(01) පින්වත් ස්වාමීන් වහන්ස, ආනාපානසතිය වැඩීමේ දී නිදන ඉරියව්වෙන් වැඩීම සුදුසු ද?

භාග්‍යවතුන් වහන්සේ විසින් ආනාපානසති භාවනාව විස්තර කරන සතිපට්ඨාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදි සෑම දේශනාවක ම එය වඩන ඉරියව්ව විස්තර කොට ඇත්තේ මෙලෙසිනි.

“අරඤ්ඤගතෝ වා රුක්‍ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා, උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සෝ සතෝව අස්සසති, සතෝව පස්සසති…”

එනම්, “ශ්‍රාවකයා ආරණ්‍යයකට හෝ රුක් සෙවණකට හෝ නිදහස් තැනකට හෝ ගොස් කය ඍජු කරගෙන පළඟක් බැඳගෙන වාඩි වී හුස්ම රැල්ල කෙරෙහි මනාව සිහිය පිහිටුවාගෙන සිහියෙන් හුස්ම ගනියි. සිහියෙන් හුස්ම හෙළයි….” යනුවෙනි.

එම නිසා ආනාපානසතිය වැඩිය යුත්තේ ඒ ආකාරයෙන් බව අප තේරුම් ගත යුතුයි. පළඟක් බැඳ වාඩිවීමට අපහසු නම් කොහු මෙට්ටයක් වැනි කුඩා ආසනයක් භාවිත කොට කය ඍජු කොට ගෙන වාඩි විය හැකියි.
ආනාපානසතිය වැඩීම ගැන නිරවුල් දහම් දැනුමක් ලබා ගැනීමටත්, ප්‍රායෝගික භාවනා උපදෙස් දැන ගැනීමටත් ‘සිතට සුව දෙන භාවනා’ නම් සදහම් ග්‍රන්ථයත්, ‘සුසුමක විමසුම-නිවනක ඇරඹුම’ යන ග්‍රන්ථයත් පරිශීලනය කරන්න.

(02) පින්වත් ස්වාමීන් වහන්ස, සරකානි ශාක්‍යයාගේ සෝවාන් වීමත්, පංච භයවේර සූත්‍රයේ අඩංගු කරුණුත් පිළිබඳ ව මා හට යම් අපහැදිලි ස්වභාවයක් ඇති වී ඇත. කරුණාවෙන් පහදා දෙන්න.

පංච භයවේර සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට සෝතාපන්න ශ්‍රාවකයෙකුට පිහිටන ලක්‍ෂණ මෙසේ පෙන්වා දෙනවා.

■ බිය වෛර ඇතිවන කරුණු පහ සන්සිඳී තිබෙනවා (එනම් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා.)

■ සෝතාපත්ති අංග සතරින් සමන්විතයි.
1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් තියෙනවා.
2. ශ්‍රී සද්ධර්මය කෙරෙහි කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් තියෙනවා.
3. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් තියෙනවා.
4. ආර්යකාන්ත සීලයෙන් යුක්තයි.

■ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කොට තිබෙනවා. (පටිච්චසමුප්පාදය හට ගන්නා ආකාරයත් නිරුද්ධ වන ආකාරයත් ගැන ප්‍රඥාවෙන් අවබෝධ කොට තිබෙනවා)
මේ අංගවලින් යුක්ත කෙනා සෝතාපන්න බවත්, දුගති උත්පත්තිවලින් නිදහස් වී සිටින බවත් පංචභයවේර සූත්‍රයේ සඳහන් වෙනවා.

සරකානි සූත්‍රයේ සඳහන් වන්නේ සරකානි ශාක්‍යයා බොහෝ කාලයක් තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් යුක්තව සිටියා. සීලයේ අඩුපාඩුවක් නිසා මත්පැන් පානයට හුරු වී සිටියා. නමුත් ජීවිතයේ අවසාන භාගයේ එයින් ද වැළකී සීලයත් සම්පූර්ණ කරගෙන ඉහත කී සෝතාපත්ති අංග ඇතිකරගෙන මරණයට කලින් සෝතාපන්න වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාරා තියෙනවා.

(03) පින්වත් ස්වාමීන් වහන්ස, බුදු දහමට අනුව විවාහයක දී කේන්දර ගැළපිය යුතු ම ද? කේන්දර නොගැළපේ නම් එම විවාහය නො කළ යුතු ම ද?

“සමජීවි සූත්‍රය” වැනි දේශනාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ විවාහ වන දෙදෙනා කාරණා පහකින් සමාන විය යුතු බවයි. එනම්,

1. දෙදෙනාට ම තුනුරුවන් කෙරෙහි ගුණ වශයෙන් ඇති කර ගත් පැහැදීම හෙවත් ශ්‍රද්ධා සම්පත්තිය තිබිය යුතු ය.
2. එමෙන් ම පංචසීලය ආරක්‍ෂා කරමින් සීලයෙන් ද සමාන විය යුතුයි.
3. දෙදෙනා ම නිරවුල් ධර්ම ඥානයක් ඇති කරගෙන ශ්‍රැතය නැමැති සේඛ බලය ඇතිකර ගත යුතුයි.
4. එමෙන් ම සැමියා බිරිඳ යන දෙදෙනා ම චාගය හෙවත් ත්‍යාග ගුණය සමව ඇති කර ගත යුතුයි.
5. ධර්මයට අනුව නුවණින් කල්පනා කොට ප්‍රඥා සම්පත්තිය ඇති කර ගත යුතුයි.

මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ විවාහ ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස වැදගත් වන්නේ මෙම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා යන කරුණු පහ සැසඳිය යුතු බවයි.
එමෙන් ම විවාහ දිවියට ඇතුළත් වූ පසු සැමියා සහ බිරිඳ විසින් එකිනෙකාට ඉටු කළ යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා. විවාහ දිවියක් සාර්ථක වන්නේ ඒ තුළිනි.

 සැමියා විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුකම්
1. ගරුසරු දක්වා කථා කිරීම.
2. අවමන් කොට කථා නොකිරීම.
3. සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයාම.
4. නිවසෙහි වැඩකටයුතු වලදී සිය බිරිඳට ප්‍රධානත්වය දීම.
5. තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන ඇයට තෑගි කිරීම.

 බිරිඳ විසින් සැමියාට ඉටු කළ යුතු යුතුකම්
1. කලට වේලාවට ආහාරපාන සකස් කරදීම.
2. සේවකකාරකාදීන්ට යහපත් ව සැලකීම.
3. සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයාම.
4. සිය සැමියා රැස් කළ ධනය රැකීම.
5. කම්මැලි නැති ව දක්ෂ ව සියලු කටයුතු සිදු කිරීම.

(04) පින්වත් ස්වාමීන් වහන්ස, කුමර කුමරි බඹසර යනු කුමක්ද? ඒ වගේ ම කාන්තාවකට මෙන්ම පිරිමින්ටත් බඹසර තිබේ නම් ඒ මොනවා ද? ස්වයං වින්දනයේ යෙදුණ කෙනෙක් එය වැරදියි කියා තේරම් ගෙන අලුතින් ජීවිතය පටන් ගෙන බ්‍රහ්මචාරී සිල් අනුගමනය කරන්න බැරි ද?

කුමර කුමරි බඹසර යනු තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් විවාහ වනතුරු බ්‍රහ්මචාරී සීලය ආරක්‍ෂා කිරීමයි. එහි දී අඩුගණනේ විවාහ වීමට සිටින තම පෙම්වතා, පෙම්වතිය සමඟ හෝ යෝනි, මුව, ගුද යන මාර්ග තුනෙන් එකක කාම සේවනය නො කළ යුතු අතර ස්වයං වින්දනය, කාමුක ස්පර්ශ කිරීම් ආදි කිසිදු ලිංගික කටයුත්තක නො යෙදී පිරිසිදු ජීවිතයක් ගත කරනු ලබයි. විවාහ වීමෙන් පසුව ද සිය බිරිඳ, සැමියා ඉක්මවා වෙනත් අයෙකු සමඟ සේවනයක නො යෙදී වැරදි කාම සේවනයෙන් වැළකී සිටිය යුතු ය.

ස්වයං වින්දනයේ යෙදුණ කෙනෙකු එහි ආදීනව තේරුම් ගෙන, බ්‍රහ්මචාරී සීලයේ ආනිශංස වටහාගෙන තුන්වෙනි සිල් පදය ‘අබ්‍රහ්මචරියා වේරමණී සික්‍ඛාපදං සමාදියාමි’ කියා සමාදන් වී බඹසර සිල් ආරක්‍ෂා කළ හැකි ය. බ්‍රහ්මචාරී සීලය රැකීම ජීවිතයට මහත්ඵල මහානිශංස පුණ්‍ය ධර්මයන් උපදවා දෙයි.

කාශ්‍යප බුද්ධ ශාසනයේ දී කිකී රජතුමාගේ දියණියන් සත්දෙනා රාජ කුමාරිකාවන් ව සිටියදීත් වසර 20,000ක් පුරාවට බ්‍රහ්මචාරී සිල් ආරක්‍ෂා කළා. ගෞතම බුදු සසුනේ වහා ධර්මාවබෝධය ලබන්නට එම පින මහෝපකාරී වුණා. කුමර කුමරි බඹසර රැක ගැනීමේ වැදගත්කම තේරුම් ගැනීම පිණිස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිදු කළ ‘යොවුන් දහම් සක්මන’ වැඩසටහන ශ්‍රවණය කරන්න.

(05) පින්වත් ස්වාමීන් වහන්ස, අනියම් පෙමක පැටළුණු අයෙකු එයින් මිදෙන්නේ කෙසේ ද?

මෙහි දී මුලින් ම කළ යුත්තේ එම අනියම් සම්බන්ධය නවත්වා වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස බලවත් කැමැත්තක් ඇති කර ගැනීම යි.

එමෙන්ම ඒ සඳහා බලවත් අධිෂ්ඨානයක් සිතේ පිහිටුවා ගැනීම යි.

ඉන්පසු වැරදි කාම සේවනය නැමැති අකුසලය ප්‍රහාණය කිරීම පිණිසත්, වැරදි කාම සේවනයෙන් වැළකීම නැමැති කුසලය උපදවා ගැනීම පිණිසත් බලවත් වීර්යයක් ඇති කර ගත යුතුයි. ඒ පිණිස අසුභ භාවනාව වැනි කුසල මනසිකාරයක් පුරුදු පුහුණු වීම මහෝපකාරී වෙනවා.

සිව්වෙනුව වැරදි කාම සේවනයේ ආදීනවත්, එයින් වැළකීමේ ආනිශංසත් බුද්ධ දේශනාවේ සඳහන් පරිදි නුවණින් විමසිය යුතුයි.

විශේෂයෙන් ම ‘අපාය සංවත්තනික සූත්‍රය’ වැනි බොහෝ දේශනාවන්හි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ වැරදි කාම සේවනය නිරයගාමී අකුසලයක් බවයි. අවුරුදු ලක්‍ෂ ගණන් නිරයේ දුක් විඳ ඉන්පසු තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ ඉපිද දුක් විඳීමට සිදු වේ. ඉන් පසු මිනිස් ලොව උපත කරා ආව ද ලිංගික දුබලතා සහිත, අසාර්ථක විවාහ ඇති, සතුරන් අධික කෙනෙක් බවට පත්වේ.

