highlights of the week
Home » Archives » බීජ උගුල

බීජ උගුල

පසු ගිය සති කීපය තුළ හමු වූ ගොවි මහතුන් බොහෝ දෙනෙක් මතු කළ කාරණයක් නම් වෙළඳ පොළෙහි විකණීීමට ඇති විවිධ බීජ මිල දී ගැනීම නිසා තමනට සිදු වූ අලාභයන් ය. එක් ගොවි මහතෙක් සඳහන් කළේ ලොකු ලූණු බීජ සමඟ තක්කාලි ද පැළ වූ බව ය. වෙළඳ පොළෙන් මිල දී ගත් වැටකොළු වැවූ ගොවි මහතුනට අති විශාල පත‍්‍ර සහිත වැටකොළු වැලක් මිස කරල් නො ලැබුණ බව සඳහන් කළේ උපහාසය ද මුසු හඬකිනි. මෙම බීජ ලාබයට ලැබුණු ඒවා නො වේ. බහුජාතික සමාගම් හෝ ඒවාට අනුබද්ධ දේශීය සමාගම් මඟින් ආනයනය කර අධි මිලට විකුණන ඒවා ය.

වෙළඳ පොළෙහි ඇති ආනයනික බීජ පිළිබඳ ව ප‍්‍රසාදාත්මක ව කතා කරන ගොවි මහතෙකු හමු නො වී ය. ආනයනික බීජවලට ප‍්‍රමිතියක් ඇති බවක් හෝ ඒවා පිළිබඳ ව පාලනයක් ඇති බවක් ද පෙනෙන්නට නැත. බීජ ආනයනය කරන සමාගම් තම තමන්ගේ අභිමතය පරිදි ගොවීන් සූරා කෑමට ලක් කරන බව පමණක් පෙනෙන්නට ඇත. බීජ ආනයනය කරන සමාගම් මෙරට කෘෂිකර්මය පාලනය කරන බව පෙනේ.

බොහෝ ගොවීන් මේ අර්බුදය සම්බන්ධ ව කාට හෝ දොස් කීමට පුරුදුව සිටිනවා මිස මෙම තත්වයට සාර්ථක ම පිළිතුර ඇත්තේ තමන් අත ම බව අමතක කර දමා ඇත.
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර ව සත්ව ඝාතනවලින් තොර ව දැහැමි ගොවිතැනකට යළි යොමු වන්නේ නම් ඒ සඳහා පළමු පියවර තමන් බීජ අතින් ස්වයංපෝෂණය වීම බව මෙයට කලින් ද අවධානය කර සිටියෙමි. යළි යළිත් මේ ගැන අවධානය කිරීම උවමනා බව පෙනී ගියේ ඉහත සඳහන් කළ පරිදි ගොවි මහතුන් තමන් වැටී ඇති දුෂ්කරතා ගැන සඳහන් කළ නිසා පමණක් ම නො වේ.

ඔබ පසු ගිය සති කීපය තුළ මෙරට පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යවලට අවධානය යොමු කරන්නට ඇති බව හොඳට ම විශ්වාස ය. ඔබ ආහාරයට ගන්නා සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල සහ පානය කරන ජලයේ ආරක්ෂිත බව ගැන ඔබට ඉතාමත් සැක ඇති කරන තොරතුරු ප‍්‍රචාරය වන්නට දැන් පටන් ගෙන ඇත.

රජරට ප‍්‍රදේශයේ වසංගත ස්වරූපයෙන් පැතිර යන වකුගඩු රෝගය ගැන විවිධ හේතු ඉදිරිපත් කර ඇත. ප‍්‍රධාන වශයෙන් ම හේතු කාරකයින් ලෙස දක්වා ඇත්තේ ගොවිතැනෙහි රසායනික ද්‍රව්‍ය භාවිතය යි. බලාපොරොත්තු විය හැකි පරිදි ම කෘෂි විද්‍යාඥයින් එබඳු අර්බුදයක් නො මැති බවත්, රසායනික ද්‍රව්‍ය භාවිතය හා වකුගඩු රෝගය අතර සම්බන්ධය ඔප්පු කර නො මැති බවත් උස් හඬින් ප‍්‍රකාශ කර ඇත.

කෘෂි විද්‍යාඥයින් මෙම හඬ නඟන්නේ කා වෙනුවෙන් ද යන්න එතරම් අපැහැදිලි නැත. නමුත් බහුල වශයෙන් රජරට ගොවීන්ගේ් වකුගඩු අක‍්‍රිය වීම ඇතුළු මෙරට සියලූ ජනතාව මෙතෙක් හඳුනා නො ගත් කෘෂි රසායන ආශ‍්‍රිත ආබාධවලට ගොදුරු වී ඇති බව, කිසිවකුට ප‍්‍රතික්ෂේප කළ නො හැකි යථාර්ථයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනට මේ සම්බන්ධ ව අධ්‍යයනය කර ගෙන යන හෙයින් එම යථාර්ථය ඉතා ඉක්මනින් අපට දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ කරමින් විද්වතුන් කරන මෙම වාදය අප මඳකට අමතක කරමු. අපගේ සාමාන්‍ය බුද්ධිය අනුව බලමු. කෘෂි රසායන යනු වස බවට වාදයක් නැත. ඒවා සතුන්ට විෂ ය. පැළෑටිවලට විෂ ය. කෘමීන්ට විෂ ය. පසෙහි සිටින ක්ෂුද්‍ර ජීවීන්ට විෂ ය. ගැඩවිලූන්ට විෂ නිසා උන් වඳ වී ගොසිනි. එසේ නම් ඒවා මනුෂ්‍යයින්ට විෂ නො වන්නේ කෙසේ ද? මිනිසුන් මේ පිළිබඳ ව එතරම් උනන්දුවක් නො දක්වන්නේ කෘෂි රසායනවලින් මරා දමන සතුන් මෙන් මිනිසුන් මැරී නො වැටෙන නිසා විය යුතු ය. කෘෂි රසායනික විෂ මිනිස් සිරුරෙහි තැන්පත් වන්නේ ක‍්‍රම ක‍්‍රමයෙන් වන අතර රෝග ලක්ෂණ මතු වන්නේ ඉතා ප‍්‍රමාද ව දිගු කලකට පසු ය. වකුගඩු ආබාධවලට ඍජු හේතුවක් දැක්වීමට අපට නො හැක්කේ මේ නිසා ය. එමෙන් ම රෝග ලක්ෂණ මතු වන විට සුව කළ නො හැකි පරිදි රෝගය ඔඩු දුවා අවසාන ය.

බීජ සම්බන්ධ ව ගොවීනට මුහුණ දීමට සිදු වී ඇති අර්බුදයත්, අද දින කතාබහට ලක් වී ඇති කෘෂි රසායන විෂවීම ආශ‍්‍රිත රෝගකාරී තත්වයත් මා යළි මතක් කරන්නට යෙදුණේ යළි යළිත් මා සඳහන් කළ අපගේ හෙළ ගොවිතැනෙහි අගය දැන් වඩ වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බව අවධානය කිරීමට ය. අපගේ හෙළ ගොවීන් අපට දී ඇති පාඩම්වලට යළි කන් යොමමු.

ගොවිතැන ස්වභාව ධර්මයේ දායාදයකි. සොබා දහමින් ඒ සඳහා පාඩම් ඉගෙන ගන්නවා මිස සොබා දහම මට්ටු කරමින් ගොවිතැන් කරන්නට නො හැකි ය. අපට හිරු එළිය නොමිලේ ම ලැබේ. ජලය නොමිලේ ම ලැබේ. පසත්, පස ආශ‍්‍රිත ව සිටින ජීවීනුත්, භෝගයක් සාර්ථක ව වැවීමට අවශ්‍ය පෝෂණය ලබා දීමට උවමනා සියලූ කාර්යයන් ඉටු කර දෙති. අප නවීන ගොවිතැන නමින් කර ඇත්තේ කුමක් ද? මෙම ස්වාභාවික ක‍්‍රියාවලිය නවත්වා දැමීම ය. එතුළින් අපි ස්වභාවධර්මය මරා දැමුවෙමු. සතුන් මරා දැමුවෙමු. පැළෑටි මරා දැමුවෙමු. දැන් අපි අපි ව ම මරා ගන්නෙමු.

