ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ (ව්‍ය. ව. 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.

ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ. සලාවත ජයපාල මැතිඳුගේ ආරාධනය පිළිගත් වෑත්තෑවේ මහා හිමියෝ කිවියර බසින් මුනිඳු සිරිතක් කියනු පිණිස තෝරාගනු ලැබූයේ පන්සිය පනස් ජාතකයේ දුක නිපාතයේ සිගාල වර්ගයට අයත් වූ 243 වැනි ගුත්තිල ජාතක කථාව යි. ගුත්තිල ජාතක කාව්‍යය යනුවෙන් හඳුන්වනු ලබන මෙම කාව්‍යය සඳහා ගත්කරු වෑත්තෑවේ මහා හිමියන් විසින් තබන ලැබූ විශේෂ නාමයක් නො වී ය. කුස ජාතකය ඇසුරින් දෙවන පැරකුම්බා රජතුමා විසින් රචනා කරනු ලැබූ මහා කාව්‍යය කව්සිළුමිණ යනුවෙන් හැඳින්වී ය. සත්තුභස්ත ජාතකය ඇසුරින් තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් කාව්‍යශේඛරය රචනා කළහ. නමුත් ගුත්තිල කාව්‍යය ඒ නමින් ම හඳුන්වා තිබේ.

සලාවත ජයපාල මැතිඳු කෝට්ටේ හයවන පැරකුම්බා රජතුමාගේ අගමැතිවරයා ව සිටි බව සඳහන් ය. එතුමා ලියන්නන් ලවා දහම් පොත්පත් රචනා කරවූයේ ‘ස්වර්ග මෝක්ෂ සම්පත් විඳිමි’ යි ද ‘අපා බියට පත් නොවේවා’ යි ප්‍රාර්ථනා කරමින් ය.

“විඳිමි’යි සග සැපත්
නොවෙමියි අවා බියපත්
කෙරෙමියි මොක් සැපත්
පතා ලියැවූ දහම් පොත් පත්”

ජයපාල මැතිඳුන්ගේ ආරාධනය පිළිගත් වෑත්තෑවේ හිමියන්ගේ ද නිමිත්තක් විය. එනම්, මොහොතක් පමණක්වත් සිහි කළවුන්ට ස්වර්ග සම්පත්තිය ගෙන දෙන ආකාරයෙන් බුදුරජුන්ගේ බෝසත් සිරිතක් පද්‍යයෙන් ගෙන හැර දැක්වීම ය.

“දෙන සග සැප තැනක්
සිහිකළවුනට මොහොතක්
මොක්පුර මහ වතක්
කියමි මුනි රජුගෙ පෙර සිරිතක්”

වෑත්තෑවේ හිමියන් තුළ පෞද්ගලික නිමිත්තක් ද පැවති බව ජනශ්‍රැතියෙහි පැවසේ. තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි සමඟ ඇති වූ මතභේදයක දී තම ගුරු ද්‍රෝහී වීමේ විපාක දන්නා බැවින් තමන් ගුරු ද්‍රෝහියෙකු නොවන බව ඇඟවීම පිණිස ගුත්තිල ජාතකය මෙම කාව්‍යය සඳහා තෝරාගෙන ඇති බව පැවසේ. ජනශ්‍රැතියට අනුව වෑත්තෑවේ හිමියන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ශිෂ්‍යයෙකි. ගුරුන් කෙරෙහි පැවති අමනාපයක් හේතු කොටගෙන දිවයින හැර යන බව ගුරුන්ට දන්වනු පිණිස ‘සිය පින්’ යන වායු ගණයෙන් ගුත්තිල කාව්‍යය ඇරඹූ බව ජනශ්‍රැතියෙන් පැවසේ.

තමන් අග්‍රගණ්‍ය පුද්ගලයෙකු නොවන බව හඟවන ගුත්තිල කවියා ඉතා නිහතමානී කවියෙකි. පෙර මහා කිවිවරුන් හා සමාන කරන කල්හි අල්ප ඥාණයෙකු වූ තමන් විසින් ද එවන් මුනි බණ නැණ පමණින් කීමෙන් කවර වරදක් වේදැයි අසන්නේ මෙසේ ය.

“පෙර මඟ කිවි වරණ
පැවසූ තිලෝගුරු බණ
මම මගෙ නැණ පමණ
කීම වරදක් වේ ද නිකරුණ”

ගුත්තිල කාව්‍ය විවිධ විරිතින් බැඳුන එළිසම කවි 511කින් සමන්විත වේ. එහි පද්‍ය ආකෘතිය විවිධ ය. පළමු කවියේ සිට 115 වන කාව්‍ය දක්වා කෙටි එළිසම ගී විරිතෙන් යුක්ත ය.

“ඉන් මුනිඳු සිරිතින්
රැඳිම බසසා සතතින්
නුවණැතියෙණි බැතින්
බිබී තුටුවව් සවන් දෝතින්”

මේ සිව්පද ගී විරිත මගින් ගුත්තිල කථාව වේගයෙන් ගලාගෙන යයි. උදේනි පුර සැණකෙළි වර්ණනය ඉදිරිපත් කිරීමේ දී කවියා ඊට උචිත ලෙස කවි විරිත වෙනස් කරයි.

“සදවා සුදු වැලි පිවිතුරු
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹතුරු
තබවා පුන්කුඹු විසිතුරු”

ගුත්තිල, මූසිල වීණා වාදනයට අනුරූපී වන උචිත විරිත මෙසේ වෙනස් වේ.

