highlights of the week
Home » NEW ARTICLES » ප්‍රමාද නොවව්. පසුව පසුතැවිල්ලට පත්වන්නට එපා!

ප්‍රමාද නොවව්. පසුව පසුතැවිල්ලට පත්වන්නට එපා!

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා අපි සියලු දෙනාම ඉපිද ඉපිද මැරි මැරී යන දීර්ඝ සසර ගමනේ ආරම්භක කෙළවරක් සොයන්ට බැහැ කියලා. මෙවැනි දීර්ඝ සසර ගමනක යන්න සිද්ධ වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසයි.

මේ ලෝක ධාතුව ම (ලෝක සත්වයා ව මෙහෙයවන) සේනා සහිත මාර බලවේගය ග්‍රහණයට අරගෙන තියෙන්නෙ. අපට තියෙන එක ම පිළිසරණ බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්ම රත්නය සරණ යෑම සහ සංඝ රත්නය සරණ යෑම යි. අපි හිත පහදවා ගන්න ඕන ඒ තිසරණය ගැන. ලෝකෙ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට අපි සරණ යන්න ඕනෙ ඒ සදාකාලික සරණ යි. බුදුරජාණන් වහන්සේ වදාළා, ආරක්ෂාවට සිහිය තියාගන්න කියලා, රැකවරණයට සීලය තියාගන්න කියලා, පෝෂණයට ශ්‍රද්ධාව තියාගන්න කියලා, අවබෝධයට ප්‍රඥාව තියාගන්න කියලා, සටනට (මුහුණ දීමට) වීරිය තියාගන්න කියලා. මෙන්න මේ ගුණධර්ම අපේ ජීවිතේ තියෙන්න ඕනි. මේවා දුර්වල වෙන හැම මොහොතකම සංසාරෙට කඩාගෙන වැටෙනවා. අපේ ජීවිත කඩාගෙන වැටෙන්නෙ සසරට ම යි, උපතක් කරා යන්න ම යි. ධර්මය අවබෝධ නො කළ පුද්ගලයා මිය යනකොට ම උපදින්න ආශාවෙන් මැරෙනවා.
ඉපදෙන්නෙ ඇස, කන, නාසය, දිව, කය, මනස. ඉපදුණාට පස්සෙ මේ ආයතන හයෙන් නිදහස් වෙනවට අකමැති, සේනා සහිත මාර බලවේගය සිහියෙන් නොසිටින හැම මොහොතකම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස, ඔස්සේ ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසිරිමත් දේශනාවක් තමයි මේ. ආයතන හයේ අනතුරත්, ඒ අනතුරින් නිදහස් වීමත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් දේශනාකොට වදාළා.

“මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මාළු බිලී බාන කෙනෙක් ගොදුර අමුණපු බිලී කොක්ක වතුර වළට දානවා. එතකොට ගොදුරකට ඇස් යොමාගෙන ඉන්න මාළුවෙක් ඒක ගිලිනවා. මහණෙනි, ඔය විදිහට මාළු බිලී බාන්නාගේ ඒ බිලී කොක්ක ගිලපු මාළුවා දුකට වැටිලා, විපතට වැටිලා, මාළු බිලී බාන්නාට කැමති දෙයක් කළ හැකි වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම ලෝකයෙහි සත්වයන් හට දුක් පිණිස, ප්‍රාණීන් හට පීඩා පිණිස බිලී කොකු හයක් තියෙනවා. ඒ හය මොනවා ද?

මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන ඉන්නවා නම්, මහණෙනි, මේකට තමයි කියන්නේ මාරයාගේ බිලී කොක්ක ගිලපු භික්ෂුව දුකට වැටිලා, විපතට වැටිලා, පවිටු මාරයාට කැමති දෙයක් කළ හැකි වෙනවා කියලා. මහණෙනි, කනෙන් දැනගත යුතු වූ ශබ්ද…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ…. දිවෙන් දැනගත යුතු වූ රස…. කයෙන් දැනගත යුතු වූ පහස…. මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා නම්, එහි ගුණ කියනවා නම්, එහි බැසගෙන ඉන්නවා නම් මහණෙනි, මේකට තමයි කියන්නෙ මාරයාගේ බිලී කොක්ක ගිලපු භික්ෂුව දුකට වැටිලා, විපතට වැටිලා, පවිටු මාරයාට කැමති දෙයක් කළ හැකි වෙනවා කියලා.”

බිලී කොක්ක නොගිලපු භික්ෂුව
මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නෙ නෑ. එහි ගුණ කියන්නෙ නෑ. එහි බැසගෙන ඉන්නෙ නෑ. මහණෙනි, මේකට තමයි කියන්නෙ මාරයාගේ බිලී කොක්ක නොගිලපු භික්ෂුව ඒ බිලී කොක්ක කඩා බිඳ දැම්මා කියලා. දුකට වැටුනේ නෑ කියලා. විපතට වැටුනේ නෑ කියලා. පවිටු මාරයාට කැමති දෙයක් කරන්නට බෑ කියලා.
මහණෙනි, කනේ දැනගත යුතු වූ ශබ්ද…. නාසයෙන්, දිවෙන්, කයෙන්…. මහණෙනි, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නෙ නෑ. එහි ගුණ කියන්නෙ නෑ. එහි බැසගෙන ඉන්නෙ නෑ. මහණෙනි, මේකට තමයි කියන්නෙ මාරයාගේ බිලී කොක්ක නොගිලපු භික්ෂුව ඒ බිලී කොක්ක කඩා බිඳ දැම්මා කියලා. දුකට වැටුනේ නෑ කියලා. විපතට වැටුනෙ නෑ කියලා. පවිටු මාරයාට කැමති දෙයක් කරන්නට බෑ කියලා.”
(බාලිසිකෝපම සූත්‍රය – සං.නි. 4)

මේ අනතුරෙන් ගැලවෙන්නේ කොහොමද…?

“මහණෙනි, මෙය ඉස්සර සිදු වූ දෙයක්. ඉදිබුවෙක් සවස් කාලයේ ගොදුරු සොයමින් ගං ඉවුරක් අසබඩ සිටියා. එතකොට සිවලෙකුත් සවස් වේලෙහි ගොදුරු සොයමින් ඒ ගං ඉවුර අසබඩ ඇවිද්දා. ඉදිබුවා ගොදුරු සොයමින් ඇවිදින සිවලා ව දුරතියා ම දැක්කා. දැකලා හිස පස්වෙනි කොට තිබෙන තමන්ගේ අවයවයන් ඉබි කටුව තුළට හකුළුවාගෙන උත්සාහ රහිත වෙලා, නිශ්ශබ්දව වගක් නැතිව හිටියා.
මහණෙනි, සිවලාත් දුරතියා ම ඉදිබුවා දැකලා, ඉදිබුවා සිටි තැනට පැමිණුනා. පැමිණිලා මේ ඉදිබුවා යම් වෙලාවක හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් කොයියම්ම අවයවයක් එළියට දාපුදෙන්කෝ, ඒ වෙලාවේ ම ඒක ඩැහැගෙන කඩාගෙන කන්නම් කියලා ඉදිබුවාට ළං වෙලා හිටියා. මහණෙනි, යම් කාලයක් ඉදිබුවා හිස පස්වෙනිකොට ඇති අවයවයන්ගෙන් කොයියම්ම අවයවයක්වත් එළියට නොදා හිටිය නම්, ඒ තාක්කල් සිවලා ඉදිබුවාගෙන් අවස්ථාවක් නොලද නිසා කලකිරිලා ඉවත් වුණා.

මහණෙනි, ඔය විදිය ම යි, ඔබ ළඟටත් පවිටු මාරයා ඇවිදින් නිරතුරුවම සමීපයෙන් ඉන්නවා. ‘හොඳයිකෝ, මේ උදවියගේ ඇසින් අවස්ථාවක් ලැබේවිනේ. එහෙම නැත්නම්, කනෙන්වත් අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ නාසයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ දිවෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එහෙමත් නැත්නම් කයෙන් හරි අවස්ථාවක් ලැබේවිනේ. එක්කෝ මනසින්වත් අවස්ථාවක් ලැබේවිනේ’ කියලා.

ඒ නිසා මහණෙනි, ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වාගත් දොරටුවලින් යුක්තව ඉන්න. ඇසින් රූප දැක නිමිති නොගෙන ඉන්න. නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අසංවර ව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හට ගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස රැකගන්න. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න. කනෙන් ශබ්දයක් අහලා… නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා… දිවෙන් රස විඳලා… කයෙන් පහසක් ලබලා… මනසින් අරමුණක් දැනගෙන නිමිති නොගෙන ඉන්න. නිමිත්තක කොටසක්වත් නොගෙන ඉන්න. යම් හෙයකින් මනස නැමති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇතිවී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදින්න. මනස රැකගන්න. මනස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න. පින්වත් මහණෙනි, යම්තාක් කල් ඔබ ඉඳුරන් කෙලෙසුන්ගෙන් වළක්වාගත් දොරටුවලින් යුක්තව ඉන්නවා නම්, එතකොට ඒතාක් කල් ම පවිටු මාරයා හට අවස්ථාවක් නොලැබීමෙන් ඔබ කෙරෙහි කලකිරිලා බැහැරට යනවා, ඉදිබුවා කෙරෙහි කලකිරී බැහැරට ගිය සිවලා වගේ.”

කුම්මෝව අංගානි සකේ කපාලේ
සමෝදහං භික්ඛු මනෝවිතක්කේ
අනිස්සිතෝ අඤ්ඤමහේඨයානෝ
පරිනිබ්බුතෝ න උපවදෙය්‍ය කඤ්චීති.

“තම කටුව තුළට අවයවයන් හකුළුවා ගන්නා ඉදිබුවෙක් වගේ, භික්ෂුව ළාමක මනෝ විතර්කයන් බැහැර කොට සිත තැන්පත් කර ගන්නවා. ඒ කිසිවක් හා ඇසුරක් පවත්වන්නේ නෑ. කිසිවෙකුට පීඩාවක් කරන්නෙත් නෑ. කාටවත් උපවාද නොකොට පිරිනිවන් පානවා.” (කුම්මෝපම සූත්‍රය – සං.නි. 4)

පවිටු මරුට නොපෙනෙන තැන….

භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කොට වදාළා සේනා සහිත මාරයාට යන්න බැරි තැනක් ගැන.

“මහණෙනි, මාරයාටත්, මාර පිරිසටත්, යන්න බැරි තැන මොකක්ද? මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල්වලින් වෙන්ව, විතර්ක විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය තියෙන පළමුවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. මහණෙනි, අන්න ඒ භික්ෂුව මාරයා ව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැක ගන්න බැරි තැනකට ගියා…. දෙවෙනි ධ්‍යානය…. තුන්වෙනි ධ්‍යානය…. හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. මහණෙනි, අන්න ඒ භික්ෂුව මාරයා ව අන්ධ කළා. මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැකගන්න බැරි තැනකට ගියා. ලෝකයේ විසත්තිකා නැමැති තණ්හාව ඉක්මවා ගිය කෙනා ය කියලා කියනවා.”
(නිවාප සූත්‍රය – ම. නි. 1)

මෙවැනි උතුම් ගුණධර්ම ඇතිකර ගැනීමේ වාසනාව අප තුළත් ඇති. මෙවැනි උතුම් ගුණධර්ම ලබාගෙන සුවසේ වාසය කරන උතුමන් මේ මනුලොව වැඩ සිටිනවාත් ඇති. ඉතින් අප සියලු දෙනාටත් ඉන්ද්‍රිය සංවර කරගෙන උතුම් ගුණධර්ම දියුණු කරගෙන මේ බුද්ධ ශාසනයේ ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා….!

භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවල තම ශ්‍රාවකයන්ට මේ අයුරින් අනුශාසනා කොට වදාළ සේක.

“මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් වූ, අනුකම්පා ඇති ශාස්තෘවරයෙකු විසින් අනුකම්පාව උපදවා යමක් කළ යුතු නම්, මා විසින් එය ඔබට කරන ලද්දේ ය. මහණෙනි, ඔය තිබෙන්නේ රුක් මුල් ය. ඔය තිබෙන්නේ ශූන්‍යාගාරයන් ය. මහණෙනි, ධ්‍යාන වඩව්. ප්‍රමාද නො වෙව්. පසුව පසුතැවිල්ලට පත්වන්නට එපා! මෙය ඔබට අපගේ අනුශාසනාව යි.”

සාදු! සාදු!! සාදු!!!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.