දසත වසා පැතිරී ගිය අවිදු ගණ අඳුර පලවා හරිමින් මීට වසර දෙදහස් හයසිය අටකට පෙර සම්බුද්ධ හිරුමඬල ලෝකය ඒකාලෝක කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු හද මඬලින් උපන් දහම් පද සම්බුදු සිරි මුව මඬලින් දේශනා කළ කල්හි ඒ දහම් පද අසා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වූ සම්බුදු දරු පරපුර, ‘හදවතින් උපන් දරුවන්’ නම් වූ ‘ඖරස පුත්‍රයන් වහන්සේලා’, නොඑසේ නම් ‘මුවින් උපන් දරුවන්’ වශයෙන් හඳුන්වන ලද්දේ එහෙයිනි.

එසේ දඹදිව් තලයෙන් ආරම්භ වූ සම්බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පරපුරේ ලාංකේය ප්‍රථම ඕරස පුත්‍රයාණන් වහන්සේ වන්නේ අරිට්ඨ මහරහතන් වහන්සේ ය. එතැන් සිට අනුරාධපුර යුගය, පොලොන්නරු යුගය, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, මහනුවර, කෝට්ටේ ආදී යුග යුග ගණනක් ලක්දිව සසුන් කෙත අස්වැද්දූ මහ තෙරවරුන් ගණන අපමණ වෙති.

මේ සංඝ නේතෘන් වහන්සේලා කටපාඩමින් ත්‍රිපිටකය රැකගෙන ආවා පමණක් නොව සංගායනා ද පවත්වා අටුවා ද ලිවූහ. අද මෙන් නොව බැමිණිතියා සාගතය, කරකොළ සාගතය, බුළු කෑ සාගතය වැනි සාගතවලට මැදි වී විවිධ දුෂ්කරතා විඳිමින් පර්යාප්ති ධර්මය රැකගත්හ. බැමිණිතියා සාය පැමිණි වකවානුවේ වෙරළාසන්නයේ වැලි ගොඩවල් ගසා ඒ වැලි ගොඩවලට හිස තබා ත්‍රිපිටකය සජ්ඣායනා කළ බව අටුවාවල සඳහන් ය. උන්වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

මෙසේ පරපුරෙන් පරපුරට ලක්දිව තුළ සම්බුද්ධ ශාසනය චිරස්ථායී කොට රඳවාගැනීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් අනුපමේය සේවයක් ඉටු කළ මහ තෙරුන් වහන්සේලා ගණන මෙපමණකැයි කියන්නට බැරි තරම් ය. අද අපි අසන දහම් පදයක් පදයක් ගානේ උන්වහන්සේලාට අප ණයගැති නො වේ ද? ඒ මහා ථේර පරපුරට අපගේ නමස්කාරය වේවා!

මෙසේ ලක්දිව සම්බුද්ධ ශාසනය චිරස්ථායී ව පවත්වා ගැනීම වෙනුවෙන් තම ජීවිතය කැප කළ අපේ කාලයේ යතිවරයන් වහන්සේලා අතර මුල් පෙළෙහි වැඩසිටින නාහිමිපාණන් වහන්සේ නමක් ගැනයි මේ සටහන. උන්වහන්සේ වනාහී, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහා මහෝපාධ්‍යායන් වහන්සේ ව වැඩ වසන, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති ධුරන්ධර, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක, ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, වංගීස වංසාලංකාර කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී චන්දසිරි මහ නාහිමිපාණන් වහන්සේ ය.

කඩුවෙල, මාලබේ පසුකරමින් දිවා කල දැඩි සූර්ය රශ්මියෙන් මෙන් ම වාහන තදබදයෙන් යුතු කලබලකාරී රාජගිරිය හරහා කලපලුවාව ගෝතම තපෝවනය වෙත ළඟා වන විට හිරු මැදියම පසුවී තිබුණි.

නාමපුවරුව පසු කොට ප්‍රධාන පිවිසුම් ද්වාරය තුළින් ඇතුළු වන විට ම කලබලකාරී බව නිසා සිතේ ඇති වී තිබූ නොසන්සුන් බව පමණක් නොව කයට දැනුන විඩාව පවා සැණෙකින් සන්සිඳුවාලන්නට සමත් හරිත වර්ණ තුරුලතාවන්ගෙන් සෙවණ වුණු වන පියසකට අපි පිවිසුනෙමු. ඒ, මුල්ලේරියාව කලපලුවාව ගෝතම තපෝවනය යි.

දිවා දානයෙන් අනතුරුව සිය කුටිය තුළ විවේකී ව වැඩහුන් අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක මහා ගෞරවයකින් යුතුව උන්වහන්සේගේ පා කමල් නැමද වන්දනා කොට පසෙකින් වාඩි වූ අපි අසූ වියක් පසුකොට ආ උන්වහන්සේගේ සුපින්බර ජීවන ගමනේ මතකාවර්ජනයකට ගෞරවයෙන් යුතුව ඇරයුම් කළෙමු.

“මම ඉපදුණේ 1939 දෙසැම්බර් 20 වෙනිදා දික්වැල්ල නගරයට කිට්ටුවෙන් තියෙන දොඩම්පහල කියන ගමේ. මගේ තාත්තාගේ නම එදිරිවීර පටබැඳිගේ සරනේලිස් සිල්වා. මගේ අම්මා එදිරිසූරිය පටබැඳි ආරච්චිගේ මිසිනෝනා. අපිට ගොඩක් සල්ලි තිබුණේ නැති උනත් ඉඩකඩම් කුඹුරු ආදිය තිබුණා. මගේ තාත්තාට සර්ප විෂ නැසීමේ විශේෂ දක්ෂතාවයක් තිබුණා. ඒ නිසා ගමේ සර්ප උවදුරු ඇති වුණහම අපේ තාත්තා හොයාගෙන මිනිස්සු ආවා. මේ නිසා තාත්තා ගමේ විසූ දක්ෂ වෙදැදුරකු ලෙස ප්‍රසිද්ධ වුණා. මට සහෝදර සහෝදරියෝ හය දෙනෙක් හිටියා.”

“අවසරයි, පින්වත් ස්වාමීන් වහන්ස… ඔබ වහන්සේගේ මූලික අධ්‍යාපන අවධිය ගැන සඳහන් කරන්න පුළුවන් ද?”

“දොඩම්පහල මැද මහ විද්‍යාලයේ තමයි මම පළමු ශ්‍රේණියේ ඉඳලා හතරවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ.”

“අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගේ සිතට මේ පැවිදි බව පිළිබඳ අදහස මුලින් ම ඇතිවෙන්න බලපෑ කරුණු දැනගන්න කැමතියි.”

“අපේ සීයාගේ නිවසට නිතර කුඩාවැල්ල පන්සලේ විහාරාධිපති නාහිමියන් වැඩම කළා. කුඩාවැල්ල වාලුකාරාම විහාරාධිපති නාහිමියන් එක්ක ම ඥාතීත්වයෙන් මගේ සහෝදරයකු වන අබේසූරිය මහතා ද නිතර අපේ නිවසට පැමිණියා. එහෙම ආපු වෙලාවක දවසක් විහාරාධිපති පූජ්‍ය මාතර ධර්මාරාම නාහිමියන් මෙහෙම කිව්වා. ‘මේ ළමයා හොඳ මහණකමටයි. පැවිදි වෙන්න අවශ්‍ය දේහ ලක්ෂණ මේ පුතා තුළ දක්නට තියෙනවා.’

මේක මගේ හිතට තදින් කාවැදුනා. ඒ වගේ ම අපේ අම්මාටත් වුවමනාව තිබුණා මම පැවිදි වෙනවා දකින්නට. මේ කාරණා දෙක කුඩා අවදියෙදි ම පැවිදි බව පිළිබඳ ව නිරාමිස අදහස් මගේ සිත තුළ ඇතිවන්නට හේතු කාරක වුණා.

ඒත් මට වයස අවුරුදු 10 වෙද්දි අපේ අම්මා නැති වුණා. ඉන් පස්සේ අපේ තාත්තා ගුරුවරුන්ගේ නොකැමැත්තෙන් වුවත් මාව පාසැලෙන් අස් කරවගෙන වාලුකාරාම මහ විහාරයේ වැඩ හිටි මාතර-හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය මාතර සද්ධාරාම හිමියන්ට මාව භාර කළා.

ඒ වකවානුවේ දරුවෙක් විහාරයකට බාර දුන් පමණින් පැවිදි කරන්නේ නැහැ. මම මාතර ජයමහ විහාරස්ථ වීරබා පිරිවෙනේ අවුරුද්දක් විතර ධර්මය හා පැවිදි පිළිවෙත් ඉගෙනගත්තා.”

“අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස… එතකොට ඔබ වහන්සේ පැවිදි වුණේ මොන වසරේ ද කියලා සඳහන් කරන්ට පුළුවන් ද?”

“1950 නොවැම්බර් 25 වෙනිදා කුඩාවැල්ල වාලුකාරාම පුරාණ විහාරයේදි තමයි උතුම් පැවිදි භූමියට පත්වෙන්න වාසනාව උදා වුණේ. ඉන් පස්සේ වසර 10ක් විතර මාතර ජයමහා විහාරස්ථානයේ වීරබා පිරිවෙනේ අධ්‍යාපනය ලබලා පූජ්‍යපාද අකුරැටියේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේගේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන් විද්‍යායතනයේ දී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළා.

ඉන් අනතුරුව උපසම්පදා සීලයේ පිහිටලා අපගේ සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යරත්නය වන අති පූජනීය කුඩාවැල්ලේ වංගීස ස්වාමීන් වහන්සේගේ ඇසුරේ දී ත්‍රිපිටක අධ්‍යාපනය ලබාගෙන බණ භාවනා කටයුතු දියුණුකර ගත්තා. කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මදූත ආශ්‍රමයේ කාලයක් ගත කළා.”

“අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ ගෝතම තපෝවනයේ නායකත්වයට පත්වූ අයුරු සඳහන් කළොත්….”

“පින්වත් වංගීස නායක ස්වාමීන් වහන්සේ මේ රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවනය ආරම්භ කරලා පවත්වාගෙන යන අතරතුරේ දී නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් සමඟ ම තමයි මේ ශාසනික කටයුතුවලට නායකත්වය දෙන්නට අවස්ථාව සැලසුනේ.. මේ පොතේ තියෙනවා ටිකක් විස්තර. මහත්තයලා බලන්නකෝ…”

අප අතට උන්වහන්සේගේ චරිතාපදානය පිළිබඳ කරුණු ඇතුළත් පොතක් ලබාදුන් උන්වහන්සේ මඳකට කුටිය තුළට වැඩම කළහ.

අති පූජනීය වංගීස මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් හිස් වූ ශාසනික ගුරු පිය ඇසුර සිය බාල ස්වාමීන් වහන්සේලාට නොඅඩුව සලසාලමින් උදාරතර ශාසනික සේවාවන් රැසකට සුපින්බර නායකත්වය හා මගපෙන්වීම ලබාදෙන්නට අති පූජනීය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ සිය පැවිදි දිවිය කැප කළ අයුරු පිළිබඳ සටහන් ඒ තුළ විය.

මහජනතාව පීඩාවට පත් වූ සෑම මොහොතක ම ජාති ආගම් පංති භේද නොසලකා ඒ අය වෙත පිහිටවෙන්නට පසුබට නො වූ නායක ස්වාමීන් වහන්සේ ලංකා ධරණිතලය ම කම්පිත කළ සුනාමි ව්‍යසනයේ දී හානියට පත් පාසැල්, විහාරස්ථාන, පුස්තකාල ආදිය නැවත නගාසිටුවන්නට දරණ ලද උත්සාහය සුළුපටු නොවූහ.

ධර්ම දානයට විශේෂ ඇල්මක් දැක්වූ නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ම සුරතින් පරිත්‍යාග කළ බුද්ධජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා ප්‍රමාණය සිය ගණනකි.

මහනුවර, මිහින්තලේ, පදවිය, කැගල්ල, දොලුකන්ද, කතරගම ආදී ප්‍රදේශයන්හි පිහිටවූ තපෝවනයන්හි පමණක් නොව සමස්ත මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස තම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට ශාසනික ආදර්ශයන් මෙන් ම අනුශාසකත්වය ද නොඅඩුව ලබාදෙමින් තවත් චිරාත් කාලයක් මේ ලක්දෙරණ තුළ ගෞතම බුදු සසුන චිරස්ථායී කොට පිහිටුවන්නට උන්වහන්සේ ගත් පියවර අනුපමේය ය.

දසත පැතිරී යන මිහිරි සුගන්ධයක් සේ භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය මෙරටට පමණක් සීමා නොකොට ලොව පුරා පතුරුවා හරින්නට උන්වහන්සේ විදෙස් ධර්මදූත සේවයට ද පෙරමුණ ගත්හ.

අති පූජනීය නායක ස්වාමීන් වහන්සේ, අපවත් වී වදාළ සිය ගුරු ස්වාමීන් වහන්සේගේ නමින් 1985 දී ලියාපදිංචි කරන ලද ශ්‍රී වංගීස පිරිවෙනේ අනුශාසකත්වය දරමින් මතු බුදු සසුන සුවඳවත් කරමින් පිපෙන්නට වෙර දරන සුවඳවත් මල් කැකුළු වන් කුඩා ස්වාමීන් වහන්සේලා සියලු පහසුකම් සහිතව විධිමත් ශාසනික පෙරහුරුවක් තුළ ක්‍රමවත් ව පෙළගැස්වීමට මූලිකත්වය ගත්හ.

මේ වන විට මෙරට පමණක් නොව නේපාලය වැනි රටවල සිට ද දහම් අධ්‍යාපනය ලැබීම පිණිස වැඩම කරනු ලබන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා මෙම ශ්‍රී වංගීස පිරිවෙන තුළින් ලබන උපකාර අපමණ ය.

සම්බුදු සසුන චිරස්ථායී ව පැවතීමට නම් උපාසක උපාසිකා යන පිරිසගේ සුසංයෝගී දායකත්වය ද බුදු සසුන වෙත පැවතිය යුතු ය. මෙකරුණ මැනැවින් වටහා ගත් අප නායක ස්වාමීන් වහන්සේ අති පූජනීය වංගීස මහ තෙරුන් වහන්සේගේ මගපෙන්වීම යටතේ 1962 වර්ෂයේ දී ආරම්භ කරන ලද ‘මාතික මාතා සමිතිය’ මහා සඟරුවනට අවැසි සිවුපසයෙන් පුදසත්කාර කර ගනිමින් බොහෝ පින් දහම් කරගන්නට උපාසක උපාසිකාවන්ටත් දොර කවුළු විවර කොට ඇත.

විවිධ හේතුන් නිසා සිය දෙමාපියන් අහිමිව අනාථ දරුවන් යන ගණයට වැටෙන්නට ඉඩ තිබූ දරුවන් හට සනාතන රැකවරණයක් සලසාලනු පිණිස 1970 දී ආරම්භ කරන ලද ‘කුමාර කාශ්‍යප ළමා නිවාසය’ අද වන විට දිවයිනේ පවතින උසස් ම පහසුකම්වලින් සමන්විත ළමා නිවාසයක් වන අතර 1982 වසරේ සිට මෙහි අනුශාසකත්වය හොබවන අප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත 300කට අධික දරු පිරිසක් මේ වන විට යහපත් පුරවැසියන් ලෙස යළි සමාජගත කිරීමට මූලික වී ඇත.

බුදු සසුන පිළිබඳ යළි මෙරට තුළ ප්‍රබෝධයක් ඇති කළ, ලක්දිව පුරා ප්‍රචලිත වූ සුමිහිරි බෝධිපූජා පවත්වමින් ගිහි පින්වතුන් දහම් මග වෙත වඩ වඩාත් සමීප කළ සුපින්වත් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ද පින්වත් මහනායක ස්වාමීන් වහන්සේ කෙරෙහි පැහැදී තපෝවනයේදී ම පැවිදි භූමියට පත් වූ හිමිනමක් වන අතර උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේලා අතර තපෝවනයේ සතිමන්ත, තපෝවනයේ නිවාත, තපෝවනයේ මිතභාණී යන නායක ස්ථවිරයන් වහන්සේලා ද තපෝවනයේ සුතධර, දමිත, සමිද්ධි, සමුට්ඨාන, සංවර, සද්ධාජීවි, ධම්මනිසේවිත, සුසීත, සන්තචිත්ත, සමාධි, සන්තබෝධි, පරිඤාණ, අරියඤාණ යන ස්වාමීන් වහන්සේලා ද ගෞතම සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් මහානායක ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවාවන්ට උරදෙමින් මෙත් සිතින් කටයුතු මෙහෙයවනු ලබති.

උන්වහන්සේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ හත්සියයකට අධික යොවුන් ස්වාමීන් වහන්සේලාගේ මහෝපාධ්‍යායන් වහන්සේ වශයෙන් ද සුවහසක් සිත් සතන් අමා දහමින් සුවපත් කරමින් මුළු ලොව පුරා සදහම් සුගන්ධය පතුරුවා හරින ශ්‍රද්ධා රූපවාහිනියේ ද ලක්විරු ගුවන්විදුලියේ ද උත්තරීතර මණ්ඩලයේ අනුශාසකත්වය දරා වැඩ වෙසෙමින් ගෞතම සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් සිදු කර ඇති මෙහෙවර කෙසේ නම් අකුරු කරන්න ද!

උන්වහන්සේ කිසිවිට සොයා නොගිය ද උන්වහන්සේ සොයා නිතැතින් ම ගෞරවය පැමිණියේ ය. රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නිරන්තර ගෞරව බහුමානයට පාත්‍ර වූව ද අසරණ සෝපාකටත්, රහල් කුමරුන්ටත්, බිම්සර නිරිඳුනටත් සම සිතින් කටයුතු කරන්නට එදා සසුන් කෙත ශෝභමාන කළ මහරහතන් වහන්සේලා කටයුතු කළ ආකාරයෙන් ම මැදහත්ව කටයුතු කරන්නට උන්වහන්සේ සතු වූ හැකියාව ආදර්ශවත් ය.

අතීත සම්බුදු සසුනේ වූ පිළිවෙත් සුරකිමින් අදත් උන්වහන්සේ පාත්‍රය අතට ගෙන සිය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පෙරටුව පිඬු පිණිස වඩින අයුරු තපෝවනයට යන ඕනෑම කෙනෙකුට නෙත ගැටෙන පැහැබර දසුනකි.

ඉවසිය යුතු තැන ඉවසීමටත්, අනුමෝදන් විය යුතු තැන අනුමෝදන් වීමටත්, උපදෙස් දිය යුතු තැන උපදෙස් දීමටත්, නිහඬ විය යුතු තැන නිහඬ වීමටත්, ඍජු විය යුතු තැන ඍජු ව සිටීමටත්, පැසසිය යුතු දේට පැසසීමටත්, දුරු කළ යුත්ත දුරු කිරීමටත්, සත්පුරුෂයන් සමඟ ආශ්‍රය නිශ්‍රයට මෙන් ම අසත්පුරුෂයන් දුරින් ම දුරු කිරීමටත් උන්වහන්සේ තුළ පැවති මහා පෞර්ෂය සමස්ත භික්ෂු පරපුරට නිහඬ ව ම කියා දුන් මහා ආදර්ශයකි.

