මනුස්සයෙක් වෙලා මේ ලෝකේ අපි උපදින්නේ ජීවිතේ ගැන හොඳට දන්න කෙනෙක් විදියට නෙමෙයි, කිසි දෙයක් නොදන්න ළදරුවෙක් විදිහටයි. අපි ලොකු මහත් වෙද්දී අපි වැඩිමනක් ඉගෙන ගන්නේ කාල බීල යැපෙන විදිහ, කාම සැප හොයන විදිහ ගැන මිසක්.. “මේවා පින්… මේවා පව්.. පින් කළාම සැප ලැබෙනවා.. පව් කළාම දුක් විපාක ලැබෙනවා… ජීවිතේ හරිම කෙටියි. කොයි වෙලාවේ අහිමි වෙයි ද දන්නෙ නෑ. ඒ නිසා ජීවිතේ වරද්ද ගන්න නම් එපා…!” කියන පණිවිඩේ නෙවේ. මං හිතන්නේ නෑ අබෞද්ධ කිසිවෙක්ට ඒ පණිවිඩය අහන්න ලැබෙයි කියලා. බෞද්ධ වුණත් සුළුතරයකට විතරයි ළමා කාලෙම ඒ පණිවිඩය අහන්න ලැබෙන්නේ.

පින් පව් ගැන හරිහමන් තේරුමක් නැතිව පුංචි දරුවා කාලේ ඉඳලා හැදෙද්දි අපි කවුරු අතිනුත් විවිධ වැරදි අඩුපාඩු වෙනවා. සමහර දේවල් ‘වැරදි ඇති’ කියලා හිතුණත් වීරිය නැති නිසා, අපාය භය නැති නිසා, සසර භය පිහිටලා නැති නිසා, අපිම බලාපොරොත්තු නොවුණ විදිහට ජීවිතයේ වරදිනවා. මං හිතන්නෙ ලෝකෙ කවුරුත් කැමතියි පිරිසිදු ජීවිතයක් ඇති කෙනෙක් විදිහට අභිමානවත්ව ඉන්න. නමුත්, යම් වරදකට වැටුණම ඇතැමෙක් වරද අඳුනගෙන වෙනස් වෙද්දි, සමහරු ඒ වරදට ම යටවෙලා පවටම බර වෙනවා. ටික ටික හෝ බහුලව හෝ ජීවිතයට පව් රැස් වුණාම… ඉතිරි වෙනවා භයානක දෙයක්. ඒකට කියන්නේ “පසුතැවීම” කියලා.

මුළු ලෝකෙටම තමන්ගේ කැරට්ටුව හැංගුවත්…, අපට බෑ අපේ හිතට හංගන්න. හෘදසාක්ෂිය අපි දිහා බලාන ඉන්නෙ. තනි වුණාම… වැඩ අඩුවෙලා විවේකයක් ආවම… වැරදි කරපු කෙනාගේ හිතේ හොල්මන් කරන්නේ තමන් කළ වැරදිමයි. එයාට සැනසිලි නින්දක් නෑ. සැප සේ හිඳීමක් නෑ. මවාගත් සිනහවකින් ලෝකය සනස්සන එක තමයි ඉතුරු. ලෙඩ වෙලා අසරණ වුණාම මේ තත්ත්වය තවත් දරුණු වෙනවා.. හිතේ දුක කියාගන්න බෑ… බොහෝ දෙනෙකුට වරදක් විවෘත කරලා නිවැරදි වෙන්න සුදුසු කෙනෙක්, (වරදට සමාව දීල, නිවැරදි වෙන්න උදවු කරල පිහිටවෙන, සැබෑවටම කරුණාවන්ත කෙනෙක්) මුණගැ-හෙන්නෙ නෑ. එහෙම පසුතැවෙන කෙනෙක් මරණාසන්න වෙනවා කියන්නේ මහා ඛේදජනක දෙයක්… ඒක සුළුපටු අනතුරක් නෙමෙයි.

