නිව්ටන්ලාට හා විල්සන්ලාට අයත් ඉඩම් කැබැල්ලේ වැට මායිමේ පිහිටි ‘නේත්‍රප්පලම්’ කෙසෙල් පඳුර වැවෙනුයෙ බලාගෙන ඉද්දී වගේ ය. මවුගස පිරිවරා පැළ තුන හතරක් තේජාන්විතව නැගී සිටියි. පුදුමය වනුයේ මේ කෙසෙල් පඳුර කිසිවකු විසින් හෝ ඉන්දවන ලද එකක් නොවීම ය. හට ගැනුමත් ඉබේ ම වගේ ය.

විල්සන්ලා, නිව්ටන්ලා තම තමන්ගේ මිනිසුන් ය. දුර ඈතින් අළු ගසා බසා දා නැගී සිටින නෑකමක් ද වෙයි. නෑකමට වඩා දෙගොල්ලන් අතර ඇත්තේ ඕනෑකම ය. කෙසෙල් පඳුරට ඔබ්බෙන් දෙගොල්ලන්ගේ ඉඩම් කැබලි වෙන් කරන කටු කම්බි වැට ළඳු කැළෑ පීරමින් දිව යයි.

නිව්ටන්ගේ බිරිඳ මේබල් සහ විල්සන්ගේ බිරිඳ ඇග්නස් ද කිරි පැණි වගේ ය. කන්නේ බොන්නේ ද උයාපිහා ගත්ත දෑ හුවමාරු කරගෙන ය.

පොහොනියට වැවෙන නේත්‍රාපලම් කෙසෙල් පඳුර සිරියාවන්ත යැයි මේබල්ට සිතෙයි.

කටුකම්බි වැට දෙපැත්තේ සිට මේබල් සමග දෙතිස් කතාවට වැටෙන ඇග්නස්ගේ දෙනෙත විඩෙන් විඩේ දිව යන්නේ කෙසෙල් පඳුර වෙතට ය. එනිසා මේබල්ගේ හිතට ද හරි මදි ය. ඇග්නස් වනාහී ඇස්වහ කටවහකාරියක් යැයි කලකට ඉහත නිව්ටන් පැවසූ බව මේබල්ට මතක ය. බැරිවෙලාවත් කෙසෙල් පඳුර අරබයා ඔලොක්කු කතාවක් කියවුණොත් කටවහ වැදී එය නැති භංගස්ථාන වීමට ද බැරි නැත.

“ඇහුණ ද මේ නංගියේ, අපේ ගෙදර බල කරවල මාලුවක් ඉව්වා. මෙන්න උඹලගෙ පංගුව.”

“අනේ පින්සිද්ද වෙයි, කටට රහට කරවල කෑල්ලක් කාපු දවසක් මතක නෑ.” ඇග්නස් පිරිනැමූ බල කරවල මාලුව මේබල් පිළිගත්තේ දෝතින් ම ය.

“අපේ විල්සන් අයියා කිව්වා අර පඳුරෙන් කෙසෙල් පැළයක් ඉල්ලා ගන්ට ඕනෑ කියලා.” තවදුරටත් අල්ලපු වත්තෙ එවුන්ගේ කෙසෙල් පඳුර දෙස බලා සිටිනු බැරි තැන ඇය කීවා ය.

එළදෙන හැරෙනුයේ කෙසෙල් පැළය කෑමට බව තේරුම් ගැනීමට මේබල්ට වැඩි වේලාවක් ගියේ නැත.

“නිව්ටන් නම් කිව්වා මේ පඳුරේ හැදිලා තියෙන පැළ ටික ගලවල වත්තේ තැන් තැන්වලින් හිටවන කතාවක්. අද හෙටම වළවලුත් කපයි.”

“නෑ නගෝ මං ඉල්ලුවේ එක පැළයයි.

විල්සන් අයියා කැමැත්තෙන් ඉන්නෙ මේ වාගේ කෙසෙල් පඳුරක් අපේ වත්තෙත් වවාගන්න.”

“බලමුකෝ.

අරයගෙනුන් අහල.” මේබල් කිව්වේ ඕනවට එපාවට මෙනි. ඇග්නස්ගේ මුහුණ කළු උනේ බලාගෙන ඉද්දී වගේ ය.

‘දෙන්න බෑ කියලා කෙළින් ම කීවා නම් ඉවරනේ. මේකිට අපිට වඩා කෙසෙල් පැළේ ලොකු උනා.’ අමනාපයෙන් යුතුව ඇග්නස් සිතුවා ය. දෙගොල්ල අතර තිබූ ඇයිහොඳයිකමේ තරමට නම් කෙසෙල් පඳුර ම උනත් ගලවා දෙතැයි ඇග්නස් සිතා සිටියත් ඒ සිතිවිල්ල දැන් පුස්සක් වී ඇත.

“හ්ම්… හ්ම්… මං යනවා ගෙදර… දැන් විල්සන් අයියාත් ගෙදර එන වෙලාව…” බවලතුන් දෙපලගේ කතාව එදින කෙටියෙන් නිමාවට පත් විය. හිතේ හටගත් නුරුස්නාවෙන් පැහි පැහී ඇග්නස් අඩියට දෙකට නිවසට ගියා ය. පාපැදියෙන් හන්දියට ගිහින් සිටි නිව්ටන් ගෙදර ආවේ මේ වෙලාවේ ය. “අනේ බලන්නකෝ එහා ගෙදර එකී අපේ කෙහෙල් පඳුරේ පැළයක් ඉල්ලුවානේ. මට තරහේ බැරුවා.”

නිව්ටන් පාපැදියෙන් බැසීමටත් පෙර නහයෙන් අඬාගෙන දිව ආ මේබල් කීවා ය.

“ඔන්න ඔහේ පැළයක් දුන්නාට මක් වෙනව ද.

ඕක වැට මායිමේ ඇති පඳුර කොට… ඇරත් අපි ඉන්දපු එකකුත් නෙමෙයිනේ…” “හරි කතාවක්නෙ ඒක. වැට මායිමේ තිබුණත් පඳුර හැදිලා තියෙන්නේ අපේ වත්තෙ නේද? මෙයාට ඕක තේරුම් ගන්න බැරි ද. මම නං දෙන්නෑ ඕකුන්ට කෙහෙල් පැළයක්.”

නිව්ටන්ගේ බුරුල මේබල් ගණන් ගත්තෙ නිවටකමක් ලෙස ය.

‘උලව් කෙහෙල් පැළයක් නිසා මේ යෝධි නිකන නිස්කාරණේ අල්ලපු වැටේ එකාලත් එක්ක නොහොඳ නෝක්කාඩු වෙන්නයි යන්නේ.’

නිව්ටන් සිතුවේ ය. කෙසෙල් පැළයක් ඇග්නස්ලට ගලවා දී දෙගොල්ලන් අතර හොඳ හිත දිගට ම රඳවා ගැනීමට නිව්ටන් කැමති ය.. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මේබල් ළඟ ය. මොන දෙයියාන්නාන්සේ ඇවිත් කිව්වත් ඇය ගන්නා ලද තීරණයක්. වෙනස් කරන්නේ නැත. එම හිතුවක්කාරකම ඇගේ උපන් ගතියකි.

“ඇග්නස්… ඇග්නෝස්…”

“අනේ අම්මාපල්ලා මේ වාහේ අදත් බීගෙන ඇවිත්…” ඇග්නස් තරහින් පිපිරෙමින් සැමියා වෙත ගියා ය. “අනුමානයක් නෑ අද පොල් ලී පළපු සල්ලි හම්බෙන්න ඇති.” විල්සන් කට පුරා සිනාසෙමින් ඇග්නස් දෙස බලා සිටියේ ය.

රතු කට්ට පැන්න කල ඕනෑ එකටයි එපා එකටයි හෙතෙම සිනාසෙන බව ඇග්නස්…දන්නී ය.

“උඹ තරහද ඇගියෝ… අද මං ටිකක් පානය කෙරුවා. ඈ බං මොකද උඹ අද මූණ කොරහක් කරගෙන…?”

“නෑ අද මම මේබල්ගෙන් නේත්‍රාපලම් පැළයක් ඉල්ලුවා මේ බොන්ඩි කැමති වුණේ නැහැනේ අපිට පැළයක් දෙන්ට. මට තරහේ බෑ..”

‘චා… චා… ඒක නම් වස වැරැද්දක්.’ විල්සන්ට සිතුණේ ය. නිව්ටන් මෙන් ඔහු නිහඬ ගතිගුණ ඇති තැන්පත් පුද්ගලයකු නොවේ. ඔහු සැණෙකින් කෝපයට පත් වෙයි. අරක්කු ටිකක් බී ගත් කල නාහට අහන්නේ නැත…

කාලයාගේ ඇවෑමෙන් මේබල්ලාගේ සහ ඇග්නස්ලාගේ නොහොඳ නෝක්කාඩු වඩා වර්ධනය වීමට හේතුපාදක වූ තවත් කරුණක් කෙසෙල් පඳුර තුළින් ඉස්මතු විය. මේබල්ලාගේ ගෙවත්ත මායිමේ පිහිටි නේත්‍රපලම් පඳුර පීදුනේ ඇග්නස්ලාගේ ගෙවත්ත දෙසට නැඹුරු වෙමිනි. කෙසෙල් පඳුර මේබල්ලගේ වුව ද කෙසෙල්මුව හිස නැමුනේ ඇග්නස්ලා වෙතට ය. “මං කියන්න ද ඒයි! අපි කෙහෙල් ගහ අපේ වත්තට ඇදලා බඳිමු ද?… නැත්නම් ඕක අරකිලාම අල්ල ගනියි.”

“විකාර කතා කියන්න එපා මේබල්. ඕක අදින්න ගියොත් ගහ කඩා වැටෙනවා. ඔහේට හැඳිමිටක තරංවත් මොළයක් නැති හැටි.”

තම වත්තට පක්ෂපාතී බව පෙන්වූ කෙසෙල් කැන දෙස ඇග්නස් ආශාවෙන් බලා සිටියා ය. කෙසෙල් මුලට සාත්තු සප්පායම් කිරීමට අවසරයක් නොලද තැන ඇය කෙසෙල් කැනට වතුර ඉසින්නට වන්නී ය.

“ඇහුණ ද මේබල් මේ පායන කාලයේ කැනට වතුර ඉස්සාම සරු වෙනවා කියලා විල්සන් අයියා කිව්වා.

අපේ පැත්තට නැමුන කැනට අපි නොසලකා කොහොමද නේද?”

“ඒක යස කතාවක්නෙ ඇග්නස්. උඹලගේ පැත්තට කැන නැමුනා වුණාට කඳේ මුල තියෙන්නේ අපේ පැත්තේ නේහ්…”

“හරි හරි උඹලගෙ ඉඩමේ කෙහෙල් මුල උඹලා තියාගනිල්ලා. අපිට මොකෝ. හැබැයි කැන වැටුනේ අපේ පැත්තට. ඒක අයිති අපට.”

ඉන්පසු කෙළවරක් නැති වාදවිවාද මතවාද ඇති පදං දෙගොල්ලො අතරේ හුවමාරු වන්නට විය. කෙසෙල් පඳුර මූලික කොටගත් තරහව දැඩි වෛරයකට පෙරළෙන්නට ගත වුණේ ඉතාම සුළු කාලයකි. පැණි වරකා ගහට හෙණ වැදුණ ලෙසට ය. එක්තරා මැදියම් රැයක කෙසෙල් පඳුර දෙසින් අමුතු සද්දයක් ඇසිණි. කෑලි බැහැපු බැස්ටිය අරගත් නිව්ටන් කෙසෙල් පඳුර දෙසට දිව යන්නට විය. මේබල් ද ඔහුගේ පස්ස පාරේ වැටුණා ය. නිව්ටන්ගේ බැස්ටියේ දුබල ආලෝකයෙන් වුව ද කෙසෙල් කැන අතුරුදහන්ව ඇති බව දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. සිදුව ඇති මහා නස්පැත්තිය සිතා ගැනීමට ඔවුනට බැරි විය. ඇග්නස්ලා විසින් මේබල්ලාගේ ඔළුවට අත සෝදා ඇත.

ගලා හැලෙන දිය ධාරා සේ දන්නා කියන සියලුම පරුෂ වචන හා දෝෂාරෝපණ මේබල්ගෙ මුවින් ඇද හැළෙන්නට විය. නිව්ටන් ඇගේ හැකර කට නවතාලීමට හැම වෙරවීරියක් ගත්ත ද එය නිෂ්ඵල කාර්යයක් විය. කපා ගත් කෙසෙල් කැන තැබූ විල්සන් ඉන්පසු පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අභිප්‍රායෙන් යුතුව සැදී පැහැදී සිටියේ ය. දෙසවනටම යවුලකින් අණින්නාක් මෙන් ඇහුණ මේබල්ලගේ අසැබි වදන් ඉවසා දරා ගැනීමේ ශක්තිය ක්‍රම ක්‍රමයෙන් විල්සන් වෙතින් ගිලිහෙන්නට විය. ඇග්නස් විල්සන්ගේ කෝපය පහව යන්නට නොදී තව තවත් මුවහත් කරන්නට වූවා ය.

“අනේ අම්මපා ඔය බොණ්ඩිගේ හැකර කට නවත්තන්න පුළුවන් ජගතෙක් නැති වුණ හැටි. මට හිතෙනවා කෙසෙල් කැන උස්සන් ගිහිං ඕකිගේ හොම්බට ඇණලා එන්න.”
කෝපයෙන් වියරු වැටුණු විල්සන් පිහිය අතට ගත්තේ ය. අසැබි වදන් තවතවත් තීව්‍ර වුණා විනා අඩුවක් දැක්කේ නැත. මේබල් වියරුවෙන් වගේ නොනවත්වාම විල්සන්ලට දෙස් දෙවොල් තැබුවාය. එය වළකාලීමට බැරි තැන ‘ඕනෑ කුදයක් ගහ ගත්තුදෙන්’ යැයි සිතූ නිව්ටන් නිවසෙහි පිල් කන්ද මත වාඩි වී බලාගත් අත බලාගෙන සිටියේ ය.

රුදුරු වන සතෙකු නිසොල්මනේ ගොදුර වෙත කුරුමානම් අල්ලන්නේ යම් සේ ද මන්නා පිහිය මිට මොළවාගත් විල්සන් තිමිර පටල අතරින් මේබල් වෙත ඇදෙමින් සිටියේ ය. නමුදු එවැන්නක් මේබල් හෝ නිව්ටන් දැන සිටියේ නැත. මන්දාලෝකය මුදාහල සඳ පළුව ගනඳුරු වලා පටලයට මුවා වී ඉවත බලා සිටින්නට ඇත. මේබල්ගෙ පරුෂ වචන පරයා එක්විටම ඇසුණ මරළතෝනියෙන් නිව්ටන් මෙන් ම ඇග්නස් ද තැති ගත්හ. පිහිපාර කිඳා බැස තිබුණේ මේබල්ගේ ළය මඬල හරහා ය. සියල්ල සමාප්ත වීමට ගත වුණේ අසුරු සැණකි. තම තමන්ගේ නිවාසයන්හි රැඳෙමින් අසල්වාසීන් මෙම ගිනි විජ්ජුම්බරය දෙස නොසැලී බලා සිටිය ද මෙවන් විපතක් සිදුවෙතැයි කිසිවෙකුත් නොසිතූහ. ගාලගෝට්ටිය හා විලාපය පිරික්සීමට අහල පහළ සිටියවුන් පෙළගැසෙන්නට වූයේ ඉන්පසුව ය. මේබල් රෝහල් ගත කරන විටත් අවසන් හුස්ම පොද පිට කර හමාර ය. අරුණාලෝකය පැතිරීමටත් පෙර විල්සන් පොලිස් අත්අඩංගුවට පත් විය. මේබල්ගේ අවසන් කටයුතු සිදු වූයේ ඉකුත් දින දෙකකට පසුව ඉතා චාම් ලෙස ය. සියලු විනාශයන්ට හේතුපාදක වූ නේත්‍රාපලම් කෙසෙල් කැන ගිනි අව්වට කුණුවී ගෙඩි හැලී වියැළෙමින් පැවතියේ ය. කවුරුත් ඒ දෙස බැලුවේ කම්මුලෙහි අත ගසාගෙන “අනේ අපොයි” කියලා ය. මේබල්ගේ මරණයෙන් පසුව නිව්ටන්ලාගේ නිවස බොහෝවිට තිබුණේ වසා දමලා ය. ඇතැම් දිනක රාත්‍රියට ලාම්පු තෙල් කුප්පියක් දැල්වුණි. ඈතට පෙනුනෙ කනාමැදිරිය එළියක් ලෙසට ය. දෙතුන් මසකට පසුව එළැඹි එක්තරා හවසක දර සොයා ගනු පිණිස ඇග්නස් මේබල්ලාගේ නිවස දෙසට ගියා ය. නිව්ටන් ගෙදර සිටියේ නැත. නිවස පාළුවට ගිහින් මිදුල රොඩු කුණු වැටී හැඩි වෙලා ය. කීප දොහකින් අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කර නොතිබුණි. නිවසෙහි වසා තිබූ දොර පියන හැර කිමෝනාවෙන් සැරසුණු මේබල් කට පුරා සිනාසෙමින් තමා වෙත දිව එන්නාක් මෙන් ඈට පෙනෙන්නට විය.

ඉරණමට සරදම් කරමින් කෙසෙල් පඳුර වෙත ඇගේ නෙත ගැටුණේ හදිසියෙන් වගේ ය. කෙසෙල් පඳුරෙහි කොළ කහ පැහැගැන්වී කේඩෑරි වී පරඬැලක් මෙන් මැලවී වඳ බැස තිබෙන අයුරු ඇග්නස්ට දැකගත හැකි විය.

සුමතිපාල ජෝතිපාල.