‘හොඳට නරකට දෙකට කට ම ය’ යන වැකිය අපට හොඳින් අසා පළපුරුදු දෙයකි. අපේ කට රැකගැනීම තුළින් නිරෝගී භාවයත්, පාලනයකින් තොරව කට භාවිතයෙන් රෝගී භාවයත් අපට උරුම වෙයි. එය තවදුරටත් පැහැදිලි කළහොත් අප විසින් ආහාර ගත යුත්තේ දිවට දැනෙන රසයට වහල් වී නොව, ශාරීරික නිරෝගී භාවයට උපකාරී වන ලෙසිනි. පරම්පරා ගණනාවක් පුරාවට සිංහලයාගේ දේශීය ආහාර රටාවක් තිබිණි. එහෙත් බටහිරෙන් එන ඕනෑම දහජරාවක් හිස් මුදුනින් පිළිගන්නා වහල් මානසිකත්වය හේතුවෙන් සුද්දාගේ සංකර කෑම වට්ටෝරු ගිලදමා තොරක් නැති ලෙඩ ගොඩකට උරුමකම් කීමට අපට සිදුව තිබේ. කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, අතිස්ථුලතාවය, දියවැඩියාව, අම්ලපිත්තය, පිළිකා, හෘද රෝග, අංශභාග, අක්මා රෝග වැනි භයානක රෝගාබාධ ඒ අතර ප්‍රධාන වෙයි. විශේෂයෙන් මෙකී රෝගයන් අතුරින් නොයෙකුත් අතුරු උපද්‍රවවලට හේතුවන කොලෙස්ටරෝල් පිළිබඳ විමසා බලමු.

මොනවද මේ පිත්තඃස්නේහ?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පිත්තඃස්නේහ ලෙස හඳුන්වා දී ඇත්තේ අද බොහෝ දෙනෙක් පීඩා විඳින මේ කොලෙස්ටරෝල් තත්ත්වයයි. අධික මේද තැන්පත් වීම ලෙස ද මෙය හඳුන්වා දිය හැකි ය. මුළු ශරීරය පුරා රක්ත ධාතුව පොම්ප කරන රුධිර නාලවල අධික මේදය තැන්පත් වීම මෙහිදී සිදුවෙයි. විශේෂයෙන් අප ලබාගන්නා සත්ව ආහාර වේවා, ශාක ආහාර වේවා මේ ඕනෑම ආහාර වර්ගයක මේදය යම් යම් මට්ටමින් අඩංගු වී ඇත. මෙකී මේදය නිවැරදි ලෙස ජීර්ණය වන්නේ නම් ඒවා ශක්තිය ලෙස අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට මහත් උපකාරයක් සලසයි. අවශ්‍ය මේද කොටස් ශරීරයේ ශක්තිය ලෙස ගබඩා වීමෙන් පසුව අනවශ්‍ය මේද කොටස් ශරීරයෙන් මළ කොටස් ලෙස පිටවිය යුතු ය. විශේෂයෙන් ම ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති දෝෂ තත්ත්වයන් නිසා ද ශරීරයට හිතකර ආහාර වට්ටෝරුවක් භාවිත නොකිරීම නිසා ද මේද කොටස් නිසි ලෙස ජීර්ණය නො වී ලේ ධාතුව සමග එක් වීම සිදුවෙයි. එලෙස දූෂිත වූ රක්තය ශරීරය පුරා ගමන් කරන විට ධමනි තුළ මළ බැඳීම සිදුවේ. මෙලෙස කාලයක් යන විට මෙකී අධික මේද තත්වය රුධිර නාළ තුළ තැන්පත් වීමෙන් ශරීරය භයානක උපද්‍රව රැසකට ගොදුරුවීම මෙහි දී සිදුවෙයි. ශරීරයේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වන්නේ අප ගන්නා ආහාරයේ අඩංගු මේද සංඝටක නිසයි. මෙකී මේදය කොටස් දෙකකට වෙන්කර පෙන්වා දී ඇත.

01 – අසංතෘප්ත මේදය
02- සංතෘප්ත මේදය

මෙහි දී අසංතෘප්ත මේදය ශරීරයේ හිතකර කොටසට ද සංතෘප්ත මේදය ශරීරයේ අහිතකර කොටසට ද වැටේ. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම 140 – 239 අතර ප්‍රමාණයක පැවතිය යුතු බව සඳහන් වේ. මෙම ප්‍රමාණය ඉක්මවා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා සුදුසු වන්නේ ය.

අධික මේදය දිවිය වනසයි – මරුගෙ තුරුලට අත වනයි

හදවතින් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාල තුළ මේදය තැන්පත් වීම නිසා එම නාලවල අභ්‍යන්තර කුහර සිහින් වීම සිදුවෙයි. එසේ රුධිර නාල පටු වීම නිසා නිසි පරිදි රුධිරය ගමන් කිරීමට බාධා ඇතිවෙන අතර එවිට රුධිරය ගමන් කිරීමට හදවතට වැඩි තෙරපුමක් ලබා දීමට සිදුවෙයි. මේ නිසා උද්ගත වන රෝගී තත්ත්වය අද සමාජයේ බොහෝ දෙනෙකුට වැළඳී ඇති අධික රුධිර පීඩනය (අධික රක්ත චාපය) යි. මෙකී අධික රුධිර පීඩන තත්ත්වය වහා සුවකර ගැනීම හෝ පාලනය කිරීම කළ යුතු අතර එසේ නොවුණහොත් අංශභාගය (ආඝාතය) වැනි භයානක උපද්‍රවවලට ද මුහුණ දීමට සිදුවිය හැකි ය. මෙලෙස කාලයක් පුරාවට අධික මේද තත්ත්වය රුධිර නාල තුළ තැන්පත් වුවහොත් එම නාලවල අභ්‍යන්තරය සිහින් වී තෙල් කැටිති සිරවිය හැකි ය. එවිට රුධිර ගමනාගමනය ඇණ හිටින අතර හෘදයේ ශෛල කොටස් රුධිරය නොමැතිකමින් මිය යෑම සිදුවෙයි. මේ නිසා භයානක හෘද රෝග තත්ත්වයන් හට ගනී. මෙවැනි හෘද රෝගීන්ගේ මූලික ලක්ෂණය වන්නේ පපුව මැද හිර කරන වේදනාව යි. ඒ සමඟ දහදිය දැමීම, ක්ලාන්ත ගතිය, ඇඟට පණ නැති භාවය, බෙල්ලේ හා අතේ වේදනාව ඇතිවිය හැකි අතර මෙම වේදනාව පපුවේ වම් හෝ දකුණු පසටත් ඇතිවිය හැකි ය. මෙකී රෝග ලක්ෂණ ඇති වූ වහා ම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ය. සාමාන්‍යයෙන් රුධිරගත මේදය වැඩි ස්වභාවයක් දක්නට ලැබෙන්නේ නම් ඇස්වල සුදු ඉංගිරියාව වටේට සුදු පාට වළල්ලක් සේ දිස් වීමත්, යටිබැම මඳක් පහළට බරව එල්ලා වැටීමක් සේ දිස් වීමත් සිදුවෙයි. එසේ ම දෙඅත් පහළට දමාසිටින විට ඇතිවෙන වේදනාව, විලුඹ, බලනහර, කෙණ්ඩා වේදනා හා ඉදිමුමක් හටගැනීමක් සිදුවිය හැකි ය. එසේ ම අධික මහන්සි ස්වභාවය, අලස බව, නින්ද වැඩිවීම හෝ නින්ද නොයාම, ඇඟ පත වේදනාව වැනි ලක්ෂණ ඇතිවිය හැකි ය. මේදස් තත්ත්වය කල්යාමේ දී අතිස්ථුලභාවය, අධික රුධිර පීඩනය, ධමනි තුළ ලේ කැටිති සිර වීම, භයානක හෘදයාබාධ, අංශභාගය වැනි දුස්සාධ්‍ය (පහසුවෙන් සුවනොවන) ව්‍යාධීන්ට හේතුවන බැවින් ඒ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වන්නේ ය.

රෝදුක් නොමැති ගත – ඔසුවක් ම වී ය බත් පත

මෙකී භයානක උපද්‍රව ගෙන දෙන කොලෙස්ටරෝල් තත්ත්වයට සමාජයේ බොහෝ දෙනෙකුට මුහුණ දීමට හේතු සාධක වූයේ අපත්‍ය වූ ආහාර විහරණ රටාව යි. එදා අපේ අම්මලා සෑම ව්‍යංජනයකට ම පාහේ එක්කරන සුවිශේෂී ඖෂධ කීපයක් තිබුණි. එනම් කරපිංචා, සුදුළුෑනු. ගොරක, උළුහාල් හා කුරුඳු ය. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මෙකී ඖෂධයන්ගේ ශක්තිය ගත් විට දෛනිකව අප ලබාගන්නා ආහාර වේලෙහි පවතින අතිරික්ත මේදය ශරීරය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම්වලින් සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමට සමත් වූ බව නොරහසකි. මෙකී ඖෂධයන්ගේ ඖෂධීය ක්‍රියාකාරීත්වය නිසා ශරීර නිරෝගී භාවයට ලබා දුන්නේ අප්‍රමාණ පිටුවහලකි.

උළුහාල්

තිත්ත රස, කටුක රස අඩංගුයි. සෙම් හා වාත රෝග නසයි. සන්ධි වේදනා, හෘද වේදනා දුරලන අතර ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වළක්වයි. අධික තරබාරුව, රුධිර පීඩනය, රුධිරගත මේදය, දියවැඩියාව නැසීමට උපකාරක වෙයි.

සුදුළුෑණු
සෙම් හා වාත රෝග නාශකයි, ආයුෂට හා මොළයට හිතයි. ශරීර ඉදිමුම් වේදනා නසයි. ඇස් පෙනීම දියුණු කරයි. ආහාර මැනවින් දිරවා බඩ පිපුම, අජීර්ණ දුරලයි. හෘද රෝගවලට ඉතා විශිෂ්ට වන අතර හෘදය උත්තේජකයි. මූත්‍රා හොඳින් පිට කරයි, පණු රෝග නසයි. සන්ධිගත වාත රෝග සේ ම අංශභාග වැනි දරුණු ස්නායුගත දෝෂ දුරලයි. විෂබීජනාශක ගුණ අන්තර්ගත අතර ආහාරයේ ඇති විෂ පදාර්ථ නැති කරයි. පිළිකා නාශකයි. රුධිරගත විෂ පදාර්ථ නාශකයි. රුධිරගත මේදය නැසීමට බලවත් වන අතර රුධිර පීඩනය දුරලයි. රුධිරය කැටි ගැසීම වළකා රුධිර කැටි දියකර හරියි. බෝ නොවන රෝග වළක්වන සංඝටක රැසක් (ප්‍රතිඔක්ෂිකාරක) අඩංගුයි.

කරපිංචා

වා, පිත්, සෙම් රෝග නාශකයි. අජීර්ණ අතීසාර නසා කෑම රුචිය වඩවයි. පණු රෝග හා රුධිරගත විෂ පදාර්ථ නාශකයි. ප්‍රතිඔක්ෂිකාරකයි. අර්ශස් හා මළබද්ධය නසයි. හිස කෙස් රෝග නසා ඇස් පෙනීම දියුණු කරයි. බැක්ටීරියා, වෛරස් නසයි. අක්මාව ආරක්ෂා කරයි. චර්ම රෝග නාශකයි. කැල්සියම්, යකඩ, කොපර්, මැග්නීසියම් යන ශරීර ආරක්ෂක පදාර්ථ බහුලයි. ආහාර මාර්ගයේ සේ ම පුරස්ථි ග්‍රන්ථි හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා නාශකයි. රුධිරගත මේදය මනාව පාලනය කරන අතර අධික තරබාරුව, අධික රුධිර පීඩනය නසා රුධිරගත සීනි අඩු කරයි.

ගොරක

සෙම් හා වාත රෝග නාශකයි. අජීර්ණ, බඩ පිපුම වළකා ගින්න වඩයි. ප්‍රතිඔක්ෂිකාරකයි. හෘද රෝගීන්ට ඉතා යහපත් වන අතර රුධිරය කැටි ගැසීම වළකා රුධිරගත මේදය දුරලයි. අතිස්ථුල භාවයට ඉතා ගුණයි.

කුරුඳු

සෙම් හා වාත රෝග නාශකයි. බාහිර හා අභ්‍යන්තරව යෙදීමෙන් විෂබීජ, බැක්ටීරියා දුරලයි. ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග නාශකයි. ග්‍රහනි රෝග දුරලන අතර ආහාර මාර්ගයේ බොහෝ රෝගවලට හිතයි. දියවැඩියාව පාලනය කරයි. රුධිරගත මේදය නසා හෘදය සම්බන්ධ රෝග දුරලයි. අන්ත්‍රගත පිළිකා නාශකයි. සන්ධිගත වාතරෝග හා වේදනා දුරලයි. අධික රුධිර පීඩනයට ඉතා ගුණයි. විටමින් සී, විටමින් ඊ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ හා ඛණිජ පදාර්ථ අන්තර්ගතයි.

දැන් ඔබ මේ ගැන මඳක් සිතා බලන්න. අපේ පැරැණ්නන් නිරන්තරයෙන් ආහාර වේලට එකතු කළ ඉහත ඖෂධයන්ගේ රෝග නිවාරක ශක්තිය කොතෙක් ද කියා. කොලෙස්ටරෝල් වැනි සුඛෝපභෝගී පන්තියේ ආබාධයන් ඔවුන්ට නොවැළඳීමට ප්‍රධානතම රහස මෙයයි.

තෙලෙන් කා කිරෙන් අත සේදූ මිනිස්සු

සිංහල රාජකීය කෑම වට්ටෝරුවල සේ ම පරම්පරා ගණනාවක් පුරාවට අප සිංහලයන් සෑම ආහාර වේලකට ම පාහේ පොල්තෙල් ද පොල්කිරි ද භාවිතයට ගත් බව අපි දනිමු. එහෙත් මෑතක පටන් අපේ දේට අපි ම ගරහමින් පොල්තෙල් භාවිතයෙන් කොලෙස්ටරෝල් සේ ම භයානක හෘදයාබාධ හැදෙනවා කියා පොල්තෙල් හංවඩු ගසන්ට විය. එය බටහිර ජාතීන් අපට ගැසූ තවත් ගැටයකි. යෝධ බල යෝධ ශක්තියෙන් යුතුව ශ්‍රේෂ්ඨ දේශීය ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට සිංහල ආහාර සංස්කෘතියේ ප්‍රධානත්වයක් හිමි වූයේ පොල්තෙල් හා පොල් කිරිවලටයි. මෙකී පරම්පරා ගණනාවක් පුරාවට අපට ම උරුම වූ දේශීය සුවිශේෂී ආහාර රටාවෙන් අප ඈත් කරවමින් පොල්තෙල් හා පොල්කිරි සිංහලයාට වහකදුරු කරන්නට එදා සුද්දා ඇඹරූ ලණුව අප ගිල දමා ඇති බව බොහෝ දෙනෙක් නොදන්නා රහසකි.
එහෙත් ඔබ හොඳින් මතක තබාගත යුත්තේ මෙලෙස වර්ණනා කරන්නේ අද වෙළඳ පොළේ විකිණීමට ඇති නොයෙකුත් අපද්‍රව්‍ය මිශ්‍රිත දූෂිත පොල්තෙල් නොවන බවයි. අපේ පැරැණ්නන් එදිනෙදා ආහාර පරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් තමන් ම සිඳගන්නා සිරිතක් පැවතුණි. හොඳින් පැසුණු පොල් මිරිකා මැටි මුට්ටියකට දමා ලිප තබා ඊට සුදු ළුෑනු, උළුහාල්, කරපිංචා, කුරුඳු පොතු වැනි ඖෂධ එක්කොට ආහාර සඳහා අවශ්‍ය පොල්තෙල් තමන් විසින් ම ඉතා පිරිසිදුව සාදාගත් බව බොහෝ වැඩිහිටියන් අදටත් සාක්ෂි දරණු ඇත. එකී සුපිරිසිදු පොල්තෙල් නැවුම් සුවඳකින් ද යුතු අතර නිරෝගිමත් ජීවිතයක් සඳහා ලබා දුන්නේ ඉමහත් පිටුවහලකි.

