහ පසේ ස්වභාවය, ජල වහන රටාව, ජල සැපයුම වැනි කරුණු ඔබේ සිතියමේ අඩංගු ය. ඔබගේ ගෙවත්ත ඇත්තේ වියළි කලාපයේ ද තෙත් කලාපයේ ද අතර මැදි කලාපයක ද යන්න සහ වර්ෂාව ලැබෙන රටාව ආදිය වගා කළ යුතු – කළ හැකි බෝග තෝරා ගැනීම සඳහා බලපාන සාධක වේ.

ගෙවත්තේ ස්වභාවය අනුව වාර්ෂික (කෙටිකාලීන) සහ බහුවාර්ෂික (දිගුකාලීන) බෝග තෝරා ගැනීම කළ යුතු ය. වාර්ෂික බෝග ගනයට වැටෙන්නේ එළවළු, ධාන්‍ය වර්ග, රනිල බෝග වැනි කෙටි කලකින් අස්වනු ලබා ගත හැකි ඒවා ය. බහුවාර්ෂික බෝග ගනයට ගස්ලබු, අඹ, දෙහි, දොඩම්, දෙළුම්, කෝපි ආදි දිගුකාලීනව පවතින ඒවා අයත් ය. දිගුකාලීන බෝග යනු උස හෝ මධ්‍ය ප්‍රමාණයේ ගස් වශයෙන් විශාල වන ඒවා ය. ඉඩමේ සෑහෙන ඉඩකඩ ප්‍රමාණයක් පරිභෝජනය කරයි. කල් යාමේ දී සෙවණ සාදන හෙයින් බොහෝ විට වාර්ෂික බෝග වගා කිරීමට ඇති ඉඩකඩ සීමිත කරයි. ඔබගේ වැඩි අවශ්‍යතාව වන්නේ වාර්ෂික බෝග වගාව නම්, ඔබේ සැලැස්මට අනුව දිගුකාලීන බෝග සිටුවිය යුත්තේ වාර්ෂික බෝගවලට සෑහෙන ඉඩකඩක් ඉතිරි වන අන්දමට ය.

ගස් වශයෙන් වැවෙන බෝග සෙවණේ වුව ද සෙවණ කැමති කහ ඉඟුරු කිරි අල වැනි බෝග වර්ග වගා කළ හැකි බව ද සිත් තබා ගන්න.
ඉහත සඳහන් කරුණු අනුව ඔබේ සැලැස්ම සකස් කර ගත් පසු වාර්ෂික බෝග සිටුවීම සඳහා ඉඩකඩක් ඔබට ලැබේ.

වගා කළ යුත්තේ මොනවාද?

වගා කළ යුතු කෙටිකාලීන බෝග, එනම් එළවළු, පළා ආදිය තීරණය කළ යුත්තේ පවුලේ කැමැත්ත අනුව ය. වෙළඳ පළ ගැන ද ඔබේ ඉලක්කයක් තිබේ නම් වැඩි ඉල්ලුමක් සහිත ඒවා ද තෝරා ගත හැකි ය. එමෙන් ම පහත සඳහන් කරුණු ද ඔබ වාර්ෂික බෝග තෝරාගන්නා විට සලකා බැලීම උචිත ය.

– ප්‍රදේශයේ හොඳින් වැවෙන බෝග මොනවාද යන්න අවට ඉඩම් ආශ්‍රයෙන් හඳුනා ගන්න
– වැසි කාලවල දී දිලීර රෝග අධිකව වැළඳෙන බැවින් ඊට ඔරොත්තු දෙන බෝග තෝරා ගන්න.
– වියළි කාලවල දී වඩා හොඳින් වැවෙන බෝග වැසි කාලයට උචිත නො වේ.
– ඉඩමේ ස්වභාවය අනුව එක් බෝගයක් වවනවාට වඩා හැකිතාක් විවිධ බෝග ප්‍රමාණයක් වැවීම ඵලදායක ය.
– එක් එක් බෝගයකින් කොපමණ ප්‍රමාණයක් වවනවා ද යන්න ඉඩමේ ප්‍රමාණය, ස්වභාවය සහ ඔබේ කැමැත්ත මත සිදුවිය යුතු ය.