“කෙළිමින් තැන තැන ලන්දූ
දෙන මෙන් කන අම බින්දූ
කියමින් සොඳ ගී සින්දූ
ඇසුවන් සිත දුක් බින්දූ”

සුරඟන රැඟුම සිව්මත් යතියකින් යුතු සොළොස් මත් විරිතකින් බැඳුණේ මෙලෙසිනි.

“පටන් සුරිඳු දුන් උපදෙස් සිහිකොට
ඉටන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට
තුටන් වඩන සුර අඟනෝ බැස සිට
පටන් ගත්තු නවසියයක් නැටුමට”

සුරඟන රැඟුමට එක්වන සිව්පද පහ ම සිංහල සිව්පදයේ අපූර්ව රටාවක් මවන්නේ සුරඟන රැඟුමට ඉතා උචිත ආකාරයෙනි. එය සූවිසිමත් විරිතෙන් බැඳී ඇත.

“පුන් මදාරා මල් දමින් මුදු – දිගු සුනිල වරලස ගොතා
මන්මදා කිතුලිය ලෙසින් – උරතුර සරා දිලි මුතුලතා
මන්මදා වන මිණිමෙවුල් නද – වෙණ නදින් එක්කොට ඉතා
උන් එදා දුන් රඟ දුටොත් තව – සක් සැපත් කවරෙක් පතා”

මෙම සිව්පද රටාව මුල මැද අග එළිසමයෙන් ද අපූර්ව වර්ණ රටාවකින් ද සමන්විත නැටුම් සිව්පද ගෙත්තමකි. ගුත්තිල ඇදුරුතුමාගේ දෙව්පුර ගමන දැක්වෙන්නේ සන්දේශ කවියන් ප්‍රිය කළ සමුද්‍ර ඝෝෂ විරිතෙනි.

“බොල්පිනි බිඳු බැමීය අතු නැමීය
මල් මුවරද තෙමීය නල හැමීය
පුල් තඹරෙහි බිමීය බිඟු බිමීය
මල් සැර සැවි දැමීය රිය හිමීය”

ගුත්තිල ඇදුරුතුමාගේ දෙව්ලොව දම් දෙසුම පිළිබඳ සිව්පද රටාව ලෝවැඩ සඟරාවේ එන සිව්පද රටාව හා ධර්ම දේශනා ශෛලියට සමාන වේ.

“එක් අඟනක් සිවුරට දුන් වතින් සොඳ
දක්වන මෙන් පින් පල සුරඟනන් මැද
සක් දෙවිඳුගෙ මන් පිනවන රුසිරු ලඳ
දුක් නොවිඳිනා පින්මය කළ මනා සොඳ”

සිංහල කවි පොත් අතුරින් ගුත්තිල කාව්‍යය තරම් ජනසම්භාව්‍ය වෙනත් කවි පොතක් නැත්තේ යැයි කිව යුතු ය. ඊට හේතුව එය කාව්‍ය රසයෙන් අනූන වන අතර වැඩි දෙනාට කියවා තේරුම් ගැනීමට පහසු වීම යි. කාව්‍ය රචනයට පිවිස සිටින ප්‍රවීණයන් මෙන් ම ආධුනිකයන් ද කාව්‍ය රචනය සඳහා තම ශිල්පීය ඤාණය දියුණුකර ගනු පිණිස නිතර නිතර ඇසුරු කළ යුතු අත් පොතක් ලෙස ගුත්තිල කාව්‍යය හැඳින්විය හැකි ය. කවි මඟ විවිධත්වයට හා අපූර්වත්වයට පත් වෙයි. ගුත්තිලය ඒ විවිධත්වයේ සහ අපූර්වත්වයේ ප්‍රතිමූර්තිය යි.

ගුත්තිල කාව්‍යයේ වර්ණනා ඇතුළත් වී ඇත්තේ අවශ්‍ය තැනට උචිත වන අයුරිනි. ඒ වැනුම් අතර,

1. උදේනිපුර සැණකෙළිය. 2. වාද මණ්ඩප නිර්මාණය 3. බරණැස් රජු වාද මණ්ඩපයට පැමිණීම 4. වීණා වාදනය ඇසීම සඳහා පැමිණීම 5. ගුත්තිල ඇදුරුතුමා වාද මණ්ඩපයට පැමිණීම 6. වීණා වාදනයෙන් සතුන් පවා වශී වීම 7. සුරඟන රැඟුම 8. ගුත්තිල ඇදුරුතුමාගේ දෙව්ලොව ගමන 9. දෙව්ලොව විසිතුරු වැනුම සහ 10. ගුත්තිල ඇදුරුතුමා දෙව්ලොව දහම් දෙසීම ආදී අවස්ථා කවියා ඉදිරිපත් කරන්නේ වර්ණනා මුඛයෙන් උචිත ජංගම ස්වරූපයකිනි. මනසේ සිත්තමක් ඇඳෙන අයුරිනි. මේ වර්ණනාත්මක අවස්ථාවන් සඳහා යොදාගන්නා පද්‍ය රටාව, විරිත, ලය, රිද්මය, උපමා අලංකාර, අර්ථ අලංකාර, ශබ්දාලංකාර හා භාෂා ව්‍යවහාරය පිළිබඳ විමර්ශනාත්මක වෙමින් ගුත්තිල කාව්‍ය කියවිය යුතු වේ. හඬ නඟා කියවිය යුතු වේ.

සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ.