highlights of the week
Home » NEW ARTICLES » සුජාත සිංහල දරු පරපුරක්

සුජාත සිංහල දරු පරපුරක්

මිහිඳු මහරහතන් වහන්සේගෙන් සම්බුද්ධ සන්දේශය දායාද වූ, ලෝකයේ තිබෙන එක ම සිංහල බෞද්ධ රට තමයි මේ ලංකාද්වීපය. රටේ ඉතිහාසය පුරාවට ම ‘මහා ජාතිය’ විදිහට සිංහලයන්, මේ රටේ අඩියෙන් අඩිය ගොඩනංවපු ආකාරය සනිටුහන් වෙලා තිබෙනවා. සිංහල හා සිංහල බෞද්ධ කියන අභිමානය මුල් කොටගෙන ගොඩනැඟුණු ඉතිහාසය අපි අමතක කළොත් හෝ ශ්‍රී ලාංකේය වංශ කථාවෙන් සිංහල බෞද්ධයන් අතු ගා දැම්මොත්, ශ්‍රී ලංකාව කියලා රටක් ලෝකේ ඉතුරු වෙන්නෙ නෑ. මේ රට නැඟී තිබෙන්නේ සිංහල බෞද්ධකම මත වීම නිසයි එහෙම වෙන්නෙ. සම්මා සම්බුදුවරුන්ගේ ධර්මය විරස්ථායී කෙරෙන මේ පින්බිම, සම්බුදු සසුන් කෙතෙහි සිත් පහදවා ගත් දෙවියන්, බඹුන් විසින් චිරාත් කාලයක් මුළුල්ලේ ආරක්ෂා කරනු ලබනවා. පුණ්‍ය මහිමයක් නිසාවෙන් ම යි මේ සිංහල රටේ, සිංහල බෞද්ධයන් විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ. ඒ වගේ ම තමයි, පුණ්‍ය මහිමය නිසාවෙන් ම යි දෙවියන්, බඹුන් මේ සිංහලද්වීපය ආරක්ෂා කරන්න බැඳී සිටින්නේ. ඒ ගිවිසුම් සහගත ආරක්ෂාව, රැකවරණය අපට ලැබෙන්නේ තථාගත, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තුංග ධර්ම නිධානය අප විසින් මැනවින් රැකගන්නා තාක් පමණයි. ධර්ම දායාදය පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම ගැන කථා නො කොට, ජාතික රැක ගැනීමක් ගැන සිතන්නවත් බැරි ඒ නිසයි. ධර්මය සුරැකෙනතාක් ජාතිය සුරැකෙනවා. ධර්මය වියැකෙන දාට ජාතියත් වියැකෙනවා.

කෙසඟ වන හෙළ ජාතිය

‘ජාතිය කෙසඟ වෙනවා’ කියපුව ම අර්ථ දෙකකින් මේ ගැන හිතන්න වෙනවා. ඉන් එකක් තමයි ඇඟේපතේ පෙනුම, හයි හත්තිය, උස මහත කියන කාරණය. අනික් එක තමයි, සංඛ්‍යාත්මකව කොපමණ පිරිසක් ජාතිය නියෝජනය කරන්න ඉන්නව ද? කියන කාරණය. ඔය මොන අර්ථයෙන් සලකා බැලුවත් ‘සිංහල ජාතිය සිටින්නේ කෙසඟ වෙමින්’ කියන කාරණය පිළිගන්න වෙනවා. හාල් සේරුවක, හමාරක බත් එක වේලකට පරිභෝජනය කරපු, ඒ බතින් මත් නො වී යෝධ බල, යෝධ ශක්තිය ඇති කරවාගෙන මහ පොළොව, ගස්, ගල්, පර්වත එක්ක පවා ඔට්ටු වෙලා යෝධ කර්මාන්ත බිහි කරපු පරම්පරාවක් අපට හිටියා. ඔවුන්ගේ යෝධ යුගයේ බල පරාක්‍රමය අදටත් ජීවමානයි. අනුරාධපුර, පොළොන්නරු යුගවල ඉඳන් මහා වැව්, දාගැබ්, සෙල් පිළිම, මුරගල්, ලියවැල්, සඳකඩ පහණ් මතින් දිස්වෙමින් රාව ප්‍රතිරාව දී නැඟෙන්නේ ඒ විකුම් යුගයේ අභිමානය යි. අද පරම්පරාවට ඒ වගේ විස්කම් වැඩ කරන්න තබා ඒ විදිහට බත බුලතින් සප්පායම් වෙන්නවත් පුළුවන්කමක් නෑ. ඉතින් වයසේ හැටියට උස මහත නෑ, උසේ හැටියට බර නෑ. තියෙන පෙනුමෙ තරමටවත් ශක්තිය නෑ. සමාජ හරස්කඩක් පරීක්‍ෂා කළොත් කියන්න වෙන්නේ සිංහලයන් කෙට්ටු ජන වර්ගයක් කියලයි.

