අලුයම පටන් රාත්‍රී කාලය දක්වා ම බොහෝ සුලබ ව කාක්කන්ගේ හඬ නැගීම් අපට අසත හැකි ය. කාක්කා යනු නීච සතෙකි. කුණුකන්දල් දුටු විට අවුස්සාලීමත්, ස්වකීය වර්ගයා ඒ කුණුගොඩ වෙත ගෙන්වා ගැනීම පිණිස කෑ ගැසීමත් උන්ගේ ස්වභාවය යි. කුණුකන්දල් ඇවිස්සීමත්, තවත් පිරිස් ඒ වෙත ඇද ගැනීමත් සිදු කරන්නේ කාක්කන් පමණක් නො වේ; තාක්ෂණික භාවිතය අතින් තමන් ඉතා ඉහළ තලයක සිටින බවට උදම් අනනා මිනිස් සමාජයේ ඇතැම් මිනිසුන් ද කරන්නේ එය ම ය. මේ ස්වභාවය බොහෝ සෙයින් ප්‍රකට වන ස්ථානය නම් අන්තර්ජාලය යි.

අන්තර්ජාලය භාවිත කරමින් කවර හෝ තොරතුරක් හුවමාරු කරන්නෙකු ලෝකය හමුවේ සන්නිවේදකයෙකු බවට පත් වේ. මෙසේ සන්නිවේදකයෙකු බවට පත් වන්නවුන් ලෝකයට සන්නිවේදනය කරන්නේ සත්‍යය වූ ද යහපත පිණිස පවතින්නා වූ ද කාරණා ම නො වේ; එසේ වගකීම් සහගත ව කටයුතු කරන්නේ අතලොස්සකි. සෙසු බහුතරය යන්නන් වාලේ යමින් අතපත් කවරක් වුව ද එහි සමාජයීය බලපෑම කෙබඳු ද යන්න කිසිසේත් ම නොසලකා හැර අන්තර්ජාලයට මුදා හරිමින් සෙස්සන්ට බෙදාලති. ඔවුන් එසේ බෙදා හරින බොහෝ පුවත් අසත්‍ය, පදනම් විරහිත අවලාද සහ චෝදනා සහිත, බොහෝ අයට අයහපත ම සලසන මඩ ප්‍රචාරයන් වීම අද අප දකිනා ප්‍රවණතාවය යි.

මෙසේ කිරීමෙන් ඔවුන් තමන්ගේ නීච ස්වභාවයන් ප්‍රකට කරනවා පමණක් නොව ඒ ඔස්සේ කෙලෙස් සහිත සෙසු ලෝකයාගේ කෙලෙස් අවුස්සවමින් ඔවුන් ද පාපයට ම ඇද දමති. එය ඉන්ටර්නෙට් කාක්කන්ගේ ආවේණික ස්වභාවය යි. මෙවැනි දේවලින් සමාජයේ යම් යම් පිළිගත් ප්‍රභූ පිරිස්, ආගමික නායකයන් ආදී වූවන් අපහසුතාවයකට පත් කරලීමත්, ඒ ඔස්සේ පහත් පෙළේ වින්දනයක් ලැබීමත් ඔවුනගේ අරමුණ වන්නට ඇතැයි සිතේ. ඔවුන් බලාපොරොත්තු වන අයුරට ම අසත්‍ය මඩ ප්‍රචාර ඔස්සේ යම් තරමකින් ඔවුනගේ ප්‍රචාරයනට ගොදුරු වූවන් අපහසුතාවයට පත් වන බව ද අපට දැකිය හැකි ය. එවැනි ඇතැම් දේ නිසා සමාජ අර්බුද පවා නිර්මාණය වීම වළකන්නට නොහැකි ය.

අසත්‍ය, චෝදනාත්මක මඩ ප්‍රචාරයන් සිදු කිරීමෙන් පළමු ව පවු රැස් වන්නේ තමන්ට ය. එසේ ම, එවැනි දේ සත්‍යය ලෙසින් ගෙන හෝ විනෝදය පිණිස ගෙන වඩ වඩාත් ප්‍රචාරය කරන්නවුන් අනතුරු ව පවු රැස් කර ගනී. ඒ දේවල් ඇසීමෙන්, දැකීමෙන් වැඩී යන රාග, ද්වේෂ, මෝහ සහිත ව අවශේෂ පිරිසක් ද ඒ කරුණ අරබයා පවු රැස් කර ගනී. සමාජයීය වශයෙන් නින්දා සහගත, සමාජ කැළඹීමට හේතුපාදක වන නොසන්සුන් බවක් මේ හරහා සමාජයේ ඇති විය හැකි ය. එසේ මොහොතින් මොහොත අකුසලයෙන් වැඩෙමින් ඔවුන් මේ යන්නේ කොයිබට ද? එයින් ඔවුන්ට කවර නම් යහපතක් ද? කිසිදු යහපතක් අත් නොවනවා පමණක් නොව නිසැකව ම නින්දා සහගත දුගතිය ඔවුනට අත්නොහැරෙන්නේ ම ය.

තිරිසන්ගත කාක්කන් දිවා භාගයේ පමණක් ස්වකීය නීච චර්යාවේ යෙදෙයි. එහෙත් මේ ඉන්ටර්නෙට් කාක්කන් දිවා රැය වෙනසක් නැතිව සමාජයට කුණුකන්දල් ගෙන ඒමේ කටයුත්තේ යෙදෙයි. ඒ පර්යායෙන් ඔවුන් තිරිසන් සතුනටත් වඩා පහත් ය.

තමන් කරනා, කියනා දෙයෙහි වගකීම ඇත්තේ තමන්ට ය. ඒ දෙය තමන්ටත්, අනුන්ටත් යන දෙපසට ම යහපත, හිතසුව පිණිස පවතින්නක් වීම සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ස්වභාවය යි. එසේ ම, ඒ වනාහි මෙලොව ද පරලොව ද යහපත සලසන උත්තම ස්වභාවය යි. තාක්ෂණය අවභාවිතයේ නොයොදා ඒ තුළ පවා තමන්වත්, එසෙයින් ම අනුන්වත් අකුසලයෙන් මුදවා ගැනීම සසරින් එතෙර වනු කැමැත්තන් විසින් පුරුදු පුහුණු කළ මනා ය.