තව දෙයක්… එක අතකට මනුස්සයෙක්ට පසුතැවීමක් එන්නත් මොළයක් ඕන. මොකද.. පසුතැවෙන්නේ තමා වරදක් කළ බව දකින, අවංකව මේ බව පිළිගන්න කෙනානෙ. ඒ පසුතැවීමේ ප්‍රතිඵලය විය යුත්තේ ඉක්මනින්ම නිවැරදි වීමට උත්සාහ කිරීමයි. හැබැයි කෙනෙක් පසුතැවීම තුළ ම නැවතුණොත් සියල්ල සුන්. වැරදි කරපු කෙනෙක්ට බණ අහන්න අහන්න තව තව පසුතැවිල්ල එනවා… “අනේ මං අසවල් අසවල් වරද නොකළා නම්… මගේ ජීවිතේ කොච්චර පිරිසිදු ද? මට එහෙනං සුටුස් ගාලා දිව්‍යලෝකෙ හිත පිහිටුවා ගන්න තිබ්බා. දැන් කොච්චර පින් කළත්, අර වරද ම මතක් වෙවී, පින් හිත බාල්දු කරනවා. අසවල් අසවල් අයගේ වැරදි නිසයි මට මෙහෙම වුණේ. අපරාදේ මගේ ජීවිතේ.” කියලා ගොඩක් පින් කරන අතරේ උනත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

ඒකෙ භයානකකම මේකයි.. හොඳට අතපය හයිය තියෙන වෙලාවෙ, කට පණ තියෙන වෙලාවෙ, හිතෙත් හයිය තියෙන වෙලාවෙ හිතට එන පසුතැවීම දුරු කරගන්න බැරි නම්, ඒ පසුතැවීම ඉක්මවා යන බලවත් කුසල් සිතක් උපදවා ගන්න බැරි නම්, අත පය පණ නැතිව, හිතත් අඩපණ වෙලා ඇඳට වැටිලා මරණාසන්නව ඉද්දි, දන්න කියන අයත් පරණ කෝන්තර පිරිමහගන්න බලාගෙන ඉන්න ඉඩ තියන පරිසරයක කොහොම නම් පසුතැවීමෙන් මිදෙන්න ද? එනිසා කළ වැරදි මත්තේම වැළපීගෙන සිටීම දැන්ම, ඔව් දැන්ම නැවැත්විය යුතුමයි.!

මොකද පසුතැවීමෙන් මැරෙන කෙනෙක් කවදාවත් සුගතියේ යන්නෙ නෑ. කොච්චර සිල් රැකල පින් කරල තිබ්බත් යක්ෂ යෝනියකට හරි, නාග ලෝකයට හරි යනවා ඇරෙන්න. සමහරවිට නිරයටම වැටෙනවා හැරෙන්න පසුතැවීම ලබා දෙන ලාභයක් නම් නෑ. කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20,000ක් සිල් රැකපු සමථ විදර්ශනා වඩපු ස්වාමීන් වහන්සේනමක් ගසකින් කොළයක් කැඩූ පුංචි ඇවතක් ගැන පසුතැවි තැවී ඉඳලා, නාග ලෝකයේ උපන් බව ඔබත් අහල ඇතිනෙ. අන්තිම කාලේ කළ පින් සිහි කරනවා වෙනුවට, කළ පුංචි වැරැද්ද ගැන තැවි තැවී හිටිය නිසා උන්වහන්සේට කාශ්‍යප බුද්ධ ශාසනයත්, ගෞතම බුදු සසුනත් අවාසනාවන්ත විදිහට අහිමි වුණා. ආයෙත් කවදා නම් පිහිටක් ලබාවි ද? ඒකයි කියන්නේ, දැන් දැන් ම පසුතැවීමට හිත යට වීම වළක්වා ගන්න ඕන කියලා..

මතක තියාගන්න.. අපි මැරෙද්දි අපි ළඟ පිං පොත කියවන්න කවුරුත් ඉඳියි කියලා හිතන්න බෑ. අපි හිතන විදිහට නෙවෙයි මරණය අපි කරා එන්නේ…. දරුවො, නෑයො සැනසිලි වදන් කියන්නෙ නෑ.

ඒ බොහෝ දෙනත් දුක් ගැනවිලි කියාගෙන අඬා වැටෙන්න බලාගෙන ඉන්නේ. අඳෝනා මිසක් හිතට හයිය දෙන බණ පදයක් කියන කෙනෙක් ඉඳී කියල සුභ සිහින මවන්න එපා.

