ගෙවත්තක් වගා කිරීම සම්බන්ධව ඔබ මුලින් ම දැනුවත් විය යුතු කරුණු සම්බන්ධව මෙතෙක් පළ වූ ලිපි කීපයෙන් ම සාකච්ඡා කළෙමු. වගාව ආරම්භ කිරීම සහ එයට සම්බන්ධ තවත් වැදගත් කරුණු කීපයක් මෙම ලිපියෙන් විස්තරාත්මකව කතා කරමු.

පොහොරඃ
කුමන වගාවක් කළ ද වගාවට සුදුසු පසක් සහ පෝෂක ලබා දීමට අපොහොසත් වන්නේ නම් එයින් කිසිදු සාර්ථකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු විය නො හැක. පස පිළිබඳ ව දීර්ඝ විග්‍රහයක් වෙනුවට අත්‍යවශ්‍ය කාරණා කීපයක් පමණක් සඳහන් කරමි.
පස සාරවත් යයි අප තීරණය කරන්නේ එහි අඩංගු කාබනික ද්‍රව්‍ය අන්තර්ගතය අනුව ය. සාමාන්‍යයෙන් පසක් දෙස බලන විට අපට එහි අඩංගු ද්‍රව්‍ය ලෙස පෙනෙන්නේ මැටි, වැලි, සහ දිරාගිය ශාක/සත්ව කොටස් ය. වෙනත් ලෙසකින් කියනවා නම් ඛණිජ ද්‍රව්‍ය, කාබනික කොටස්, ජලය සහ වාතය පසෙහි සංයුතිය වේ. කෘෂිකර්මය සඳහා වඩාත් සුදුසු වන්නේ වැලි, මැටි, කාබනික කොටස් සම සමව අඩංගු සාමාන්‍යයෙන් ලෝම පස යනුවෙන් හඳුන්වන පස් ය.

බෝගවලට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට මූලික වන්නේ කාබනික ද්‍රව්‍ය යි. පසෙහි සිටින ක්ෂුද්‍ර ජීවින් විසින් මෙම කාබනික ද්‍රව්‍ය හ්‍යුමස් බවට පෙරලනු ලබයි. එමෙන් ම පනුවන්, ගැඩවිලුන්, බැක්ටීරියා සහ දිලීර මගින් ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.
පසට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය වෙනුවට රසායනික පොහොර ආදේශකයක් නො වේ. ක්ෂණික ප්‍රතිඵල සඳහා බොහෝ දෙනා භාවිත කළ ද රසායන පොහොර පසෙහි සමතුලිතතාව බිඳ දමන අතර පසෙහි ව්‍යුහය එන්න එන්න ම දුර්වල කරයි.

කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම
පසට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා කාබනික ද්‍රව්‍ය එක් කිරීමේ සාර්ථක ම ක්‍රමය කොම්පෝස්ට් පොහොර යෙදීම ය. කොම්පෝස්ට් සාදා ගැනීම සඳහා විවිධ ක්‍රම රැසක් භාවිත කරනු ලබයි. ඒ සියල්ල ම විස්තර කිරීමට මෙහි දී උත්සාහයක් දරනු නො ලැබේ. මූලික සිද්ධාන්ත පමණක් සඳහන් කරන අතර ඉන් ඔබට පහසු ක්‍රමයක් තෝරා ගත හැකි වනු ඇත.
කොම්පෝස්ට් සාදා ගැනීමේ දී ජලය මූලික වැදගත්කමක් ගනී. ජලය වැඩි වීමෙන් යොදන කාබනික ද්‍රව්‍ය කුණු වන අතර ජලය ප්‍රමාණවත් නොවුවහොත් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරකම් සිදු
නො වී, දිරා යාම වළකී. පහත සඳහන් කරුණු කීපය කෙරෙහි අවධානය යොමු කරන්න.

1. වියළි කලාපයේ මාස් කන්නයේ වර්ෂාව අධිකව ලැබෙන හෙයින් භූමියේ වළක් කපා සකස් කරන වළ ක්‍රමයේ කොම්පෝස්ට් සුදුසු නැත. ජලය පිරෙන බැවිනි. ගොඩ ක්‍රමය (එනම් පොළව මතුපිට ගොඩක් වශයෙන් සකස් කරන ක්‍රමය) උචිත ය.

2. වියළි කලාපයේ යල් කන්නයේ ගොඩ ක්‍රමයට ජලය සැපයුම අසීරු හෙයින් වළක් කපා සකස් කරන කොම්පෝස්ට් ක්‍රමය උචිත ය.

