කලාතුරකින් කෙනෙකුට ලැබෙන දුර්ලභ දෙයකි මනුලොව උපත. නමුත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ හැම දෙනාගෙම ජීවිතය සාර්ථක වෙන්නේ නෑ. එය සාර්ථක බව පෙන්නුම් කරන ප්‍රධාන දේ නම් මරණින් මතු ඔහු උපදින තැනයි. බොහෝ වෙලාවට නිරය, තිරිසන්, ප්‍රේත ආදී නීච පහත් ලෝකවලයි මිනිසාගේ උපත සිදුවන්නේ. එවැනි අයගේ දුක්ඛිත කතා පිළිබඳව බුද්ධ දේශනාවේ මේ අයුරින් සඳහන් වෙනවා.

“ඔබේ ශරීරයේ පෙනුම නම් දිව්‍ය සිරුරක් වගේ සුන්දරයි. ඔබ ඉන්නේ ආකාසයේ. ඒ වුණාට ඔබේ මුඛය ඉතාමත් දුඟඳයි. පණුවන් කට පුරා පිරිලා කට කකා ඉන්නේ. කලින් ජීවිතයේ ඔබ මොන වගේ කර්මයක් ද කර ගත්තේ?”

“මම ඉස්සර පවිටු භික්ෂුවක්. මං හරියට දුෂ්ට වචන කිව්වා. සිල්වත් කෙනෙකුගේ වේශයෙන් හිටිය. වචනයේ සංවරකමක් තිබුණේ ම නැහැ. මං බඹසර රැකපු නිසා මගේ ශරීර සෝභාව වර්ණවත් වුණා. කේළාම් කියපු නිසයි මගේ කට කුණු වුණේ.”

(තුන්වෙනි පූතිමුඛ ප්‍රේත වස්තුව)

ඇත්තෙන්ම මනුලොව දී ඔහු පෙරවූ සිවුරවත්, වළඳපු ආහාරයවත් නොවෙයි ඔහුගේ ජීවිතයට බලපෑම් කළේ.

“ඔබ අහසේ ඉන්නේ. හරිම ගඳයි. කුණු ගඳ හමනවා. කුණු ගඳ හමන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක් ද කළේ? ආයුධ ගත් පිරිස් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු වතුර ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා. ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසා ද මේ වගේ දුකකට පත් වුණේ…?”

“මං හිටියේ රජගහනුවර රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධන සම්පත්වලට අධිපති වෙලා හිටියෙ.

ඒ මගේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාල මහනෙල් මලුයි, වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපය වන්දනා කරන්න පිටත් වෙනකොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කරගත්තෙ. අසූහයදහසක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝර දුක් තියෙන නිරය වැනි ප්‍රේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නේ.”

(ධාතුවිවණ්ණික ප්‍රේත වස්තුව)

කොතරම් ධන සම්පත් තිබුණත්, පිරිවර දැසි දැස්සන් හිටියත්, ඔවුන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයක් කරා අරගෙන යන්න ඒ කිසි දෙයකට බැරි වුණා. බුද්ධ දේශනාවේ මෙහෙම තියෙනවා.

මනෝපුබ්බංගමා ධම්මා  – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කං’ව වහතෝ පදං

“ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිත ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින් ම යි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදයක් වගෙයි.”

(ධම්ම පදය – යමක වර්ගය)

එසේනම් දූෂිත වූ සිතින් යුක්තව අපි කියන කරන දේ එවැනි අසාර්ථක දුක්ඛිත ජීවිතයක් තමයි අපට උරුම කරලා දෙන්නේ. අපි කන බොන දේවත්, අන් දෙයක්වත් නොවෙයි එයට බලපාන්නේ. අපි කරන ක්‍රියාව යහපත් කරගන්න, වචනය නිවැරදිව හසුරුවන්න, හිතන රටාව පිරිසිදු කරගන්න තියෙන උත්තරීතර දේ නම්, භාග්‍යවතුන් වහන්සේ වදාළ අති උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මයයි.

ඒ පාරිශුද්ධ සද්ධර්මය තුළිනුයි නික්ලේශී පාරිශුද්ධ සිත් ඇති රහතන් වහන්සේලා මේ ලෝකයට බිහිවුණේ. සකදාගාමී, අනාගාමී උත්තමයන් මේ ලෝකයට බිහි වුණේ. සොඳුරු සත්පුරුෂ උතුමන්ගේ පහළ වීම සිද්ධ වුණේ මේ උතුම් මිහිරි සද්ධර්මය තුළිනුයි. එවැනි සත්පුරුෂ උතුමන්ගේ දර්ශනය පවා මේ ලෝකයට මහා සැපයක්.

සඳුන්, තුවරලා, සමන් මල් සුවඳ ආදී ගොඩක් මිහිරි සුවඳැති මල්වල සුවඳ පවා පැතිරී යන්නේ සුළඟ හමන දිශාවට විතරයි. නමුත් සොඳුරු වූ සත්පුරුෂ උතුමන්ගේ ගුණ සුවඳ දෙව්ලොව දෙවියන්ට, බඹලොව බඹුන්ට පවා දැනුණා. සැබැවින්ම දෙව්ලොව බඹලොව පවා සුවඳවත් කළ ඔවුන්ගේ ජීවිතවලින් හැමූ සුගන්ධය කුමක්ද? සුගන්ධය පැතිරී ගිය ඔවුන්ගේ ජීවිතවලින් දුරු වූ ආමගන්ධය කුමක්ද? අප භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට කලින් ආමගන්ධ නම් බමුණෙක් තවත් පන්සියයක් තරුණයන් සමඟ තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලයට ගොස් වාසය කළා. එහි අසපුවක් කොට, වනයේ ඇති මුල්, ඵල කොළ ආහාරයට ගනිමින් වාසය කළ මේ පිරිස කිසිවිටෙක මස්, මාළු ආහාරයට එක්කර නොගත්තේ, මස් මාළු ආහාරය ඔවුන්ගේ පිරිසිදු ජීවිතයට කිලුටක් යැයි සිතූ නිසා. ඔවුන් ලුණු ඇඹුල් ද ආහාරයට නොගන්නා නිසා ටික කාලයක් යද්දි ඔවුන්ට පාණ්ඩු රෝගය වැළඳුනා. ලුණු ඇඹුල් සොයාගෙන මිනිස් වාසයට යන්න මේ පිරිස තීරණය කළා. ඈත ගමකට පිටත්ව ගිය මේ පිරිසට ඒ ගමේ උදවිය ගොඩක් පැහැදුනා. දානයෙන් උපස්ථාන කොට ඇඳ, පුටු, බඳුන් ආදිය ද පූජා කළ ගම්වැසියන් දිගටම ඒ ගමේ නවතින්න ආමගන්ධ තවුසා ඇතුළු පිරිසට ආරාධනා කළා. එක් එක් පවුල බැගින් වෙන්වී මාස හතරක් ඔවුන්ට උපස්ථාන කළා. ලුණු ඇඹුල් ආහාරයට ගත් තවුසන් නීරෝගී වුණා. සිරුරු පැහැපත් වුණා. ඔවුන් යළිත් හිමාලයට පිටත් වුණා. ඒ විදිහට සෑම වසරකට ම සැරයක් ගමට පැමිණෙන මේ පිරිසට ඒ ගමේ උදවිය හොඳින් උපස්ථාන කළා. හොයලා බැලුවා. ටික කාලයක් ගත වුණා. නැවතත් ගමට වැඩිය තාපසවරුන්ට ගමේ මිනිසුන්ගේ ලොකු වෙනසක් තේරුණා. වෙනදා මෙන් තමන් ගැනත්, තම පිරිස ගැනත් විශේෂයක් උනන්දුවක් නොදක්වන මිනිසුන්ගෙන් තවුසන් අහනවා,

“පින්වත මේ මිනිස්සු කලින් වගේ නෙමෙයි. රජතෙමේ කිපිලා ගමට දඬුවම් නියම කළා ද? නැත්නම් ආහාර හිඟයක් ද? නැත්තං අපටත් වඩා සීලාදී ගුණයෙන් යුතු කිසියම් පැවිද්දෙක් මේ ගමට වැඩියා ද?”

