​වෙසක් පුන් සඳ…. නුඹ එදා අස්ත පර්වතයෙන් සැඟවී බලා සිටින කල අප මහ බෝසතාණෝ දීපංකර පාද මූලයෙහි විවරණ සිරි ලබන්නට ඇත. නුඹ මතකයෙහි තිබේද සුමේධ තවුසාණන් සාර ලක්ෂයක් රහත් මුනිවරු මැද ලෝ ධා කම්පා කරවමින් සම්බුදු පෙළහරක අසිරියක් සේ විවරණ සිරි ලද මොහොත? බුද්ධ අංකුරය රෝපණය කොට සමත්‍රිංශත් පාරමී අදිටන් කොට පැවිදි සිරි ලබා දෙව් බඹුන්ගේ පූජෝපහාර මධ්‍යයෙහි ගුණදහම් පුරමින් සසරට ම එක්වන්නට සිතූ මොහොත ඔබත් දුටුවාද?

කියව පුන් සඳ….. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා නුඹ වෙසක් පුන් සඳ ලෙසින් උදයගිරි පව්වෙන් පැන නගින කල සිදුවන්නට ඇත අසිරිමත් දෑ. අනිසි දහමට නතුව නැසෙන වැනසෙන ලොව නුඹ ඇති වී නැති වී හටගෙන වැනසී සසර පුරා පැමිණ අප මහා බෝසතාණන්ගේ අසිරිය කින්නට ඇති. යළිදු වරක් නුඹ වෙසක් පුන් සඳ ලෙසින් නැග එන්නට පෙර අස්ත පර්වතයෙහි සැඟවී බලා සිටින කල, අප මහා බෝසතාණෝ සම්බුදු බව ලබන රිසියෙන් මායා බිසවුන් කුසෙහි සිට මෙලොවට වැඩි සේක. නුඹ දුටුවාද පුන් සඳ දිව්‍ය තූර්යනාද මධ්‍යයෙහි දිව්‍ය සුගන්ධය මධ්‍යයෙහි දස දහසක් ලෝක ධාතූන්හි දෙව් බඹුන් අප මහා මුනීන්ද්‍රයාණන් හට නමස්කාර කරන අයුරු. සතරවරම් දිව්‍ය පුත්‍රයන් විසින් පිළිගත් අප මහ බෝසත් කුමරාණෝ සිරිපා සඟල මිහිමත තබන කල මිහිකත ගුගුරා හැඬූ අයුරු නුඹට සිහිවන්නේද? පොළෝ ගැබ පළා පැන නැගි පියුමෙහි සිට උතුරු දිග ශ්‍රේෂ්ඨ යැයි දැන සත්පියවර තබමින් පෙරට වඩින කල, පියුම් පිපී සිරිපා පිළිගන්නා අයුරු දෙව් බඹුන් නමදින අයුරු කෙතරම් සුන්දර වූවාද? දකුණත ඇඟිල්ල ඔසවා අප මහා බෝසතාණෝ මෙසේ පැවසුවා ඔබට මතකද?

අග්ගෝ’හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ’හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ’හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථි’දානි
පුනබ්භවෝ’ති.

මායා දේවිය පුතු සුරතට ගෙන මව් සෙනෙහසින් පුදන කල නිරාගිනි නිවී ගොස් ලෝ ධා එළිය කොට බුදු සිරියක අසිරිය දැනුණා, නුඹට තවමත් මතකද වෙසක් පුන් සඳ?

යළිදු නුඹ උදයගිරි පව්වෙන් මෝදුවන කල තවත් වසර තිස් පහකින් අප මහා බෝසතාණෝ සක්වළ ගල තෙක් පිරි මර සෙනඟ මැද තනිව ම යුද වදින අයුරු නුඹත් දුටුවාද? බිහිසුණු මාර යුද්ධයෙහි අකුණු අවි ගිනි පර්වත මෙන් ම චක්‍රායුධයෙන් මරහු අප මුනිඳුන්ට පහර දෙන කල නුඹට බිය නොවී අභිමානයෙන් සිටින්නට නොහැකි වූ බැව් සැබෑය.වලාගැබට සැඟවී නුඹ දුටුවාද රන් සෙල් පව්වක සිංහ පෝතකයෙකු සේ අප මහා වීරයාණන් වූ සම්බුදුරජාණෝ නොසෙල්වී සිටිනයුරු? දස පාරමී බෙලෙන් අප මහා මුනි මිහිකත අමතන කල නැගුන මිහිකත මර සෙනඟ පලවා හරිනු දුටු නුඹට කුමක් සිතුණිද? තුටු වූවාද නුඹත් දෙව් බඹුන් සමඟින් දිනුවෝ අප මුනිඳුන් කියා.

