මේ ලෝකයේ ජීවත් වන සියලු ම සත්වයෝ සැපයට කැමැතියි. ඒ වගේ ම ලස්සනට, සුන්දර ව, සුව සේ ජීවත් වෙන්නටත් කැමැතියි. ඒ ස්වභාවය අපි හැමෝගේම සිතේ තිබෙන දෙයක්. ලස්සන රූපයක් ලැබුණ කෙනා කැමැතියි තව තවත් ලස්සන වෙන්න. බොහෝ වියදම්, කැපකිරීම් කරලා ලස්සන වෙන්න මහන්සි ගන්නවා. ඒ වගේ ම රූපය ලස්සන නැති කෙනත් වෙහෙසෙන්නේ ඒ රූපය ගැන හිතමින්, රූපය ලස්සන කර ගන්නයි. ඒ අතරේ සිතත් ලස්සන කර ගන්නට උත්සාහ කරන කාන්තාවන් අප අතර නැතිවාම නො වේ. ඒ පිළිබඳ ව අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

අපි දන්නවා අද සමාජයේ බොහෝ දියණිවරු, කාන්තාවන් තමන්ගේ වැටුපෙන් භාගයක් ම රූපය ලස්සන කර ගැනීමට අවශ්‍ය දේ මිල දී ගැනීමට වැය කරනවා. නමුත් මේ සෑම දෙයක් ම කෙසේ කරන්න හැදුවත්, බාහිරෙන් කෙසේ ලස්සන වුවත් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා කියවා දැනගෙන නැත්නම්, ඒ සුන්දරත්වයෙන් ප්‍රයෝජනයක් නැහැ. රූපය ලස්සන වේවා, කැත වේවා ලස්සන විය යුත්තේ අපගේ සිත යි. සිත ලස්සන වීම යි මේ ශාසන ප්‍රතිපදාව තුළ වටින්නේ. ඒ සඳහා බුද්ධ ශාසනයේ තිබෙන හොඳ ම උදාහරණය තමයි මාගන්දියා. ඇයට ඉතා ලස්සන, මනස්කාන්ත රූපයක් තිබුණා. ඒ රූපය නිසා ම ඇය අනන්ත අප්‍රමාණ දුක් ඇතිවන ආකාරයට අකුසල් සිදු කර ගත්තා. ඒ ඇය රූපයෙන් මත් වූ නිසයි. ඇයගේ සසරේ පිනකට සුරූපි සිරුරක් ලැබුණත්, ලස්සන සිතක් ලැබුණේ නැහැ. සිත ලස්සන කර ගන්නට ඇය දැනගෙන සිටියෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මුණගැසුනත් ඇයට එයින් ප්‍රයෝජනයක් ගන්නට බැරි වුණේ සිත ලස්සන නැති නිසයි.

යම් දියණියක් වේවා, කාන්තාවක් වේවා, මවක් වේවා පුළුවන් නම් මේ ලැබුණ රූපයෙන් මත් නො වී, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තුළින් ලස්සන සිතක් ඇතිකර ගන්න එයයි වටින්නේ. අපි දන්නවා රූපය ලස්සන වුණාට සුගතිය හිමි වන්නේ නැහැ. නමුත් හිත ලස්සන වුණොත් අපට සුගතිය හිමි වෙනවා. කෙනෙක් රූපයෙන් ලස්සන නැති වෙන්න පුළුවන්. රූපයට පිළිගැනීමක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඇයට සුන්දර හදවතක් තිබෙනවා නම් ඇයව සුගති ලෝකවල සිටින දෙවිවරු පවා හඳුනාගන්නවා. ඒ නිසා යම් කාන්තාවකට පිනකට ලස්සන රූපයක් ලැබුණොත් ඇය සිතත් ධර්මය තුළ රඳවා ගන්න ඕන. යම් දියණියකට, කාන්තාවකට පුළුවන් නම් සිතට එන රාග, ද්වේෂ, මෝහ යටපත් කරලා සුන්දර සිතක් ඇතිකර ගන්න, ඇය භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය තැනැත්තියක්. බුද්ධ දේශනා පුරා ම අපට කියා දී තිබෙන්නේ සිත පිරිසිදු කර ගන්නා ආකාරය යි. “පින්වත් මහණෙනි, මේ සිත පිරිසිදු කර ගන්න. සිත කිලිටි වන්නේ බාහිරින් එන අකුසල් නිසා.” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ වගේ ම ලස්සන දේශනාවක් තිබෙනවා ‘තිථි සූත්‍රය’ නමින්. සුන්දර ව ජීවත් වෙන්න කැමැති කෙනෙක් ඒ දේශනාව තමන්ට ගළපා ගන්නවා නම් මෙලොව පරලොව ජය ගන්න පුළුවන්.