මෙම අවාසනාවන්ත තත්වයේ මූලාරම්භය වන්නේ, මා මුලින් ම සඳහන් කළ පරිදි කෘෂි බීජ, ගොවීන්ගේ පාලනයෙන් බැහැර වීම යි. හරිත විප්ලවයේ ආරම්භය සනිටුහන් කරන්නේ අභිජනනය කළ බීජ ගොවීන් අතර ප‍්‍රචලිත කිරීම මඟිනි. බීජ අභිජනනය නවීන විද්‍යාවේ සොයා ගැනීමක් නො වේ. වසර දහස් ගණනක් තිස්සේ අප ගොවීන්, තම බීජ ඉදිරි පරම්පරාවලට ගෙන ගියේ, එම බීජවල ගුණාත්මක තත්වයන් තම අත්දැකීම් තුළින් වැඩි දියුණු කර ගනිමිනි. වෙනස් වන පරිසර තත්වයනට ගැළපෙන ලෙස බීජ අභිජනනය කිරීමේ තාක්ෂණයක් ඔවුනට විය.

එහෙත් නවීන විද්‍යාඥයින් මෙම කාර්යය කළේ පරිසරයට අනුගත වීමට නො ව පරිසරය මට්ටු කරමින් අස්වනු වැඩි කර ගැනීමේ පරමාර්ථය ඇති ව ය. එම නිසා ම ඔවුන් අභිජනනය කළ බීජ වගා කරන්නට නම් පරිසරය සමඟ තරගකාරී විය යුතු විය. අභිජනනය කළ බීජ වගා කරන්නට නම් ඒ සමඟ ම පැමිණි වගා තාක්ෂණය ද අකැමැත්තෙන් වුව ද භාවිත කළ යුතු විය. මෙම තාක්ෂණය කුමක් ද? අධික කෘෂි රසායන භාවිතයට ගොවීන් යොමු කළ වගා ක‍්‍රමය යි.

මෙම තත්වය උග‍්‍ර වන්නේ ගොවීන්ගෙන් බැහැර වූ බීජ නිෂ්පාදන කාර්යය බහු ජාතික සමාගම් විසින් බාර ගැනීමත් සමඟ ය. කෘෂි නිලධාරීන්ගේ පිහිටෙන් නව බීජවලට හුරු වූ එමෙන් ම තම සම්ප‍්‍රදායික බීජ අහිමි කරගත් ගොවියාට, දැන් වෙනත් පිහිටක් නැත. සෑම කන්නයක් පාසා ම වෙළඳ පොළින් බීජ මිල දී ගත යුතු ය. ඒවා පහසු මිලකට නො වේ. ලබා ගන්නා බීජ කුමන ප‍්‍රමිතියකට අයත්දැයි විමසීමට ක‍්‍රමයක් නැත. ජාන වෙනස් කර ඇත. ගොවියාට ස්වයං බීජ සකසා ගැනීමට නො හැකිවන ලෙස, යළි පැළවීමට නො හැකි වන පරිදි බීජ වඳ බවට පත් කර ඇත. තමා වෙත තිබූ සාම්ප‍්‍රදායික බීජ අහිමි කර ගත් ගොවියා ඊළඟ කන්නයට ද බීජ මිල දී ගැනීමට බහුජාතික සමාගම දෙස බලාගෙන සිටී.
ඉහත මා සඳහන් කළ කෘෂි රසායනික විෂවලින් තොර හෙළ ගොවිතැන වෙත යාමට නම් අප ආරම්භයක් ඇති කර ගත යුත්තේ අපගේ මහඟු බීජ සංරක්ෂණය කර ගැනීම තුළින් පමණි. හේතුව දේශීය බීජවලට රසායනික පොහොර හෝ කෘමිනාෂක යෙදීමේ අවශ්‍යතාවක් නො මැති බැවිනි.‍

සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ව ගොවිතැන් කටයුතු කිරීමේ අභිලාෂයෙන් සිටින ඔබට මුලින් ම අවධානය යොමු කරන්නට ඇත්තේ තමාගේ බීජ තමන් ම සකසා ගැනීම ය. ඔබට ලැබෙන වාසි මේවා ය.