සැලැස්ම ක්‍රියාත්මක කරමු
සකස් කර ගත් සැලැස්ම අනුව දැන් ඔබ වගා කළ යුතු, එමෙන් ම වගා කළ හැකි වාර්ෂික බෝග ප්‍රමාණයක් තෝරාගෙන ඇත. ප්‍රදේශයට ගැළපෙන, පවුලේ අය කැමති, එමෙන් ම හොඳ ආදායමක් ලබා ගත හැකි බෝග ඔබගේ ලයිස්තුවේ ඇත. දැන් ඇත්තේ වගාව ස්ථාපිත කරන්නට ය.

ඒ සඳහා පහත සඳහන් මූලික කරුණු ඔබට වැදගත් විය හැක.

■ ගෙවත්තේ එළවළු වගා කිරීමේ දී එක් බෝග වර්ගයක් ඊ ළඟ වතාවේත් එම ස්ථානයේ ම වගා කිරීමෙන් වළකින්න. විවිධ බෝගවල වැඩීමට පසෙහි තිබිය යුතු පෝෂණ අවශ්‍යතාව විවිධ ය. නයිට්‍රජන් ඌනතාවක් සහිත පසක මුලින් ම බෝංචි, දඹල වැනි පසට නයිට්‍රජන් එක් කරන රනිල බෝග වර්ගයක් වගා කළ හැකි ය. එසේ ම කොල්ලු වැනි ආවරණ බෝගයන් වගා කළ හැක. ඒවායේ අස්වැන්න ගත් පසුව, නයිට්‍රජන් අධිකව අවශ්‍ය බෝගයන් වන ඉරිඟු වැනි බෝග වගා කළ හැක.

■ එක ම බෝගය දෙවරක් එක් තැනක වගා නොකිරීම තුළ ලැබෙන තවත් වාසියක් නම් ඇතැම් ශාකවලට සුවිශේෂ වන රෝගවලට පස තුළ ස්ථාවර වීමට කාලයක් ලබා නොදීම ය. එමෙන් ම කෘමි පළිබෝධකයන් අධෛර්යවත් වීමක් ද බෝග මාරුව තුළින් සිදුවිය හැකි ය.

■ එක වර්ගයක එළවළු බීජ සියල්ල එකවර පැළ කිරීම වෙනුවට, මුලදී බීජ යම් ප්‍රමාණයක් සිටුවා සති 2-3-4කට පසු ඉතිරිය සිටුවීම මගින් ඔබට එහි අස්වැන්න දිගු කාල පරාසයක් පුරා ලබා ගත හැකි වේ. ඉඩමේ ඇති ඉඩකඩ උපරිම ලෙස භාවිතයට මෙය ක්‍රමවේදයකි. රතු ළුෑණු, නිවිති, මෑකරල්, රාබු වැනි එළවළු මෙලෙස වගා කළ හැකි ඒවා ය.

■ මිශ්‍ර ලෙස බෝග වැවීම තුළ පළිබෝධ සහ රෝග පාලනයට සහයක් ලැබේ. එක ම ඉඩ කඩක බෝග කීපයක් වැවීම තුළ කුඩා ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වැවිය හැක. මඳක් උස්ව වැවෙන බෝග සෙවණේ සූර්යාලෝකයට සංවේදී බෝග වැවිය හැක. මඳක් කල් ගතව අස්වනු ලබා ගන්නා බෝග අතර ම කෙටි කලකින් අස්වනු ලබා ගත හැකි බෝග වැවිය හැක. උදාහරණයක් ලෙස මිරිස් සහ රාබු එකට වැවීම ගත හැකි ය.

සෙමින් වැඩෙන ශාකයක් වන මිරිස්වලට වැඩි ඉඩ කඩක් අවශ්‍ය වන කාලය වන විට රාබු අස්වැන්න ලබාගෙන අවසාන ය. රාබු ගලවන විට පස නැවත සකස් වීමක් ද සිදු වීම මිරිස් ශාකයට ආධාරයක් වේ.