ශාඛා, අනුශාඛා පිහිටුවාලමින් උන්වහන්සේලාගේ ශිෂ්‍ය යතිවරයන් වහන්සේලා ගෙන යනු ලබන යෝධ ශාසනික වැඩපිළිවෙළට නායකත්වය දෙන්නට සංසාරික උරුමයකින් යුතුව පැමිණි මේ මහා සංඝ පීතෘන් වහන්සේගේ උපත පිළිබඳ අපූර්ව වූ සටහනක් උන්වහන්සේගේ ගිහි කල නැගණිය වූ මිලිනෝනා උපාසිකා මාතාවගේ මතක ආවර්ජනයක් ලෙසින් ඒ වචනවලින් ම සටහන් කිරීම මැනවැයි සිතමි.

“අපේ අයියා උපදින්ට කලින් තාත්තා අපූරු සිහිනයක් දැකලා තිබුණා.. යම් පිරිසක් විසින් තාත්තා ඇත් ගාලකට එක්කගෙන යනවා.. ගිහින් කිව්වාලු කැමති ඇතෙක් තෝරාගන්න කියලා.. ඒ වෙලාවේ අපේ තාත්තා දැකලා තියෙනවා සුදු ඇත් පැටියෙක්.. ඉතින් තාත්තා ඒ ඇත් පැටියා ව තමයි එක්කගෙන ඇවිත් තියෙන්නේ…”

1989 වර්ෂයේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනු නායක ධුරයෙන් ද 1996 වර්ෂයේ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරයෙන් ද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයෙන් ද ශ්‍රී කල්‍යාණවංශ නිකායේ අධිකරණ සංඝනායක ධුරයෙන් ද තපෝවන සංඝනායක නම් වූ සුවිශේෂී නායක ධුරයකින් ද පිදුම් ලැබූ මේ සංඝ පිතෘන් වහන්සේ විසින් ඉටුකරන ලද අනුපමේය වූ ශාසනික සේවය කෙටි ලිපියකින් අකුරු කොට දැක්වීම නම් කිසිසේත් කළ නොහැකි බව මගේ සිහියට නැගෙද්දී ඉතා නිහතමානී ගති පැවතුම්වලින් හෙබි මේ මහා යතිවරයන් වහන්සේ අප පිරිසට පිරිත් නූල් ද රැගෙන නැවත කුටියෙන් මෙපිටට වැඩම කළහ.

දහස් ගණනකට අධික සංඝයා වහන්සේලාගේ ගෙලට සිවුරු පටිය ගැට ගසා පැවිදි භූමියට පත් කළ මේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරක්ෂක ගාථා සජ්ඣායනය කරමින් සිය සුරතින් මා අතේ පිරිත් නූල ගැට ගසද්දී උන්වහන්සේගේ ගුණ සුවඳ පිරුණු ජීවිතය පිළිබඳ ව බැතිබර වුණ හදින් යුතුව, වචන ගළපා ගත නොහැකි මුවින් හා තෙත් වුණ දෙනෙතින් යුතුව ඒ මහා සංඝ නායකයාණන් වහන්සේගේ පාකමල් වන්දනා කළෙමි.

සුපින්බර වූ මහානායක ස්වාමීන් වහන්ස, සම්බුදු සසුනට හිත සුව පිණිස, වැඩ පිණිස තවත් චිරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් නිදුක් නිරෝගී ව වැඩ වෙසෙන්නට උතුම් තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා…! දෙවියන්ගේ දිව්‍ය උපකාර සැලසේවා…!

සාකච්ඡා සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