දෙවැනි කාරණය පළමු වැන්නටත් වඩා ඛේදනීයයි. සිංහල ජාතිය දරුවන් බිහි කරන්නේ ක්‍රමයෙන් අඩුවෙවී යන ප්‍රමාණයකින්. අපේ අම්මලා, තාත්තලාගේ පවුල්වල දරුවෝ දහයට වඩා හිටියා. අපේ පවුල්වල දරුවෝ හතර පස් දෙනයි. නූතන පවුල් සංස්ථාවට දරුවෝ එක්කෙනයි. දෙන්නයි. බොහෝ පිරිසකට දරුවෝ ඇත්තෙ ම නැහැ. පසුගිය කාලයේ බොහොම ආන්දෝලනාත්මක සංඛ්‍යා ලේඛන කිහිපයක් ගැන සමාජයේ සංවාදයන් ගොඩ නැඟුණා. ඒ තුළින් පෙනී ගියේ මේ ආකාරයට ජාතිය දිගට ම කෙසඟ වුවහොත් වැඩි කාලයක් නො යා ම අප මේ රටේ ‘සුළු ජාතියක්’ බවට පත්වීම වළක්වන්න බෑ කියන එක. මේක එදා වේල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මුළු මහත් සිංහල, බෞද්ධ ජන සමාජය හමුවේ තිබෙන අතිශය තීරණාත්මක ගැටලුවක්.

මේ රට සාමකාමීව, සියලු ජන කොටස් වෙත සමානාත්මතාවයෙන් සලකන තත්ත්වයෙන් පවතින්නේ සිංහල බෞද්ධයන් මහා ජාතිය වශයෙන් ඉන්නකල් විතරයි. සිංහල බෞද්ධයන් තුළ පවතින ආකාරයේ මෛත්‍රියක්, දයානුකම්පාවක්, අන්‍ය ජාතීන් හා අන්‍ය ආගම් විෂයෙහි ගරු සත්කාර දැක්වීමක්, අන් කිසිදු ජාතියකින් කිසිසේත් ම බලාපොරොත්තු වෙන්න බෑ. ආගමේ නාමයෙන් ලේ හලපු සහ එවැන්නක් යළි සිදු කරන්නට පසුබට නො වන අනෙකුත් ජාතීන් මෙතරම් ඉවසීමකින් අන්‍ය මතවාද කෙරෙහි කටයුතු කරනවා කියන එක නම් මිරිඟුවක් පමණ ම යි. එනිසා ම අන් කවරදාවටත් වඩා ‘ජාතිය කෙසඟ වීම’ ගැන සිතන්න ඕන යුගයකට අපි පා තබලා. සුළු පරිමාණෙන් එහෙම නෙමෙයි. මහා පරිමාණයෙන් ම සිතිය යුතු කාලයකට අපි ඇවිල්ලා.