■ වම්බටු බහුවාර්ෂික එළවළුවක් වන නිසා ඒවා පාත්තිවල මැදට වන්නට යෙදීම උචිත ය. වාර්ෂික එළවළු අස්වනු නෙළන විට ඊට බාධාවක් නොවීම සඳහා ය.

■ පළා වර්ග සඳහා වෙනම ඉඩකඩක් වෙන් කර ගත යුතු නො වේ. අනෙක් බෝග අතරට, විශේෂයෙන් මඳක් උසට වැවෙන වම්බටු, තක්කාලි වැනි බෝග සමඟ පළා වැවිය හැක. බහුවාර්ෂික බෝග සෙවණේ ද පළා වැවිය හැක.

■ වට්ටක්කා වැනි බෝග වැට දිගේ වැවීමෙන් අනෙක් බෝගවල ඉඩකඩ ආක්‍රමණය නොකරයි.

■ මිශ්‍රව බෝග වගාව තුළ එකිනෙකාට පෝෂණ සහ වෙනත් පහසුකම් හුවමාරු කර ගන්නා බව දැනගත යුතු ය. බෝංචි සහ ඉරිඟු එකට සිටුවනවා නම් බෝංචිවලින් පොළවට ලබාදෙන නයිට්‍රජන් ඉරිඟුවල වැඩීමට ආධාර වේ.
බෝංචි වැල් එතීමට ඉරිඟු ගස උපකාරී වේ.

■ එළවළු පාත්ති අතර දාස්පෙති මල් ගසක් දෙකක් වවන්නේ නම් වට පනු හානිය අවම වේ. සුදු ළුෑණු වැවීමෙන් කුඩිත්තන් පාලනය වේ. කොත්තමල්ලි, මිංචි, අරූද වැනි ශාකවලින් නිකුත් වන සැර සුවඳ පළිබෝධ පාලනයට උපකාර වේ.

වාර්ෂික බෝග වැවීම සම්බන්ධව කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබගේ අවධානය සඳහා වැදගත් කරුණු කීපයක් යළි මතක් කරමි.

■ වගාවට ජලය යෙදීම නිතිපතා රටාවකට කිරීම – සවස් කාලයේ දී වාෂ්පීකරණය අඩු හෙයින් පැළවලට ජලය උරාගැනීමට වැඩි කාලයක් ලැබේ. එමෙන් ම ඔබ වසුනක් යොදා ඇත්තේ නම් රැය පුරා ම මඳින් මඳ පසට සහ පැළයට ජලය සපයමින් සිසිලස රඳවා ගනී.

■ කාබනික ද්‍රව්‍ය යොදා ගනිමින් පසට වසුන් යෙදීම නොනවත්වා ම කළ යුතු ය. පැළයක් හොඳට වැවුනා යනුවෙන් අදහස් වන්නේ පසෙහි එතෙක් තිබූ පෝෂණය උරා ගත්තා යන්න ය. එයට යළි පෝෂණය දිය යුතු ය.

■ කොම්පෝස්ට් මතුපිට විසුරුවනවාට වඩා පැළය අවට මඳක් සාරා පොහොර යොදා පස්වලින් වසා දමන්න.

■ පාත්තිවල නඩත්තුව ඉතා වැදගත් ය. මියගිය හෝ රෝගී වූ එළවළු ශාක සහ වල් පැළෑටි ඉවත් කළ යුතු ය.

■ ඔබ දියර පොහොර යොදන්නේ නම් සතියකට වරක් පත්‍ර මතට ඉසිය හැක. ඔබ උදයේ දියර පොහොර යෙදුවේ නම් ජලය ඉසිය යුත්තේ සවස් කාලයේ දී ය. පත්‍ර මත යෙදූ දියර පොහොර සේදී නොයාම සඳහා ය.

මෙම මූලික උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වේ යයි හඟිමි. වසවිසෙන් තොර ගෙවත්තක් සඳහා ඔබගේ වෑයම සාර්ථක වන්නේ ඔබ විසින් ම අත්දැකීම් ලබාගෙන කරන වැඩි දියුණු කිරීම් මගිනි.

සටහන – කේ. ඒ. ජේ. කහඳව