පොල් තෙලේ ඔසු බලේ

විශේෂයෙන් මෙකී ඖෂධීය ගුණයෙන් අනූන පොල්තෙල් භාවිතයෙන් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් සිරුරේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුකරමින් පරිවෘත්තීය ක්‍රිියාවන් ක්‍රමවත් කිරීමට උපකාරී වේ. හෘද රෝග, අතිස්ථුලභාවය, වකුගඩු හා පිළිකා රෝග, දියවැඩියා දමනයට උපකාරී වේ. දත් හා අස්ථි ශක්තිමත් කරමින් ශරීරයට රසායන ගුණ ලබා දෙයි. කෙස් මනාව පෝෂණය කරමින් චර්ම රෝග සුවපත් කරයි. මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරමින් මතක ශක්තිය වඩයි. දිගු කලක් නිරෝගීව ජීවත් වීමට හේතුවකි.

මේදය නසනා – හෙළ ඔසු වරුණා

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ශාරීරගත කොලෙස්ටරෝල් නිවැරදි ලෙස ජීර්ණය කිරීමේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර විධි පවතී. ඒ සඳහා ‘ආම පාචක ඖෂධ’ යොදන අතර එම ඖෂධ මගින් දියවීම ඇරඹෙන අහිතකර මේද කොටස් මෘදු විරේචන කර්ම සිදු කර මළමූත්‍රා හා දහදිය මගින් සිරුරෙන් පිට කිරීම සිදුවෙයි.
විශේෂයෙන් මෙකී රෝගීන් සියුම් තන්තු සහිත ආහාර වැඩිපුර ලබා ගැනීම, බෝංචි, සෝයා, කව්පි, කොළ පැහැති මෑ වැනි පියලි සහිත ඇට වර්ග, මැල්ලුම් කොළ වර්ග, පැපොල්, කෙසෙල්, පේර වැනි පලතුරු වර්ග බහුලව භාවිතය යහපත් වන්නේ ය. සුපිරිසිදු පොල්තෙල්, තලතෙල්, මීතෙල්, සූරියකාන්ත තෙල් භාවිතය හිතරකය. මස්මාංශ, යොදය සහිත කිරිපිටි වර්ග, චීස්, බටර්, මාගරින්, සත්ව තෙල් භාවිතය ඉතා අහිතකර වන්නේ ය. සුඛෝපභෝගී ජීවිතයට හුරු නොවීමත්, යෝග ව්‍යායාමාදිය තුළින් ශරීර ක්‍රියාකාරීත්වයට යොමු වීමත් ඉතා යහපත් වන්නේ ය.

01. කරපිංචා කොළ, උළුහාල්, සුදුළුෑනු, ගොරක, සියඹලා මේ සියල්ල අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන හොඳින් අඹරා වරකට නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් ආහාරයක් සමග ගැනීම ඉතා යහපති. විශේෂයෙන් මේ තුළින් ආහාර හොඳින් දිරවා ආමාශගත බොහෝ දෝෂයන් දුරලමින් අහිතකර මේදය නැසීමට ඉතා ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

02. උළුහාල් මේස හැඳි 01ක් රැයක් එළිවෙනතුරු පොඟවා හොඳින් අඹරා එම වතුරට ම දියකර උදේ හිස් බඩට වැළඳීමෙන් කොලෙස්ටරෝල් ඉක්මනින් දුරු වන්නේ ය.

03. අරළු, බුළු, නෙල්ලි, සෙනෙහෙකොළ, කුඹුක් පොතු, කුරුඳු පොතු, කළුදුරු මේ ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන හොඳින් කුඩු කර සුරැකිව තබා උණුවතුරින් පේයාවක් සේ වරකට තේ හැඳි 1/2ක් පානය කිරීම මැනවි. මෙයින් කොලෙස්ටරෝල් දියකර හරිමින් ලේ කැටි, බිඳිති, මේද කැටි හට ගැනීම වළකාලයි. හෘදය ආරක්ෂා කරමින් අධික රුධිර පීඩනයට ගුණ දෙයි. අතිස්ථුලභාවය දුරු කරයි. ආහාර හොඳින් දිරවා මළ පිට කිරීම පහසු කරයි.

දෙනිධ දෙබටු දෙකසා කටු කරෝස නා
බැමිතිරි වංඅතුපල කිඳ ඉරමුසු මුලි නා
වැල්මදටද දුම්මැල්ලද රසෝ නා
වැඩිපුර මේද නැසුමට ඉසිවරු කිය නා

සටහන
පුලස්ති අධිකාරි