ඉසිදාසි නම් රහත් තෙරණිය අරහත්වයට පත් වූ පසු පෙර ජීවිත දකින නුවණින් සිය සසර ජීවිතය විමසා බැලුවා. එහි දී පෙර එක් ජීවිතයක වැරදි කාම සේවනයේ යෙදීම නිසා අවුරුදු ලක්‍ෂ ගණනක් නිරයේ ඉපිද දුක් විඳ ඇති බව දුටුවා. නිරයේ ආයුෂ අවසන් වූ පසු පිළිවෙළින් වඳුරෙකු, ගවයෙකු, බූරුවෙකු වශයෙන් උපත ලබා තිබුණා. ඒ සෑම ජීවිතයක ම මිය යන්නට සිදුවුණේ ලිංග ප්‍රදේශය කුණු වී පණුවන් ගැසීම නිසා. ඒ වැරදි කාම සේවනයේ කර්ම ඵල දුන් ආකාරය යි. ඉන් පසු මිනිස් ලොව ඉපදුණත් පිරිමියෙකුත් ගැහැණියෙකුත් නොවන නපුංසකයෙකු වුණා. එම නිසා අකුසලයේ ආදීනව සඳහන් වන දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය ආදිය කියවා නුවණින් විමසීම තුළ වරදින් මිදී යහපත් ජීවිතයක් ඇති කර ගන්න පුළුවනි.

(06) පින්වත් ස්වාමීන් වහන්ස, මේ රටේ විවිධ මිනිසුන්ගේ මතයක් නිසා මිනිසුන් එක එක කුලවලට වෙන් කරලා ඒ අය සමාජයේ අපහාසයට පත් කරනවා. අඩුකුලේ අය කියා එහෙම කුලයක් ඇත්තටම තිබෙනවා ද? අපි බුදු දහමත් එක්ක ජීවත් වුණොත් මේ මතයෙන් නිදහස් වෙන්න බැරි ද?

සියල්ල ගැන සියල්ල අවබෝධ කළ සර්වඥතා ඤාණයෙන් යුතු මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කෙනෙකු උපන් කුලය නිසා උසස් හෝ පහත් නොවන බවත්, කරන ක්‍රියාවෙන් ම උසස් හෝ පහත් වන බවත් ය.

“න ජච්චා වසලෝ හෝති – න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති – කම්මනා හෝති බ්‍රාහ්මණෝ”

එමෙන් ම දීඝ නිකායෙහි අග්ගඤ්ඤ නම් සූත්‍රයේ දී සහ වාසෙට්ඨ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජයේ පවතින කුලවාදයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවයි. ‘අනාථපිණ්ඩිකෝවාද’ නම් සූත්‍ර දේශනාවේ දී තව දුරටත් මෙසේ සඳහන් වෙනවා.

කම්මං විජ්ජා ච ධම්මෝ ච – සීලං ජීවිතමුත්තමං
ඒතේන මච්චා සුජ්ඣන්ති – න ගොත්තේන න ධනේන වා

සත්වයන් කවදාවත් උපන් ගෝත්‍රය නිසා හෝ ධනය නිසා හෝ පිරිසිදු වෙන්නේ නෑ. සත්වයන් පිරිසිදු වෙන්නේ ක්‍රියාවෙන්, අවබෝධයෙන්, ධර්මයෙන්, සීලයෙන්.

“තස්මාහි පණ්ඩිතෝ පෝසෝ – සම්පස්සං අත්තමත්තනෝ
යෝනිසෝ විචිනේ ධම්මං – තත්ථ තත්ථ විසුජ්ඣති.”

ඒ නිසා නුවණ තියෙන කෙනා තමන්ගේ යහපත කැමති නම් යෝනිසෝ මනසිකාරයේ ම යි යෙදෙන්න ඕන. අන්න එතකොටයි පිරිසිදු වෙන්නේ.

එමෙන් ම සමාජයේ පහත් යැයි සම්මත කුලවල ඉපදීමට හේතුවන කර්මානුරූප බලපෑම ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීත ජීවිතවල දී බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ආදි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, දෙමාපිය, ගුරුවර ආදීන්ටත් ගරු නොකිරීම යි. යටහත් ඇවතුම් පැවතුම් නොදැක්වීම යි. පිදිය යුත්තන් පුදන, ගරු කළ යුත්තන්ට ගරු කරන කෙනා සමාජයේ උසස් යැයි සම්මත කුලවල උපදිනවා.