මාරාන්තික උවදුරක් ලෙස ඩෙංගු උණ රෝගය සීඝ‍්‍රයෙන් පැතිරී යාමත් සමඟ කරලියට පැමිණි මාතෘකාවකි ‘වතු සුද්ද කිරීම’. ව්‍යසනකාරී ඩෙංගු රෝගය මර්දනය ඉලක්ක කර ගත් ව්‍යාපෘතියක් වූ ‘වතු සුද්ද කිරීම’ ගැන වෙනම ම අර්ථයකින් කථා කෙරෙනු නොබෝදා අපට අසන්නට ලැබිණි. එලෙස කථා කෙරුණේ ශාසනය නම් වූ වත්ත සුද්ද කිරීම පිළිබඳව ය.

සංවිධානගත ගිහි පැවිදි කල්ලියක් ශාසනය නම් වූ වත්ත සුද්ද කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින්, විවිධ මිසදිටු බලපෑම් නිසා බුදු සසුනේ විකෘතිතා ඇති වී තිබෙන බව ද, ඉදිරියේ දී සසුනට වින කටින පිරිස් නෙරපා හැර සසුනේ ආරක්ෂාවට සිව්වණක් පිරිස පෙළ ගස්සවන බව ද පවසා සිටියහ.

සැබැවින් ම ශාසනය නම් වූ වත්ත සුද්ද කිරීමේ අවශ්‍යතාවය දැන් දැඩි ව දැනේ. ශාසනය කිළිටි කරවන, අධර්මය ද අවිනය ද රජ කරවන ගිහි පැවිදි සේනා ජාලයන් ශාසනය තුළ මුල් බැසගෙන තිබීම ඊට හේතුවයි. බුදු සසුන අපවිත‍්‍ර භාවයට පත් වන්නේ ම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදුන ධර්ම විනයෙන් බැහැරව තම තමන්ගේ පෞද්ගලික මතවාදයන් ධර්මය ලෙස හුවා දක්වන්නට යෑමෙන් ය. දැන් බහුල කොට සිදු වෙමින් පවතින්නේ එයයි.

උතුම් බුද්ධ වචනය බාහිර මතවාදයන්ගෙන් කිළිටි වන්නට නො දී දහම සංගායනා කරවා පරපුරෙන් පරපුරට සුරක්ෂිතව ගෙන එනු ලැබූයේ නිකෙලෙස් හදැති මහරහතන් වහන්සේලා ය. ඒ අනුව ගිය ශ‍්‍රාවක සඟ රුවන ය. ශාසනය නම් වූ වත්ත සුද්ද කරන විට ධර්ම විනය ම සලකා බලන්නේ නම් නෙරපා හැරිය යුත්තේ උතුම් බුදු මුවින් වදහළ ධර්මය නො සලකා හරිමින්, උතුම් බුද්ධ දේශනයෙන් පරිබාහිරව ක‍්‍රියා කරන්නවුන් මිස බුදු මඟ පිළිපන්, කෝටියක් සිල් සුරකිනා බුද්ධශ‍්‍රාවක පිරිස නො වේ. එහෙත් මෙවර ශාසනය නම් වූ වත්ත සුද්ද කරන්නට බලමුළු බැඳ ගත්තවුන් මේ යථාර්ථය වටහාගෙන සසුන සුරකින්නට ඉදිරිපත් වූ බවක් නම් පෙනෙන්නට නැත. ඔවුන් අමතක කළ සත්‍යය අපි මතක් කර දෙන්නට කැමැත්තෙමු.

මේ ශාසනය නම් වූ වත්ත කිළිටි වීමට කරුණු කාරණා බොහෝ ය. මත්පැන් බොන, කාම සේවනයේ යෙදන, මුසාවාද තෙපලන, සොරකම් කරන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වපුරුවන, චීවරය කරට ගෙන මහමඟ කෑ කෝ ගසමින් රණ්ඩු සරුවල් කරන, කැලෑ පත්තර ගසමින් එකිනෙකාට ගර්හා කරන්නවුන් තම තමන්ගේ කිළිටි වූ වතු ගැන මුලින් ම අවධානය යොමු කිරීම යෙහෙකි. නමුත් දැන් ඔවුන් රඟදක්වන්නේ තම තමන්ගේ වතුවල කුණු ලොරි ගණන් තබාගෙන අනුන්ගේ වතු සුද්ද කිරීමේ හාස්‍යෝත්පාදක නාටකයකි. බුදුරජුන් වදහළ දහම හෝ හරි හැටි නො දැන, පංච සීලයේවත් නො පිහිටි ඇතැම් පිරිස් මේ සිදුකරන්නට සැරසෙන සුද්ද කිරීම පිළිබඳ බුද්ධිමත් බෞද්ධයා තුළ ඇත්තේ සැබැවින් ම ප‍්‍රශ්නාර්ථයකි. තථාගත දහම වනාහී ස්වකීය චිත්ත සන්තානයන් නිරවුල් ව පිරිසිදු කොටගෙන සසර කතරින් එතෙර වීම පිණිස විනා අන්‍ය වතු සුද්ද කිරීම සඳහා නො වන වග අපි කරුණා පෙරදැරිව සිහිපත් කරමු.

බුදු දහමේ නාමයෙන් වතු සුද්ද කිරීමට පෙර මේ දහම කුමක් ද, කා සඳහා ද, කුමක් සඳහා ද යන්න පිළිබඳ නිරවුල් විය යුතු ය. පෙළපාලි ගොස්, ජන රැළි පවත්වා සුද්ද කළ හැකි බුද්ධ ශාසනයක් ලොවේ නැත. ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සිදු කළ යුත්තේ සුසිල්වත් සඟ පිරිස එක්වී විනය සංගායනාවක් පවත්වා දුසිල්වත් මහණුන් සසුනින් නෙරපා ඉතිරි වන සඟ පිරිස එක් වී ධර්ම-විනය සංගායනා කොට සසුනේ චිරස්ථිතිය සැලසීම ය.

එනිසා ශාසනය නම් වූ වත්ත සැබැවින් ම සුද්ද කෙරෙන යම් දිනයක, තම තමන් නෙරපා නො හැරෙන පරිදි කටයුතු සලසාගෙන තිබීම අගනේ ය. ඒ වෙනුවෙන් කළ යුතුව ඇත්තේ ධර්ම විනයට අනුකූලව සියලූ කටයුතු සිදු කිරීම පමණක්ම ය.