“ස්වාමීනි රාජ දඬුවමකින් කරදරයක් නෑ. ආහාර හිඟ එකෙන් මේ ගමට උවදුරු නෑ. තුන්ලොව දිනූ අසහාය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා බොහෝ දෙනාට ධර්මය දේශනා කරගෙන යද්දි අපේ ගමටත් පැමිණියා.”

‘බුද්ධ’ යන වචනයෙන් ප්‍රීතියට, ප්‍රමුදිත භාවයට පත් තවුසන් අහනවා,

“ගෘහපතිවරුනි, බුදු කෙනෙක් කියල ද කීවේ?”

“එහෙමයි ස්වාමීනි, බුදු කෙනෙක් ගැනයි කීවේ.”

නැවත නැවතත් තුන් වතාවක් බුදු කෙනෙක් දැයි ඇසූ තවුසන් අප්‍රමාණ සතුටට පත් වුණා.

“ගෘහපතිවරුනි, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආමගන්ධය වළඳනව ද?”

“ස්වාමීනි ආමගන්ධය කියලා කියන්නේ කුමක්ද?”

“පින්වත, ආමගන්ධය කියන්නේ මස් මාළුවලටයි.” “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මස් මාළු වළඳනවා.” තවුසන් විපිළිසර වුණා.

“එහෙමනම් කොහොමද බුදු කෙනෙක් වෙන්නේ…?” මස් මාළු නොවැළඳීම පිරිසිදු බව යැයි සිතා සිටි තවුසාට සැක මතු වුණා. නමුත්, බුදුවරයන් වහන්සේලාගේ පහළ වීම දුර්ලභ යැයි අසා තිබූ තවුසා තම පිරිසත් සමඟ සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණියා.

ආමගන්ධය යනු මස් මාළු නොවන බවත්, සියලු පාපී අකුසල් සැබෑම පිළීගඳ බවත්, තවුසන් අප භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගත්තේ මේ ආකාරයට.

“බ්‍රාහ්මණය, ප්‍රාණීන් ඝාතනය කිරීම, වධ දීම, අතපය සිඳලීම, සතුන් සිරකොට තැබීම, අන් සතු දේ සොරකම් කිරීම, බොරුවෙන් රැවටීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල් ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම යන මේවාටය පිළීගඳ කියන්නේ, මාංශාහාරය නොවේ..

කාම සැපයෙහි මුළා වූ, අකුසල් සමඟ එක් වූ, රසයෙහි ගිජු වූ, දහම නොවැටහෙන පින් පව් නොපිළිගන්නා කෙනෙක් වේ ද මෙයයි පිළීගඳ, මාංශාහාරය නොවේ.

යමෙක් නපුරු සිත් ඇතිව, කුරිරු ගති ඇතිව, කපටිව සිටිත් ද, මිතුරන්ට සතුරු වෙත් ද, කරුණා රහිත වෙත් ද, අතිමානයෙන් වසත් ද, මෙයයි පිළීගඳ, මාංශාහාරය නොවේ.

ක්‍රෝධය, මදය, දැඩි බව, එකටෙක කිරීම, මායාව, ඉරිසියාව, පුරසාරම් දෙඩීම, අධික මාන්නයෙන් සිටීම, දුදනන් ඇසුරු කිරීම, මේවා ය පිළීගඳ, මාංශාහාරය නොවේ.

