දේවානම්පියතිස්ස රජතුමා

දඹදිව් තලය සම්බුද්ධ ශාසනයෙන් එකළු කළ, ආර්ථික සමෘද්ධිමත්භාවයෙන් හිනිපෙත්තට නැංවූ ධර්මාශෝක අධිරාජයාත්, ලංකාදීපයෙහි රජකළ දේවානම්පියතිස්ස නිරිඳුත් අදිසි මිත්‍රයන් වූහ. අරිට්ඨ ඇමතිතුමා ප්‍රධාන රාජකීය දූත පිරිස අත අභිෂේක භාණ්ඩ සමඟින් සුවිශේෂී දහම් සංදේශයක් ද ධර්මාශෝක නිරිදාණන් විසින් සිය මිත්‍ර තිස්ස රජු වෙත දායාද කෙරිණි. එහි සඳහන් වූයේ අසිරිමත් සුභාරංචියකි. “මම ශාක්‍යපුත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ ගියෙමි. උන්වහන්සේ විසින් විශිෂ්ට ඤාණයෙන් යුතුව වදාළ ධර්මයත් සරණ ගියෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක සඟරුවනත් සරණ ගියෙමි. ශාක්‍යපුත්‍ර ගෞතම සම්බුදු සසුනෙහි උපාසක භාවය ප්‍රතිඥා දුන්නෙමි.”

අහං බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
උපාසකත්තං දේසේසිං – සක්‍යපුත්තස්ස සාසනේ

“රජතුමනි, ඔබ ද මේ උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව සරණ යනු මැනවි.”

ත්වම්පි’මානි රතනානි – උත්තමානි නරුත්තම
චිත්තං පසාදයිත්වාන – සද්ධාය සරණං වජ”

ඉන්පසු සුපින්බර පොසොන් පොහෝ දිනයක, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තථාගත සදහම් සංදේශය රැගෙන ලංකා ධරණීතලයට වැඩම කළ සේක. එදින දේවානම්පියතිස්ස රජතුමා සිය හතළිස් දහසක පිරිස සමඟින්, චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියේය. එතැන් පටන් සිය දිවි තිබෙන තුරු තිසරණ සරණගත උපාසකයෙකු ලෙස ද ජනතාහිතෛෂී අවංක බෞද්ධ නරපතියෙකු ලෙස ද සම්බුද්ධ ශාසනයේත්, සිංහල ජාතියේත් යහපත පිණිස අනුපමේය සේවාවක් සිදු කළේය.

සඟරුවනට බැති සිතින් දන් පැන් පුදා…

තිසරණගත වූ දිනට පසු දින ම රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල මහරහතන් වහන්සේලා ද, සුමන රහත් සාමණේරයන් වහන්සේ ද ඉතා ගෞරවාන්විත ලෙස රජ මාලිගයට වැඩමවා ගත්තේය. කැප සරුප් ලෙස ආසන පනවා සියතින් ම ප්‍රණීත දන් පැන් පූජා කර සංඝගත දක්ෂිණාවෙහි මහත්ඵල මහානිසංස පින රැස්කරගති. ඉන්පසු තම සොයුරු මහානාග යුවරජුගේ බිසව වන අනුලා දේවිය ඇතුළු පන්සියයක් රාජකීය ස්ත්‍රීන්ව, උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙහි සමාදන් කරවා, සදහම් ඇසීමට සැලැස්වීය. මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් ප්‍රේත වත්ථු විමාන වත්ථු දේශනා ශ්‍රවණය කළ අනුලාවන් ඇතුළු පන්සියයක් ස්ත්‍රීහු සච්ච සංයුක්තයෙන් දහම් දෙසද්දී උතුම් සෝතාපන්න ඵලයට පත් වූහ.

නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි…

අනුරාධපුර නගරවාසීන් උත්තම රහත් මුනිවරු දැකීමටත්, සදහම් ඇසීමටත් ඒකරාශී වූ කල්හි නගර වැසියන්ගේ යහපත කැමති වූ දේවානම්පියතිස්ස රජතුමා මංගල හස්ථි ශාලාව සෝදවා, සරසවා, අසුන් පනවා ධර්මශ්‍රවණයට ඉඩ සලසා දුනි. එහිදී මිහිඳු මාහිමියන් දේශනා කළ දේවදූත සූත්‍රය අසා දහසක් දෙනා සදහම් ඇස් පහළ කරගත් අතර සියලු දෙනා සම්බුදු සසුන කෙරෙහි සිත පහදවා ගත්හ. ඉන්පසු සැදැහැති රජතුමා සිය රාජකීය උද්‍යානය වූ ඝන සෙවන ඇති, ඉතා සිසිල් වූ, ගැවසීගත් නිල් තණ බිම ඇති නන්දන වනයට රහතන් වහන්සේලා වැඩමවා තවත් බොහෝ පිරිසකට සදහම් ශ්‍රවණයට අවස්ථාව සැලසීය. උයන පිරීයන තරමට පිරිස රැස් වූ අතර එහිදී මිහිඳුමාහිමියන් වහන්සේ දෙසූ බාලපණ්ඩිත සූත්‍රය අසා තවත් කුල කාන්තාවෝ දහසක් දෙනා සෝතාපන්න වූහ.

