ජනසාන ආජීවකයා අරහත්වයට පත් වීම
මේ ජනසාන ආජීවක තෙමේ මේ මහා භද්‍ර කල්පයේ තුන්වන බුද්ධාන්තරයෙහි වසර විසිදහසකට ආයු ඇතිව වැඩ සිටි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සමයෙහි පිඹුරෙකු ව ඉපිද සිටියේ ය. අභිධර්මය හදාරණ භික්ෂූන්ගේ සමීපයට පැමිණෙන මේ පිඹුරා සළායතන පිළිබඳ දහම් කොටසක් සජ්ඣායනා කරනු අසා සිට ශබ්ද මාත්‍රයට පැහැදී, එපින් මහිමයෙන් දෙව්ලොව උපන්නේ ය. බින්දුසාර රජුගේ යුගය පැමිණෙන තෙක් ම හෙතෙම දෙව්ලොව ම විසූයේ ය.

නොබෝ කලෙකින් ධර්මා දේවියගේ කුසින් මහ පිනැති දරුවා බිහි වූයේ, අශෝක යැයි නම් කරන ලද්දේ ය. දිනක් මහරජු අශෝකයන් උකුළෙහි තබාගෙන සුරතල් කරමින් හුන්නේ ය. එකල්හි සේවකයෙක් රජුගේ දක්ෂිණාවෘත්ත මංගල සංඛය රැගෙනවිත් රජු අතෙහි තැබුයේ ය. අශෝක ඒ සංඛය තුළට මුත්‍ර පහ කළේ ය. රජතෙමේ එය රැගෙන ළදරුවාගේ හිස මත ම වත් කළේ ය. මෙය දැක බියට පත් වූ ධර්මා දේවී තොමෝ ජනසානයන්ගෙන් මේ සිදුවීමෙහි ඵලාඵල විමසුවා ය. එය වනාහී අශෝකයන් දඹදිව අගරජ පදවියට පත් වන බවට පෙරනිමිත්තක් යැයි පහදා දී ජනසානයෝ බිසොවුන්ගේ බිය දුරු කළාහු ය.

එයින් පසු කාලයෙහි ජනසාන තෙමේ පාටලීපුත්‍ර පුරයෙන් යොදුන් 100ක් පමණ දුර පිටිසර පෙදෙසක වාසයට ගියේ, ධර්මා බිසොවුන්ගේ සත්කාර සම්මාන ලබමින් අශෝක කුමරු රාජ්‍යත්වයට පත්වන තුරු එහි ම වාසය කළේ ය. මගධයෙහි රජ පැමිණි අශෝක මහ රජ තෙමේ, තමා ඉපදීමට පෙර ම තමා පිළිබඳ නිවැරදි අනාවැකි පළ කළ මේ ජනසානයන් පිළිබඳ පුවත සිය මෑණියන් වෙතින් අසා දැනගෙන, ඔහු අගනුවරට කැඳවාගෙන ඒමට රන්සිවිගෙයක් යැවුවේ ය.

මිනිසුන් පිරිවරා රන්සිවිගෙයින් පැළලුප් නුවරට එමින් සිටින ජනසානයන් හට අතරමගදී වත්තනිය නමැති සිත්කළු ආරණ්‍ය සේනාසනය දක්නට ලැබුණි. රන්සිවිගෙයින් බැස ආරණ්‍යයට පැමිණි ඔහු හට දක්නට ලැබුණේ පෙර නො දුටු විරූ පුදුම දසුනෙකි. එහි පසෙක මුවන් හා කෙළිදෙළෙන් පසු වන සිංහයෝ ය, ව්‍යාඝ්‍ර, ඌරු, ගෝන, වලස් ආදී මේ සයවැදෑරුම් සත්ත්වයෝ ඔවුනොවුන් කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් සමඟි ව වෙසෙති. කිසිවෙකුත් අනෙකා නො පෙළති. එමතු ද නොව එක් භික්ෂුවක් මේ සතුනට සමීප ව පැන් පොවයි.

“ස්වාමීන් වහන්ස, මේ කවර සතුන් ද?”

මේ භික්ෂුව වනාහි අන්‍යයකු නොව, වඩන ලද මෙත් සිතෙහි මහිමයෙන් බිහිසුණු චණ්ඩ මෘගයන් පවා එකිනෙක මිතුරු කරවූ, ප්‍රභින්න ප්‍රතිසම්භිදාප්‍රාප්ත අස්සගුත්ත අරහත් මහා ඉසිවරයාණන් වහන්සේ ය. මේ ජනසානයා පෙර කසුප් බුදු සසුනෙහිදී පිඹුරෙකු ව සිටි අවදියෙහි දොළොස් වැදෑරුම් ආයතන පිළිබඳ ධර්ම සජ්ඣායනාවක් අසා සිත පහදවාගෙන සිටින බව අපගේ මහ තෙරිඳුන්ගේ පෙර විසූ කඳපිළිවෙළ දක්නා නුවණට සැණින් පෙණුනි.

“ආයුෂ්මත, මේ සත්වයෝ ආයතන (අධ්‍යාත්මික) නම් වෙති.”

“එසේ නම් ස්වාමීන් වහන්ස, මොවුහු කවර කවර තැන්වල සක්මන් කරත් ද?”

“ආයතනයන් (බාහිර) තුළ ම තමා ආයුෂ්මත, මේ සත්වයන් සක්මන් කරන්නේ.”

ආයතන යන පදය ඇසූ කෙණෙහි ම නිරුවත් ජනසානයා හට ලැජ්ජා බිය උපන. හෙතෙම උක්කුටිකයෙන් හුන් කල්හි තෙරිඳාණෝ ඔහුට හැඳගැනීම පිණිස නානකඩය දුන්හ. නොබෝ දිනෙකින් අස්සගුත්ත මහ තෙරිඳුන්ගේ සෙවණෙහි පැවිදි බව ලදී. ජනසානයෝ ආයතන විදර්ශනා වඩමින් උතුම් අරහත්වයට පත් ව සදහට ම ආයතනයන්ගෙන් නිදහස් වූවාහු ය.

කිසිදු අරුතක් නො දැන, ගෞරවය පමණක් උපදවාගෙන දහමට සවන් දීම පවා මෙබඳු මහත් අර්ථයක් සලසන්නේ ය. එබැවින් මේ ලද මිනිස් දිවියෙහි ධර්ම ගෞරවය උපදවාගෙන, අර්ථ නුවණින් විමසමින් ධර්මශ්‍රවණය කිරීමෙන් උදාකර ගත හැකි යහපත පිළිබඳ සිතා අවසන් කළ නො හැකි වන්නේ ය.

ධම්මෝ පනේසෝ සුගතප්පසත්ථෝ
තරණීව සංසාර මහණ්ණවස්ස
බ්‍රහ්මා සුරාදීහි නමස්සනීය්‍යෝ
රසෝ රසානං පරමෝ තිලෝකෝ

සංසාර මහා සාගරය තරණය කිරීමට පහුරක් වැනි වූ ශ්‍රී සද්ධර්මය වනාහී සුගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දකි. දෙව් බඹුන්ගෙන් ද වැඳුම් ලැබීමට යෝග්‍ය වූ එම ධර්මය තුන්ලොව ඇති රසයන් අතුරෙන් උතුම් ම රසය යි.

මහාගදෝ මච්චුජරා පහානෝ
සබ්බීතිනාසාය විසේස මන්තෝ
සබ්බත්ථ දානේන ච කප්පරුක්ඛෝ
චින්තාමණී භද්දඝටෝව ධම්මෝ

මේ ශ්‍රී සද්ධර්මය වනාහි ජරාමරණ දුරු කරවන මහා ඖෂධයකි. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයකි. සියලු යහපත ලබාදෙන බැවින් මේ ධර්මය කල්ප වෘක්ෂයකි, සිතුමිණකි, භද්‍රඝටයකි.

ධම්මං විනා නත්ථි පිතා ච මාතා
තමේව තාණං සරණං පතිට්ඨා
තස්මාහි භෝ කිච්චමඤ්ඤප්පහාය
සුණාථ ධාරේථ චරාථ ධම්මේ

සත්වයාගේ පිහිටට ධර්මය මිස මව් හෝ පියා නො එන්නේ ය. එබැවින් ශ්‍රී සද්ධර්මය වනාහි එක ම ආරක්ෂාව, සරණ, පිහිට වන්නේ ය. එබැවින් වෙනත් සියලු වැඩ කටයුතු පසෙක දමා භවත්නී, මේ ශ්‍රී සද්ධර්මය අසව්! එය සිත්හි දරා ගනිව්! මේ ධර්මයෙහි හැසිරෙව්!

අශෝක කුමරු උදේනියට යැවීම

ඒ බින්දුසාර නම් මගධාධිපති මහාරජු හට ධර්මා නම් අග්‍ර මහේෂිකාවුන්ගෙන් අශෝක, තිස්ස නමින් දරු දෙදෙනෙක් වූහ. එසේ ම සෙසු බිසෝවරුන්ගෙන් සුමන කුමරු ආදී 99ක් පමණ දරුවෝ වූහ. සියලු දරුවෝ 101 දෙනෙකි. ධර්මාශෝක රජුගේ සොයුරු වූ තිස්ස තෙමේ පසු කලෙක සම්බුද්ධ ශාසනයෙහි භික්ෂූන්ගේ මරණානුස්සතියට පැහැදී සසුනෙහි පැවිදිව උතුම් අරහත්වයට පත් වූයේ ය.

අශෝක කුමරුන් නිසි වයසට පැමිණි කල්හි ‘මොහු තමාගේ සොයුරන් ඝාතනය කරන්නේ ය’ යන අනාවැකිය අසන්නට ලැබුණු මහ රජු එයින් නොසතුටුව ‘අශෝකයා සොයුරන්ගෙන් ඈත් කොට තබන්නෙමි’ යි සිතා ඔහුට අවන්ති රාජ්‍යය පවරා දී එහි යැව්වේ ය. පාටලීපුත්‍රයට පනස් යොදුනක් දුරින් පිහිටියා වූ අවන්ති රට වේදිස නගරයට සම්ප්‍රාප්ත වූ හෙතෙම, එහි වාසය කළ රූ සිරින් අගතැන්පත් වේදිස නම් ශාක්‍ය වංශික කුමරිය අග්‍ර මහේෂිකා තනතුරෙහි පිහිටුවා රාජ්‍යය විචාරන්නට වූයේ ය. එයින් මෑත භාගයෙහි, මේ ශ්‍රී ලංකාද්වීපය සුපහන් කළ අනුබුද්ධ වූ මහා මිහිඳු අරහත් මහෝත්තමයන් වහන්සේ ද ලක්දිව කාන්තාවන්ගේ මහා විමුක්තිදායිකාව වූ සංඝමිත්තා මහරහත් උත්තමාවිය ද උපත ලැබූයේ, එම යුවළට දාව ඒ අවන්ති රාජ්‍යයෙහි දී ම එම කාල පරිච්ඡේදයෙහි ය.

අශෝකයන් අගරජු බවට පත් වීම

ශාක්‍යමුනි අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් 214 වන වර්ෂයෙහි බින්දුසාර රජ තෙමේ මරණ මංචකයෙහි වැදහොත්තේ ය. අශෝකයන් හට හිතවත් ව සිටියා වූ අගනුවර එක්තරා අමාත්‍යයෙකු පිය රජුගේ අසාධ්‍ය බව දන්වා අවන්තියට පණිවුඩයක් යැවුවේ ය. අශෝකයෝ ද වහ වහා පාටලීපුත්‍රයට පැමිණ පියාණන් අභාවයට පත්වූ කල්හි ආදාහන කෘත්‍යය කරවා අමාත්‍යවරුන්ගේ සහායෙන් රාජ්‍යත්වයට පත් වූයේ ය.

එකල්හි මගධයෙහි යුවරජ පදවිය හෙබවූ, බින්දුසාර රජුගේ දරුවන් හැමටම වැඩිමහල් වූ සුමන නම් යුවරජ තෙමේ එය අසා කෝපාවිෂ්ට වැ සොයුරන් 98 දෙනා ද බද්දවලාහක නමැති මහා යෝධයා ප්‍රමුඛ සිව්රඟ සෙනඟ ද පිරිවරාගෙන අශෝක රජු හා යුද පිණිස පැමිණියේ ය. අතිශයින් ම රණකාමී වූ වික්‍රමාන්විත අශෝකයෝ ද ඉතා පහසුවෙන් සුමන යුවරජු ප්‍රමුඛ සියලු සොයුරන් ඝාතනය කොට සංග්‍රාමයෙන් විජයග්‍රහණය ලබා, ස්වකීය කිරීටයට පැවති සියලු අභියෝග දුරු කළේ ය. එයින් සිව්වසරක් ඇවෑමෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් 218 වන වර්ෂයෙහි අශෝක නරපති තෙමේ මුළුමහත් මගධ රාජ්‍යයෙන් අභිෂේක ලැබුයේ ය.

අභිෂේකයත් සමඟ ම පැතුම් පරිදි පොළොව යට හා අහසේ යොදුනක් දුරට රජුගේ ආඥාව පිහිටියේ ය. දෙවියෝ අනෝතත්ත විලෙන් පැන් කළ අටක් ද නාගලතා දැහැටි ද බෙහෙත් නෙල්ලි ද බෙහෙත් අරළු ද ප්‍රණීත මී අඹ ද දිනපතා ගෙනවුත් රජ මැදුරෙහි තබති. ඡද්දන්ත විලෙන් වර්ණ පසකින් යුත් වස්ත්‍ර ද සුදු පැහැති අත්පිස්නාවන් ද දිව්‍යමය පාන වර්ගයන් ද ගෙනෙති. ඒ නගරයෙහි මිය යන්නට ආසන්න වූ මුව, ඌරු, ලිහිණි ආදී සත්වයෝ රජු හට මස් පිණිස තුමූ ම රජ මැදුර ආසන්නයට පැමිණ මිය යති. දිවියෝ රජුගේ ගව පට්ටිවල ගවයන්ට ගොදුරු කවා නැවත ගාලට දක්කාගෙන එති. මුවෝ ද ඌරෝ ද රජුගේ කෙත්වතු හා විල් පොකුණු රකිති. නා රජවරු රජුට සමන්පිච්ච, මහනෙල් ආදී මල් ද අඳුන් ද සුවඳ විලවුන් ද නා ලොවින් ගෙන එති.

ගිරව් හිමවත ඡද්දන්ත වනයෙන් ගැල් අනූදහසකට සරිලන ඇල් වී දිනපතා කඩා ගෙනෙති. මීයෝ ගෙනෙන ගෙනෙන වී පොතු හැර පිරිසිදු කරති. මී මැස්සෝ උයනෙහි රජු හට මී වද බඳිති. කුරවි කෙවිල්ලෝ රජු පිනවීම සඳහා මියුරු හඬින් මැදුර ඒක නින්නාද කෙරති. ඒ ධර්මාශෝක නරශ්‍රේෂ්ඨ තෙමේ, තමන් විසින් කරන ලද පිනෙහි මහිමය හේතුවෙන් ම මෙබඳු මහා අනුභාවයකින් යුතු ව, මෙබඳු අද්භූත ඓෂ්වර්යයෙකින් යුතුව විසුවේ ය. පින වනාහි එතරම් ම අසිරිමත් දෙයකි. එබැවින් පින නම් කළ යුතු දෙයක් ම ය!

ඒ මහාධිරාජයාණෝ ඉන් අනතුරු අත්බවයක දී, සද්ධාතිස්ස මහාරාජ සමයෙහි මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ඉපිද පැවිදි ව අරහත්වයට පත් වූ සේක්, කරන ලද පිනෙහි ම විපාක වශයෙනි. කුජ්ජතිස්ස නම් වූ ඒ මහ රහතන් වහන්සේ මහපෙළහර පාමින් ම අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයෙහිදී පිරිනිවුණු සේක. සසර දුර්ගයෙන් එතෙරට වැඩම කොට, නිවී සැනසුණ සිතින් අමා නිවන් පුරයෙහිදී සදහට ම සිහිල් වී ගිය ඒ මහෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

ඇසුර – වංසත්ථප්පකාසිනී නම් වූ මහාවංශ ටීකාව

සටහන – රවීන් කෝදාගොඩ