කියව පුන් සඳ නුඹ රැසින් අප මුනිඳුගේ මුවමඬල සොඳුරු වී දැහැනට සමවැදී පළමු යාමයෙහි පෙර විසූ කඳ දකිනා නුවණත් මැදි යාමයෙහි චුතවෙන උපදින නුවණත් ලබන කල නුඹට කුමක්ද සිතුණේ? මුළු රැය පුරා අප මුනිඳුට සිසිලස ලැබ දුන් පුන් සඳ නුඹ කාලය අවසන්ව අස්ත පර්වතයෙහි සැඟවෙන්නට පෙර අප මහා මුනි සම්බුදු බව ලද අයුරු දකිනා විට නුඹ හදට දැනුණු නිම්හිම් නැති සතුට කෙබඳු දැයි හඬගා කියව පුන් සඳ…. නුඹ දුටු සම්බුදු පෙළහර කෙබඳු දැයි ලොවට ම පසක් කරව පුන් සඳ….

සම්බුදු බව ලබා වසරකින් අප මහා මුනිඳුන් කපිල වස්තුව බලා වඩින අයුරු නුඹ බලා සිටියේ කෙසේද පුන් සඳ? ශාක්‍යයන්ගේ මාන බිඳලමින් යමා මහ පෙළහර පාන කල්හිත්, බුද්ධ වංශය දේශනා කරන කල්හිත් නුඹ සැදැහෙන් ඉපිල යමින් තුටු කඳුළු සැලුවාද පුන් සඳ. කියව සිහිපත් වන කල නුඹට ඒ අසිරිමත් මොහොත කුමක්ද නුඹට දැනෙන්නේ?

වෙසක් පුන් සඳ ලෙසින් නුඹ අස්ත පර්වතයෙන් සැඟව බලා සිටින කල සම්බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි අප මහා මුනිඳාණෝ මණිඅක්ඛික නා රජුගේ ඇරයුමෙන් මාගේ මව්බිමට වඩිනා අයුරු නුඹ දුටුවේ කොහොමද? කල්‍යාණී නදීතෙර සාරිපුත්ත මොග්ගල්ලාන ආදී පන්සියයක් මහරහත් මුනිවර සමඟින් දන් වළඳා නාගයින්ට වැඳීම පිණිස ගංපතුලෙහි සිරිපතුල තබනා අයුරු නුඹත් දුටුවාද? සුමන සමන් දෙවියන්ගේ ඇරයුමෙන් සමනොළ සිරසෙහි ඉන්ද්‍රනීල මාණික්‍ය මත සිරිපා සටහන තබන කල මැණික් වර්ෂා වසින අයුරු තුටු සිතින් නුඹ බලා සිටියේ කෙසේද? අප මුනිඳුන් දිවා ගුහාවෙහි දිවා විහරණය කොට දීඝවාපියෙහි සමවත් සුවයෙන් වැඩහිඳ එහි මහාසේන දෙවියන් රැකවලට තබා වඩින අයුරුත්, ස්වර්ණමාලි සෑ බිමෙහි සමවතට සමවැද විසාලරූප දෙවියන් ද ථූපාරාම මළුවෙහි පෘථිවිපාල දෙවියන් ද මිරිසවැටි සෑ බිමෙහි ඉන්දක දෙවියන් ද කතරගම කිරිවෙහෙර සෑ බිමෙහි මහාඝෝෂ දෙවියන් ද තිස්ස මහා විහාර චෛත්‍යය පිහිටන තැන මණිමේඛලා දෙවඟන ද නාග මහා විහාර චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට එහි මහින්ද දෙව් පුතු ද සේරුවාවිල සුමන නා රජු ද තබා මිහින්තලා පව්වෙහි සේල සෑ බිමෙහි සිට දඹදිවට වැඩි අයුරු නුඹටත් සිහිපත් වනවාද පුන් සඳ?

අපගේ සම්මා සම්බුදුරජාණෝ පන්සාලිස් වසක් ගෙවා කුසිනාරා බිමට වඩිනයුරු නුඹත් බලා සිටියේ කොහොමද පුන් සඳ? ලොවම එළිය කළ හිරු මඬල පිරිනිවෙන්නට වඩින බව නුඹටත් සිතුණාද? නුඹ උදයගිරි පව්වෙන් මෝදු වී අප මහා මුනිඳුගේ සිරුර ප්‍රභාවත් කරන කල සක්දෙවිඳාණෝ අප මුනිඳුට නමදිමින් පිරිනිවන් මංචකය අසල සිටියා මතකද? අප මහා මුනිඳුන් මේ ලංකාද්වීපයත්, ගෞතම බුදුසසුනත් සුරකින්නට සක් දෙවිඳුන්ට භාර දුන් අයුරු නුඹ මතකයෙහි තවමත් තිබේද? ඒ මොහොතෙහි විජය රජු ඇතුළු සත්සියයක් පිරිස ලක්දිවට පැමිණෙන අයුරුත්, සක්දෙවිඳුන් එවන ලද උපුල්වන් දෙවියන් විජය රජු ඇතුළු පිරිසෙහි පිරිත් නූල් ගැටගසා පිරිත් පැන් ඉසින අයුරුත් නුඹ දුටුවේ කොහොමද? අප මහා මුනිඳුන් පිරිනිවන් යහනෙහි සැතපී මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව බුදුසසුන පිහිටුවීමට වෙන් කොට සක්දෙවිඳුට පවසන අයුරු නිම්හිම් නැති සතුටෙන් නුඹ බලා සිටියාද?

ලක්දිව බුදුසසුනට පන්දහසක් කල් ආයු බලගන්වා දක්ෂිණ බෝධිශාඛාවෝ වෙන්කළ අයුරු, පංච මහා අධිෂ්ඨාන බල පිහිටවන අයුරු නුඹගේ මතකයේ තවමත් තිබේද? ස්වර්ණමාලි සෑ ගර්භයට ද්‍රෝණයක් ධාතූන් වෙන්කොට සෑ මළුවෙහි යමක මහා පෙළහර පාන්නටත්, ථූපාරාම මළුවෙහි යමක මහා ප්‍රාතිහාර්යය පාන්නටත් අදිටන් කරන කල නුඹට කුමක්ද සිතුණේ පුන් සඳ?

පිරිනිවන් යහන අසල අනඳ තෙරුන් වැලපෙන කල දෙව් බඹුන් හඬා වැලපී සිහිමුර්ජා වී වැටෙන කල නුඹ කෙසේ ශෝකය දරා ගත්තාද පුන්සඳ? අප මහා මුනි නෙතුපියා දැහැනට සමවැදී පිරිනිවනට වඩින විට නුඹත් හඬා වැලපුනාද? කියව පුන් සඳ?

තවත් වසර හතලිහකට පසු නුඹ උදයගිරි පව්වෙන් නැගෙන විට අපගේ ආනන්ද මහරහතන් වහන්සේ රෝහිණි නදියෙහි අහසේ දහම් දෙසා පිරිනිවනට වඩින අයුරු වෙසක් පුන් සඳ ලෙසින් නුඹ දුටුවේ කොහොමද කියව පුන් සඳ?

කාලය ගෙවී නැවත නුඹ වෙසක් පුන්සඳ ලෙසින් පායා එනවිට ලොව බොහෝ වෙනස් වී තිබුණාද කියව? දිනක නුඹ අස්ත පර්වතයෙහි සැඟවී සිටින කල ධර්මාශෝක නිරිඳුන් එවන ලද පංච කකුධ භාණ්ඩයන්ගෙන් අපගේ දෙවන පෑතිස් රජු ද්වීතිය අභිෂේකය කරන අයුරු නුඹ දුටුවාද පුන්සඳ?

වෙසක් පුන් සඳ ලෙසින් නුඹ නැග එන බැස යන කල දිනක නුඹ දුටුවාද දුටුගැමුණු මහරජු රහත් මුනිවරු සමඟින් එක්ව ස්වර්ණමාලි සෑයෙහි කටයුතු අරඹනා අයුරු. විටෙක නුඹ දුටුවාද සිංහල රජවරු වෙසක් දිනයන්හි අභිෂේක කරනා අයුරු. විටෙක නුඹ දුටුවාද උපසම්පදා පින්කම් කරන අයුරු. තවත් විටෙක නුඹ දුටුවාද රාජරාජමහාමාත්‍යවරු බොහෝ උවසු උවැසියන් පිරිවරා පෙහෙවස් සමාදන් ව දහම් මග වඩනා අයුරු.

කියන් පුන් සඳ අද නුඹට දකින්නට ඇත්තේ කුමක්ද? සම්බුදු සසුනක අසිරිය දුටු නුඹට අද ලෝකය පෙනෙන කල සංවේගය උපදිනවාද? අහෝ! සම්බුදු සසුනක් පිරිහී ගොස් මිනිසුන් වැනසී යන අයුරු කියා. සිහිකරව පුන් සඳ මෙයයි බුදුසමිඳුන් වදාළ අනිස දහම. ලොවක් අවිදු අඳුරෙන් වැසී යන අයුරු දකිනා නුඹට සසරෙහි ඇති බිහිසුණු බව පසක් වේද? හැකිනම් වෙසක් පුන් සඳ පවසාලව සැමට, සම්බුදු සසුනට කුමක් වූවේද කියා. නුඹ හෙටත් පායාවි. තවත් වසර ගණනක් පායාවි. නුඹට දැකගත හැකි වේය දිනෙක බුද්ධ යන වචනය පවා නොඇසෙන යුගයක්. එබැවින් පවසාලව සැමට අප්‍රමාදී වන්නට කියා. නුඹට තෙරුවන් සරණයි!