සමූහයක් ලෙස පොදු සමාජ පාරිසරික තත්ත්වයන් අත්දකිමින් දිවි ගෙවන්නේ වුව ද කාය වචී චිත්ත සමාචාරයන් වශයෙන් අප වනාහී එකිනෙකාගෙන් වෙන් වූ තනි තනි පුද්ගලයන් ය. එනිසා ම, එක ම කරුණ අරබයා අප එකිනෙකා ප්‍රතිචාර දක්වන්නේ වෙනස් වෙනස් ආකාරයන්ගෙන් ය. සියල්ලට ම මූලික වන සිතෙහි පවත්නා පුද්ගලානුබද්ධ විවිධත්වය ම එහිලා හේතුපාදක වේ.

පුද්ගලයෙකු වශයෙන් හිමි වන මේ චින්තනයේ ස්වාධීනත්වය නිසා ම ‘මට වුවමනා දෙය මා සිතුවාට, කීවාට, කෙරුවාට වරදක් නැත – අන් අයට එය අදාළ නැත’ කියා කෙනෙකුට සිතන්නට අවකාශ සැලසෙනවා පමණක් නොව එසේ සිතන්නෝ ද බොහෝ ය. එහෙත්, සත්‍යය නම් සිත කය වචනය හැසිරවීමෙහිලා අපට ස්වාධීනත්වයක් ලද හැක්කේ වුව ද එපමණකින් අපගේ සිතුවිලි, ක්‍රියාකාරකම් හා වචන සෙසු පිරිස වෙත බලපෑමක් ඇති නොකර නොසිටින බව ය. අප සිතන, කියන, කරන දේවල් අප කෙරෙහි ද අන් අය කෙරෙහි ද බලපවත්වන ධර්මතාවයක් ලෝකයේ තිබෙන බව අප මුලින් ම තේරුම් ගත යුතු ය.

මේ කාරණය ගැන එතරම් අවධානයක් යොමු නොකෙරෙන නිසාවෙන්මදෝ තමාගේ කටයුතු කෙරෙහි වගකීම් සහගත වීම අද සමාජයේ දක්නට විරල ය. රුචි පරිද්දෙන් කටයුතු කිරීම මිස එයින් තමාට ද අන් අයට ද කවරාකාරයේ බලපෑමක් වේදැයි කියා සිතා බැලීම බොහෝ ජනයාට දුරවබෝධ වූවක් ම බව සමාජය දෙස බැලූ පමණින් ම පෙනී යයි. නොයෙක් ජීවිත හා බැඳී ගත් – ශිෂ්ටසම්පන්න නුවණැති සත්පුරුෂ ලෝකයා විසින් පිළිකෙව් කරන කරුණු කාරණා අතිශය ජනප්‍රිය භාවයන් ලබමින් මොහොතකින් ජනසමාජගත වන්නේ එනිසා ය. ඒවා ම එකිනෙකා සමඟ හුවමාරු කරගනිමින්, ඒවා ගැන ම කථාබහේ යෙදෙමින්, ඒ අනුව සිතන්නට කාලය වැය කරමින් හීන රසයක සිත පිහිටුවාගෙන සිටින්නවුන් තමන්ගේ ඒ චර්යාව තමාවත්, ඒ අනුව සිත කය වචනය මෙහෙයවන්නට පෙළඹෙන අන් අයවත් විපතට හෙළන බව දකින්නට දක්ෂ නැත. සත්පුරුෂ ධර්මය ද සත්පුරුෂ උතුමන් ද මුණගැසුණු මෙවන් වාසනාවන්ත යුගයක දී එවැනි නීච ජීවිත ඉරණමකට අප කිසිසේත් ම කැමති විය යුතු නැත.

ලොව පහළ වී වදහළ මහා ප්‍රඥා ප්‍රදීපය වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙත් සිත අරමුණු කොටගෙන ‘සෙත් වේවා!’ යනුවෙන් සෙත් පැතූ පමණින් බොහෝ කාලයක් පුරා විශාලා මහනුවර පීඩාවට පත් කළ තුන්බිය දුරු වී ගියේ ය. උන්වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිරිසිඳ දකිමින් චතුරාර්ය සත්‍යය නම් වූ දහම් සිහනද නගද්දී දෙව්මිනිස් ලෝකයා ඒ සත්‍ය වචනය ඉදිරියේ දැමුනු නිවුනු සිතැත්තෝ බවට පත් වූහ. සම්බුදුරජාණන් වහන්සේ ගම් නියම්ගම් ජනපද සිසාරා පා ගමනින් ම වැඩම කරමින් තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මයට අනුව ම තම ජීවිතය ගත කරමින් ධර්මදායාද ලැබ දෙද්දී සැදැහැ සිතින් දන් පිඬක් පමණකුදු පිදූවෝ පවා සුගතිගාමී වූහ. ලෝක සත්වයා තුළ ගුණදහම් උපදවාලූ තථාගතයන් වහන්සේ ඒ ගුණධර්මයන්හි පරිපූර්ණ ජ්‍යේෂ්ඨත්වය ද දරා වැඩ වෙසෙමින් යහපතෙහි හික්මෙන ලෝකයා තුළ යහපත ම විපුල බවට පත් කළ මහා ගුණ නිධානයක් ම වූ සේක. අප ආදරයෙන් සරණ ගියේ තමන් වහන්සේ තුළ පිහිටියා ම වූ ගුණ මහත්වයෙන් ලෝකය සුවපත් කොට වදහළ ඒ විශාරද ගුණ මුහුදාණන් වහන්සේ ය…!

එවන් පරම ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘත්වයක් පිළිගත් අප ද කැමති විය යුත්තේ අප තුළත්, අන් අය තුළත් යහපත සැලසෙන පරිද්දෙන් අපගේ සිත කය වචනය හසුරුවාලීමට ය. ඒ සඳහා තිබෙන්නේ ද සත්පුරුෂ ප්‍රතිපදාවකි. කයින් ක්‍රියා කරන්නට ද වචනයෙන් කථා කරන්නට ද සිතින් සිතන්නට ද පෙර මේ කරන, කියන, සිතන දෙය තමාටත්, අන් අයටත් යන දෙපසට ම යහපත පිණිස වන්නේ ද අර්ථය පිණිස වන්නේ ද කියා පූර්ව කෘත්‍යයන් සිදු කරන ඒ සත්පුරුෂ ප්‍රතිපදාව අපට කියා දුන්නේ ද සම්බුදුරජාණන් වහන්සේ ය. යහපත උදාකර ගත් සත්පුරුෂ ජනයා පිළිපන්නේ ද ඒ ප්‍රතිපදාවේ ය.

සිත කය වචනය යනු ඉක්මන් වෙමින් හැසිරවිය යුතු දේවල් නොවේ; පරිස්සමෙන් කල්පනාවෙන් – ඒ පිළිබඳ ව වීරියෙන් හැසිරවිය යුතු දේවල් ය. පරිස්සමත්, කල්පනාවත්, වීරියත් යනු සම්මා දිට්ඨියත්, සම්මා සතියත්, සම්මා වායාමයත් මුල් කොටගත් නිවන් ප්‍රතිපදාවයි. එතුළ හික්මීම පිණිස ඔබ ද වගකීම් සහගත වෙත්වා!