“සිංහලයෝ කියන්නේ කව්ද කියා දැනගැනීම ඉතාමත් ම ඕනෑ කරණ කරුණකි. ස්වකීය ජාතිය ගැන කාරණා දැනගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතුවේ. රටට ආලයක් උපදින්ට නම් ඉතිහාස කථා කියවීම යුතුයි. ලංකා කථාව අන්තර්ගත මහාවංශය කියවීමෙන් අපේ ජාතියට මා තුළ මහත් ආසාවක් උපන්නේය.”

“මහාවංශය කියවා බලනු. ධර්ම පොත් නිතිපතා කියවනු. රාත්‍රී කාලේ නෘත්‍ය ශාලාවලට නොයනු. මොහොතක්වත් ප්‍රමාද නොවී වැඩකරන්ට ඉගෙන ගනු. අලසකම් අත්හැර වීර්යය උපදවා පුරුෂ බලයෙන් වැඩකරණු.”

“මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, මේ මහානර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගෙන සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කටයුතුයි.”

“සිංහල ස්ත්‍රීන් මිථ්‍යාදෘෂ්ටිකයන්ට පාවා නොදෙනු. පාද්‍රින්ට ස්වකීය දරුවන් භාර නොදෙනු.”

“දිවා රාත්‍රී දෙක්හිම සිංහලයන් වීර්යය කළොත් පස් වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. සිංහලයිනි, සිංහ වීර්යයෙන් ක්‍රියා කරනු.”

“බුද්ධාගම ආරක්ෂා කරන්ට උපන් ජාතිය සිංහල ජාතියයි. වර්ෂ දෙදහස් පන්සීයක් බුද්ධාගම ආරක්ෂා කළ වෙන ජාතියක් නැත.”

“සිංහලයන්ට විස මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරන සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.”

“ලංකාවාසී සිංහල ජනකාය අන්ධකාරයේ සිටින උම්මත්තක කොටසකි. ශාස්ත්‍ර ශිල්ප කර්මාන්ත විද්‍යා ඉගෙනගන ජාතිය දියුණු කිරීමට හිතැති සිංහලයන් දස දෙනෙක් සිටිනවා නම් දස වර්ෂයකින් සිංහල ජාතිය නැවතත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය වර්ගයක් කළ හැකිය.”

“අප ජාතිය නැතිවීමට මත්පැන් බීම හේතු වී තිබේ.”

“ප්‍රයෝජන ගහක් කපා දැමීම ලොකු පාඩුවක්. දැනට ලංකාවේ කොස්, නැදුන්, බුරුත ලබා ගැනීම දුෂ්කරයි. මේ ගස් රැකීමට ඕනෑ. කොස් ඇට වත්තේ තැන් තැන්වල හිටුවාපන්. දවසට දෙවරක් පන්සිල් ගනින්. පෝයට අටසිල් සමාදන් වෙයන්.”

“ශිල්ප, කර්මාන්ත, විද්‍යා ඉගෙන ජපන්නු යුරෝපීයයන් පරාජය කළහ. අපේ සිංහල තරුණ පෙළ නීතිය හා වෙදකම පමණක් ඉගෙනීමට වීර්යය කරති. ශිල්ප කර්මාන්ත ගැන කල්පනා නොකරන ජාතිය දුගී වන්නේය.”

“භික්ෂූන් වහන්සේලා කුසීතකම අත්හැර මනුෂ්‍යයන්ට නිතරම ධර්මයෙන් අනුශාසනා කරනවා නම් සිංහල බෞද්ධයන් ඉක්මනින් අභිවෘද්ධියට පැමිණෙනවා නිසැකය.”

“පරදේශික සුද්දා ලංකාවට පැමිණි තැන් පටන් මේ දක්වා ම සිංහලයන් නැති කිරීමට කටයුතු කරනු ලැබේ. හලාහල විෂ නමැති මධ්‍යපානය වර්ෂ 1801දී ප්‍රසිද්ධියේ පළමු වැනි වරට විකුණන්ට පටන් ගන්නා ලදී.”

“හරක් මස් කන්නා රොඩියා ය. රා බොන්නා උගුඩුවාය. රා බොන්නා – වසලයා ය.”

“හැම පාඨශාලාවක ම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් උගැන්විය යුතුයි. මැහීම, ගෙතීම, රෙදි විවීම, බීරළු ගෙතීම, ගස් සිටුවීම, කෑම පිසීම, වත්ත පිරිසිදු කිරීම, ඈතින් වලක් කපා කුණු කසල එහි දැමීම, මුස්න බැඳීම, එළවළු කොරටු කිරීම, රටට ජාතියට ආගමට භාෂාවට ඇල්ම ඇති කිරීම මේවා අපේ ගුරුවරුන් විසින් අවංක ආදරයෙන් ම කළයුතුය.”

“අඥාන සිංහලයිනි, පරදේශික සුද්දන් දෙන මත්පැන් බොන්ට එපා. ගෙරිමස් කන මිලේච්ඡ ජාතිකයන්ගේ චාරිත්‍ර ගන්ට එපා. වහ වහාම පිටරටවලට ගොස් ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ඉගෙන ගන්න.”

“වර්ෂ 2538ක් කිසිම මත්පැන් වර්ගයක් පානය නොකරමින් සිටි සිංහල ජනකාය නැති කරන්ට කටයුතු කළේ සර්ව සාධාරණ යයි කියනු ලබන ඉංග්‍රීසි ජාතිකයෝය.”

“ලංකාවේ සිංහල ජනයා අතර දිනෙන් දින ම මත්පැන් පානය වැඩි වේගෙන යයි. දුකසේ හම්බ කරන ධනය නිරර්ථකයේ වියදම් නොකරන්ට සිංහලයන්ට අවවාද කරන ලෙස භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලමි.”