ඒ දේශනාවේ මෙහෙමයි විස්තර වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, ලස්සනට ජීවත් වෙන්න කැමැති ලස්සන දුවෙක් හෝ පුතෙක් සිටිනවා. ඇය හෝ ඔහු ළඟ නිතර ම කැඩපතක් තිබෙනවා. නිතර ඒ කෙනා කැඩපත ඉදිරිපසට යනවා. රූපය සරසලා තමන් ලස්සන ද කියා නිතර බලනවා.” භාග්‍යවතුන් වහන්සේ වදාළා මෙසේ කැඩපත ඉදිරිපසට ගොස් බලන විට තමා ව පේනවා. තමන්ගේ මුහුණේ යම් අඩුපාඩුවක් තිබෙනවා නම්, කෙස් ටික අවුල් වෙලා නම් කැඩපතින් පේනවා. කැඩපත ඉදිරියේ හැරි හැරී බලද්දී ඒ කෙනාට තමාගේ රූප ස්වභාවය හොඳින් පේනවා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා එලෙස කැඩපතක් ඉදිරිපිටට ගොස් තරුණ දුවෙක් හෝ පුතෙක් තමන්ගේ රූපය දෙස බලන විට ඒ රූපය ලස්සනට පෙනෙනවා නම් ඒක එයාට ලාභයක් ම යි. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතයෙත් තිබිය යුතු දහම් කැඩපතක් ගැනත්. ඒ දහම් කැඩපත යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට ළංකර ගත්තොත් ජීවිතය ගැන හොඳට ප්‍රඥාවෙන් විමස විමසා බලන්න පුළුවන්. එහෙම නම් ඒ දහම් කැඩපත යම් කෙනෙක්ගේ අතට ලැබුණොත් ඔහු හෝ ඇය රූපය ලස්සන කර ගන්නට මුළු ජීවිත කාලය ම වැය කරන්නේ නැහැ. එයා කැමැති සතර මහා ධාතුන්ගෙන් ලැබුණ මේ රූපය ලස්සන කරනවාට වඩා ධර්මයෙන් තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්න. මේ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනෙක් භාගවතුන් වහන්සේගේ ධර්මය තුළින් හිත ලස්සන කර ගන්නට කැමැති නම් මේ දේ අනුගමනය කරන්න කියලා.

සාමාන්‍යයෙන් ස්ත්‍රී අපගේ ජීවිතය අකුසල් බහුල ජීවිතයක්. ස්වභාවයෙන් ම ස්ත්‍රිය අහංකාරයි. ස්වභාවයෙන් ද්වේෂයෙන් යුක්තයි. ඒ තමන්ගේ සසර ගමනේ කළ කුසල් අකුසල් අනුවයි. ඒ වගේ හිතක් තිබෙන කෙනෙක් මේ බුද්ධ දේශනාව ගළපාගෙන දහම් කැඩපත තුළින් තමන් දෙස බලන්න පටන් ගත්තොත් ඇය ජීවිතේ දිනනවා. ඇය තමාගෙන් සොයා බලනවා මම හැම වෙලාවේ ම ලෝභයෙන් ද වාසය කරන්නේ, නැත්නම් ලෝභයෙන් තොර ව ද කියා විමස විමසා බලනවා. ඒ වගේ ම මම නිරන්තයෙන් තරහ තුළ ද වාසය කරන්නේ. පොඩි දෙයක් මට ඉවසා ගන්න බැරි ද? හැම දෙයට ම මම තරහා සිතින් කෑ ගහනවා ද? නැත්නම් මම තරහා නැතිව, මෛත්‍රී සිතින් ද වාසය කරන්නේ කියා විමස විමසා බලන්න කියනවා. ඒ වගේ ම බලන්න ඕන මම හැම වෙලාවේ ම අලස ව, නිදිමතින් ද වාසය කරන්නේ. නැත්නම් මම නිතර නිදිමතින් තොරව ද වාසය කරන්නේ. හට ගන්නා වූ අකුසල් දුරු කරන්න මම කම්මැලි ද? නැත්නම් අකුසල් සමඟ ද මම වාසය කරන්නේ කියා බලන්න කියනවා. මගේ සිත නිතර ම විසිරිලා ද තිබෙන්නේ. නැත්නම් මම තැන්පත් වූ සිතින් වාසය කරන කෙනෙක් ද කියා දහම් කැඩපත තුළින් නිතර ම බලන්න කියනවා. මෙසේ නිතර ම තමා ගැන විමසීමෙන් බලන විට අකුසලයට බයක් ඇති වෙනවා. ඇය තේරුම් ගන්නවා මගේ හිත ලස්සන හිතක් නො වේ. රූපය කොතරම් ලස්සන වුණත් හිත ලස්සන නැත්නම් ඒ රූපයෙන් වැඩක් නැහැ. ඒ ජීවිතය හරියට ලස්සනට පෙති විහිදවා විවිධ පාටින් යුක්තව පිපෙන, එහෙත් සුවඳ නැති මලක් වගේ. සුවඳ නැති මලකට සමනලයෙක්වත් වහන්නේ නැහැ. ඒ මල තනි වෙනවා. ඒ වගේ රූපය කොතරම් ලස්සන වුවත් සිත ලස්සන නැත්නම් ඇයත් සමඟ කවුරුත් එකතු වෙන්නේ නැහැ. මිතුරු වෙන්න කැමැති නැහැ. සමාජයේ කොන් වන චරිතයක් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ඊළඟට වදාළා, මම කිලිටි සිතින් වාසය කරන් තැනත්තියක් ද? නැත්නම් මම හැම වෙලාවේ ම කායික පීඩාවකට යටත් ව ද වාසය කරන්නේ. පටන් ගත් වීර්යයක් මගේ ජීවිතයේ තිබෙනවා ද? නැත්නම් මම වීරිය අතහැර දැමු කෙනෙක් ද? කියා නිතර ම දහම් කැඩපත අරගෙන නුවණින් විමස විමසා තමන්ගේ ජීවිතය තුළින් බලන්න කියා.