3. පහසුවෙන් ජලය යෙදිය හැකි තැන්වල දී පොළවෙන් ඉහළ ගොඩ කොම්පෝස්ට් ක්‍රමය උචිත වන්නේ මනා නඩත්තුව පහසු නිසා ය.

කොම්පෝස්ට් සාදා ගැනීම සඳහා විශේෂයෙන් අමුද්‍රව්‍ය සොයා ගැනීමට වෑයමක් කළ යුතු නැත. තම ඉඩම තුළ ම පවතින දැය භාවිත කිරීමට කටයුතු කළ යුතු ය. වත්ත අතු ගා ලබා ගන්නා වියළි කොළ රොඩු, ගොම, එළු බෙටි හෝ කුකුල් පොහොර, මුළුතැන්ගෙයින් ඉවත් කරන ආහාර කැබලි සහ අපද්‍රව්‍ය, ගෙවත්තේ ඇති ගස්වලින් කපා ඉවත් කර ගන්නා අතු සහ කොළ, ගලවා ඉවත් කරන තණකොළ, කලින් වගාවෙන් ගලවා ඉවත් කරන කොටස්, දහයියා, ලී කුඩු යන මේවා සියල්ල කොම්පෝස්ට් සකස් කර ගැනීම සඳහා යොදා ගත හැකි ය.

මෙම කරුණු කීපය ගැන අවධානයෙන් සිටීම ඔබට වැදගත් විය හැකි  ගොම, එළු බෙටි සහ කුකුල් බෙටි ඍජු ව ම වගාවට දැමීම අහිතකර වන්නට ඉඩ ඇති බැවින්, ඒවා යොදා කොම්පෝස්ට් සාදාගෙන භාවිත කිරීම වඩාත් ආරක්ෂාකාරී – කොම්පෝස්ට් දිරාපත් වන වේගය තීරණය වන්නේ ඔබ භාවිත කරන ද්‍රව්‍ය අනුව සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය පසුබිම සැකසීම අනුව – කොම්පෝස්ට් වළට හෝ ගොඩට ඔබ යොදන ශාක කොටස් හැකිතාක් කුඩා කැබලිවලට කඩා/කපා දැමීම තුළින් ඒවා ජීරණය වීමට පහසු වේ.

* ගිනිසීරියා කොළ, රනිළ ශාක කොටස්, කෙසෙල් අතු සහ බඩය වැනි නයිට්‍රජන් අධික ද්‍රව්‍ය කොම්පෝස්ට් වළට එකතු කිරීම එහි ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට ආධාරක වේ.

* ක්ෂුද්‍ර ජීවීන්ගේ ඉක්මන් වර්ධනය සඳහා ප්‍රමාණවත් තෙතමනයක් නිතර ම පවත්වා ගත යුතු ය. වියළි කලාපයේ නම් ගොඩ හෝ වළ වියළී යාම වළක්වා ගැනීම සඳහා කීප වරක් ජලය යෙදීමට සිදු විය හැකි ය.

* කොම්පෝස්ට්වලට ඍජු සූර්ය තාපය වැටීම වළක්වා ගැනීමට වසුනක් යෙදීම අත්‍යවශ්‍ය ය. පිදුරු, පොල් අතු ලොකු අතු, ඉවතලන ගෝනි වැනි ආවරණයක් ප්‍රමාණවත් ය. මතක තබා ගත යුතු කරුණ නම් නිතරම ප්‍රශස්ත උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක 50-60) පවත්වා ගැනීම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට හිතකර බව ය.

වෙළඳපළෙහි ඇති කොම්පෝස්ට් බඳුන් භාවිත කිරීමේ දී පහත සඳහන් කරුණු සිත්හි තබා ගත යුතු ය.

* මෙම බඳුන් කුණු එකතු කරන භාජනයක් ලෙස භාවිත නො කළ යුතු ය. මුළුතැන්ගෙයින් ඉවත දමන එළවළු කැබලි, ඉවතලන ආහාර පමණක් එම භාජනවලට දැමීමෙන් සිදු වන්නේ ඒවා කුණු වීම මිස දිරාපත් වීම නො වේ.

* මුළුතැන්ගෙයින් ඉවතලන දෑ මෙන් හතර ගුණයක්වත් වත්තෙන් ලබා ගන්නා වියළි කොළ සහ දිරන ලද වෙනත් දෑ ඒවාට එක් කළ යුතු වේ.

* සාමාන්‍ය තත්ත්වයක දී, එනම්, ප්‍රමාණවත් ජලය සහ ඔක්සිජන් සැපයෙන්නේ නම්, සති 4-6 කාලය තුළ කොම්පෝස්ට් ලබා ගත හැකි ය. හොඳ කොම්පෝස්ට් තද දුඹුරු/කළු පැහැ කුඩක් ලෙස තිබිය යුතු ය.

* අමු කොළ ඍජු ව ම පසට මිශ්‍ර කිරීම නො කළ යුතු ය. අමු කොළ කොම්පෝස්ටි සෑදීමට භාවිත කරන්න.

බෝග වගාව- තවාන

ගෙවතු වගාවේ ඊ ළඟ වැදගත් පියවර නම් වගා කරන්නට අවශ්‍ය පැළ ද්‍රව්‍ය ලබා ගැනීම ය. ඇතැම් බෝග ඍජු ව ම සිටුවිය හැකි බවත්, ඇතැම් බෝග සඳහා මුලින් තවානක් දමා
දෙවනුව සිටුවිය යුතු බවත් ඔබ දනී. මෙම කෙටි පැහැදිලි කිරීමේ අදහස තවානක් සකසා ගැනීමට අත්වැලක් ලබා දීම ය.

තවානකින් බලාපොරොත්තු වන්නේ බෝග වගාව සඳහා ශක්තිමත් නිරෝගී පැළයක් ලබා ගැනීම ය. නිරෝගී බීජ මෙන් ම නිරෝගී පැළයක් ද සාර්ථක වගාවක මූලාරම්භය යි.

තවානක් සඳහා සුදුසු වන්නේ ලිහිල් පසක් සහිත මාධ්‍යයකි. බීජවලට පහසුවෙන් වාතය ලැබීම සහ පැළවලට පීඩනයකින් තොරව එළියට ඒමට ඉන් ඉඩ සැලසේ.

අධික ක්ෂුද්‍රජීවී ගහනයක් ඇති ගොම වැනි ද්‍රව්‍ය තවානකට සුදුසු නැත. එමෙන් ම වල් පැළෑටි, හානිකර කෘමීන්, බැක්ටීරියා සහ දිලීර සහිත පසක් ද තවානක් සඳහා සුදුසු නැත.

තවානක් සඳහා වැලි සහ දිරාගිය කොළ කුඩු කොටස් යෝග්‍ය ය. මේවා සම සමව ගෙන මුසු කොට ජලය යොදා, තවානට අවශ්‍ය මාධ්‍යය සකස් කර ගත හැක.

තවානට ඍජු සූර්යාලෝකය වළක්වා ගත යුතු ය. ඍජු හිරු එළිය මගින් පස වියළවිය හැක.

සෙවණක තවාන් පාත්තිය සකසා ගත නො හැකි නම් එයට කෘත්‍රිම ලෙස සෙවණක් සකස් කර ගත යුතු වේ.

මනාව ජලය යෙදූ පාත්තියේ කුඩා කාණුවක් සාදා, බීජ පැකට්ටුවේ සඳහන් අන්දමට බීජ තැන්පත් කිරීමෙන් තවාන සකසා ගත හැක. බීජ වැසෙන්නට ඒ මත පස් යොදා පස සහ බීජ හොඳින් ස්පර්ශ වන ලෙස මුදු ලෙස තද කළ යුතු වේ.

තවානට ආවරණයක් අත්‍යවශ්‍ය ය. වර්ෂාව ඍජුව පතිත වුවහොත් බීජ විතැන් විය හැක. පස සෝදා ගිය හැක.

ජලය යෙදීමේ දී කුඩා සිදුරු සහිත විදිනයක් භාවිත කරන්න. ජල නල මගින් ජලය යෙදීම නො කළ යුතු වන්නේ පස සහ බීජ විතැන් විය හැකි හෙයිනි.

පැළ ප්‍රමාණවත් ලෙස මතු වූ පසු ආවරණය ඉවත් කළ හැක. පාත්තිවලට දැමීමට පෙර අවට උෂ්ණත්වයට සූදානම් කළ යුතු බැවිනි.

තවානේ සිට පාත්තියට පැළ යෙදීම හිමිදිරි උදයේ හෝ සවස් කාලයේ සුදුසු ය. ලැබෙන සූර්යාලෝකයේ තීව්‍රතාව මත ඇතැම් විට අලුතින් සිටවූ පැළයට ද කෙටිකාලීන ආවරණයක් අවශ්‍ය විය හැක.

බෝග වගාවේ දී වගාව පිහිටුවා නඩත්තු කර ගැනීම සම්බන්ධ කරුණු ඊ ළඟ කලාපයේ සිට ලිපිවලින් බලාපොරොත්තු වන්න.

හරිත සටහන – කේ. ඒ. ජේ. කහඳව