නරක ගතිගුණ ඇති, ණය ගත් පසු ආපසු නොගෙවන, ධාර්මික වේශයෙන් සිට කූට ගනුදෙනු කරන අධම මිනිසුන් බොහෝ පව් රැස් කරති. මේවාය පිළීගඳ, මාංශාහාරය නොවේ.

සතුන් කෙරෙහි කරුණාවක් නොමැති, අනුන් සතු දේ බලෙන් පැහැර ගන්නා වූ අනුන්ට වධහිංසා කරන, දුස්සීල, කුරිරු, නපුරු බස් ඇති, දයාරහිත වූ දිවි ගෙවයිද මෙයයි පිළීගඳ, මාංශාහාරය නොවේ.

ගිජුව මේ අය ගැන, විටෙක නපුරු ව සතුන් වනසන, නිති පව් කරන මේ උදවිය, අඳුරට ම වැටෙත්. ඔළුව යටිකුරු කොට නිරයට ම ඇද වැටෙත්. මෙයයි පිළීගඳ, මාංශාහාරය නොවේ.

මස් මාළු කිසිදෙයක් නොවළඳන, නිර්වස්ත්‍රව තපස් රකින, හිස ද මුඩු කරන, ජටා මඬුළු ද දරන, ගෝන සම් දරන, අළු තවරාගෙන සිටින, ගිනි දෙවියන් පුදන, නොයෙක් තපස් කරන, යාගහෝම කරන, මන්තර මතුරන, ඍතු ගුණ සොයන නමුත් සැකයෙන් එතෙර නොවුණු කෙනා මේ කිසිවකින් කිසිදා පිරිසිදු නොවෙන්නේය. ඉඳුරන් රැකගෙන, ලොවේ යථා ස්වභාවය දැන වෙසෙන, නිරතුරුව සද්ධර්මය තුළ ම සිටිනා අවංක වූ, මෘදු වූ, කෙලෙස් දුරු කරන, හැම දුක් නසා දමන නුවණැති මුනිවරු අසන, දකින කිසිවකට නොඇලෙති.”

(ආමගන්ධ සූත්‍රය – සුත්ත නිපාතය)

ගෞතම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සුභාෂිත දහම් පද ශ්‍රවණය කළ මේ පිරිස පිළීගඳින් තොර උත්තම ජීවිතයක් පුරුදු කිරීමට උතුම් පැවිදි බව ලබා ගත්තා. නික්ලේශී පාරිශුද්ධ සිත් ඇති උතුම් අරහත්වය ද සාක්ෂාත් කළා.

ඇත්තෙන්ම මෛත්‍රී කරුණා ගුණයෙන් සුපෝෂිත මහා ප්‍රඥාවෙන් යුතුව ලෝකය දකින උත්තම සත්පුරුෂයන් තුළින් දුරු වූයේ මේ පිළීගඳ යි. ඉතින් එවන් සොඳුරු ගුණ ඇති, යහපත් මිනිසෙකුගේ ජීවිතයට ආහාරයට ගන්නා මස් බොජුන කවර ආකාරයකින් බලපෑම් කරන්න ද?

වෛරයෙන් ගිනි ගත්, ක්‍රෝධ සිත් ඇති, මිත්‍රද්‍රෝහීන්ගෙන් බහුල මේ සමාජය එළවළු ආහාරයෙන් කෙසේ නම් පිරිසිදු කරන්න ද?

ඇත්තෙන්ම සැබෑ පිරිසිදු බව ලබන්නට නම්, පිළිසරණ කොට ගත යුත්තේ තථාගතයන් වහන්සේ වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මය නොවේ ද?

ආශ්‍රව ක්ෂය කරන, විරාගී බව ලබාදෙන, අමෘතය වන් නිවන සාක්ෂාත් කරන්නට උපකාර කරන මේ සද්ධර්මයට සමාන තවත් දෙයක් මේ තුන් ලෝකයේ ම නැහැ. මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිතයට ද සැබෑම අර්ථය සලසා ගන්න අපට වාසනාව ලැබේවා…!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි.