උදාගිරෙන් හිරු නැගී බැස යනවා. අමාවක නොවන දිනයක දී නම්, එකල්හී සඳ නැගෙනවා. දිවා රැය මෙසේ ගෙවී යමිනුයි පවතින්නේ. කිසිදු ධර්මතාවයකින් වෙනස් නොවන්නා වූ මේ ස්වභාවයනට ම යා වෙමින්, පැමිණියවුන් යමින් සිටිනවා… ‘ආවොතින් යා යුතු ය. නොගොසින් යළි එනු බැරි ය. මේ ලොව ඇත්තේ යාම් ඊම් පමණෙකි.’ කියා එදිරිවීර සරත්චන්ද්‍රයන් ලියා තැබූයේ මේ සත්‍යය. එය ද අන් කිසිවකින් වෙනස් කළ නොහැකි ධර්මතාවයක්. ‘ආ අප යා යුතු යි…’

එන්නවුන් සේ ම යන්නවුන් ද දකිමිනුයි අප එදිනෙදා ජීවිත ගෙවා දමන්නේ. කොවිඩ් – 19 වසංගත රෝග තත්ත්වය නිසාවෙන් අට මසක් ගෙවෙන්නට පළමු අට ලක්ෂයක මිනිස් ජීවිත හානි වී තිබීම මේ වන විට අප අත්දකින දරුණුතම ගෝලීය ඛේදවාචකය බවට පත්ව තිබෙනවා. ඒ අතරේ රිය අනතුරු, නායයාම් ගංවතුර සුළිසුළං ලැව්ගිනි ආදී ස්වභාවික ආපදා, පිපිරීම්, යුදමය තත්ත්වයන් හා කලකෝලාහල, නොයෙක් රෝග යනාදී බොහෝ විපත් ජීවිත කරා එළඹීමෙන් බොහෝ දෙනෙකු හට ජීවිත අහිමි වුණා. පුදුමය ඒ නොයෙක් ආකාරයන්ගෙන් සිදු වූ මරණයන් නෙමෙයි; ජීවිතය අහිමි කරවන සුලු බොහෝ උපද්‍රවයන් අප කරා අඛණ්ඩ ව එළඹෙමින් තිබිය දී අප තවමත් ජීවතුන් අතර සිටීම යි. ඒ පුදුමය අවසානයක් දකින දිනය අද අද ම එළඹීමට ඇති ඉඩකඩ අසීමිත ව අප ජීවිත වෙලාගෙන යි පවතින්නේ. නමුත්… ඒ ඇත්ත හැම විට ම අපට වැසී ගොසින්…

හැරී බලන්න ජීවිතේ දිහා…

මේ ජීවිතය තුළ අප සියල්ලන්ට ම බොහෝ සැලසුම් තිබෙනවා. සැලසුම් මත පිහිටා ජීවිතය ගත කරන්නට අප පුරුදු පුහුණු වූයේ ළමා වියේ සිට ම යි. ළමා වියේ අප නින්දට යද්දී ‘එළඹෙන දිනයේ මේ මේ ආකාරයෙන් කටයුතු කරන්නෙමු’ යැයි සිතා අදිටන් කර ගත් දේවල හිඟයක් තිබුණේ නැහැ. ඇතැම් විට ඒ ඉදුණු පේර ගෙඩියක් කෑම වැනි දෙයක්… අද මෙනෙහි කොට බලනකොට ඉතා සුළු කරුණක් වුණත් එකල එවැනි දේවල් තමයි අපට තිබූ විශාලතම දේවල්. වයසින් වැඩී යත්ම සැලසුම් සහගත ව අදිටන් කර ගන්නා දේවල යම් යම් වෙනස්කම් සිදු කෙරුණත් අපේ ජීවිත තුළ සැලසුම් කරමින් ඉලක්ක තබා ගන්නා ස්වභාවය කිසි විටෙකත් වෙනස් වුණේ නෑ. මරණය තෙක් ම එය එසේ ම යි.

මේ මිය යන සියල්ලවුන් ද ජීවිත ඉලක්ක ඇතිව ඒවා අත්පත් කර ගන්නට මහත් සේ වෙහෙස වූවන්. ඒවා එසේ ම තිබිය දී ඔවුනට ජීවිත හැර යන්නට සිදු වුණේ නැති ද? අපට උරුම ඊට වඩා වෙනස් ඉරණමක් නම් නොවෙයි. ඒත්, ඉරණම වසාගෙන අපි සතුට ලුහුබඳිමින් ජීවත් වෙනවා…

ජීවිතයේ සමහර දේවල් අපට හොඳට මතකයි. සමහර දේවල් කොහෙත් ම මතක නෑ. ජීවිතයේ ගෙවුණ සමහර කාල ගැන අපි දන්නවා. අප ගෙවා දැමූ – එහෙත් අපට මතකයක් නැති ඇතැම් කාලයන් ගැන දෙමව්පියෝ, වැඩිහිටියෝ සිහිපත් කර දෙනවා. අපේ ජීවිතවල සමහර කාල ගැන අප තබා ඒ කිසි ම කෙනෙක් දන්නේ නෑ. ඔහොම දෙයක් තමයි අපි ලබපු මේ ජීවිතේ…

අම්මාගේ කුසේ කළලයක් විදිහට අපි මෝරා ගියපු කාලයක් තිබුණා. අත පය, ඇස කන හොඳට තියෙන දරු සිඟිත්තෙක් තමයි අම්මට තාත්තාට වුවමනා වුණේ. ඒ කාලයේ අප ඉන්නේ කොහෙද, වෙන්නේ මොනවාද නොදැන අම්මාගේ කුස ඇතුළේ සිටියා විතරයි. අපට අපේක්ෂා තිබුණේ නැහැ කටට රසට කන්න, ඉන්න හිටින්න හොඳ ගෙයක් දොරක් හදා ගන්න, හොඳට ඉගෙන ගන්න, හොඳ රස්සාවක් කරන්න… ඔය කිසිම දෙයක් ඒ කාලේ අපට වුවමනා වුණේ නෑ.
අම්මලා තාත්තලා අපෙන් එවැනි දේ ඒ කාලේ හෙව්වෙත් නැහැ.

හීන ගෙනා ඇස්…

අප උපන්නට පස්සේ… අඳුරු මව්කුසේ වැඩෙමින් ඉඳලා අමාරුවෙන් අපි ඇර ගත්ත ඇස්වලට එබිලා අම්මා, තාත්තා හීන දැක්කා. ලොකු ලොකු තැන්වලට පත් වන දැවැන්ත ප්‍රතිරූප ඒ ඇස්වලින් අම්මලා, තාත්තලා දකින්න පටන් ගත්තා. ඒත් අපිට ඒ කාලේ ඒ කිසි දෙයක වගක් තිබුණේ නැහැ.

මළ මුත්‍ර ගොඬේ හඬ හඬා අපි හිටියා. යාන්තමින් හිනා වෙන්නත් අපි පටන් ගත්තා. පැත්තට පෙරළුණා. මුනින් පෙරළුණා. බඩ ගෑවා. දත් ආවා. වචනෙන් වචනේ බොළඳ ගගහා කියන්න පටන් ගත්තා. දණ ගෑවා. ඉඳ ගත්තා. හිට ගත්තා. අල්ලාගෙන ඇවිදින්න පටන් ගත්තා… ටික ටික අපි ලොකු වුණා. ඔන්න දැන් අපට තෝරා බේරා ගැනිලි තියෙනවා. ප්‍රිය අප්‍රිය විදිහට කෑම බීම පවා ටික ටික වෙන් වුණා. කැමැත්ත වගේ ම අකැමැත්තත් ප්‍රකාශ කරන්න අපි පුරුදු වුණා.

සිහින සටහනක තරඟය

අපි අකුරු ඉගෙන ගත්තා. පෙර පාසල් ගියා. පාසල් ගියා… ඔන්න අපට ඇහෙන්න ගත්තා පන්තියේ පළමුවෙනියා වෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් මහන්සි වුණා. ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕන කිව්වා. අපි ඒකටත් මහන්සි වුණා. හොඳ ස්කෝලෙකට යන්න හොඳ ම ප්‍රතිඵල ගන්න අපට ඉලක්ක ලැබුණා. පාසලේත්, උපකාරක පන්තිවලත් තරඟකාරී ව ඉදිරියට යන්න අප ව උනන්දු කෙරෙව්වා. සාමාන්‍ය පෙළ ඉවර වෙද්දි ම උසස් පෙළ පටන් ගත්තා. සාමාන්‍ය පෙළින් ඉගෙනීම ඉවර වුණා නම් එතැන ඉඳන් ම රස්සා කරන්නත් සමහර අයට සිද්ධ වුණා.

පිරිසක් උසස් පෙළින් විශ්වවිද්‍යාලෙට ගියා. කොටසක් එතැනින් නතර වෙලා රස්සා කරන්න පටන් ගත්තා. සමහරු ඒ කාලෙ ම විවාහ වුණා. සමහරු උපාධි අරගෙන විවාහ වුණා. සමහරු විවාහ වෙන්න අය හොයන්න ගොඩක් මහන්සි වුණා. තවත් සමහරු විවාහයට ආව බාධාවලින් ගොඩක් පීඩාවට පත් වුණා. ප්‍රේම සම්බන්ධතාවලිනුත් එකක් ඉවර වෙද්දි තව එකක් වශයෙන් පීඩා විඳි අයත් අප අතරේ සිටියා.

ඔය විදිහට වැඩී යද්දි… දැන් වුවමනයි ගෙයක් fදාරක්. වාහනයක්. ඉඩම් කඩම්. දැන් මුදල්වලින් කළ යුතු කටයුතු අධිකයි. ඒ නිසා දවාල රැය නොබලා ආර්ථික කටයුතුවල නියැළෙන්න සිද්ධ වෙනවා. ලස්සන ම ගෙයක් හදන්න…
කොහොමහරි වාහනයක් ගන්න… හොඳ ම වාහනයක් ගන්න… ඉස්තරම් ම විදිහට අඳින්න පලඳින්න… ඉස්තරම් ම තැන්වලින් කන්න, බොන්න… ඔය විදිහට තම තමන්ගේ හිත් ඉල්ලන ඉල්ලන තැන්වල අපේ ඉලක්ක නතර වුණා. එකක් අත්පත් කර ගන්නත් කලින් ම තව තවත් ඉලක්ක අපේ ජීවිතවලට එකතු වුණා.

ඔය අතරේ දරු මල්ලෝ උපන්නා. ඒ පොඩිවුන්ගේ ඇස්වලට එබිලා අපි මහා දැවැන්ත ප්‍රතිරූප හොයන්න පටන් ගත්තා…! අපි ඒ අය තුළ දැවැන්තයෝ හෙව්වට ඒ අය දන්නේ මළ මුත්‍ර ගොඬේ ඔහේ අඬන්න විතරයි… හරියට… ඒ කාලේ අපි වගේ ම යි…!

හැම වෙලේ ම අපි හිත ඉල්ලන දේවල් පස්සේ දිව්වා. හොඳට කල්පනා කරලා බලන්න, ජීවිතේ වැඩි ම වාර ගණනක් අපි කළේ හිත කැමති වුණු දේ. ආශා කරන දේවල් මත්තේ, ඒවා හොය හොයා වෙහෙස වෙවී තමයි අපේ ජීවිත කාලය ගෙවුණේ.

දිරා ගිය ජීවිතේ…

යම් කලක් තිබුණා, සෑම අතින් ම අපි ශක්තිමත් වුණ. ඒ කාලයේ දී සිරීපාදේ ගිය කෙනෙක් නම් ඔබ, ඔබට මතක ඇති ඔබේ වගේ ම තවත් අයෙකුගේ ගමන් මල්ල පවා ගෙනයන්න ඔබට පුළුවන් වුණ බව. ඔබේ උපකාරයෙන් කිහිප දෙනෙකුගේ ගමන පහසු වූ බවත් ඔබට මතක ඇති. ටික ටික ඒ හැකියාවට මොකද වුණේ? නැති වෙලා ගියා. කායික හැකියාවනට සිද්ධ වෙන්නේ ඔය දේ තමයි. ටික ටික නැති වෙලා යනවා…

උඩ පැනලා පුටුවක වාඩි වෙන්න පුළුවන් යුගයක් ජීවිතයේ තියෙනවා. ඒ ජීවිතයට ම ආයෙමත් කාලයක් එනවා විනාඩියක් දෙකක් අරගෙන හෙමින් සීරුවේ අත ගගහා පුටුවක වාඩි වෙන්න සිද්ධ වෙන. පුටුවකින් නැගිටිද්දිත් කිසි ම පැකිලීමක් නැතිව ඉක්මනින් ම නැගිට ගන්න පුළුවන් කාලයක් අප කාටත් තියෙනවා. ඒ වගේ ම, පුටුවකින් නැගිට ගන්නත් තව කාගෙන් හෝ උපකාරයක් ඉල්ලා ගන්නට සිදු වන කාලයක් ජීවිතයේ එළඹෙනවා.

කාලයක් තිබුණා යතුර තිබුණ තැන, යතුරු දැමූ – නොදැමූ බව හොඳින් මතක ඇති. නමුත් කෙටි කලකින් ම අප ඒ ගැන සැක සහිත වන්නට පටන් ගන්නවා. ‘හරියට ම විශ්වාස නැති’, ‘හරියට ම මතක නැති’ අවස්ථා ජීවිතයට එළඹෙනවා. මතක ශක්තිය ටිකෙන් ටික අපට අහිමි වෙනවා. රස විඳීමේ හැකියාව ටිකෙන් ටික අහිමි වෙනවා. හයිය හත්තිය ටිකෙන් ටික අහිමි වෙනවා. ඇඟ පත ටික ටික වාරු නැති වෙනවා. කෙස් පැහෙනවා. හම රැලි වැටෙනවා. ඇස් ටික ටික නොපෙනී යනවා. කලින් නම් රහසින් කියූ දේවල් පවා අහන්න තරම් ශ්‍රවණ ඉන්ද්‍රිය තියුණුයි. දැන් දැන් හඬ නගා කියන දේ පවා “ඈ….?” කියලා ආයෙ ආයෙමත් අහන්න සිද්ධ වෙනවා. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට සිද්ධ වෙන දුර්ලභ දෙයක් නෙමෙයි. හැමෝට ම පොදු කතාවක්, පුද්ගලික ව මුහුණ දෙන්නට සිද්ධ වෙන…

හිටිහැටියේ පෙනෙන ඇත්ත…

ජීවිතයේ නොනවත්වා සිද්ධ වෙන මේ නොවැළැක්විය හැකි වෙනස් වීම අපට පෙනෙන්නේ එක පාරට ම. කෙස් පැහිලා කියලා අපි දැක්කේ අහම්බෙන්. හැබැයි කෙස් පැහෙන්න ගත්තේ කාලයක් තිස්සේ. ඇස් පෙනීම අඩු වෙලා කියලා අපට තේරුණේ හිටිහැටියේ. හැබැයි ඇස් පෙනීම අඩු වුණේ හිටිහැටියේ නෙමෙයි. කයට වුණ ඒ හැම වෙනසක් ම කාලයක් පුරා සිදු වෙමින් ආ දේවල්. හැබැයි අපි ඒ වෙනස් වීම හඳුනාගන්නේ ප්‍රමාද වෙලා.

මේ කය තරම් අපි ආදරයෙන් රැක බලා ගන්නා වෙනත් දෙයක් නැති තරම්. වෙලාවට කවනවා, පොවනවා, සතප්පවනවා. ඉලීම්, පිරිමැදීම් ආදියෙන් පෝෂණය කරවනවා. බොහොම පරිස්සම් කරනවා. එහෙව් කයේ සිද්ධ වෙන වෙනස්කම අපට පෙනුනේ නැහැ නේ ද…? ඇයි එහෙම වුණේ? ඒ දේ හඳුනා නොගන්නා තරමට අපට මොකක්ද වුණේ?

අපට වුණ දේ බුද්ධකාලීන සිදුවීමක මෙසේ දැක්වෙනවා…

කාලය ආශාවෙන් වැහුණා ම…

එදා සමිද්ධි භික්ෂුව තපෝදා නදියට උදෑසනින් ම වැඩම කොට ස්නානය කළා. අඳන සිවුර පමණක් දරාගෙන උන්වහන්සේ සිරුරේ තෙත වියළවමින් ගං ඉවුරේ වැඩ සිටිද්දීයි ඒ දෙව්දුව පැමිණියේ. තපෝදාව ආලෝකවත් කොටගෙන පැමිණි දෙව්දුව අහසේ සිටිමින් ම සමිද්ධි භික්ෂුවට මෙහෙම කිව්වා…

“පින්වත් භික්ෂුව, (කම් සැප) නොවළඳා පිණ්ඩපාතේ විතරක් වළඳනවා නේ ද? (කම් සැපත්) වළඳලා පිණ්ඩපාතෙත් වැළඳුවොත් නරක ද? (කම් සැපත්) වළඳලා ම පිණ්ඩපාතෙත් වළඳන්න. ඔබට මේ වටිනා අවස්ථාව මගහැරෙන්න එපා.”

මහත් ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මී සම්බුද්ධ ශාසනයේ පැවිදි බිමට පත් සමිද්ධි භික්ෂුව මෙහෙම පිළිතුරු දුන්නා.

“අවස්ථාව? මට ඒක තේරෙන්නේ නෑ. කාලය ආශාවෙන් වැහුණා ම, ඇත්ත පෙනෙන්නේ නෑ. ඒ නිසා මං (කම් සැප) වළඳන්නෙ නැතිව පිණ්ඩපාතෙ විතරක් වළඳනවා. මට මේ උතුම් අවස්ථාව ඉක්ම යන්න එපා…”

(සමිද්ධි සූත්‍රය – සං. නි. 01)

අපට සිද්ධ වුණ දේ නේ ද ඒ පින්වත් භික්ෂූන් වහන්සේ පෙන්වා දෙන්නේ? කාලය ආශාවෙන් වැහුණා ම ඇත්ත පෙනෙන්නේ නැහැ…!

ජීවිතයේ යථාර්ථය දවසින් දවස දිරා යන, දවසින් දවස අබල දුබල වන දෙයක් කියන එකයි. සිද්ධ වුණෙත් ඒ දෙය යි. නමුත්, එය අපට නොපෙනුනේ අපේ ජීවිත කාලය ආශාවන්ගෙන් වැහිලා තිබුණ නිසයි. අපිට අපි ගැනත්, අපේ ජීවිතය හා බැඳුනු අනෙක් අය හා අනෙක් දේවල් ගැනත් තිබුණ හීනවලින් ජීවිතේ ඇත්ත වැහිලා ගියා.

තනි තනිවයි මුහුණ දිය යුත්තේ…

අපි ඇත්ත නොදැක්කා කියලා, අපට ඒ ගැන උනන්දුවක් නොතිබුණා කියලා ජීවිතේ උරුම ස්වභාවයන් වෙනස් වන්නේ නැහැ. අපි ඉගෙන ගත්තත්, නැතත්… අපි රස්සා කළත්, නැතත්… අපි හරිහම්බ කළත්, නැතත්… අපි විවාහ වුණත්, නැතත්… අපි දරුමල්ලො හැදුවත්, නැතත්… අපි වයසට යනවා… අපි ලෙඩ වෙනවා… අපි මැරෙනවා… අපි ආයෙමත් උපදිනවා… ආයෙ ආයෙමත් මේ එක ම සන්සිද්ධියට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ජරා මරණ දුක උපන් සත්වයාගේ නියත උරුමයක්.

සල්ලි තිබුණා කියලා, දැන ඉගෙන ගත්තා කියලා, පිළිගත් පදවි තානාන්තර හෙබවූවා කියලා ජරා මරණ දුක් ඉක්මවා යන්නට බැහැ. ඔය කිසිම දෙයක භේදයක් ජරා මරණවල දී නැහැ. කා එක්කවත් බෙදා හදාගෙන ඒ දුක අඩු වැඩි කර ගන්නත් බැහැ. තම තමන් තනි තනිව ම යි එය උසුලා ගත යුත්තේ. තම තමන් තනි තනිව ම යි එයට පිළියම් යෙදිය යුත්තේ…

නමුත් අපි අපේක්ෂා සහිත වෙමින් සොයා යන්නේ ම ජරාවටත්, මරණයටත් අයිති දේවල් නේ ද? සම්බුදුරජාණන් වහන්සේ එය හඳුන්වා දුන්නේ ‘අනාර්ය පර්යේෂණය’ කියලයි. තමාත් උපදින ස්වභාවයෙන් ඉඳගෙන, උපදින ස්වභාවයෙන් යුතු දෙයක් ම සොයනවා. තමන් ජරාවට පත් වන ස්වභාවයෙන් ඉඳගෙන, ජරාවට පත් වන ස්වභාවයෙන් යුතු දේවල් ම සොයනවා. තමන් ලෙඩ වන ස්වභාවයෙන් ඉඳගෙන, ලෙඩ වන ස්වභාවයේ දේවල් ම සොයනවා. තමන් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන, මරණයට පත් වන දේවල් ම සොයනවා. තමන් ශෝක වන ස්වභාවයෙන් ඉඳගෙන, ශෝක වන ස්වභාවයෙන් යුතු දේවල් ම සොයනවා. තමන් කිලිටි වන ස්වභාවයෙන් ම ඉඳගෙන, කිලිටි වන ස්වභාවයෙන් යුතු දේවල් ම සොයනවා.

ඉන්නෙත් දුක තුළ. දුකට අයත් දේවල් ම තමයි සොයන්නෙත්. ඒ අතරේ තමන්ට වන දේ තමන්ට පෙනෙන්නේ නැහැ… නැවතිලා බලන්න ජීවිතේ දිහා. අපි වයසට ගිහින්. අපි දිරා ගිහින්. අපි විපරිනාම ධර්මයට ගොදුරු වෙලා…

ආර්ය පර්යේෂණයේ පිහිට ලබමු.

ජරා මරණ දුක විසින් අප යටපත් කරලන බව තේරුම් ගන්න අපට බැරි වුණේ එකක් හා බැඳී තව එකක් වශයෙන් නොනැවතී උපන් ආශාවන්ගෙන් අපේ ජීවිත කාලය සහමුලින් ම වසා ගත් නිසයි. ආශාවට වහල් වුණ අපට එය නොපෙනුනාට, ආශාවන් හා බැඳී ගත් දුකක් ජීවිතයේ ඇති බව තේරුම් ගත්ත පිරිස් මෙය වෙනස් කරන්නට උත්සාහ කළා. තමන් ජරා මරණ දුකින් නිදහස් වන්න මාර්ගයක් සොයන්නයි විමුක්තිකාමීන් සත්‍යය සොයා ගවේෂණ කළේ. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේත් සිදු කළේත් එවන් පර්යේෂණයක්.

තමන් උපදින ස්වභාවයේ සිටිමින්, ඉපදීමෙන් නිදහස් වූ දෙයක් උන්වහන්සේ සෙව්වා. ඉපදීමට, ජරාවට, ලෙඩ වීමට, මරණයට, ශෝක කිරීමට, කිලිටි වීමට යටත් ව හිඳිමින් එවැනි ම ස්වභාව ඇති දේවල් සොයා යාම අමාරුවේ වැටීමක් බව උන්වහන්සේ තේරුම් ගත්තේ බෝසත් අවදියේ ම යි. ඒ සියල්ලෙන් නිදහස් වූ දෙයක් සොයන්නයි උන්වහන්සේ උත්සුක වූයේ. ඒ තමයි ආර්ය පර්යේෂණය. සියලු දුකින් නිදහස් වූ අමා මහ නිවන සාක්ෂාත් කරමින් සම්මා සම්බුද්ධත්ව භූමියේ පිහිටි මහා මුනිවරයෙක් බිහි වුණේ ඒ ආර්ය පර්යේෂණයෙන්.

දුකට පත්, දුකෙහි පිහිටි ලෝකයට ඒ ආර්ය පර්යේෂණයට මාවත උන්වහන්සේ විවර කළා. සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට කියා දෙන්නේ ජරා මරණ දුක් ඉක්මවන, දුක් රහිත, ශෝක රහිත, කෙලෙස් තැවිලි දැවිලි රහිත අමා නිවන් සුවය සාක්ෂාත් කරන ප්‍රතිපදාව. ආශාවන් නිසා අපට නොපෙනී ගිය ජීවිත යථාර්ථයට අපි දැන් සංවේදී වෙමු. ඇස් පනාපිට පෙනෙන ඇත්ත පසෙක ලා හීන පොදි බැඳීම මෝඩකමක්. හීන තුළ ජීවත් නොවී, ජීවිතයේ ඇත්ත දෙස බලන්න. ජීවිතයේ තිබෙන, කා සමඟවත් බෙදා හදා ගත නොහැකි අසරණකම අපට ම පෙනේවි. ඒ අසරණකමට අප අවබෝධයෙන් ම සංවේදී වුණහොත් ලෝ සත පෙළන ජරා මරණ දුක ඉක්මවා යාම පිණිස මඟ විවර කළ ඒ සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේ ව අප හදවතින් ම සරණ යාවි. ඒ සරණ පමණ ම යි ඔබවත්, මාවත් මේ ජරා මරණ අබියස ඇති වන අසරණකමින් මුදවාලන්නේ…

ආශාවන්ගෙන් නොවැසී – ජීවිතයේ යථාර්ථයට සංවේදී ව, යථාවබෝධය උපදවාගෙන සසර දුකින් නිදහස් වූ මුනිවරුන් වැඩම කළ මාවතේ පියසටහන් මතින් පියනගන්නට අපට ද වාසනාව ලැබේවා!!!

තෙරුවන් සරණයි!

 

සටහන – උදුලා පද්මාවතී.