සාදු! සාදු! සඟරුවනට මම් තුටින් වඳින්නේ…

ඉන්පසු රජතුමා ඒ නික්ලේශී මහරහතුන්ව මහත් වූ ගෞරවයෙන් මහාමේඝ උයනට වැඩමවා, එම මහමෙව්නා උයන සඟ සතු කොට ගෞතම බුදු සසුනට සැදැහැවත් සිතින් පූජා කළේය. මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහමෙව්නා උයනේ මහාවිහාරය කරවා සසුනට පුදා එය ලංකාද්වීපයේ ගෞතම බුදු සසුනෙහි කේන්ද්‍රස්ථානය බවට පත්කරලීමට අවැසි කටයුතු මැනැවින් සම්පාදනය කළේය. මිහිඳු මහරහතන් වහන්සේගෙන් දහම් අසා සම්බුදු සසුන කෙරෙහි පැහැදුන තම අරිට්ඨ මහාමාත්‍යතුමා ප්‍රධාන පනස් පහක් වූ ක්ෂත්‍රීය කුමාරවරුන් පැවිදි වීමට අවසර ඉල්ලූ විට ඊට හදවතින් ම ආශිර්වාද කළ දේවානම්පියතිස්ස රජතුමා එයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේය. සසරේ රැස්කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ ඒ සියලු දෙනා ම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසාන වෙනවාත් සමඟම උතුම් අරහත් ඵලයට පත් වූහ. සඟ පිරිසට වස් කාලය ගත කිරීම පිණිස එදින ම කන්තක නම් චෛත්‍යස්ථානය වටා ගල්ලෙන් හැට අටක වැඩ කටයුතු ඇරඹූ රජතුමා, ඇසළ පුන් පොහෝදා එම අටසැට ලෙන් සඟ සතු කොට පිදීය.

උත්තම මුනිඳුගේ ධාතු පුදන්නේ…

මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව, සුමන සාමණේරයන් ලවා දෙව්ලොවින් දකුණු අකු ධාතුන් වහන්සේ වැඩමවාගත් සැදැහැති රජතුමා ශ්‍රද්ධාවෙන් ඉපිලෙමින් ථූපාරාම සෑ රජාණන් වහන්සේ කරවා සසුනට පිදීය. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදිටන පරිදි අහසට පැන නැඟි දකුණු අකුධාතූන් වහන්සේ ගිනි ජාලා සහ ජල දහරා විහිදුවමින් අසිරිමත් පෙළහර පා වදාළ සේක. යමා මහ පෙළහර දැකීමෙන් අතිශයින්ම පැහැදුන දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදර මන්තාභය කුමරු ඇතුළු දහසක් රාජ පුරුෂයින් බුදු සසුනෙහි පැවිදිවීමට රජුගෙන් අවසර ඉල්ලූහ. අපමණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව සිටි දෙවනපෑතිස් නිරිඳු ඊට ද හදවතින් ම සෙත් පතා අවසර දුන්නේය. එදින රජතුමාගේ ආශිර්වාදය ඇතිව ඇතුළු නුවරිනුත් පිටි නුවරිනුත් බුදු සසුනේ පැවිදි වූ භික්ෂූන්ගේ ගණන තිස්දහසකි.

දෙවනපෑතිස් රජතුමා ථූපාරාම සෑරදුන් නිමවා නොයෙක් පුද පූජාවලින් හැම කල්හි ම උතුම් පූජාවන් පැවැත්වීය. ඉන්පසු ඒ ස්ථූපය මුල්කොට එහි සංඝයා උදෙසා මනරම් විහාර සංකීර්ණයක් ද කරවීය. එමෙන්ම සුමන සාමණේරයන් වහන්සේ දඹදිවින් වැඩමවාගෙන පැමිණි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කරවා ලක්දිව යොදුනක් යොදුනක් පාසා ස්ථූපයන් සහිත විහාරයන් කරවීය.

බෝධි රාජා නමාමි…

සංඝමිත්තා මහරහත් තෙරණිය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවාගෙන පැමිණි දින මහත් වූ ශ්‍රද්ධාවෙන් කරවටක් මුහුදු දියට බැස, බෝධීන් වහන්සේ පිළිගත් දෙවනපෑතිස් රජතුමා දොරටුපාලයෙකු ලෙස බෝ රජුන් මුරවතින් පිදීය. අප්‍රමාණ පුද සත්කාර මධ්‍යයේ අනුරපුරයට බෝරජුන් වැඩමවාගෙන ආ රජතුමා බෝධීන් වහන්සේගේ අසිරිමත් පෙළහර දැක ලංකා රාජ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධිය පිදුවේය. එමෙන්ම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලා ද, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ද මහත් ගෞරව සත්කාර සහිතව ලක්දිව පුරා විහාරාරාමවල රෝපණය කරවීය. සංඝමිත්තා තෙරණිය ප්‍රධාන භික්ෂුණී සංඝයාට වැඩ සිටීම පිණිස චූලගණය, මහාගණය, සිරිවඞ්ඩ නමින් ප්‍රාසාද තුනක් ද තවත් ප්‍රාසාද නවයක් කරවීය. එමෙන්ම සංඝමිත්තා තෙරණියට විවේක සුවයෙන් වැඩසිටීම පිණිස “හත්ථාළ්හක විහාරය” කරවා සැදැහැ සිතින් පූජා කළේය.

මේ රැස්කරනා පින එනවා ම යි සැප සලසන්නට හැම තිස්සේ…

මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනාවන්ට අනුව රුවන්වැලි මහා සෑය පිහිටුවන සැලැස්ම මනාව පිළියෙල කෙරූ දේවානම්පියතිස්ස රජතුමා, මහා සෑය පිහිටන ස්ථානයේ ඒ බව සඳහන් කොට ගල්ටැඹක් පිහිටුවීය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳූ ශ්‍රී සම්බුද්ධ පාත්‍රය තම රජ මාළිගයේ ම වටිනා වස්තු තැන්පත් කළ මන්දිරයක වඩා හිඳුවා හැම කල්හි ම නොයෙක් පුද පූජාවන් පැවැත්වීය. ඉසුරුමුනි විහාරයත්, වෙස්සගිරි විහාරයත් සාදවා අපමණ සැදැහැ සිතින් ගෞතම බුදු සසුනට පූජා කළේය. මහාපාලි නමැති දාන ශාලාව කරවූ රජතුමා දිනපතා භික්ෂු භික්ෂුණී උභතෝ සංඝයාට ම දන් පැන් පිදීමට සියලු කටයුතු මැනවින් සම්පාදනය කළේය. වාර්ෂිකව භික්ෂූන් දහස් නමකට පිරිකර සහිතව පූජා කරන වස් පවාරණ පින්කමක් ද සිදු කළේය. මහා පින් ඇති, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රජතුමා නාගදීපයේ දඹකොල විහාරයත්, තිස්ස මහා විහාරයත්, පාචීනාරාමයත් කරවා සසුනට පිදීය.

නිරිඳුන් ඔබයි දම්දීපය එළිය කළ…

මිහිඳු මහරහතන් වහන්සේගේ උත්තම කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සත්පුරුෂ දේවානම්පියතිස්ස රජතුමා දිවි තිබෙන තුරාවට අප්‍රමාණ පින්කම් සිදු කළේය. ලංකාද්වීපය දේවානම්පියතිස්ස රජුගේ අණසක පැවති යුගයේ ඉතා සමෘද්ධිමත් වූ අතර පුණ්‍ය තේජසින් ගුණ නුවණින් යුතු වූ රජතුමා පුරා සතළිස් වසරක් ලංකාරාජ්‍යය හෙබවීය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස බැබලවීම පිණිස පූර්ණ රාජ්‍යානුග්‍රහය ලබා දුන්නේය. ලක්දිවට මහා යහපතක් උදාකළ, ශාස්තෘන් වහන්සේ හා සමානව සසුන පිහිටවූ මිහිඳු මාහිමියන්ට සුවිසල් සහයෝගයක් රාජ්‍ය නායකයා ලෙස ලබාදුනි.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත්, සිංහල ජාතියේ අභිවෘද්ධිය පිණිසත්, අප මාතෘභූමියේ සමෘද්ධිමත් භාවය පිණිසත් අද්විතීය සේවාවක් සිදු කළ දේවානම්පියතිස්ස නම් ශ්‍රේෂ්ඨ නිරිදාණන් ගැන මෙවැනි කෙටි සටහනකින් කිසිසේත්ම ගුණ වර්ණනා කළ නොහැකිය. එනමුත් මෙම සටහන එතුමාගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරට උපහාරයක් වේවා! සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල දීපයත් සුරැකීම පිණිස අභිමානවත් නායකයෙක් පහළවීම පිණිස මේ උත්තම චරිතාපදානය පරමාදර්ශයක් වේවා!

මහාවංශය ඇසුරිනි

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි