එයාගෙ සිත දකින්න උන්වහන්සේට පුළුවන් වුණා… එයාගෙ අතීතය දකින්න උන්වහන්සේට පුළුවන් වුණා… එයාගෙ පෙර ජීවිත දකින්න උන්වහන්සේට පුළුවන් වුණා… එයාගෙ අනාගතේ වෙනස් කරන්න පුළුවන් කියලා දකින්නත් උන්වහන්සේට පුළුවන් වුණා…

එයාගෙ නම ‘උදය’. එයා හිටියේ ඉන්දියාවේ. ‘ශ‍්‍රාවස්ථි’ කියන නගරයේ. කුල භේදයෙන් බැටකන ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් අතර, එයා උපන්නේ ඉහළ ම කුලයේ. එයා බ‍්‍රාහ්මණ වංශිකයෙක්. දවසක්…, උන්වහන්සේ එයාගේ ගෙදරට වැඩියා. එ් හමුවීම, උදයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කියලා උදය දැනගෙන හිටියේ නෑ. නමුත් උන්වහන්සේ එය දුටුවා. උදය.., උන්වහන්සේට දානය පූජාකළා. දෙවෙනි දවසෙත් උදේ වරුවේ, තුන්කල් දකිනා උතුමාණෝ උදයගේ නිවසට පිණ්ඩපාතයේ වැඩියා. උදය එදත් දානය පූජාකළා. පුද්ගලයාගේ සිතුවිලි රටාව දන්නා උන්වහන්සේ තෙවෙනි දිනයෙත් උදයේ උදය බ‍්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතයේ වැඩියා. ආයෙ… ආයෙමත්.., උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩලා. එදත් උදය බ‍්‍රාහ්මණයා දානය පූජාකළා. ඊට පස්සේ මෙහෙම කිව්වා.

‘‘රසයට ගිජුවෙච්ච මේ ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ ආයෙ ආයෙමත් වඩිනවා නෙව” කියලා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

‘‘ගොවියෝ ආයෙ ආයෙමත් බිත්තර වී වපුරනවා. ආයෙ ආයෙමත් වැස්ස වහිනවා. ගොවියෝ එතකොට ආයෙ ආයෙමත් කුඹුරු හානවා. ආයෙ ආයෙමත් රටට අස්වැන්න ලැබෙනවා.

ආයෙ ආයෙමත් යාචකයො ඉල්ලගෙන යනවා. දානපතිවරු ආයෙ ආයෙමත් දන් දෙනවා. දානපතිවරු ආයෙ ආයෙමත් දන් දීලා, ආයෙ ආයෙමත් සුගතියෙ උපදිනවා.

කිරි දොවන උදවිය ආයෙ ආයෙමත් කිරි දොවනවා. වහු පැටියා ආයෙ ආයෙමත් වැස්සි ළඟට එනවා. සත්වයාට ආයෙ ආයෙමත් කලන්තෙ හැදෙනවා. ආයෙ ආයෙමත් සැලෙනවා. අඥාන පුද්ගලයා ආයෙ ආයෙමත් ගර්භාෂයකට එනවා.

එතකොට ආයෙ ආයෙමත් උපදිනවා. ආයෙ ආයෙමත් මැරෙනවා. එතකොට ආයෙ ආයෙමත් අමු සොහොනට ගෙනියනවා. තියුණු ප‍්‍රඥා ඇති කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබුන විට, පුනර්භවය නැතුව යනවා. එතකොට ආයෙ ආයෙමත් උපදින්නෙ නැහැ.”

මෙහෙම වදාළ විට උදය බ‍්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

‘‘භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූ කෙනෙකුට හරි මඟ කියා දුන්නා වගෙයි. ඇස් පෙනෙන උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දරනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් දහම් දෙසා වදාළා. මමත් භවත් ගෞතමයන් වහන්සේ ව සරණ යනවා. සද්ධර්මයත්, භික්‍ෂු සංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ අද පටන්, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙසින් මාව පිළිගන්නා සේක්වා!”

එ් උදෑසන උදයට සුභ උදෑසනක් බවට පත්වුණා. සුභ මුහුර්තියක් බවට පත්වුණා. ලොවේ උතුම් ම සරණ ලබන්නට එ් උදෑසන ඔහුට පුළුවන් වුණා. භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ නෑ. නමුත් එ් කෙටි දේශනයේ අර්ථය හ`දුනාගන්න තරම් ප‍්‍රඥවක් උදයට තිබුණා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ යුගය වගේ නො වේ එ් යුගය. හරිම පුදුම සහගතයි. බුදුරජුන්ගේ ධර්මය ඇසෙද්දී තමන් පිළිගෙන සිටි වැරදි මත අතහරින්නට එදා බොහෝ අය සමත් වුණා. සත්‍යය ඇසෙන විට ඔවුන් එ් සත්‍යයෙන්, නෙළුමක් විකසිත වන පරිද්දෙන් විකසිත වුණා. සත්‍යයට ආදරය කළා. එ් ධර්මය ආදරයෙන් ජීවිතයට වැළඳගන්නට එ් යුගයේ බොහෝ අය සමත් වුණා. එ්කයි එ් යුගය හරිම අසිරිමත් කියන්නේ.

නමුත් පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ යුගයේ සිටින අපට ද යම් තරමක හෝ වාසනාවක් උදා වී තිබෙනවා. එ්.., භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය නිර්මලව ම අද ද අපට මුණගැසෙනවා. එය අද්භූත ලාභයක්. ලෝකයේ සත්‍යය කියන්නේ චතුරාර්ය සත්‍යයට යි. එ් චතුරාර්ය සත්‍යය අදත් අපට ඇසෙනවා. දුක ගැන, දුකට හේතුව ගැන, දුකින් නිදහස් වීම ගැන, දුකින් නිදහස් වන මඟ ගැන අදත් අපට නිරවුල් ව කියවන්න, අසන්න ලැබෙනවා.

මේ ජීවිතයේ මේ වනවිට අප බොහෝ දුක්පීඩාවලට මුහුණ දීලා තිබෙනවා. මේ මොහොතේත් සමහර අය ලෙඩවෙලා… දුකට පත්වෙලා… මේ දුකින් නිදහස් වන්නේ කවදා ද කියලා බලා සිටිනවා… ඇත්තටම මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්… එ් සත්‍යයක්… පරම සත්‍යයක්…

එ් දුකින් නිදහස් විය හැක්කේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමෙන් ම යි. දුක සකස්වන හේතුඵල දහම ගැනත්, ඉන් නිදහස් වන අයුරුත් වෙන කිසි තැනකින්, වෙන කිසි දෙයකින් අහන්න ලැබෙන්නේ නෑ. එ් දුකින් නිදහස් වන මඟ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තුළ ම යි. ඔබට එය සැක නම්, ඉක්මනින් ම එ් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියවන්න. එය ජීවිතයට ගළපා බලන්න. එවිට ඔබට ම පසක් වේවි..! මේ ධර්මය තුළින් දුකින් නිදහස් විය හැකි බව…

ඇසුර : උදය සූත‍්‍රය – සංයුත්ත නිකාය