ඊළඟට ඇස් අරිද්දී… ඊළඟ ලෝකේ…?

අපි අමතක නොකළ යුතු ප්‍රධාන දේ තමා ජීවිතේ ජීවත් වෙන්න තියෙන අවස්ථාවට වඩා මැරෙන්න තියෙන අවස්ථාව වැඩියි. දැන් ලෝකේ කොරෝනා වසංගතය පැතිර යනවා. හිටපු ගමන් වයස් භේදයක් නැතුව මිනිස්සු මැරෙනවා. අනතුරුවලින් පුදුම විදිහට මැරෙනවා. අනාගතේ යුද බිය, ස්වභාවික ව්‍යසන, දුර්භික්ෂ ආදී මොන මොන හේතු නිසා මරණය අප කරා එයි ද දන්නේ නෑ. තේරුම් ගන්න මේ යථාර්ථය. අපි ගෙවන ජීවිතේ සැලසුම් කළ යුතුයි තමයි, නමුත් මරණය හැමවිටම ළඟම දැවටෙන බව අමතක කරන්න එපා. ඒ මරණයට අපි නිරතුරු සූදානම් වෙන්න ඕන.

ඇත්තටම මරණය ගැන නිතර හිතන කෙනා නෙගටිව් ද? (ඍණාත්මක ද?) ඒක තේරුම් ගන්න මරණය සිහිකරන කෙනාට ලැබෙන ප්‍රතිඵලය තේරුම් ගන්න ඕන. මරණෙට සූදානම් වන කෙනා සූදානම් වෙන්නේ බටර් පාන් කාලා දිගාවෙන්න නෙමෙයිනේ, ඊළඟ උපතට ලෑස්ති වෙන්නෙ. ඊළඟ උපත සුභදායි වෙන්න නම් ජීවිතේ රැස් කරපු පින් තියෙන්න ඕන. සම්මා දිට්ඨියේ පිහිටලා ඉන්න ඕන. පසුතැවීම්, දුක් දොම්නස්, තරහ, ආසාවල්, වෛර, කෝන්තර ආදී කෙලෙස්වලින් හිත කුරුවල් නොවී තියෙන්න ඕන. පැහැදුණු සිතකින්, තුනුරුවනට ජීවිතේ පුදලා කළ පින් සිහි කර කර මැරෙන්න ඇත්නම් කියල හිතද්දිත් සැනසීමක් නේද? ඒ සැනසීම සුගති උපතක ලකුණයි. ඉතින්, එබඳු සුභ මරණයකට සූදානම් වෙන කෙනා වරදින් අත්මිදෙනවා. යහපතම පුරුදු කරනවා. ඒ නිසා මෙලොවත් එයා සාර්ථක වෙනවා. ගුණයෙන් පෝෂණය වෙනවා. අන් අයවත් සැපවත් කරනවා. ධාර්මිකව ජීවත් වෙනවා. ඒ නිසා ඒ ජීවිතය තමන්ටත් අනුන්ටත් වැඩදායී, පොසිටිව් එහෙම නැත්නම් ධනාත්මක ජීවිතයක්.

අපේ අභියෝගය…

කුමක් හෝ ප්‍රමාද දෝෂයක් නිසා වැරදී ගිය අතීතයෙන් වැටෙන අඳුරු සෙවණැලි අපේ පහන් සිත වසා දමනවා නම්, මරණය ඉස්සරහ අපිට අපේ ඊළඟ උපත අවිනිශ්චිත වෙනවා නේද? ඒකනේ… සමහර වයසක අම්මලාගෙන් ඇහුවම “අම්මා ගොඩක් පින් කළානේ… කොහේ උපදී ද?” කියලා.. “අනේ දන්නෑ.” කියන්නෙ. පින් කළ බව ලෝකෙ දැක්කට තමන්ගෙ කිල්ලෝටෙ හුණු ටික ගැන දන්නෙ තමා. ඒ නිසා අර නාග ලෝකෙ උපන් ස්වාමීන් වහන්සේට උනා වගේ, හිතේ තියෙන පුංචි පසුතැවීම වුණත් කෙනෙක්ව අවිනිශ්චිත බවට ඇදලා දාන්න සමත්. ජීවත් වෙද්දිත්, මරණය අසලදිත් පසු නොතැවෙන්න, පිනෙන්ම සතුටු වෙන්න අපි මොනවද කළ යුත්තේ..?