1. වෙළඳ පොළේ බීජ මෙන් නො ව ඔබට ඔබේ ම බීජවල තත්වය පිළිබඳ සැකයක් ඇති නො වේ.
2. වෙනත් රටක, වෙනත් පරිසර තත්වයක දී නිපැයූ ඒවා නො වන බැවින් ඔබගේ ගොවිපළට ඔබගේ පරිසර තත්වයනට ගැළපෙන බීජ ඔබ වෙත ඇත. පරිසර ගොවිතැනෙහි ප‍්‍රධාන අවශ්‍යතාවක් වන්නේ රසායනික ද්‍රව්‍යවලට සංවේදී ව නිපැයූ බීජවලින් ඈත් වීම ය. ඔබ නිපදවා ගත් බීජ පරිසර හිතකාමී වේ.
3. අධික මිලක් ගෙවා වෙළඳ පොළෙන් නො ගන්නා හෙයින් ඔබට වියදමක් ඇත්තේ ම නැත.
4. කිසිවෙකුටත් අතපාන්නට අවශ්‍යතාවක් නැත. ඔබට අවශ්‍ය වන විට ඔබ වෙත ම බීජ ඇත. එසේ ම ඔබගේ අසල්වැසි ගොවි මහතුන් ද බීජ සංරක්ෂයේ යෙදෙනවා නම් ඔවුන් සමඟ හුවමාරු කර ගත හැකි ය.
5. ගොවි පොළේ ම සංරක්ෂණය කර ගන්නා හෙයින්, බොහෝ බීජ වර්ග ආරක්ෂා කරගත හැකි හෙයින් ජාන සංරක්ෂණයක් ද සිදු වේ. ජාන වෙනස් කළ බීජ මෙන් නො ව ඕනෑ ම පරිසර තත්වයකට ගැළපෙන බීජ ඔබ වෙත ඇත.

තමන්ගේ බීජ තමන් ම සංරක්ෂණය කර ගැනීමේ ක‍්‍රම අපගේ හෙළ ගොවීහු මනා ව දැන සිටියහ. අප හෙළ ගොවියා වසර තුන්දහසකටත් වඩා තම බීජ සංරක්ෂණය කර ගෙන ආවේ මෙසේ ය. 1958 පමණ වන විට වී වර්ග පමණක් 2000කටත් වඩා රැකගෙන ඒමට ඔවුනට හැකි විය. එසේ නම් අද අපට එය කිරීමට නො හැකියාවක් නැත.

මෙම කරුණු ඔබේ අවධානයට යොමු වේවා! වස විසෙන් තොර පෝෂ්‍යදායී ආහාර ලැබෙන හෙයින් ඔබට මෙලොව දී යහපත් සෞඛ්‍ය සම්පන්න බවක් ලැබේ. සත්ව ඝාතනවලින් තොර ව ධාර්මික ගොවිතැනක් කර ගැනීමෙන් පරලොව සුගතියට ද මග සලසා ගැනීමේ වාසනාව ඔබටත් උදා වේවා!

මහාමේඝ 2011 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

හරිත සටහන
හැපී ගී‍්‍රන්ස් සංවිධානයේ ගරු සභාපති
කේ. එ්. ජේ. කහඳව

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බහු වාර්ෂික බෝග වගා කිරීම

"වසර සිය ගණනක් පුරා පරිණාමය වෙමින් සැකසුන, ආර්ථික අතින් ඵලදායී මෙම ගෙවතු උද්‍යානයේ මූලධර්ම ගැන යම් පමණකට අවබෝධයක් තිබීම ඔබගේ ගෙවත්ත සකසා ගැනීමට උපකාරයක් විය හැකි ය."