මාගේ අසහාය ශාස්තෘවර, සම්බුදු සමිඳාණෙනි,
■ ඔටුනු පලන් රජහුගේ, සත්මිණි කිරුළ විලසින් සුගත් බුදු සිරස වටා, නේක විධ ෂඞ් වර්ණ රශ්මි දහරා විදහා පැතිරෙන කේතුමාලාලංකාරයෙන්, සුසැදිව වැඩ සිටිනා…

දක්ෂිණාවර්තව කැරකී, සම ලෙස සුගත් සිරසෙහි සුපිහිටි අක්බඹරු වන්, නීල වර්ණයෙන් රශ්මි දහරා විහිදන අභිනීල කේෂ කලාපයෙන්, සුසැදිව වැඩ සිටිනා…

■ රන්වන් පාටින් හෙබි, පුළුල් නළල් තලය සොබමන් කරවමින් එහි මධ්‍යයේ, රජතමය වූ රශ්මීන් විදහා පාමින් සියුම් පුළුන් රොදක් සේ, සුදිලෙමින් බබළන අසිරිමත් වූ, ඌර්ණරෝම ධාතුවෙන්, සුසැදිව වැඩ සිටිනා…

■ දක්ෂ සිත්තම්කරුවෙකුගේ, තෙළි තුඩෙන් නිමවූ විචිත්‍ර සිත්තමක් වන්, ඒ අසිරිමත් දෙබැම සමඟින් සුදිලෙන අලුත උපන් ගවපැටවෙකුගේ බඳු, පංච වර්ණයෙන් බබළන නීල මාණික්‍යයක් පරිද්දෙන්, නිල් වන් ඝන රැස් විදහාලන පාරිශුද්ධ වූ නේත්‍ර යුග්මයෙන්, සුසැදිව වැඩ සිටිනා…

■ සුරත් පැහැයෙන් බබළන, නෙළුම් පෙති යුග්මයක් වන් වූ රෝස පැහැයෙන් පිවිතුරු වූ, නා දළු වන් සුසිනිඳු දෙතොලකින් හෙබි, කුරවියක බඳු වූ මිහිරි නිම්නාදිත නදින් ගම්භීර සදහම් පවසාලන, පස් පියුම් සුවඳ විදහා මුවගෙහි සුපිහිටි සුදෝසුදු පිච්ච කැකුළු වන් සමසතළිස් මුතුවන් දත් දෙපළකින් සුසැදිව වැඩ සිටිනා…

■ බලවත් හස්තීන් සමූහයාගේ, ඔද තෙද පරයන, නාරායන සංඝාත බලයෙන් හෙබි කේශර සිංහ රජකු විලසින් අභිමන් ගමන් ඇති, රන්වන් පාටින් රැස් විදහා සමලංකෘතව බබළන තෙදවත් වූ බාහූන්ගෙන් හෙබි මනස්කාන්ත බුද්ධ කායකින් සුසැදිව වැඩ සිටිනා…

■ රිදීවන් රශ්මි දහරා ජනිත කරවන නිය සමූහයෙන් යුතු වූ, ඇතුළට කිමිදී ගිය මල් කෙමියක් බඳු පුරුෂ සටහනින් යුතු වූ, අටෝ රාශියක් මඟුල් ලකුණින් හෙබි සමලෙස පොළොවේ මැනැවින් පිහිටන රෝස පැහැයෙන් යුතු වූ, ඝන රශ්මීන් සිසාරා පැතිරෙමින්, මිහිකත සිපගන්නා ඒ සුන්දර වූ සිරිපා කමල් යුගලකින් හෙබි, දෙතිස් මහා පුරිස් ලකුණින් සොබමන්ව මා ඉදිරියේ වැඩ සිටිනා

ඔබයි ඒ…
තිලොව දිනූ සම්බුදුරජාණන්…
මෙසේ ඒ,
■ තෙදවත් වූ රැස් දහරා විදහා සුදිලෙන, හිරු මඬලේ රැස් දහර පරයමින් පෙර පින් මහිමෙන් ජනිත වුණු අසිරිමත් වූ මනෝරමණීය සුගත් බුදු සිරුරේ සියලු ම අංගයන්ගෙන් නේකවිධ පැහැ රශ්මි කදම්බයන් හාත්පස විදහා ලොව අග තැන්පත්ව, විරාජමානව සුදිලෙන නිසාවෙන් මුඹ වහන්සේ, ඒකාන්තයෙන් ම අංගීරස වන සේක..!

ඒ පින්බර බුදු සිරුර දකින්නන්ගේ නෙත් සුවපත් කරනා, රසඳුනක් බඳු වූ, හිරු ගොත් වංශයේ උපන් සදහම් ඇස් ඇති, අංගීරස මුනිඳාණෙනි,
දිගු කළ මැන පා කමල් යුග…
මුඹ වහන්සේගේ පාද පත්මය, මවිසින් නමදින්නේ ය…

සාදු සාදු සාදු!!!