තුනුරුවන ම පිහිටට අරගන්ටයි….

කුසල්-අකුසල්, පින්-පව් ගැන ලෝකෙ නිශ්චිත පරිපූර්ණ විග්‍රහයක් කරපු, සියලු දුකින් නිදහස් වෙන එකම මඟ හෙළි කරපු අසහාය ශාස්තෘන් වහන්සේව දිවිහිමියෙන් සරණ යනවා කියන්නේ “බුදුරජාණන් වහන්සේ හැර ශ්‍රී සද්ධර්මය හැර සංඝ රත්නය හැර මට වෙන පිහිටක් නෑ” කියලා පිහිට පිළිසරණ, රැකවරණය, මාර්ගෝපදේශකය හැටියට තිසරණය තබා ගැනීම යි. එතකොට සුභ නිමිති, සාස්තර, භූතයෝ, යක්ෂයෝ, කේන්දර ආදිය තමාගේ ජීවිතේ හටගන්නා ප්‍රශ්නවලට පිහිට, විසඳුම හැටියට තෝරා ගන්නේ නෑ.

මොකද, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හරි වැරැද්ද, කළ යුතු, නොකළ යුතු දේ කියා දෙන්න ගුරුවරයෙක්, ශාස්තෘවරයෙක් ඉන්නවා. අසහාය මඟපෙන්වීමක් තියනවා. වරදින්නෙ නැති අනාගතයක්, නිවැරදි කර ගත් අතීතයක්, හොඳ – නරක විමසා කටයුතු කරන වර්ථමානයක් පිණිස මහා කාරුණික අත්වැලක් තියෙනවා. ඒ තුනුරුවනේ පිහිටට ආපු කෙනා හැම දුකකදිම කරදරයක දී ම තුනුරුවනට ම ළං වෙනවා. පිරිත් කිය කියා, දන්පැන් පූජා කර කර, සෑය බෝධිය වැඳ වැඳ තමයි පිහිට හොයන්නේ. මිථ්‍යා දෘෂ්ටි පස්සේ ගිහින් කබලෙන් ලිපට වැටෙන අය වෙන්නෙ නෑ.

තැවුල් නසන සිල් ගුණ රැකගන්ටයි…

පසුතැවීමට ප්‍රධාන හේතුව සිල් බිඳීමනේ.. එහෙම නැත්නම් සිල්පදවලට ආසන්න වෙනත් වැරදි. ඒ නිසා සීලය පිරිසිදු කරගන්ට ඕන. පිරිපුන්ව පිරිසිදුව සිල් රකින්න පටන් ගන්න (අධිෂ්ඨාන කරන) මොහොතේ ඉඳල එයාගේ ජීවිතේ අලුත්, පිරිසිදුයි. ආයේ පරණ ජීවිතේ ගැන හිත හිතා ඉඳල වැඩක් නෑ. අතීතය ආපස්සට ඇදල නිවැරදි කරන්න පුළුවන්නම්, හැමෝම ඒක තෝරගන්නවා.

නමුත් කොච්චර දුක් වුණත්, හැඬුවත්, වැළපුණත් කළ දේවල් නොකළා වෙන්නෙ නෑ. කළ හැකි එකම දේ මතුවට සංවර වීම විතරයි. එනිසා මෙතෙක් ජීවිතේ වැරදුණ, නොමඟ ගිය කෙනෙක් ඉන්නවා නම්, ඔබටත් පුළුවන් පසුතැවෙන ජීවිතේ අතාරින්න. මේ මොහොතේ ම තෙරුවන් සරණ පෙරටු කොට සිල් සමාදන් වෙලා රකින්න අධිෂ්ඨාන කරගන්න. වීරිය දුර්වල වෙලා ආයේ සිල් කිලිටි වුණොත් ආයේ සමාදන් වෙන්න. ‘මට බැහැ’ කියල අතාරින්න එපා. ආයේ ආයේ සිල් සමාදන් වෙද්දි තමාටම තමාගේ වරද ගැනත්, දුර්වලකම ගැනත් කලකිරිල බලවත්ව වීරිය උපදින දවසක් ඒවි. තමන් ගැන නෙමේ, ධර්මය ගැන විශ්වාසය කරන්න. උත්සාහය අත්හරින්න එපා.