යම් කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා මේ කාරණා පිළිබඳ ව විමස විමසා බලද්දී අඩුපාඩු මැනවින් හඳුනාගන්නවා. අකුසල්, වැරැදි හඳුනාගන්නවා. එවිට ඇයට හිතෙනවා ‘අනේ මමත් මගේ සිත ලස්සන කර ගන්න ඕනි’ කියලා. ඉන් පසු ව ඒ සිතට අකුසල් එන වාරයක් පාසා ඒ අකුසල් හඳුනාගෙන, ඒ අකුසල් දුරු කරන්න වෙහෙසෙනවා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන, ධර්මය කෙරෙහි විශ්වාසයෙන් ‘තවමත් මගේ සිත අඳුරක තිබෙන්නේ’ කියා තේරුම් ගන්නවා. එවිට ඇයට ආශා හිතෙනවා, මම බාහිර රූපය අලංකාර කර ගන්නවාට වඩා මහන්සියෙන් මගේ සිත ලස්සන කර ගන්නට උත්සාහ කරන්න ඕන කියා. එයට වීරියක් ඇතිකර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ඇය සිත ලස්සන කර ගන්නවා.

ඒ වගේ ම බුද්ධ දේශනා ඔස්සේ මෙසේ කියා දෙනවා. බුද්ධ දේශනා තමාට ගළපා ගනිද්දී මේ සිත නිරන්තරයෙන් ලස්සන වෙනවා. මේ දේවල් අපි අහලා කියවලා එතැනින් ඉවර කරන්නේ නැතිව අපගේ ජීවිතයට ගළපා ගන්න ඕනේ. එසේ ගළපා ගත්තොත් පමණයි එක කරුණක් හරි තේරුම් අරගෙන ලස්සන හිතක් ඇතිකර ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේ ම කෙනෙක්ගේ හිත ලස්සන වන විට රූපයත් අනිවාර්යයෙන් ම ලස්සන වෙනවා. අපි දන්නවා මෛත්‍රී සිතින් වාසය කිරීමේ ආනිශංසයක් තමයි එයා මනුස්සයන්ටත්, අමනුෂ්‍යයන්ටත්, දෙවියන්ටත් ප්‍රිය වෙනවා. ඇය වඩන ඒ ගුණය බාහිර ලෝකයට දැනෙනවා.

මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවක් නුවණින් විමස විමසා තමාගේ සිතේ ස්වභාවය ගැන මැනැවින් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අයුරින් කටයුතු කළ අපූරු චරිතයක් බුද්ධ කාලයේ දී අපට හමුවෙනවා. ඇයගේ රූපයත්, සිතත් දෙක ම ලස්සනයි. ඒ විශාඛාව. ඇයගේ තරම් ලස්සන රූපයක් අදත් කාටවත් නැහැ. ඇය කළ සැරසිලි අද කාටවත් කරන්න බැහැ. විශාඛාවට තිබුණ රන් ආභරණ අද ලෝකයේ කා ළඟවත් නැහැ. නමුත් ඒ සියල්ල පරදවා ඇගේ සිතත් ලස්සන වුණා. ඒ නිසා ම ඇය අද නිම්මාණරති සුගති ලෝකයේ ඉන්නවා. ඒ නිසා අපි සෑම කෙනෙක් ම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් තමයි අපගේ සිත ලස්සන කර ගැනීම.

