වසන්තය එළඹ තිබේ. කහ පැහැ ගත් මේරූ පත් හළා දැමූ තුරුවැල් පවා ළා දලුවලින් සැරසී මලින් ගැවසී ගොසිනි. ඵලබර වූ තුරුහිස් කරා පැමිණෙන සියොතුන්, විහඟුන් ස්වකීය මිහිරි නදින් වසන්ත සිරිය කියා පායි. වසරක් පාසා ම භාග්‍යවත් කාලයක එළඹුම දක්වමින් ස්වභාව ධර්මයා මෙසේ වසන්තශ්‍රීයෙන් ඇලළී යාම සිදු කරයි.

සූර්යයා ප්‍රමුඛ කොට ගත් ග්‍රහ තාරකාවන් අරබයා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ශාස්ත්‍රයකට අනුව යමින්, නැකැත් අනුව කටයුතු සිදු කරමින් සූර්ය මංගල්‍යය සමරන්නට ලාංකිකයන් බොහෝ දෙනෙකු උත්සුක වන්නේ ද මේ අලුත් වන පරිසර ස්වභාවයනට සමගාමීව ය. අලුත් ඇඳුම් පැලඳුම්, කැවිලි පෙවිලි, නෑදෑ ගමන් ආදියෙන් ද යුතු සැණකෙළි සමයක් ලෙසත් මේ කාලසීමාව ජන සමාජය තුළ ඉඩක් ලබා තිබේ. එහෙත්, ග්‍රහ තාරකා පිළිසරණ කර ගනිමින් නැකැත් ආදියෙහි පිහිට සෙවීම බෞද්ධයනට යුතු වූවක් නොවේ. මේ නැකැත් සැණකෙළිය දකුණු ඉන්දීය බමුණු ආක්‍රමණිකයන් විසින් පොලොන්නරු යුගයේ දී අප ජන සමාජය තුළ බලහත්කාරයෙන් පිහිටුවන ලද්දකි.

මේ නැකැත් කෙළිය පවතින්නේ සූර්යයා ප්‍රමුඛ කොටගෙන ය. සූර්යයාට අධිගෘහිතව වසන සූරිය දෙව් පුතුන් පවා සරණ ගොස් සිටින්නේ ද අනතුරට පත් වූ කල්හි පිහිට පිළිසරණ අපේක්ෂාවෙන් සිහිපත් කරන්නේ ද දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. එසේ හෙයින්, සූර්යයා මුල් කොටගත් නැකැතකින් බෞද්ධ අප කවරක් අපේක්ෂා කරන්න ද? සැබැවින් ම පරිසරය පවා මෙසේ අලුත් වෙමින් වෙනස් වෙමින් සූදානම් වන භාග්‍යවත් යුගය යනු සූර්ය සංක්‍රාන්තිය නොවේ; මහා බෝසතාණන් වහන්සේ අවසන් සිරුර දරා ගනිමින් මනුලොව වැඩම කරලීම ද උන්වහන්සේ දස මරුන් පරදා වජිරාසන මත වැඩ හිඳිමින් මහා බෝධි මූලයේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වීම ද හතලිස් පස් වසරක් පුරා සම්බුදු කෘත්‍යය මැනැවින් සපුරා අමා මහ නිවනට වැඩම කරලීම ද සිදු වූ සම්මා සම්බුදු යුගයේ එළඹුම යි…

අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී ගත් සංසාරගත සත්ත්වයා අමා මහා නිවනට පමුණුවාලන ධර්ම මාර්ගය ලොවට විවර වීමට වඩා උතුම් භාග්‍යයක් තවත් නම් වේ ද? ඒ බව සැදැහැ සිතින් යුතුව දරා සිටි සම්බුදු ශ්‍රාවක වූ හෙළදීපවාසී අපගේ මුතුන්මිත්තන් අතීතයේ දී නව වසර ලෙස සැලකුවේ බුද්ධ වර්ෂය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹෙන 2565 වන බුද්ධ වර්ෂයේ සමාරම්භයට අපි දැන් පිවිස සිටින්නෙමු. ඒ නව වසරට අලුත් වීමට සිතීම, අදිටන් කර ගැනීම, උත්සුක වීම අප කාහටත් යහපත, හිතසුව පිණිස පවතින්නේ ම ය.

නැකැත් සරණ කර ගැනීම අයත් වන්නේ මිථ්‍යා දෘෂ්ටියට ය. යමෙකු ඒ මිථ්‍යා දෘෂ්ටීන් පිහිට පිළිසරණ කොට ගන්නේ නම් ඔවුන් ගරහන්නේ සම්මා දිට්ඨියට ය. මිථ්‍යා දෘෂ්ටික වූ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටී ද නැකැත් සරණ යන්නවුන් විසින් පුදනු ලබන්නේ ද පසසනු ලබන්නේ ද ඔවුන් ව ය. එසේ නම්, සැබෑ බෞද්ධයෙකුට නැකැත් සැණකෙළියකට අනුගත වීමක් තිබිය හැකි ද? දීන, නීච භාවයන්ගෙන් නැගී සිටිමින් සැබෑ සරණ අවබෝධ කොටගෙන ඒ සරණ රැක ගන්නට අප උත්සුක විය යුතු නොවේ ද?

සසර ගමන යනු පැරණි කර්මයන් ය. ඇස් කන් නාසාදී මේ ඉන්ද්‍රියයන් පැරණි කර්මයන්ගේ ප්‍රතිඵලයන් ය. හැම පැරණි කර්මයක් ම වනසා දමමින්, යළි කර්ම රැස් නොකරමින් සියලු භවයන්ගෙන් අත්මිදීම පිණිස සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළ සේක. ‘අලුත් වීම’ කියා මනා කොට පැසසිය හැක්කේ එය නොවේ ද?

විඳවමින් දැක ගත යුතු පැරණි කර්ම ක්ෂය කොට, පහන් සිළක් සේ නිවී යාම පිණිස අපිදු අලුත් වෙමු…!