පුංචි පවුල හැබෑවටම රත්තරං ද….?

70 දශකයේ පමණ පටන් රටේ අවස්ථාවාදී දේශපාලකයොයි, සිංහල ජාතියේ කෙළවරක් දකින්න දත කන බටහිර බලවේග හා රාජ්‍ය නො වන සංවිධානයි මුල් වෙලා මතුරපු අවාසනාවන්ත මන්තරේ තමයි, ‘පුංචි පවුල රත්තරං’ කියන්නේ. අන්තිමට ඒ රත්තරං ගුලිය අපට ම පාරාවළල්ලක් වෙලා අද ජාතියේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් දක්වා ම ඔඩු දුවලයි තියෙන්නේ. එතැනින් පටන් ගත්ත වියවුල සිංහල ජනගහනයේ බහුතරය පවා තර්ජනයකට ලක් කර අවසන්. මේ ලෝකෙට ම සිංහලයා වෙනුවෙන් තියෙන්නෙ මේ රට විතරයි. සිංහලයා වෙනුවෙන් කථා කරන්නෙත් මේ රට විතරයි. එහෙව් රටෙත් සිංහලයාගේ පැවැත්මට ම යි මේ සියලු බලපෑම්, තර්ජන, ගර්ජන එල්ලවෙන්නේ එදා ඒ රත්තරං ගුලියට අහු නො වුණා නම් අද අපි මෙහෙම ප්‍රශ්නෙක නෑ.

අපටත් හොරා ගොනා පොල් පැළේ කනවා

සිංහල, බෞද්ධ ජනතාවගේ ‘මිනිස්කම’ කාලයක් මුළුල්ලේ ම ශීඝ්‍ර සූරා කෑමකට ලක්වුණ බව ප්‍රකට කාරණයක්. කූට ව්‍යාපාරික ප්‍රයෝගවලට වගේ ම ආගමික හා රාජ්‍ය නො වන සංවිධානවල :භඨධ* කුප්‍රකට ජාවාරම්වලටත් අපි ගොදුරු වුණේ බොහෝ කාලයක ඉඳලා. ඒ සියලු දේවල් අපි වෙත ආවේ අපට උදව් උපකාර කරන මුවාවෙන්. උඩින් තිබෙන ඒ හිත මිතුරු ‘වෙස් මුහුණ නිසා’ ‘එන පොට හොඳ නැති බව’ තේරුම් ගන්න කාටවත් පුළුවන් වුණේ නැහැ. අන්තිමට බලද්දී අපි දන්නෙත් නැතිව, අන්‍යයන්ගේ ව්‍යාපාරික හා ආගමික අභිවෘද්ධිය සලසා ගැනීම සඳහා අපව විකුණලා. අපිට හොරෙන් අපිව විකුණන පිරිස ප්‍රයෝගයන්ට බොහෝ දක්ෂයි. ඒ වගේ ම අපේ දුර්වලකම ගැන දිගින් දිගට හොයලා, බලලා ලබා ගත්ත දැනුමකුත් ඔවුන් සතුයි. ඒ හින්ද ම බොහොම හීන් සීරුවේ, නිල බලලා මරු පහර එල්ල කරන්න ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. හැබැයි ඒ එල්ල කරන හැම පාරක් ම අපට වදින්නේ අපේ බෙලහීනකම් නිසාවෙන් බව අමතක කළ යුතු නෑ. ඒ බෙලහීන තත්ත්වයට අපි පත්වුණේ ජාතියට පණ දුන්න බෞද්ධ පදනම අපට අමතක වුණ නිසයි. අප එය අමතක කළ නිසයි.

සිංහල ජාතියේ හෙට දවස උදෙසා…

වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන උදාර චින්තනය මත ගොඩනැගුණු ඒ ප්‍රෞඪ ඉතිහාසය ආදර්ශයට ගෙන අප නැවතත් ජාතික, ශාසනික වශයෙන් නැගීසිටින්න ඕනෑ. මේ දේ කරන්න ලොකු වීර්යයක් ඕන. ලොකු හයියක් ඕන. මේ වීර්යය සහ හයිය කියන්නේ අතේ, පයේ හෝ කටේ බලයට නෙමෙයි. ජාතියට පණ දුන්න, ජාතියට කිරි දුන්න සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කළ යුත්ත කරන්න තිබෙන වීර්යය ගැනයි අපි මේ කථා කරන්නේ. නූපන් කුසල් උපදවන්න වීර්යය ඕන, උපන් කුසල් දියුණු කර ගන්න වීර්යය ඕන. නූපන් අකුසල් නූපදවන්න වීර්යය ඕන, උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීර්යය ඕන. එහෙම නැතිව පහර දෙන්න, බැණ වදින්න, වචන හරඹ සහිත ප්‍රදර්ශන විප්ලව කරන්න, එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක් බිම දා ගන්න හෝ තම තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න, පුහු මාන්නය කරපින්නා ගත්තු සටන්කාමී පිළිවෙතක් අනුගමනය කරලා මේ දේ කරන්න බෑ. අධර්මයට පිළිතුරු දිය යුත්තේ අධර්මයෙන් නොවෙයි, ධර්මයෙන්. එවිටයි අපි ආරක්ෂිතව පිළිතුරු දෙන්න සමත් වුණා වෙන්නේ. අධර්මයෙනුත් පිළිතුරු දෙන්න පුළුවන් වෙයි. එහෙත් අධර්මයෙන් රැස්වෙන්නෙ අකුසල් පමණයි. එයින් තම තමන්ට සැලසෙන්නෙ අනාරක්ෂාවක්.

හරහට නො බලා තුන්කල් දකිමු

මේ වගේ සමාජ අර්බුදයකදී සමාජ හරස්කඩ සලකා බලලා තීරණ ගැනීම නොකළ යුතු යි. එවිට අපි බොහොම පටු තැනක හිර වෙනවා. ඒ වෙනුවට කාලය සාධකයක් කොටගෙන, වර්තමාන හා අනාගත වශයෙන් මනා විශ්ලේෂණයක් කළ යුතු යි. එවිට යි, කාලයේ පහර කෑමකට හසු නොවන විසඳුමකට අපිට යන්න පුළුවන් වෙන්නේ. මේ ඇති වී තිබෙන අර්බුදයට කාල ප්‍රාන්තර හරහා ස්තරයෙන් ස්තරයට විනිවිද දකින විසඳුමකට අපි ආවොත් ප්‍රචණ්ඩ හැසිරීම්, කුපිත කරවීම් හා ද්වේෂය වැපිරීම් කිසිවක් නැතිව ජාතිය නගා සිටුවන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනුවෙන් කළ යුතු එක ම එක දෙයයි. ඒ තමයි ජාතියේ පදනම ආරක්ෂා කොටගෙන ඒ මත යළි නැගී සිටීම.

අකාලිකයි ඒ සදහම්

සිංහල ජාතියත්, සම්බුදු දහමත් අතර පවතින්නේ පොත්තත්, අරටුවත් අතර පවත්නා ආකාරයේ නො සිඳෙන සම්බන්ධතාවයක්. සම්බුදු දහම කියන අරටුව තමයි අපේ සමාජ, සංස්කෘතික හර පද්ධතිය. අපි දියුණු වුණ තරමක් දියුණු වුණේ මේ හර පද්ධතිය තුළ පිහිටා සිටීමෙන් ම යි. පිරිහුණා නම් පිරිහුණේ ඒ හර පද්ධතියෙන් බැහැර වීම නිසා ම යි.

දෙලොව යහපත පිණිස දෙව් මිනිසුන්ට මෙතරම් පරිපූර්ණ ලෙස සාර්ථකත්වයේ රහස කියා දුන් අන් ශාස්තෘවරයෙක් ලොව පහළ වී නෑ. දෙලොව යහපත සැලසෙන ඒ බුදු වදන් ඉක්මවන ධනාත්මක චින්තනයක් ලෝකේ කොහේවත් නෑ. ඒ සදාතන, සනාතන දහමෙන් ඵල නෙළන්නට අවශ්‍ය වන්නේ ප්‍රඥාව පමණ යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වන්නේ නිත්‍ය, සුඛ හා ආත්ම යැයි කියාගෙන අවිද්‍යාවේ ගැලී ගත් ලොවට අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම බව පෙන්වා දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන සසර දුකින් නිදහස් වීම පිණිස උපකාර කරන්න. ඒ ධර්මය පිළිසරණ කොටගෙන සතර අපායෙන් අත්මිදුනෙ බෙලහීන, මන්දගාමී පිරිස් නෙමෙයි. ධර්මයේ ඒ ආකාරයෙන් ම හැසිරුණා කියලා ගිහි ජීවිතයත්, පැවිදි ජීවිතත් අසාර්ථක වුණේවත්, කඩා වැටුණේවත් නෑ. අවුරුදු හතේදී සෝවාන් ඵලයට පත්වුණා. ලෝකයේ පවත්නා අනිත්‍ය ධර්මතාවය ගැන අවබෝධය ලබපු විශාඛාව දරුවන් විසි දෙනෙකුට අම්මා කෙනෙක් වුණා. මෙකල අම්මා කෙනෙක් දරුවෝ විසි දෙනෙක් බිහි කළා නම් බොහෝ අය කෑ ගසාවි තෘප්තිමත් කළ නො හැකි කාමාශාවකින් පෙළුණු අසංවර ගැහැනියක් ය කියා.

නමුත් යථාර්ථය ඊට හාත්පසින් ම වෙනස්. භව භෝග සම්පත් කළමනාකරණය කරමින් ඕතොමෝ ධාර්මික සැපයක ජීවත් වුණා. නිම්මාණරතී දෙව්ලොව දෙවඟනක් වෙලා දැන් දෙව් සැප විඳිනවා. ඒ සැබෑ දියුණුවක් නො වෙයි ද? අශූචි කද කරේ තියන් ගියපු සුනීත පැවිදි වෙලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය අවබෝධ කළා. රැයේ සක් දෙවිඳුත්, මහ බඹුත් ‘ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවාෟ’ කියමින් ඒ සුනීත මහරහතන් වහන්සේගේ පා යුග වන්දනා කළා. ඒ සැබෑ දියුණුව නො වෙයි ද? ඒ මුනි දහම් අකාලිකයි. කාලයේ පහර කෑමට හසුවන්නක් නො වෙයි. ධර්මය වැරදියට අර ගත් අය පමණයි එහි දොස් දකින්නේ. එය හරියට සර්පයා වලිගෙන් ගත්තා වගේ වැඩක්. දියුණුවට සලකන දෙයට පයින් ගහලා දියුණුවක් අපේක්‍ෂා කරන්න හිතනවා නම් එය සිහිනයක් පමණයි. සිය ජාතියේ, ශාසනයේ හා රටේ අභිවෘද්ධිය උදෙසා අප යා යුත්තේ අවබෝධයකින් ම යි. ඒ සඳහා මොනයම් විවරණ දුන්නත්, මොනයම් අර්ථ විවරණ කළත් සාර්ථක වෙන්නේ අවබෝධයක් තුළින් ම යි.

ධර්ම දායාදය ලැබදෙන්නට සුජාත දරු පරපුරක් බිහිකරමු

මේ ප්‍රශ්නයට තිබෙන එක ම විසඳුම තමයි ධර්ම දායාදය ලබන සුජාත දරු පරපුරක් බිහි කිරීම. දරු සම්පත අඩු වෙද්දී තමයි අපි සුළු ජාතියක් බවට පත් වෙන්නේ. දරුවන් බොහෝ සිටියත් ඔවුන්ට ධර්ම දායාදය නොලැබෙනවා නම් අප අසමත් ජාතියක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා දරු සම්පතක් රට වෙනුවෙන් දායාද කරන්න පුළුවන්කම තිබෙන පිරිස ඒ උපදින දරුවන් තෙරුවනට භාරකොට, මීට පරම්පරා දෙකකට පෙර බිහි වුණ බොහෝ දරුවන් සහිත වූ පවුල් පසුබිම ගොඩනංවන්න නොපැකිළව ඉදිරිපත් වීම කළ යුතු ම යි. දරුවන් බොහෝ සිටීම අවමානයක් නොව අභිමානයක් කොට සැලකිය යුතු යි.

ඊ ළඟට තවත් ප්‍රශ්නයක්, ආර්ථිකය ගැන අපිට තියෙන්නේ පුදුම බයක් නේ. ඒ බව නිසාත් දරුවන් ගණන සීමා කරන්න විවාහකයන් පෙළඹෙනවා. මෙතැන දී කරුණු කිහිපයක් කිව යුතුයි. පළමු වැන්න තමයි වැලේ ගෙඩි වැලට බර නෑ කියන එක. දරුවන් බොහෝ වීමෙන් ජාතියත්, ඔවුන්ට ධර්ම දායාදය ලබා දීමෙන් සාමයත් රැක ගන්න පුළුවන්.

ඒ බිහිවන සුජාත පරපුර රැක ගැනීම සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ඇපකැප වුණ දෙවිවරුන්ගේ උපකාරයෙන් සිදුවන බවත් නිසැක යි. මෙහි දී හැකිතාක් සතර පෝයට බ්‍රහ්මචාරීව සීලාදී ගුණධර්ම දියුණු කරන්න. පින් රැස්කොට දෙවියන්ට පින් දෙන්න. සිල්වත් දෙමාපියන්ගේ දරුවන් ලෙස මව්කුසට එන මෙන් ශාසනමාමක දෙවියන්ට ඇරයුම් කරන්න. අපට තිබෙන එක ම රට මේ රට බව අමතක කරන්න එපාෟ මෙතැනින් එහාට අපට යන්නට තැනක් නැති බව අමතක කරන්න එපාෟ මේ රටේ පැවැත්ම ඔබේ දරුවන් මත පමණක් ම තීරණය වෙන බව කිසිසේත් ම අමතක කරන්න එපා!

ධර්මයේ හැසිරීමත්, ජාතියේ උන්නතිය උදෙසා ධර්ම දායාදය ලබාගන්නා වූ සුජාත දරුවන් වැඩි වැඩියෙන් බිහි කිරීමත් තුළින් ස්වසමයාභිවෘද්ධිය සලසා ගන්නා හෙළ බොදුනුවන් මේ රටට දැන් වුවමනයි. ජාතියේ ඒ අවශ්‍යතාවය ඉටු කරන හෙළ බොදු මිනිසා ඔබ විය යුතුයි. ඒ හෙළ බොදු ගැහැනිය ඔබ විය යුතු යි. ඔබ සැබෑ සිංහලයෙක් නම් එය කළ යුතු ම යි. හෙට නො වේ….. අද සිට ම…! ඔව්….. මේ උදාවී ඇත්තේ අවසන් හෝරාවයි..!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ සිදු කෙරුණු සංවාදයක් ඇසුරිනි.

සටහන – භාරත සූරියබණ්ඩාර.

2 comments

  1. Nihadawa namuth awesi deya hariyatama karana pinwath kiribathgoda ghanananda swaameeni,

    Oba wahanseta mage namaskaraya wewa…

    Boho kalak oba wahanse Manu lows weda siteewa…

    Sadu sadu sadu…

  2. Kalnoyawa Buddha shAsanyath sinhala jathiya th babalewaaaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.