තව බුද්ධ දේශනාවක දී භාග්‍යවතුන් වහන්සේ වදාළා කිලිටි හිත කිලිටි වූ වස්ත්‍රයක් වගේ කියලා. දහඩිය පැල්ලම්, කුණු ගෑවුන වස්ත්‍රයකට සායම් පොවන්නට කෙනෙක් උත්සාහ කළත් අපිරිසිදු වස්ත්‍රයට සායම් රඳන්නේ නැහැ. බබළන්නේ නැහැ. ඒ වගේ අපේ සිතේ කිලිටි තිබෙනවා නම්, කොතරම් ධර්මය ඇසුවත් අවබෝධයක් කරා යන්නේ නැහැ. ඒ නිසා මේ සිතක ඇති වන කිලිටි හඳුනාගෙන ඒ කිලිටි සෝදා දාන්න ඕන ධර්මය තුළින්. එවිට පිරිසිදු සිතක සිතිවිලිත් පිරිසිදු වෙනවා. ඒක ඒ පුද්ගලයාට ලොකු ලාභයක් වෙනවා. සුගති ලෝකයක උපතකට හේතු වෙනවා.

අද අපේ රටේ බොහෝ දියණිවරු, තරුණ මවුවරු තමන්ගේ බාහිර රූපය ගැන සතුටු වෙවී ඉන්නවා. රූපයෙන් පිට දෙයක් ඔවුන් සිතන්නේ ම නැහැ. නමුත් සිත ඇතුළේ ද්වේෂයෙන් ගිනි ගන්නවා. තරහා සිත, අහංකාරකම, එකටෙක කිරීම, අනෙක් කෙනා පරදා ලස්සන වීමේ තරගය ආදී බොහෝ අකුසල්වලින් මේ සිත ගිනි ගන්නවා. එහෙම සිතක් තිබෙන විට යහපතක් උදාකර ගන්න බැහැ.

යම් කෙනෙකුට පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ජීවිතයට ගළපා ගන්න, ඒ අවස්ථාවේ සිට ඇයට දායාද වන්නේ ධර්ම දායාදය යි. ඇය, ‘මේ අකුසල් කියන්නේ නපුරු මාර්ගයක්. එය දුරු කරන්න ඕන. මම හිත ලස්සන කර ගන්න ඕන.’ කියා සිතට නිතර ම කියනවා නම්, සිතත් සමඟ මිතුරු වෙනවා නම් ඇයගේ රූපයත් අනිවාර්යයෙන් ම ලස්සන වෙනවා. බාහිරෙන් කොතරම් ආලේප ගෑවත්, කොතරම් සැරසිලි කළත්, ලස්සන නොවන රූපය ධර්මය ගළපා ගනිද්දී ලස්සන වෙනවා. ඇගේ ඒ ලස්සන දෙව්ලොව දෙවියන්ට, මනුෂ්‍ය ලෝකයේ සිටින මනුස්සයන්ට දැනෙනවා. ඇගේ සිත යහපත් ගුණධර්මවල පිහිටා තිබෙන නිසා නිතර ම මුදිතාව, කරුණාව පෙරදැරි ව වාසය කරනවා. ‘සියලු සත්වයෝ සුවපත් වේවා’ කියන මෙත් සිතින් වාසය කරනවා. ජීවිතයට මොන තරම් ප්‍රශ්න ආවත් උපේක්ෂාවෙන් වාසය කරනවා.

මේ කරුණු කාරණා තමා තුළ ඇතිකර ගෙන යම් දියණියක් වේවා, කාන්තාවක් වේවා තමාගේ සිත ලස්සන කර ගත්තොත් ඇයට අනිවාර්යයෙන් ම ජීවිතයට ලාභයක් ලැබෙනවා. රූපය ලස්සන කර ගන්න වැය කරන කාලයෙන් කොටසක් හිත ලස්සන කර ගන්න යොදන්න. අපි මෙතරම් වියදම් කරමින් මහන්සි වෙන්නේ ඉතා සුළු කාලයකට යි. කාලයක් යද්දී කොතරම් කැමැති වුවත් මේ රූපය ලස්සනට තබා ගන්න බැහැ. නමුත් යම් කිසි කාලයක සිට හිත ලස්සන කර ගන්නට වෙහෙස වුණොත් ඒ හිත දියුණුව කරා ම යනවා. පුංචි සඳුන් පැළය මෝරද්දී මෝරද්දී සුවඳ දසත හමා යනවා. ඒ වගේ එක එක හෝ ගුණධර්මයන් දියුණු කර ගනිද්දී ලස්සන හිතක් ඇති කෙනා මුළු ලෝකයට ම ප්‍රිය වෙනවා. ලෝකයට ම සැනසීම දන් දෙනවා. එනිසා බුද්ධ දේශනා කියවා තමන්ට ගළපාගෙන තමාගේ සිතේ ඇතිවන කිලිටි හෝදා දාන්න පුළුවන් නම් ඇයට ලස්සන හිතක් ඇතිකර ගන්නට අවස්ථාව තිබෙනවා.

සටහන – නයනා නිල්මිණී