උතුම් මජ්ක්‍ධිම නිකායට අයත් තුන්වන පොත් වහන්සේගේ අනුපද වර්ගයේ ඇතුලත් මහා චත්තාරීසක සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“පින්වත් මහණෙනි, මිත්‍යාදෘෂ්ටිය යනු කුමක්ද (කතමා ච භික්ඛවේ මිච්ඡාදිට්ඨි)?

1. දුන් දෙයෙහි විපාක නැත (නත්ථි දින්නං), සේවාවන්හි විපාක නැත (නත්ථි යිට්ඨං), පුදපූජාවල විපාක නැත (නත්ථි හුතං), පින් පව් කර්මවල විපාක නැත (නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ), මෙලොවක් නැත (නත්ථි අයං ලෝකෝ), පරලොවක් නැත (නත්ථි පරෝ ලෝකෝ), මවක් නැත (නත්ථි මාතා), පියෙක් නැත (නත්ථි පිතා), ඕපපාතික සත්වයන් නැත (නත්ථි සත්තා ඕපපාතිකා), ලෝකයෙහි යහපත් මග ගමන්කළ, යහපතෙහි පිළිපන්, මෙලොවත් පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන් අවබෝධ කොට කියාදෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත (නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්ති). පින්වත් මහණෙනි, මෙය තමයි මිත්‍යා දෘෂ්ටිය (අයං වුච්චති භික්ඛවේ මිච්ඡා දිට්ඨි).

ධර්මයේ සඳහන් පරිදි මෙම දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇති වන්නට හේතුවන්නේ අනුන්ගෙන් අසන්නට ලැබෙන අධර්මයත් (පරතෝ ච ඝෝසෝ), ඒ ගැන සිහි මුළාවෙන් කල්පනා කිරීමත්ය (අයෝනිසෝ ච මනසිකාරෝ). එබැවින් මේ මිත්‍යාදෘෂ්ටිය දුරුකර ගැනීමට නම් චතුරාර්ය සත්‍යය ධර්මය අසන්නට ලැබීම සහ ඒ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම යන කරුණු දෙක ජීවිතයට සම්බන්ධ විය යුතුය. සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරක් තුළින් පිරිසිදු නිර්මල බුද්ධ දේශනා ශ්‍රවණය කර අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධය අදහා ගන්නා තැනැත්තාට මිත්‍යාදෘෂ්ටික අදහස් දුරුකර ගැනීමට අවකාශ සැලසෙන්නේය.