මේ මොහොතේ ඉඳල යම්තාක් පණ ඇති සතුන්ට තමන් අතින් ජීවිත හානියක් හරි, පුංචි හිරිහැරයක් හරි වෙලා තියෙනවා නම්, ඒ සියල්ල නවත්වනවා කියල හිතන්න. තමාට නොදුන් පුංචි දෙයක්වත් ගන්නෙ නෑ කියලා හිතන්න. වැටුණ පර්ස් එකක් දැක්කත්, ඒකෙ ලක්ෂ ගාණක් සල්ලි තිබ්බත් ඒක අයිතිකාරයාට ම දෙන්න තරම් ලෝභ රහිත වෙන්න. වැරදි කාම සේවනයෙන් වළකින්න. තමාගේ ස්වාමියා හෝ බිරිඳ හැර වෙන කෙනෙක් ගැන හිතන්නවත් එපා. විවාහ වන තුරුම දූ පුතුන් හොඳට බඹසර රකින්න. සරාගී හැසිරීමකට යන්න එපා. ‘පිරිසිදු චරිතවත් කෙනෙක් වෙනවා’ කියල දැඩි අධිෂ්ඨානයකින් ඉන්න. විහිළු තහළුවලට බොරු කිව්වත් ඒවායේ භයානක විපාක ලැබෙන හැටි ධර්මයෙන් ඉගෙන ගන්න. ‘විහිළුවටවත් බොරු කියන්නෙ නෑ’ කියලා අධිෂ්ඨාන කර ගන්න. බොරුවෙන් වළකිද්දී යාළුවෝ අඩු වෙලා යයි. හැබැයි ගුණවන්ත, සත්‍යවාදී, සුළු පිරිසක් ඉතුරු වෙයි. එයාලනේ සැබෑම යාළුවෝ. බොරු නොකියා දියුණු වෙන්න බෑ කියන එක මිථ්‍යාවක්. ඒ බොරුවට අහුවෙන්න එපා. මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්කුඩු ආදී මත්වෙන හැම දෙයකින් ම වළකින්න. මතක තියාගන්න, මේ ජීවිතේ මත් වීම පුරුදු කරන කෙනා සිහිමුළා වෙලා ඉන්න එක පුරුදු කරලා අන්තිමට මන්ද බුද්ධික වෙලා උපදිනවා. මේවා විහිළු නෙවේ. පවට ඇති ලැජ්ජාව, බය නැතිකර දමන මත්වීමට ඇබ්බැහි වෙන්න එපා.

අනික අපි අමතක කරන්න නරකයි “තමන්ට තමන් විතරයි” කියලා. අතීතය දිහා බලන්න, වැරදි කළාට පස්සේ වැරදිවලට අනුබල දුන්න, සක්ක ගහපු යාළුවෝ අපි ළඟ නෑ. නමුත් කළ වරද නිසා තමන්ගේ චරිතයට වුණ කැළල තියෙනවා. ඒ නිසා, ‘තමන් නිසා හෝ අනුන් නිසා හෝ ආයෙ නම් වරදක් කරන්නෙ නෑ… මං සිල්වත් කෙනෙක් වෙනවා’ කියල හිතන්න. මොකද කවදාහරි තමන්ගේ ක්‍රියාවට තමන්ම වග කියන්න වෙනවා, තනියම මුහුණ දෙන්න වෙනවා.

පින සිහිවන පින් සිතක් තනන්ටයි.

සුගතියේ යන එක ලේසි නෑ. බුද්ධ කාලයේ නම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. රහතන් වහන්සේලා වැඩ හිටියා. ඒ උතුමන් වහන්සේලාට දන් පුදපු අයට ඒ පින ම ඇති වුණා දෙව්ලොව යන්න. පිනෙන් මෝරපු ඒ කාලේ මිනිස්සුන්ට හිත පහදවා ගැනීමේ දක්ෂතාවය ඇති තරම් තිබුණා.

ඒ ජීවමාන මුනිවරු නැති ලෝකෙ පින මහත්ඵල වෙන්න නම් සෑය බෝධිය කෙරෙහි ‘මේ මාගේ ශාස්තෘන් වහන්සේ ය’ කියන සිත බලවත් ව පිහිටන්ට ඕන. සංඝයා දකිද්දි ‘මේ රහතන් වහන්සේලාගෙන් පැවත එන සංඝරත්නය යි’ කියලා හිත පහදින්න ඕන. අපිත් ගුණවත් ව සිල්වත් ව ධාර්මික ව ඉන්ට ඕන. එක එක හේතු නිසා හිත කිලිටි වෙලා, පැහැදීම දුබල වෙලා නොතිබෙන්ට ඕන. පුංචි දෙයක් පූජා කරලා වුණත් හිත සතුටින් පුරවා ගන්න පුළුවන් වෙන්නත් ඕන.

කොහොම වුණත් අද කාලේ අපිට එදා පුණ්‍යවන්තයන්ට සිදු වුණ දේවල් දිහා බලලා පුංචි පිනකින් “හැමදේම හරි යයි. දැන් නම් ඇති වෙන්න පින් කළා” කියල තෘප්තිමත් වන එක සුදුසු නෑ. ඒ මානසිකව දියුණු යුගයේ පවා මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ,

“පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ” කියලයි…

(යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. ‘සැප’ කියල කියන්නෙ පිනටමයි.)

ඒ නිසා ආයෙ ආයෙමත් පින් කරන එක ම යි වටින්නේ. මොකද, ගොඩක් පින් කරපු කෙනෙකුට නම් ජීවිතේ දිහා හැරිල බලද්දි කළ පින් ම මතක් වෙන නිසා පරණ වැරදි අමතක කරලා පින් සිහි කරන්න ලොකු හයියක් එනවා. සුගති ගමන රැකල දෙන්නෙ ඒ පින මුල් කරගෙන, ශ්‍රද්ධාව මුල් කරගෙන හට ගන්න ප්‍රීතිය ම යි.

ඒ නිසා ජීවිතේ පිනෙන් ම පුරවා ගන්න. පුළුවන් තරම් දන් දෙන්න. හම්බකරන දේවලින් කොටසක් “සංඝයා උදෙසා දානයට” කියල වෙන් කරන්න. අලුත් දේවල්, වටින දේවල්, කැප දේවල්, තමන් ආසා කරන දේවල් දන් දෙන්න. හිඟන්නෙක්ට යමක් දුන්නත් ගෞරවයෙන් දෑතින් ම දෙන්න. සතෙක්ට දුන්නත්, දුස්සීල කෙනෙක්ට දුන්නත් පිනක් රැස්වෙන බව සිහි කරන්න. හැම දවසෙම මොනව හරි පිනක් කරන්න. දන් දීමක්, ඇප උපස්ථානයක්, ගිලානෝපස්ථානයක්, මොනව හරි කමක් නෑ.

අම්මෙක් නම් දරුවන්ට, ස්වාමියාට රසට කන්න හදල දෙන්න. යුතුකම් මනාව ඉෂ්ඨ කරන්න. ඒවා පින් බව සිහි කරන්න. සෑයක්, බෝධියක් වඳින්න. ගෙදර හැමදාම බුද්ධ වන්දනාව කරන්න. මලක් පහනක් පුදන්න. පිරිතක් කියන්න. ටික ටික භාවනාවක් පුරුදු කර ගන්න.
පින් පොතක් හදාගන්න. ඒක හරි ම වටිනවා. ඔබේ දිනපොතේ එදිනෙදා සිදුවීම් වෙනුවට කළ පින් ලියන්න. තනි වුණාම කෙලෙස් සහිතව අතීතය සිහි නොකර, පින්පොත ආයෙ ආයෙ කියව කියවා සතුටු වෙන්න. අන්තිම මොහොතේ නම් පින් පොත කියවන්න ඉන්න එපා.

බුදුගුණ බලයෙන් සිත සනසන්ටයි.

මෙහෙම තෙරුවන් සරණ ගිහින්, සිල් රැකගෙන, පින් කරගෙන ඉද්දිත්, පසුතැවීම හිතට එන්නෙ ඇයි?

තමන් සරණ ගිය තිසරණය අතීත සංස්කාරයනට වඩා මහා බලවත් බව, පවට වඩා පින බලවත් බව, අදහාගන්නේ නැති වුණාම තමා ඒ පසුතැවීම හිතට එන්නේ. ඒ නිසා පසුතැවීම නසන දහම මේ විදිහට දරා ගන්න, අදහා ගන්න, නිතර දෙවේලේ සිහි කරන්න.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ‘වසර 100ක් පව් කරපු කෙනෙක් වුණත් මරණාසන්න කාලයේ එක බුදු ගුණයක් සිහි කළොත් ඔහු දෙවියන් අතර උපදිනවා’ කියල ඔබවහන්සේ ප්‍රකාශ කරල තියෙනවා නේ ද?

ඒ වගේම එක වරක් කළ ප්‍රාණඝාතය නිසා නිරයේ උපදිනවා කියලත් ප්‍රකාශ කරනවා නේද? මට නම් ඕක විශ්වාස කරන්න බෑ.”

“මහරජ, කුඩා ගලක් වුණත් නැවක නොතබා පා කරන්න පුළුවන් ද?”

“බෑ… ස්වාමීනි.”

“මහරජ, කරත්තයක් තරම් විශාල ගල් 100ක් වුණත් නැවක තිබ්බම ජලයේ පාවෙන්නෙ නැද්ද?”

“පාවෙනවා, ස්වාමීනි.”

“මහරජ, කුසල් දහම් ගැනත් ඔය විදිහට තමයි තේරුම්ගන්න තියෙන්නෙ. කුසල් දහම් හරියට නැවක් වගේ.”

මිලිඳු රාජ ප්‍රශ්නය – අරූප ධම්ම වවත්තන වර්ගය)

ඇත්තෙන්ම ගලක් කොච්චර පුංචි වුණත්, කොටින්ම වැලි කැටයක් වුණත් ජලයේ ගිලෙන එක වළක්වන්න බෑ. ඒ වගේ, ජීවිතේ කිලිටි කරන්න පුංචිම පුංචි අකුසලයකට පුළුවන්. මේ ජීවිතේ දිහා බලද්දි වෙලා තියන වැරදි ගැන අවතක්සේරු කරන්නත් බැහැ. කර්මය විපාක නොදී අවසන් වීමක් නෑනේ. එනමුත්, මහා ගල් කන්දක් වුණත් සවිමත් නැවකට පටවා ගත්තොත් ජලයේ පා කරන්න පුළුවන් ම යි. ඒ වගේ… විශාල වැරදි කළ කෙනෙක් වුණත්, ලෝකයෙන් ම ගර්හාවට, උපහාසයට ලක්වෙන කෙනෙක් වුණත්, ජීවිතේ පිනෙන් ගොඩක් බලවත් කළොත්, හැමතිස්සේම බුදුරජාණන් වහන්සේව ම සිහිවන හිතක් පැවැත්තුවොත්, හොඳ පිරිසිදුවට සිල් රැකල, ඉවසීම, මෛත්‍රිය, කරුණාව, දයානුකම්පාව, අවංකකම, සත්‍යවාදී බව, චරිතවත් බව, සම්මා දිට්ඨියෙන් යුක්ත බව, කෘතගුණ දන්නා බව, කෘතගුණ සිහි කරනා බව ආදී මෙකී නොකී ගුණධර්ම දියුණු කරල හිත පිරෙන්න දන්පැන් දීලා, ඇප උපස්ථාන කරලා, සෑයට බෝධියට වත් කරලා පින් පුරවා ගත්තොත්… ඒ පව් අභිබවා යන්න පින් කර ගත්තොත්, පසුතැවීම් අතෑරලා, තමන්ගේ හිත තිසරණය ගැන, පින ගැන පැහැදිලා පෑදුණු වතුරක් වගේ – ඔපදාපු මැණිකක් වගේ බබළ බබළා තිබ්බොත්… ඒ හිත සතර අපායට කෙසේ නම් වැටෙන්ට ද? කෙලෙස් සහිත හිත් තියෙන අපි බලවත් නෑ තමයි, නමුත් ධර්මය බලවත්, සරණ බලවත්. ඒක විශ්වාස කරන්න. අකුසලයට වඩා කුසලය බලවත්. ඒ දහම විශ්වාස කරන්න.

කෙළෙහිගුණය දැන පෙරට ම යන්නයි.

මෙසේ සියලු අකුසල් අභිබවා යන කුසල් ඉපදවීමේ අසිරිමත් බලයෙන් යුතු බුදු සසුනේ පිහිට තියෙන්නේ, තිසරණය මනාව පිහිටන්නේ, කෙළෙහිගුණ දන්න – සිහිකරන සත්පුරුෂයෙක්ට ම යි. ඒ නිසා තමන්ට ජීවිතේ පුරාවට උපකාර කළ කිසි කෙනෙක්, ඒ කිසිම උපකාරයක් අමතක කරන්න එපා. තමන්ට තිසරණ සිල් හඳුන්වා දුන්, මේ යුගයේ පිරිසිදු බුද්ධ වචනය උස් හඬින් කථාකරන්න පටන් ගත්ත කල්‍යාණමිත්‍ර ගුරු දේවයන් වහන්සේ කවුද කියලා අමතක කරන්න එපා.

ගුරුදේවයන් වහන්සේ දැකල වඳින්ට පුදන්ට නැතත්, හිතින් වඳින්න. ජීවිතේට පිහිට දුන් තුනුරුවනට, සඟ පරපුර අරඹපු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට, භික්ෂුණී සඟ පරපුර ඇරඹූ ප්‍රජාපතී රහත් තෙරණින් වහන්සේට, සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේට, කල්‍යාණමිත්‍ර ගුරු දේවයන් වහන්සේට තමන්ගේ දෙමව්පියන්ට, ශිල්ප දුන් ගුරුවරුන්ට සිතින් පවා වඳින්න… පුදන්න… සිහි කරන්න. ඒ උතුමන්ට වැඳල නින්දට යන්න. නිතර තුනුරුවනට ජීවිතේ පූජා කරන්න.

අපට උදව් කළ කෙනෙක් පස්සෙ කාලෙ නොමඟක ගියා කියමු. ‘කෙළෙහිගුණේ’ කියල ඒ කෙනා පස්සෙන් නොමඟ යන්න එපා. නමුත් කළ උපකාර ගැන හිතේ කෘතඥ බව තියා ගන්න. මෙත් සිත පවත්වන්න. කෙළෙහිගුණේ පිහිටලා ධර්මයේ හැසිරෙන කෙනා තුළ තමයි ගුණධර්ම වැඩෙන්නේ. කෙළෙහිගුණ නැතුව සත්පුරුෂයෙක් වෙන්න බෑ.

තමාගේ ජීවිතේ වෙච්ච වැරදි කියල විවෘත වෙන්න සුදුසු කල්‍යාණමිත්‍ර සත්පුරුෂයෙක් නැත්නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට කියනවා වගේ සෑයට, බෝධින් වහන්සේට දුක කියන්න.. විවෘත වෙන්න.. සමාව ගන්න. ඉන්පස්සේ අලුතින් ඉපදුණා කියල හිතාගෙන මේ කියූ විදිහට සිල් රැකගන්න, පින් රැස් කරගන්න, කුසල් වඩන්න. පසුතැවීම හිස් දෙයක් බව දැකල අත්හරින්න. බුදු ගුණයේ ම හිත පවත්වන්න.

කිසිවක් නෑ හැමදා පවතින්නේ…
බුදු සරණ ය අපට වටින්නේ…

සුගති සංඛ්‍යාත දෙව්ලොව දෙස බලාගෙන මැරෙන සුන්දර මරණයකට හිමිකාරයෙක් වෙලා මෙලොවත් පරලොවත් ජය ලබන්නට ඔබට අපට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්​සේ නමක් විසිනි.