අම්බලට්ඨික රාහුලෝවාද නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ, අතීතයේ වේවා වර්තමානයේ වේවා අනාගතයේ වේවා, යම් කෙනෙක් කායික, වාචසික, මානසික ක්‍රියාවන් පිරිසිදු කරනවා නම් එසේ කළ යුත්තේ නුවණින් විමසා විමසා බලමින් කියා ය. එම සූත්‍ර දේශනාවට අනුව යමක් කිරීමට පෙරත්, කීමට පෙරත්, සිතීමට පෙරත් මෙලෙසින් නුවණින් විමසිය යුතුයි. “මා මේ කරන්නට යන ක්‍රියාව, කියන්නට යන වචනය, සිතන්නට යන දෙය, මට විපත පිණිස පවතී ද? අනුනට විපත පිණිස පවතීවි ද? මෙය අකුසලයක් ද? දුක උපදවන දුක් විපාක පිණිස පවතින දෙයක් ද?” කියා ය. එසේ විමසා බලද්දී, “මේ කරන්නට යන දෙය, කියන්නට යන දෙය, සිතන්නට යන දෙය මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. මටත් අනුන්ටත් යන දෙපැත්තට ම විපත පිණිස පවතිනවා. මෙය අකුසලයක්. දුක උපදවන දෙයක්. දුක් විපාක පිණිස පවතින දෙයක්.” කියා වැටහුනොත් එබඳු වූ ක්‍රියාවක් කිසිසේත් ම නො කළ යුතුයි.

එමෙන් ම එසේ විමසා බලද්දී මේ ආකාරයට වැටහුනොත්, “මේ කරන්නට යන දෙය, කියන්නට යන දෙය, සිතන්නට යන දෙය මට විපත පිණිස පවතින්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින්නේ නෑ. මටත්, අනුන්ටත් යන දෙපැත්තට ම විපත පිණිස පවතින්නේ නෑ. මේ ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තියෙන දෙයක්.“ කියා එවැනි ක්‍රියාවෙන් හැමවිට ම සිදු කළ යුතුයි. යමක් කරද්දී ද කියත්දී ද සිතත්දී ද මේ ආකාරයට ම නුවණින් විමසා අකුසලයෙන් මිදී කුසලය තුළ පිහිටන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළා. එමෙන් ම යමක් කළාට පසුවත්, කීවාට පසුවත්, සිතුවාට පසුවත් මේ අයුරින් ම නුවණින් විමසා අකුසලයෙන් මිදී කුසලය තුළ පිහිටන ලෙස දේශනා කළා. එම නිසා ඒ සම්බුද්ධ අවවාදයන්ට අනුව හික්මෙමින් පවින් වැළකීමටත් කුසල් වැඩීමටත් උත්සාහ ගන්න. වැඩිදුරටත් කරුණු දැනගැනීම පිණිස මජ්ඣිම නිකාය 2 පොත් වහන්සේගේ එම සූත්‍ර දේශනාව කියවන්න.